Menu Close

රුධිර නාළ ක‍්‍රියාකාරීත්වය හඳුනාගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා ඉංජිනේරු පිරිසකගෙන් උපකරණයක්..!

අපගේ ශරීරයේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වෙත රුධිරය සපයන්නේ රුධිර නාළ මඟිනි. එම රුධිර නාළ හැකිලෙමින් දිග හැරෙමින් අදාළ ඉන්ද්‍රියයන් වෙත අවශ්‍ය පරිදි රුධිරය සැපයීම සිදුකරයි.

එසේ රුධිර නාළ හැකිලෙමින් දිග හැරෙමින් නිසි පරිදි රුධිරය සපයන්න නම් එම රුධිර නාළයේ අභ්‍යන්තර බිත්ති ද (Vascular endothelium) නිරෝගීව පැවතිය යුතුයි.

නමුත් විවිධ හේතූන් නිසා මෙම රුධිර නාළවල අභ්‍යන්තර බිත්තිවලට හානි සිදුවේ. එවිට එම රුධිර නාළ ක‍්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවේ. මෙසේ රුධිර නාළ ක‍්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවන විට සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වෙත රුධිර සැපයුම නිසි පරිදි සිදු නොවේ.

උදාහරණයක් ලෙස හෘදය වස්තුවේ රුධිරය නාළවල අභ්‍යන්තර බිත්ති හානියට ලක්වුවහොත් හෘදය වස්තුවේ ක‍්‍රියාකාරීත්වය දුර්වල වේ. (Cardio vascular complication) එවිට ඉතා ඉක්මනින් හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් හටගනී.

එසේම රුධිර සංසරණ පද්ධතියේ සිදුවන වෙනස්කම්වල පළමු අවස්ථාව ලෙස මෙම රුධිර නාළ අභ්‍යන්තර බිත්තිවල ඇතිවන වෙනස්කම් හැඳින්විය හැකිය.

මෙම රුධිර නාළ ක‍්‍රියාකාරීත්වයේ වෙනස්කම් දිගු කාලයක් පැවතීම නිසා රුධිර නාළවල තුවාල සිදුවිය හැකියි. එවිට එම තුවාල වූ ස්ථානවල ඉතා ඉක්මනින් කොලෙස්ට්‍රෝල් තැන්පත් වීම සිදුවේ. එහි ප‍්‍රතිඵලය වන්නේ අධි රුධිර පීඩනයට ලක්වීමය.

එබැවින් රුධිර නාළවල අභ්‍යන්තර බිත්තිවල ඇතිවන වෙනස්කම් මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත් පසු කාලයේදී රුධිර සංසරණ පද්ධතියේ ඇතිවිය හැකි මෙවැනි රෝග ඖෂධ ප‍්‍රතිකාර වලින් තොරව සුවපත් කරගත හැකිය.

එනම් රුධිර නාළ අභ්‍යන්තර බිත්තිවල වෙනස්කම් ඇතිවීමට හේතු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමෙන් මෙම රුධිර නාළ බිත්තිවල ඇතිවන වෙනස්කම් සුවපත් කළ හැකිය.

ඒ සඳහා වූ විශේෂ වෛද්‍ය උපකරණයක් මොරටුව විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් නිපදවා ඇත.

මෙම උපකරණය මඟින් රුධිර නාළ අභ්‍යන්තර බිත්තියේ ක‍්‍රියාකාරීත්වය ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බව එම ඉංජිනේරුවෝ පවසති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ මෙම උපකරණය නිපදවූ ඉංජිනේරු කණ්ඩායමේ ප‍්‍රධාන විධායක නිලධාරි කීර්ති කොඩිතුවක්කු මහතා,

මෙම උපකරණය මඟින් විනාඩි පහළොවක් වැනි සුළු කාලයකදී සිරුරේ රුධිර නාළවල ක‍්‍රියාකාරීත්වය හඳුනාගත හැකියි.

කිසියම් ස්ථානයක රුධිර නාළවල අභ්‍යන්තර බිත්තියේ හානියක් සිදුව ඇත්නම් එය මෙම උපකරණය මඟින් සිදුකරන පරීක්‍ෂාවේදී ලැබෙන වාර්තාවේ සටහන් වෙනවා.

මෙම පරීක්‍ෂාවට යොමුවීමේදී විශේෂ පූර්ව සූදානම් වීමක් අවශ්‍ය නැහැ. පැය භාගයක් පමණ විවේකීව සිටීමෙන් පසු අදාළ පරීක්‍ෂාවට යොමුවිය හැකියි.

එහිදී දෑතේ ඇඟිලිවලට මෙම උපකරණය සම්බන්ධ කර පරීක්‍ෂණය සිදුකරනවා.

අධි රුධිර පීඩනයට සහ අධි කොලෙස්ට්‍රෝල් රෝගයට ඖෂධ ප‍්‍රතිකාර ලබාගන්නා අය මෙම පරීක්‍ෂාවට යොමුවීමේදී අදාළ ඖෂධ ගැනීමෙන් තොරව ඊට මුහුණ දුන්නොත් රුධිර නාළවල ක‍්‍රියාකාරීත්වයේ නිවැරදි ප‍්‍රතිඵල ලබාගත හැකියි.

දැනට මෙම උපකරණය කොළඹ ජාතික රෝහලෙත් පෞද්ගලික රෝහල් කිහිපයකත් පරීක්‍ෂණ මට්ටමින් භාවිත කරනවා.

ඔබ සමග මෙම උපකරණය නිපදවීම සඳහා එක්වූ කණ්ඩායම ගැන පැවසුවහොත්.

චරිත් විතානගේ, ශෂික මුණසිංහ සහ වෛද්‍ය දනුක හෙට්ටිආරච්චි යන අය සම්බන්ධ වූවා.

එසේම විනෝද් සමරවික‍්‍රම, හේමින්ද ජයවීර, මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ගොඞ්වින් කොන්ස්ටන්ටින්, වෛද්‍ය බන්ධුල විජේ සහ වෛද්‍ය මංජුල කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් අපට නොයෙක් ආකාරයෙන් උපදෙස් ලබාදෙමින් මේ සඳහා සහාය දැක්වූවා.

උපාලි ද සේරම්

The post රුධිර නාළ ක‍්‍රියාකාරීත්වය හඳුනාගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා ඉංජිනේරු පිරිසකගෙන් උපකරණයක්..! appeared first on අටමඟල.

%d bloggers like this: