Menu Close

160. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? – Diving 2

 ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් . . . !

මීට පෙර ගඟක් දිගේ ලියන්නට පටන් ගැනීමේදී පැවසූ ලෙසින්ම කැළනි ගඟ මගේ ජලාශ්‍රිත ජීවිතයේ ආරම්භය සනිටුහන් කල බව නැවතත් මතක් කරමින්ම අද කථිකාව අරඹන්නම්.

මම මේ කියනා අවධිය අගනුවර බොහෝ සෙයින් බෝතල් පත්තර කඩ තිබුණු  කළු ජූලියට එහා කාලයයි.
දිනක් එවන්වූ බෝතල් පත්තර කඩයක් අසලින් යන අවස්ථාවෙක එහි ඉදිරිපස එල්වා තිබුණු අපූරු උපාංගයක් මගේ නෙත ගැටුනි. එය එදා නිවැරදිව හඳුනා නොගත්තද එය ස්නූක්ලින්ග් මාස්ක් එකකි.
බෝතල් පත්තර කඩය තුල පසෙක එල්ලා තිබුණු  මාස්ක් එක දුටු වනම එය කිමිදීම සඳහා යොදාගන්නා එකක් ලෙස හඳුනා ගත් මා එය කඩය අයිති දෙමළ “අයියා සමග “කේවල්”  කිරීමෙන් පසු “තුට්ටු දෙකකට” ගන්නට හැකි විය.


මා එන තුරු ඉඳිකඩ ලඟ . . . !


බෝතල්, පත්තර, පිත්තල, තඹ, යකඩ, ඇලුමිනියම් හැරුණු විට මෙම කඩවලට වටිනාකමක් දැනෙන අන් කිසිවක් නොමැත. පීවීසී වලින් සාදා තිබුණු මාස්ක් එක මෙම ස්ථානයට පැමිණි ආකාරය හිතාගන්නටවත් නොහැක.
එම මාස්ක් එකෙහි පසෙකින් ස්නෝකලය හෙවත් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට අවට වායු ගෝලයට විවෘථ නලය හෙවත් ටියුබය  සවිකිරීමට ස්ථානයක්; කුහරයක්  විය.
සම්පූර්ණයෙන්ම ඇස් දෙකත් නහයත් වැසෙන ආකාරයට නිපදවා තිබුනු එම මාස්කය පැලඳ දිය යට ගිය විට හෙවත් කිමිදුනු විට  එහි පසෙකින් වූ; පෙර කී කුහරයෙන් ජලය ඇතුලට පිරීම සිදුවේ.
මෙය; එය පැලඳ කිමිදීමට බාධාවක් විය.
 කඩදාසි කොල ගුලියක්  මුවින් හපා සාදාගත් පල්පයකින් එම සිදුර වසා ගැනීමෙන් පසු එම මාස්කය කිමිදීම සඳහා සුදුසු එකක් බවට මා පහසුවෙන්ම  හරවා ගත්තෙමි.
එතැන් සිට මා කැළණි ගඟේ කිමිදෙන්නට උනෙමි.
පියවි ඇසට වඩා බොහෝ සෙයින් පැහැදිලිව ගං පතුල බලා ගැනීමට එමගින් මාහට හැකිවිය.
දිය යට තරමක වේලාවක් සිටිය පසු මෙම මාස්කයේ ඇතුලත ජල වාශ්ප බැඳීම මහත්වූ බධාවක් විය. ඒ ප්‍රාශ්වාස වාතයේ අන්තර්ගත ජල වාෂ්පයි.
ඇස් දෙක නාසය යන සියළුම ඉන්ද්‍රියයන් ආවරණය වන පරිදි සකසා තිබුනු එම මුහුණු ආවරණයේ ඇතුලත බැඳෙන ජල වාෂ්ප වලින් මිදීමේ මාර්ගය කියා දුන්නේ දැනට බීබීසියේ ප්‍රවෘථි අංශයේ සේවය කරණ අවිස්සාවේල්ලේ ආරාධනා කන්ද පාරේ චන්දන කීර්ති බණ්ඩාරය.
එය අනෙකක් නොව මාස්කයේ විනිවිද පෙනෙන කණ්නාඩියේ ඇතුලත කේඨය හෙවත් කෙළ ආලේපනය කර ගැනීමය.
කඳුළු ගෑස් වලටද ප්‍රථිකර්මය මෙයම බව කියාදුන්නේද ඔහුම විය!


කෙළගෙන යන්නම් ටැංකිය පැත්තක දාලා . . . ආ ආ  . . .ආ . . !

උඩට ඇදගන්නා හුස්මකින් සන්නද්ධව දිය තුල නොපෙනී ගිලී යන මා නැවත හුස්ම ගැනීමට දැඩිසේ අවශ්‍ය වූවිට මතු පිටට පැමිණේ. 

මෙය කිමිදුම් විද්‍යාවේදී Free Diving ලෙස හඳුන්වයි. Snorkeling  වලට වඩා මෙය වෙනස් වන්නේ; ස්නෝක්ලින්ග් වලදී දිය පෘෂ්ඨයට යාන්තමින් ගිලී පිහිනමින් මතුපිට වායුගෝලය හා ස්නෝක්ලින්ග් බටයෙන් සම්බන්ධ වී කරීමය.
පිහිනීම උගෙන ගන්නා බොහෝ අය අතුරිණ් කිහිප දෙනෙකු ඉතා ඉක්මනින් එය ග්‍රහණය කර ගනී. තවත් සමහරුනට කෙසේවත් පීනනට ඉගෙන ගැනීමට නොහැක.

 මෙයට පැහැදිලි විද්‍යාත්මක හේතුවක් ඉදිරි පත් කිරීමට අද දිනයේ මා අපොහොසත් වූවද මා අනුමාන කරණ්නේ එයට ප්‍රධාන හේතුව වන්නේ සිරුරේ ඝනත්වය හා ඊට සෘජුවම සම්බන්ධ ඉපිලුම යන හේතුවය.


පොඩි කාලෙ මරඳ වැල්ලේ . . !


ඝනත්වය යනු ඒකක පරිමාවක ස්කන්ධය වේ.
එනම් ස්කන්ධය / පරිමාව යි.
යකඩ ඝන අඩියක ඝනකයක් හෙවත් කියුබික් අඩියක ස්කන්ධය; ඝන අඩියක ලී කුට්ටියකට වඩා වැඩි ස්කන්ධයට වඩා වැඩි වන්නේ ඒවා නිපදවීමේදි හෝ ඇති වීමේදී පරමාණු හෝ අණු ඇහිරුණ ආකාරය නිසාය.  වඩාත් ලඟින් හා තදින් ඇහිරුණු වස්තුව වඩාත් වැඩි ස්කන්ධයක් දරයි. මෙසේම සමහර පුද්ගලයින් ඒ හා සමාන උස මහතකින් යුත් තවත් අයෙකු හා සැසඳිමේදී වඩා සැහැල්ලු හෝ වැඩි ස්කන්ධයකින් යුක්ත වීමට හෝ පුළුවන. ඒ ඔවුන් දෙදෙනාගේ සිරුරු වල සෛල එකතුවී ඇති ආකාරය නිසා විය හැක.
ඉපිලුම රඳා පවතින එක් කාරණයක් වන්නේ ඝනත්වයයි.


යුරේකා . . .යුරේකා . . . . ආදර මල් පවනේ . . .!


ඉපිලුම ගැන සොයාගන්නට ගොස් රෙද්ද අතේ අරණ් දිව්වේ ආකිමිඩීස්ය.
කිසියම් වස්තුවක බර නිදහස් අවකාශයේ එනම් සාමාන්‍ය තත්ව යටතේ කිරා බැලූ විට ලැබෙන පාඨාංකයට වඩා අඩු අගයක් ජලය තුලදී කිරා බැලූ විට ලැබේ.
තවත් ලෙසකින් පවසනවා නම්  “ලොකු ගලක් දියේ ඉහලට ඔසවන විට දිය යට ගල තිබිය දී එය පහසුවෙන් එසැවිය හැකි බවත් දියෙන් ඉවතට ගත් විට එහි බර වැඩි වූවාක් සේ දැනෙන බවත් ඔබට ප්‍රථ්‍යක්ෂ වේ”.- මූලික භෞතික විද්‍යාව; ඩබ්ලිව් එල් වයිට්ලි.

ආකිමිඩීස් නියමයෙන් කියැවෙන්නේ “වස්තුවක් ද්‍රවයක ගිල්ලූ විට එහි දෘෂ්‍ය බර අඩුවන ප්‍රමාණයත් වස්තුවෙන් විස්ථාපනය වූ ද්‍රව ප්‍රමාණයේ බරත් සමාන බවයි”.

කෙසේ කියන්නද . . ඔබ මා  අතහැර ඉවත ගියා කියලා . . . !?

ඉහත රූපයේ දැක්වෙන රූපසටහනට අනුව සාමාන්‍ය අවකාශයේ කිලෝ 7 ක්  වන වස්තුවක් ජලයේ ගිල්වා කිරා බැලූ විට එහි බර දැක්වෙන්නේ කිලෝ 4 වශයෙනි. එම වස්තුව දියේ ගිලීමේදී විස්ථාපනය වන ජලය ප්‍රමාණය කිරා බැලුව හොත් එය වස්තුවේ දෘෂ්‍ය බර වෙනසට හෙවත් කිලෝ 3 කට සමාන වේ.

මෙම දෘෂ්‍ය බර වෙනසට සමාන උඩුකුරු තෙරපුමක් ජලයේ ගිවූ විට වස්තුව මත ඉහල දෙසට ක්‍රියා කරණා බව සැලකේ.
කිමිදුම් කරුවෙකු කිමිදිම ඇරඹීමට පෙර දිය මතුපිට පාවෙමින් සිටිය යුතු අතර කිමිදීම ඇරඹීමේදී දිය යටට ගිලීමට අවශ්‍ය වන අතර  කිමිදීමට අපේක්ෂිත නිසි ගැඹුරට පැමිණි පසු එම ගැඹුරේ  නිදහසේ පාවිය හැකි වියයුතුය.
දිය මතුපිට පාවීමට භාවිතා කරණ විද්‍යාත්මක නාමය වනුයේ “උත්පලාවකතාවය” Buoyancy (බයොන්සි)  යන්නය. 

මේ පහිණය පහිණ හලට හෙලන්න නොකියා “මචං මේ ලියුම කන්තෝරුවට දාපං!” කියන භාෂාමය වටා පිටාවක් තුල අප මෙතැන් පටන් උත්පලාවක තාවය පසෙකින් තබා බයොන්සි යන වදන භාවිතා කරමින් ඉදිරියට කියවාගෙන යමු.

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ . . . මිනිසාමයි ලොව තිරිසන් වන්නේ . . . . . !


දිය මතුපිට පාවීම යනු Positive Buoyancy පොසිටිව් බයොන්සි වන අතර දියෙහි ගැඹුර තුලට කිමිදීම Negative Buoyancy නෙගටිව් බයොන්සි වන අතර කිසියම් ගැඹුරක රැඳෙමින් සිටීම හෝ එම ගැඹුර තුල ඔබ මොබ ගමන් කිරීම Neutral Buoyancy  නියුට්‍රල් බයෝන්සි වේ.
සාමාන්‍ය පුද්ගලයෙකු දියට බට වහාම දියේ ගිලී යන්නේය.
මට ජීවිතයේදී හමුවී ඇතිඅති මහත් බහුතරය දියට බට වහාම දියයට ගියේය. එහෙත් උඩට ගත් හුස්ම ඉහලට ගෙන තබා ගනිමින්ම සිටින විට දිය මතුපිටට ඉපිලීමක් දක්නට ලැබේ.


බැර බර කරේ තියන් – දෙපයට වාරු අරණ් . . . . !

පෙනහළු පුරා වාතය තිබෙන විට ඇතිවන හා ඔක්සිජන් ටැංකි මගින් සිදුවන ඉපිළුම මග ඇර ගැනීමට; කිමිදීමේදී බර පටියක් භාවිතා කරනු ලබයි. මෙය සකසා ඇත්තේ බර ඊයම් කුට්ටි වලිනි.

කිමිදීම සඳහා  දියට බසින ක්‍රම කිහිපයක් පවතී. ඉන් එකක් වන්නේ ගැඹුරු මුහුදේ කිමිදුම් ඉසව්වට ගිය පසු ඇංගූරම් ලන බෝට්ටුවේ සිට පසුපසට කරණමකින්  Backward Roll දියට බැසීමය.


මං බඹර වගේ විසේ කාරයා . . . . !


මෙසේ පසුපසට බසින්නේ පිටෙහි එල්ලා ඇති අධික බර ඔක්සිජන් සිලින්ඩර මගින් සිරුරේ කශේරුකාවලට හෝ වෙනත් අවශේෂ ඉන්ද්‍රියනට විය හැකි හානිය අවම කර ගැනීමටය.
කිලෝ 50 ක ආසන්න හෝ සුළු වශයෙන් ඉක්මවා යන බරක් පිටෙහි ගැටගසා ගත් සාමාන්‍ය පුද්ගලයෙකු දියට බැස්ස විගසින් දිය  යටට ඇදී ගිය හොත් ඔහුට හෝ ඇයට කිමිදීම සඳහා හොඳ ඇරඹීමට සූදානමක් ගත නොහැකි වන නිසා විරාමයක් දිය මතුපිට රැඳීමට අවශ්‍ය වේ.

එසේම  දිය යට ගැඹුරේ කිමිදෙමින් සිට නැවත දිය මතුපිටට පැමිණීමටද ක්‍රම වේදයක් තිබිය යුතුය.

BCD
ඔබ සිතන්න මෙම ඹ්Cඪ් ජැකට්ටුව පැළඳ ඇතැයි කියා. ඔබේ වම් පස උරහිසේ සිට ඉදිරියට ඇදෙන හොස් පයිප්පයක්  වන් බටයක් පෙනේද? පිටුපස මෙම ජැකට්ටුවේම එල්ලා ඇති (මෙහිදී ගලවා ඇති) ඔක්සිජන් ටැංකියේ සිට ඉදිරියට දිවෙන නලයක් මෙම බටයට සමාන්තරව විත් ඉදිරි කෙළවරට පසෙකින් සවිවේ. මෙහි ඉදිරි කෙළවරේ ඇති බොත්තම් දෙකක් මගින් ටැංකියෙන් වාතය BCDටත් ඉන් අවකාශයට මුදාහැරීමත් කල හැක. එමගින් අවශ්‍ය විටෙක ජීවිතාරක්ෂක ජැකට්ටුවක් ලෙසටත් තවත් විටෙක බයොන්සිය පාලනය කරණ BCD එකක් ලෙසටත් ක්‍රියා කරයි.


මෙම කාර්‍යය සඳහා ඉවහල් වන උපාංගය වන්නෙ B.C.D හෙවත් Buoyancy Control Devise  යනුවෙන් හඳුන් වන ජැකට්ටුවයි.
මෙයට ලක්ෂ්මන් මුතුකුඩ මහතා තම “කිමිදුම් කලාවේ අත්පොත” නම් මහානර්ඝ ග්‍රන්තයේ දී ඇති සිංහල නාම පද පෙල වනුයේ “පාවීම පාලනය කිරීමේ මෙවලම” ලෙසයි.
අප “ආන්තර එකලස” නොකියා කාටත් තේරෙන පරිදි “ඩිෆරෙන්ශල්” කියාගෙනම  කිමිදෙමු!

මෙම BCD ය ට  ටැංකියේ සිට ඔක්සිජන් පිරවීමට නලයක් ඇත. එය අවශ්‍යය විටෙක් පිරවීමටත් අනවශ්‍යය විටෙක ඉවත් කිරීමටත්  කුඩා බොත්තමකින් ක්‍රියා කරණ වෑල්වයක් ඇත. මෙනිසා කිමිදීම ඇරඹීමට බෝට්ටුවේ සිට බැක්වර්ඩ් රෝල් කරණමකින් දියට පතිත වීමට පෙර BCD ය ට ඔක්සිජන් පුරවා  සකසා ගත යුතුය. 

එවිට කරණමින් දිය යට ගිලෙන මුත් කඩිනමින් දිය මතුපිටට පැමිණිමටත්; ඉන් පසු ඕනෑම කාලයක් දිය මතු පිට රැඳීමටත් හැකියාවක් ආධාරයක් ඉන් ලැබේ.

දිය මතුපිට රැඳී කිමිදීම ඇරඹීම අරඹන්නේ BCD එතෙක් පුරවා තිබුනු ඔක්සිජන් අවකාශයට මුදා හැරීමෙන් අනතුරුවය. 

ඉන්පසු තමා කිමිදීමට බලාපොරොත්තුවන ගැඹුරේදී නැවත ටැංකියෙන්  ඔක්සිජන් BCDයට යම් පමනකට පුරවා Nutral Buoncey  තත්වයකට පත්විය යුතුය. 
ආධුනිකයකු මෙම අවස්ථාවට පත්වන විට යම් පමණකට ඔක්සිජන් අපතේ ගොස් අවසානය. 
මන්ද BCDයට වැඩි පුර පිරවුනු ඔක්සිජන් නැවතත් ටැංකියට යැවීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති හෙයිනි!



ඔක්සිජන් ටැංකි වානේ වලින් හා ඇලුමීනියම් වලින් නිපදවා ඇත. අද වන විට භාවිතාවන බොහොමයක් ටැංකි ඇලුමීනියම් වලින් නිපදවා ඇති ඒවාය. මේවා නිසි පරිදි නිසි කලට නඩත්තු කල යුතුවේ.
ඔක්සිජන් ටැංකියක් තුල ලීටර 12 ක වායුප්‍රමාණයක් ගබඩා කොට ඇත. එය දූරකථන කුටියක ඇති වායු ප්‍රමාණයට ආසන්නය. මෙම ඔක්සිජන් ප්‍රමාණය; මීටර 15-20 ක ගැඹුරක සිටින සාමාන්‍ය මිනිසෙකුට පැයක කාල සීමාවක් ගත කිරීමට ඇවැසි වන වාත පරිමාවයි.
මෙය කියවාගෙන යන ඔබට; ඉහත වගන්තිය පලමුවෙන්ම ඇසුනු, ඇස ගැටුනු විට මාහට ඇතිවූ පැනයම හිතට නැගෙන්නට ඇත! 

එනම් මිනිසකු හෝ කවෙරකු; මීටර 15-20 ක ගැඹුරක සිටිනා විටදි හා ඊට වඩා වැඩි හෝ අඩු ගැඹුරකදී සිටින විට පරිභෝජනය කරණ වාත පරිමාවේ වෙනසක් වන්නේ කෙසේද කියා?

සත්තකින්ම එය එසේමය.
එය ගැන අප මෙසේ කියවාගෙන පැහැදිලි කර ගනිමු.
මේ වන විට ඔබට “කිමිදීම” මෙන්ම මේ ලියනා මාවද එපා වී ඇත.
මන්ද තවමත් කිමිදීම පටන් නොගත් නිසාත් වඩාත් විදුහුරු දේ කියමින් යන නිසාත්!
එහෙත් මා; මීට පෙර ලියන ලද “වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? 1” පෝස්ටුවට කළ්‍යාණ මිත්‍ර විසින් දක්වන ලද කොමෙන්ටුවට මා ලියන ලද පිළිතුරෙහි පරිදිම කිමිදීම යනු භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව මත පදනම්වූ කට යුත්තකි.
මෙය ජීවිතේ අප විසින් සිදුකරණා ඕනෑම ක්‍රියා කාරකමක් අරබයා සාධාරණ ප්‍රකාශයක් වුවද වෙනත් කාර්‍යයකදී මෙන් නොව කිමිදීමේ යෙදෙන්නා තුල ඒ පිළිබඳව පැහැදිළි; තේරුම් ගැනීමක් තිබීම අත්‍යාවශ්‍ය කරුණකි!
අනෙක් අතට මා වැනිම  නවකයෙකු කිමිදීම ඇරඹීමේදී මුහුණ දෙන්නට සිදුවිය හැකි හා සිදුවන ගැටළු වලට පිළිතුරු සොයාගන්නට අත්වැලක් සැපයීමද මා විසින් කල යුතු වගකීමක් ලෙස මා දකිනා බැවිනි.


අහස පොලොව වට පිටාව හරිම හිස් තැනක් . . . . !

මුහුදු මට්ටමේදී වායු පීඩනය වර්ග අඟලට රාත්තල් 14.7 ක් (14.7 psi) වේ. මෙයට වායුගෝල එකක් හෝ බාර් 1 (1 bar) යැයි කියනු ලැබේ.
මුහුදු මට්ටමේ සිට අඩි 18000 ක් ඉහලට නගින විට මෙම අගය මින් අඩකට එනම් 7.35psi අඩුවන අතර මුහුදු මට්ටමේ සිට ජලය තුල කිමිදීමේදී මෙම අගය සීග්‍රලෙස වැඩිවේ.
එනම් අඩි33 (මීටර10) ක් දිය යටදී මෙය දෙගුණයක් එනම් 29.4psi වන අතර අඩි 66 (මීටර 20) කදී මෙම අගය තෙගුණයක් එනම් 44.1psi බවට පත්වේ.




මෙය හොඳින් පැහැදිලිවීමට ඉහත රූපය දෙස බලමින් කියවාගෙන යන්න. 
උඩු යටිකුරු කල විවෘථ බඳුනක් දිය යටට ගෙන යාමේදී ක්‍රමක්‍රමයෙන් දියේ  උඩුකුරු තෙරපුම මගින් බඳුනේ තිබුණු වායු පරිමාව තෙරපාගෙන ඉහල ගමන් ගන්නා ආකාරය මෙසේ දැකිය හැක.

මේ පිළිබඳව ලක්ෂ්මන් මුතුකුඩ තම පොතේ දක්වා ඇත්තේ මෙසේය. 

“වටාපිටාවේ ඇති පීඩනයට සමානව බඳුන තුල ඇති වාතයේ අංශු කිට්ටු වීම නිසා මෙම පරිමාව පහත වැටීම සිදුවේ. දැන් අපි මෙම බඳුන මීටර 20 ගැඹුරු මට්ටමේ තබාගෙන අප වෙනම රැගෙන ගිය වාත සැපයුමක ආධාරයෙන් සම්පූර්ණයෙන් පුරවමු. 
 මතුපිටදී ලීටර 1 ක පරිමාවකින් පිරවීමට හැකි බඳුනක් මීටර 20 කදී පිරවීමට කොපමන වාතය උවමනා වේද? 
මතුපිටදී පාවිච්චි කරණ ලද ප්‍රමාණය මෙන් තවත් ලීටර 2 ක් තරම් වාතය මේ සඳහා උවමනා වේ. 
එහි තේරුම වන්නේ මතුපිටදී එක් හුස්මකට ගන්නා වාතය මෙන් තුන් ගුනයක ප්‍රමාණයක් මීටර 20 ක ගැඹුරක සිටින කිමිදුම්කරුවකුගේ ඒක හුස්මකට උවමනා කරණ බවයි.


ඔබ නිකමටවත් හිතුවාද එවන් සංසිද්ධියක්. දිය මතු පිටදී එක් ආශ්වාසයක් වෙනුවෙන් පෙනහළු තුලට ඇද ගන්නා වායු පරිමාව මෙන් තුන් ගුණයක් මීටර20 ක් දිය යටදී ඇදගන්නා බව සිතුවාද?

දැන් ඔබ තේරුම් ගත්තා නොවෙද නිවැරදිව කිමිදීම සඳහා භාවිතා කරණ ඔක්සිජන් ටැංකියක ඇති ඔක්සිජන් ධරිතාව පිළිබඳ මා විසින් සිදුකල ප්‍රකාශය?

 “මීටර 20 දියයට සිටින සාමාන්‍ය පුද්ගලයෙකු හට පැයක ප්‍රමාණයක් ආශ්වාස කිරීමට ඇවැසි තරම් ඔක්සිජන් ටැංකියක අන්තර්ගත්වී ඇත!” යන ප්‍රකාශය ඔබට මේ වන විට තේරුම් ගෙන ඇතිවාට සැකයක් නොමැත.

මෙසේ දියයටදී පෙනහළු පිරෙණ්නට හුස්මක් ඇදගන්නා අයෙකු හදිසියේ දිය මතුපිටට පැමිණ හිස් අවකාශස්යට නිරාවරණය වුවහොත්; එතෙක් පෙනහළුව තුල පිරී පැවති වායු පරිමාව එකවර විශාල වීමෙන් එය පුපුරා යෑමේ අවධානමක් පවතී. 
මෙනිසා දිය යට යාමේදිට වඩා මතුපිටට ඒමේදී නිර්දේශිත කාලයක් ගත කිරීම අනිවාර්යයෙන්ම කලයුතු වේ. මෙය වඩා නිවැරදිව පවසනවා නම් අදාල ගැඹුරේදි නිර්දේශිත කාලය ගත කරමින් මතු පිටට පැමිණිය යුතුවේ.
දිය යට ඇති පෙර සඳහන් කල තෙරපීම ශරීරයේ දැනෙන්නේ; ඇතුළු කන, සයිනස් කුහරය හා පෙනහළු වලටය. ඔබ ජීවිතයේ එක් වරක් හෝ කඳුමුදුනකට ගොස් ඇත්නම් එයට ගොඩවී මේදීත් ආපසු බැසීමේදීත් කණ් අගුල් වැටෙනු අත්දැක ඇතිවාට සැකයක් නැත. 

එවිට අප කරණ්නේ නහයත් කටත් අතින් තදින් වසාගෙන කන් බෙරය පිටතට තෙරපා ඇතුළු කන ඇතුළු සිරුර තුලත් පිටතත් ඇති පීඩන වෙනස සම කිරීමය (Equalizing). 



ඔක්සිජන් සිලින්ඩරය මුදුනේ සවිකොට් ඇති වෑල්වය සහිත කොටස First Stage ලෙස හඳුන්වයි. මෙම වෑල්වය  ප්‍රධාන වශයෙන් වර්ග කිහිපයක් ලෙස නිපදවා ඇත. 1. K Valve   2.J Valve   3. DIN Valve
මෙම කුමන ආකාරයේ වෑල්වයක් හෝ සිලින්ඩරයට සවිකල පසු ඒතුලට ඔක්සිජන් ගලා ඒමට කර කැවීමට තරමක කරාමයක් හෙවත් නොබ් එකක් පවතී. 

මෙම කරාමය විවෘථ කිරීමෙන් පසු වෑල්වය හෙවත් රෙගියුලේටරයට ගලා එන ඔක්සිජන් එතැනින් පටන් ගන්නා නාල හෙවත් ටියුබ් හතරකට බෙදා හැරේ. 


ඉන් පලමු වැන්න Inflator Hoseපෙර සඳහන් කර ඇති ආකාරයට බීසීඩියට සම්බන්ධ කොට ඇත.ඒ හදිසි අවස්ථාවකදී ජීවිත ආරක්ෂක කබායක් සේ ක්‍රියා කරණ බීසීඩියට හුලං පිරවීමටය.

 BCD යට ඔක්සිජන් ටැංකියේ සිට  එන නලය සවිකිරීම.

මෙම සුදු හා තැඹිලි බොත්තම් මගින් BCDය ට ටැංකියේ වාතය පිරවීමට හෝ අවට අවකාශයට මුදා හැරීමට හෝ පුළුවන. මෙහිදී අවට අවකාශයට මුදා හැරෙන්නේ BCD  යේ ඇති වාතය විනා ටැංකියේ ඇති වාතය නොවේ.

දෙවැන්න කෙලවරේ ඇත්තේ පීඩන මාපාංකයකි Manometer/Pressure Gauge. තේරෙණ හිංගලෙන් කියනවානම් ප්‍රෙශෞර් ගේජ් එකකි. 

සමහර විට ඩෙප්ත් ගේජ්  Depth Gauge එකක් හෙවත් කිමිදෙන ගැඹුර දැක්වෙන ගේජ් එකක් හෙවත් මීටරයක්/ මනුවක් ද එක පොදියට එක් ඒකකයක් සේ  සවිකොට ඇත.


තුන්වන ටියුබය සවිවී ඇත්තෙ සෙකන්ඩ් ස්ටේජ්/ මවුත් පීස්  Second Stage/ Primary Air හෙවත්  කොටසටය. කිමිදීමේදී ආශ්වාසකරණ්නේ මෙම කොටස මුඛයේ රඳවාගෙන එය තුළිනි. ප්‍රාශ්වාස හෙවත් හුස්ම පහතට හෙලන්නේද එය තුලින්මය. 

පහතට හෙලන හුස්ම හෙවත් ප්‍රාශ්වාස වාතය සෙකන්ඩ් ස්ටේජ්/ මවුත් පීස් කොටසෙන් ජලයට මුදාහැරේ.  කිමිදීමේදී ආස්වාස කරණ්නේද ප්‍රාශ්වාස කරණ්ණේද මුඛයෙන්ම හෙවත් කටින්ම පමණි.




හතරවන බටය හෙවත් ටියුබය සවිකොට ඇත්තේ හදිසි අවස්ථාවකදී තමන්ට හෝ වෙනත් අයෙකු හට භාවිතා කල හැකි අමතර අමතර වායු සැපයුමකට හෙවත් Second Stage/Alternate Air Source  එකකටය.

” සුදු පෙන කැටි – අහස උසට
නැගෙන වැටෙන දළ රළ පෙල
අතර දිවෙන සිහින් හඬෙක
රැඳුනු ඔබේ සිහින් ස්වරය
සියල් දනන් දියමත සිට
උකුසු දෙනෙත් යොමා සිටින
ඇසි පිය විලි වැහෙන ඇරෙන
මොහොත රැගෙන කිමිද යමුද
මුහුදු හතක දුර බැහැරක
කිසිදු විටෙක උකුසු නෙතට
සොයා ගන්න බැරි ඈතක “
%d bloggers like this: