Menu Close

නෑනා නැතත් කල දවසක් ….. -පළමුවෙනි කොටස

මගෙ තනි නොතනියට නුඹවත් ….. (සිත්තම- ඊ.එන්.එම්.කේ.සොයිසා)

ඔන්න ඉතින් මාතෘකාව දැක්ක ගමන්ම සැරහුණේ නිමල් දිසානායකගේ පලහිලව්වක පට්ටන්දරේ කියවන්නනේ. Extremely sorry!


මේ ජනවාරි මාසයනේ….. ‘නැතිව? තමුසෙට විතරක් නෙවෙයි, අපටත්.’ ඔයාලා කියාවි. හරි, හරි. මේකයි කතන්දරේ.

ජනවාරි මාසේ ඉස්සර මිනිස්සුන්ට නම් බෝතල් මාසෙලු. දෙසැම්බරයේ හොඳට කාලා-බීලා හාඩප් වෙලා අතේ පිච්චිය නැතිව ඉන්න උදවිය ගෙදර ගොඩ ගැහිලා තියෙන හිස් අරක්කු බෝතල් විකුණලා තමයි ජනවාරිය ගෙවා ගත්තේ කියල කියනවා.

ඒකෙන් බාගයක් මටත් අදාළයි. කෑවා-බිව්වා කියල නෙවෙයි. දෙසැම්බරයේ වගෙම ජනවාරියේත් මට මදිය නොකියන්නම වියදම් වුණා….. තව වියදම් වෙන්නත් දැන්මම සැලසුම් කෙරිලා. එහෙම වියදම් වුණෙත්; වියදම් කරන්න හදන්නෙත් ආයේ හම්බ කරගන්න ඇහැකි දෙයක් නෙවෙන එකයි පුරස්නේ.

කාලය! රත්තරන්වලටත් වඩා වටිනා කාලය!!
මාස දෙකකටත් ඉස්සෙල්ලා තුවාන් මිස්කින්….. (තුවාන් යුවල දරු දෙන්නාත් සමඟ….)
කාටද බුදු අප්පච්චියේ කාලය ගෙවෙන එක නවත්තන්න හරි, ගෙවුණු කාලය ආපහු ගෙන්නාගන්න හරි පුළුවන්?

පහුගිය ටික දොහේ ගොඩාරියක් ගමන් යන්න වුණා; මිත්‍ර සමාගම් පවත්වන්න වුණා; ඒ නිසා බ්ලොගයට පෝස්ටු කොටාගන්න, fotos හොයාගන්න, තොරතුරු තහවුරු කරගන්න වෙලාව මදි වුණා. මාසයකට දහයක්වත් පෝස්ටු ලියන්න තියෙන අධිෂ්ඨානයට කෙළවෙන තැනටම ආවා.

(ලොකු නංගිගේ මරණය ගැන ලියලා ඇතිවුණු දුක්බර හැඟීම නිසාත් දවස් තුන-හතරක්ම වැඩක් කෙරුණේ නැහැනෙ.)

ඔහොම හිටිද්දී තමයි දෙවියන් අත පෑවේ. මතකයිනේ, ගෙදර සන්තකේට රුපියල් විස්සක් තියෙද්දී ‘රිකී මහත්තයාව ගෙදරට එව්වා!’ ආන්න ඒ වගේ. 
දෙවියන් අතපාන වැඩේ සිද්ධ වුණේත් ගොඩාක් කාලය වැයවුණු වෙලාවක.

තුවාන් මිස්කින් මාස දෙකකට කලින්ම ටෙලිෆෝන් කරලා පණිවිඩයක් කිව්වා. 

“ඔන්න නිමල් අයියේ, ජනවාරි 18 weekend එකේ trip එකක් එහෙම දාගන්න එපා. අපේ කොල්ලගේ වැඩක් තියෙනවා. ඔයාලා සෙට් එකටමත් ආරාධනා කරනවා. මං නෙවිලටත් කිව්වා. දන්නවනේ, ඌට දවස් අමතක වෙන්නත් පුළුවන්. ඔයාත් මිනිහට මතක් කරන්න….”

ක්වීන්ස්ලන්ඩ්වල හිටියත් තුවාන්ලා හිතෙන් ඉන්නේ ශ්‍රී ලංකාවේ වගෙය!

තුවාන්ලා ඕස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන්- ක්වීන්ස්ලන්ඩ්වල හිටියත් හිතෙන් ඉන්නේ ලංකාවේම වගෙයි. වැඩි දෙනෙකු එහෙම තමයි. සාක්කියක් ඕනිද? උඩින් ෆොටෝ එක දැම්මේ ඒකයි!

තුවාන්ගේ පුතාට අවුරුදු 21ක්ලු.

මගේ අම්මෝ…. කාලය ගෙවෙන ඉක්මන. මේ ගෙදර හදද්දී අත්තිවාරම් කපන්නත් තුවාන් මිස්කින් ඇතුළු set එකම දවස් ගණනාවක් ආව, නිවාඩුත් දාලා.

ඉතින් සීදූවේ රාමදා හෝටලේදී සිරාජ් (Siraaj) මිස්කින්ගේ 21 වෙනි උපන් දින සාදය ජයටම තිබුණා. සිරාජ්, මෙන්න ඔයාට ආයෙමත් උණුසුම් සුබ පැතුම් තාත්තාගේ තලපත්පිටියේ-මහරගම හිතවත් මිතුරන්ගෙන්!

සාදය අතරේ මට අපේ දොස්තර අයස්මන්ත මහත්තයාගෙන් ප්‍රශ්නයක් ඇහුණා. මට ප්‍රශ්නයක් අහන්න වෙලාවක්-කලාවක්, තැනක්-නොතැනක් නැහැ. මතක් වෙන්න විතරයි ඕනේ.
“කෝ අර මට කියවලා බලන්න එවනවයි කියපු ලිපිය?”

මොකද මේ හාදයා නෑනා කෙනෙකු මත්තේ නැහෙන්න හදන්නේ?

උන්නැහේ හිතේ තියෙන බරකින් නිදහස් වෙන්නද කොහෙද ලියන දේකට මගෙනුත් උදව්වක් ඉල්ලුවා, ටික දොහකට කලින්. නෑනා-මස්සිනා ගැන තියෙන සිංදු එකතු කරගන්න.


(ප්‍රීතිකා නංගි; අයස්මන්තගේ නෝනා මහත්තයා නීති පොත් මිසක් blogs නොකියවන නිසා බය නැතිව ලියන්නේ. -ඒ ජෝඩුවම ජාඩියට-මූඩිය වගේ දෙන්නෙක්…
-කියෙව්වත් මොකෝ. ඔන්නං කියයි ‘කොහෙන්ද අප්පා ඔයාලට වෙලාවක් තියෙන්නේ, පරණ කුණුත් අවුස්සන්න’ කියලා. 
මොකද මේ හාදයා නෑනා කෙනෙකු ගැන හොයන්නේ, වෛද්‍ය ශිෂ්‍ය කාලෙම නාට්‍ය නටලා හොයාගත්තු ප්‍රේමයක් ජයගෙන, තිදරු පියෙකුත් වෙලා තියෙද්දී. නොහොබිනා දේවල් හිතුණත් මං කට හෙල්ලුවේ නැහැ.)

ඉතින් සිංදු ලැයිස්තුවක් දුන්නාම අයස්මන්ත පීරිස් මහත්තයා කිව්වා, ලිපිය ලියලා මටත් එවන බව. ඒකයි මං අරහෙම ඇහුවේ.

“හෙට පාන්දරම එවනවා නිමල් අයියේ.” එයා කිව්වා. මොන හෙටක්ද? අපි ගෙදර එද්දිම ‘හෙට අද වෙලා’ පාන්දර දෙකයි! 
ඒත් මෙන්න බොලේ එයා ප්‍රතිඥාව රැකලා. කියවලා බලනකොට තමා දිසානායක පරම්පරාවේ ‘idea’ජානය ඉස්මතු වුණේ.

දඹේතැන්නේ …. හරිම ලස්සන තැනක කෑම්පින් එකකුත්……

“පීරිස් මහත්තයෝ, මේක පංච තන්තරේටත් දාමුකෝ!”

“…. අනේ මන්දා…”

“මන්දා නෙවෙයි දාමු. මටත් පෝස්ටුවක් ලැහැස්ති කරගන්න බැරිව හිරවෙලා ඉන්නේ. ඉස්සරහ දවස් තුනකුත් හිරවෙනවනෙ, ප්‍රියන්ත දඹේතැන්නේ කෑම්පින් trip එකක් ලැහැස්ති කරලා නිසා තුවාන් යන්න කලින්…..”

පීරිසුත් ඒ ට්‍රිප් එකට යන නිසා එයාගේ ලිපිය මගේ අඩුවක් පුරවන්නට ගැනීම ගැන ලේසියෙන්ම කැමති කරවා ගන්නට හැකි වුණේය. 
උන්නැහේ කම්පියුටරයෙන්ම ලියලා තිබුණු නිසා, දවස් භාගයක් විතර පරක්කු වෙලා මේ පෝස්ටුව පළ කරන්නටත් හැකි වෙයි! 

(මං කිරා බැලුවේ ඒකය. සමහරුන් එහෙම වැඩවලට කියන්නේ ‘නිදිගෙ අවස්ථාවාදීකම’ කියලාය. කියාපුදෙන්, මගෙ මොකෝ?)

ඔන්න, මෙතැන සිට දිගටම ලිපිය අක්ෂි වෛද්‍ය විශේෂඥ දොස්තර අයස්මන්ත පීරිස් ලේඛක මහතාගෙනි. ෆොටෝස් හා කැප්ෂන්ස් විතරක් නිදිගෙනි. 
(අයස්මන්ත ලියන්නේ න-ණ-ල-ළ නොසලකමිනි.)

මේ අපේ පළාතටම විදුලිය නැති කාලේ………

1976  හෝ 1977; මට වයස අවුරුදු 6ක් හෝ 7ක්

වෙලාව රෑ 9.30 විතර ඇති. මේ, අපේ පලාතටම විදුලිය නැති කාලෙ. නිතිපතා අටවා පත්තු කරන පැට්රෝ මැක්ස් ලාම්පුව අවසන නිවී ගිය පසු, තවත් ඒකත් එක්ක අඩවු නොඅල්ලා නින්දට ඉඩ දීමයි අපේ වැඩිහිටියන්ගේත් සිරිත.
ඝනම ඝන කලුවරයි. කාලයක් අවකාශයක් මැනලා මෙතකැයි කියන්න බැරි තරමට… 

වෙලාව සනිටුහන් වෙන්නේ නුගේගොඩ සිට නාවින්නට ඇදෙන පුංචි ගල් අඟුරු කෝච්චියේ හඬිනුත් ඉඳහිට කොලඹ වරායෙන් නැඟෙන නැව්වල නලා හඬිනුත් (ඔව්; කාලෙ මුහුදේ රැල්ල ගැහෙන සද්දයත්, වරායේ නැව් නලා සද්දත්, නුගේගොඩට ඇහෙනවා), අලුයම හරියටම පහට කෝට්ටේ නාග විහාරයේ ඝන්ඨා නාදයෙනුත් විතරයි.
කාලය නැවතිලාද? පහල වෙලෙන් එගොඩහ ගස් ගොල්ලේ කොරවක් නාදය නොවන්න කාලයත් අවකාශයත් ඝනීභූත වෙලාම තමයි.
ඒත් කොහෙදෝ ඈත ගෙදරක බැටරියෙන් පන ගැනුන වයර්ලස් රේඩියෝවකින් ගීතයක් විසිරෙනවා හාත්පස;
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ 
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගේ ගම්මානේ… 

වෙලේ කොනක හුදෙකලාව, පට්ට සීතලේ පැල් රකින…..

ඇත්තටම වෙලේ කොනක පැල් රකින්නෙක් මහත් වේදනාවෙන් පැල් කවියක් ගයනවා වගේ මට දැනෙන්නෙ.


අතොරක් ඉමක් නැති කලුම කලු රාත්‍රියේ, ඇස් අයාගෙන, වහලට පහලින් විය හැකි සීමාවේ නටන කනාමැදිරි එලි දිහා බලා ඉන්නා මාව, වෙලෙන් එගොඩහ ඇහෙන මන්ද්‍ර කොරවක් නාදයත්, මේ ගීයත් එකතුව මහා උත්කර්ෂයකට ගෙන ගියා, නොතේරෙන නොයෙක් හැඟීම් පිලිබඳ ඡායාමාත්‍ර අවදි කරමින්.
මහා දෙයක් නොතේරුනත්, අවුරුදු පහක් හයක් වයසැති මම මේ ගීතයේ ගිලී, ගීතයටම දිය වී ගියා යැයි කියන්න පුලුවන්.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙලඳ සේවය, රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් පසුව, පිරිත්වලට කලින් ඉතාම කාල ගෝචර ගීත විකාශනය කලේ මෙන්න මේ අවධියේ විය යුතුයි.
.
මේ ගීතයත්, ඉන්පසු අසන්නට ලැබුනු අනෙකුත් සිංහල නෑනා මස්සිනා ගීත සියල්ලම පාහේත්, මගේ මහත් විපරමට ලක් උනා/ ලක් වෙනවා. මට ගීතවල ගිලී, චරිතයෙන් චරිතයට ආවේශ වෙවී, ගීතයේ එන නාට්‍යමය අත්දැකීම්වල ජීවත් වෙන්න පුලුවන් දින සති ගනන්.
ගීතවලින් කියවෙන නාටකීය අත්දැකීම්වල ජීවත් වෙන්න…..

කිට්ටු නෑදෑයන් අතර ආවාහ විවාහ සම්මතය බැලුවොත්, වැඩිහිටි සහෝදරයන්ගේ හා සහෝදරියන්ගේ ලමුන් අතර සම්බන්ධතා සම්මත’ වන අතර ඔවුන්ගේ විවාහයෙන් පසු පරම්පරාව ඉදිරියට යන්නේ පිරිමි දරුවාගේ පෙලපත් නාමය සමඟ

එකම ලිංගික පාර්ශ්වයක (අයියා මල්ලිගේ හෝ අක්කා නංගිගෙ) එක කුස උපන් දරුවන් හා සමානව සැලකෙන අතර ලංකාවේ එම දරුවන් අතර සම්බන්ධකම් අසම්මතයි; incestuous. නමුත් ජාන දුරස්තභාවය සැලකුවොත් මේ අවස්ථා දෙකම එක සමානයි. යුරෝපීය සංස්කෘතීන්හිදි එසේයි සැලකෙන්නේ; cousins.
නමුත් මෙම අවස්ථා දෙකේම අවාහ විවාහ, රට-රටවල සම්මතයන් වෙනස්වන ආකාරය අනුව වෙනස් විය හැකි අතර පොදුවේ මේවා consanguinous marriages හැටියට සැලකෙනවා.

මෙයින් පරම්පරාවක ප්‍රබල ජාන පිටත නොයවා තව තවත් ප්‍රබල කල හැකිවා සේම රෝගකාරක හෝ නිලීන ජානද සංකේන්ද්‍රනය වීම නිසා පරම්පරාවම නෂ්ට විය හැකියි.
එක් කුස උපන් අය අතර විවාහ සමාජ විරෝධී අසම්මත දෙයක් ලෙස පිලිකෙව් උනත්, මිසරයේ, යුරෝපයේ පවා වංශවත් පවුල්වල මෙය සිදු උනා; රාජ්‍යය, දේපල ආරක්ෂා කර තමන්ටම තියා ගැනීමට. එයින්, නොයෙක් දරුනු ආබාධවලට ලක්ව, එම පවුල් නැතිවී ගියා.

සමහර ප්‍රාථමික ගෝත්‍රවල ‘ගෝත්‍ර ලකුණ’ විදියට සැලකෙන්නේ…

සමහර ප්‍රාථමික ගෝත්‍රවල, ගෝත්‍ර ලකුන (Totem, දැන්නම් පවුලේ නම, වාසගම) හැටියට ඉදිරියට යන්නේ මවු පාර්ශ්වයේ ලකුන. මුල් සමාජ මාතෘ මූලිකව තිබී, පංති බේදය වගේම ලිංග බේදය (gender based stereotypic roles and behaviours) ක්‍රමයෙන් උත්සන්න වෙනකොට පීතෘ ගෝත්‍ර ලකුන, වාසගම පරම්පරාව ඉදිරියට යාම අතින් ජයග්‍රහනය කලා විය හැකියි.

දෙමව්පියන්දරුවන්, එකම පවුලේ දරුවන්දරුවන් අතර ඇතිවිය හැකි ලිංගික සම්බන්ධතාවයන්ට ඉතාම ප්‍රාථමික මිනිසුන් පමනක් නොව, අප අයත් වන ආදි ලෝක වඳුරන් ඇතුළු ප්‍රයිමේටාවන්ම අසම්මත ලෙස බැහැර කරනවා.
1983; කලු ජූලියට පස්සෙ;
නර්මදා….
මම එහෙම ඇයව හඳුන්වන්නම්. නර්මදා කියන්නෙත් ඉන්දියාවේ පූජනීය ගංගාවක්.
මට වයස දොලහමාරයි. ඇයට වසර දහයක්?.. විය යුතුයි.

නර්මදා කියන්නෙත් ගංගාවක්…….

මලගෙදරක්. මිත්තනිය දීර්ඝ කාලයක් රෝගාතුරව සිට නොසිතූ වෙලාවක මියගිහින්.  රටේ නොයෙක් දීපංකරවල විසූ ඇගේ දූ පුතුන්, සිය පවුල් සමඟ මලගෙදරට ලඟාවෙමින් උන්නා.

දුරකථන දුලබ මෙම කාලය ඉතා අමාරුවෙන්, ටෙලිග්රෑම් පිහිටෙන්, එහෙමත් නැතිනම් පනිවුඩකාරයින් නෑදෑයන්ගේ ගෙවල්වලට ගිහිල්ලාම මලගෙවල් දැනුම් දිය යුතු කාලයක්. දේහයේ අවසන් කටයුතු මේ නිසා දවස් දෙකක් තුනක් නෙමේ, දවස් පහක් හයක් ගිහිල්ලා සිදු කරනු ලැබූ කාලවකවනුවක් මේක.
ගෙදර බිත්තිවල ඡායාරූප ගැලවුනා. ලහිලහියේ මකුලු දැල් කැඩෙන්නත්, ගේ දොර අතුපතු ගෑවෙන්නත් උනා. අවට ගෙවල්වලින් ලැබුන ආහාරවලට අමතරව වරින්වර මලගෙදරට එන මහ සෙනඟට සංග්‍රහ කිරීමට පිටත ඇටවුනු මඩුවක නිරන්තරයෙන්ම කෑම පිසුනා.
අපි; ලමයි නෑදෑ ලමයි ගේ පුරා දුවමින්, කාඩ් ක්‍රීඩා කරමින්, දාම් අදිමින්, කැරම් ගසමින් ඉඳහිට වැඩිහිටියන්ගේ උදහසට ලක් වෙමින් හිටියා.

ළමයි ගේ පුරා දුවමින්…… සෙල්ලම් කරමින්….

මම මලගෙදර; සාලයෙන් කාමරවලටත්, කාමරවලින් ඉස්ටෝරු කාමරේටත්, එතනින් කුස්සියටත්, කුස්සියෙන් එලිමහනටත් ආදී වශයෙන් සරමින් හිටියා; ගහකින් ගිලිහී පාවී පතිත වෙන කොලයක් වගේ.

නර්මදා පාසල් ගවුමකින් හිටියේ. බොහෝ දුර ඉඳන් මෙහේ ආපු ගමන්
යන්තමට ඉහලට වක්වූ නැහැයත්, දෙකොපුල් මත ඉදිරියට ආපු ඇගේ කෙහෙරැලි දිහාත් මම බලාගෙන හිටියා.
මා ගැන වගේ වගක් නැතිව අනිත් ලමයින් සමඟ සෙල්ලම් කරමින් තොරතෝංචියක් නැතිව මොනවද තොඳොල් හඬින් කියවමින් සිටියා.
නාඳුනන අය ඉස්සරහ කොහොමටත් කුලෑටි මම, හොඳටම කුලෑටි වෙන්නත්, විනීත වෙන්නත් උනා…. අසලක පහලක ඉන්නා විට; අපි මලගෙදර වාසය කල ඊලඟ දින කිහිපයේදි.
ඉතා පහසුවෙන්ම මරි වැඩ කර වැඩිහිටියන්ගෙන් ගුටි කෑ ඉතිහාසයක් හිමි මම, පුලුවන් තරම් ඉදිරියේදී මගේ මස්සිනාලා සමඟ දබරවලට නොපැටලී ඉන්න වෑයම් කලා.

ඇය ගැන පරිපූර්ණ දෘෂ්‍ය ලොග් පොතක් නඩත්තු කරන තරමට…………. 

දිගටම ගැන දෘෂ්‍ය ලොග් පොතක් පවත්වාගෙන යන පරිද්දෙන්, ඈව නිරීක්ෂනය කරමින්, මිත්තනියගේ භූමදානයත් අහවරව හත් දවසේ දානය දානය ඉවර වන තුරුත් සිටි මුත්, සමඟ වචනයක්වත් කතා කර තිබුනේ නැහැ මම.

මට දැනුනේ මම ඈව දීර්ඝ කාලයක් තිස්සේ දැන සිටි බවක්.
හදිසියේ මුන ගැසෙන නාඳුනන්නියක් කොහොමද එහෙම සමීපයි කියලා දැනෙන්නේ, කතා බහ නොකලත්?
පෙර භවයේ හමුවීම නිසා ? ආත්ම කී දහසක, නාට්‍යයක චරිත මාරු කරන පරිද්දෙන්,  ශරීර කූඩු මාරු කරමින් අපි සසර පුරා ඇවිදලා ඇත්ද? ඒත් මට දැනෙන දේ ඔබට නොදැනෙන්නේ ඇයි?
යන්තම් මතකයක් තිබ්බත්, ආත්මයෙන් ආත්මය, වැසී ගිය ස්තර වගේ; ඔබේ මනසට පෙනෙන්නේ නැහැ; මතක නැහැ.
ශ්‍රී ක්‍රිෂ්නා භගවද් ගීතා  ශ්ලෝක ගායනය ආරම්භයේ දී අර්ජුනට පවසනවා
අර්ජුන, මේ විනාශ කල නොහැකි යෝග ධර්මය, විශ්වය ආරම්භයේදි මම සූර්ය දෙවි විවාසට පැහැදිලි කලා; විවාස මෙය ඉගැන්නුවා මනුෂ්‍ය වර්ගයාගෙ පියා වන මනූට…’

ජන්ම ගණනාවක් ඔබත්, මාත් එකට සැරිසැරූ නමුදු ඔබට ඒ බව අමතකය!

එසේ වන්නේ කොහොමද ක්‍රිෂ්න? හිරු දෙවි ඔබට වඩා වයසයි.’

එවිට ශ්‍රී ක්‍රිෂ්නා පවසනවා, ‘ජන්ම ගනනාවක් තිස්සේ ඔබත් මමත් සැරුවා එකට. මට සියල්ල මතකයි, ඒත් ඔබට මතක නෑ!
(භගවද් ගීතාව; 4 වැනි පරිච්ඡේදය: මේ දල පරිවර්තනය මගේ). 
මම ක්‍රිෂ්නා නම්!
1984-1985
ඇගේ දෙමව්පියෝ මගේ දෙමව්පියන්ට ආරාධනා කලා පාසල් නිවාඩු කාලයේ දින කීපයක් එහි ගත කරන්න. පැය ගනනක ගමනකින් පසුව අප එහි සේන්දු උනා. කිසි අරමුනක් නැතිව වුනත්, මම මොකද්දෝ ඕනෑකමකින්, බලාපොරොත්තු සහගත බවකින් එහි ගියේ.

මතකද සිරි දළදා වැන්දා?

මගේ කුලෑටි බව මාව හොඳටම අන්තරාවර්තී කලා යැයි කියන්න පුළුවන්

සහ අපේ නංගිලා තිස්සේම නිදහසේ; සාලයේ නැත්නම් කෑම කාමරයේ, එලියෙ බංකුව උඩ, පහල ලිඳ ගාව
මම ඉස්සරහ කාමරේ, ඇඳ කොනක ගුලිවෙලා; එලියේ සරන්නට ගොස් ඇය මූනට මුන ගැහුනොත් කොහොමද ඉන්න ඕන, මොනවද කතා කරන්න ඕන වගේ දේට උත්තර නැති නිසා

මම ඇඳක් යට තිබු පරන පත්තර මිටියක් අරගෙන කිහිප දවසක් තිස්සේ අනුලෝම-ප්‍රතිලෝම  වශයෙන් ඒවා කියවන්නත් පුනරීක්ෂනය කරන්නත් උනා, අවට සිදුවුන දේට හොඳින් කන්යොමා ඉන්න අතරම.
මම පුලුවන් තරම් අවධානයට ලක් නොවී ඉඳ, අවධානය දිනාගන්න හදන බව දැනුනා මටම.
දිනක් කට්ටිය කතා උනා, අපි යමුද නුවර දලදා මාලිගාවට?එහෙ ඉඳල මාලිගාවට ඇත්තේ බස් එකෙන් පැය එකහමාරක දුරක්.

බස් එකේ එකට නුවර යන්න…. මල් දෝතට අරගෙන දළදා හාමුදුරුවන්ට පූජා කරන්න….

බස් එකේ එකට යන්න; රටාවට සැකසූ මල් අරගෙන අපි එකට දලදා වඳින්න; ඡායාරූපවල තියෙන පත්තිරිප්පුවට ගිහින් අවට සිරි නරඹන්න; කඩචෝරු කෑම කකා ප්‍රීතියෙන් ආපහු එකට එන්න

ඒත් දෙපාර්ශ්වයේම පියවරු එතැන නොසිටි හෙයින් ඔවුන්ගේ අනුදැන්මකින් තොරව, එවන් ගමනක් යාම නුසුදුසු බව අපගේ මව්වරුන් තීරණය කලා.
මට තවම මතකයි; අපි සිරි දලදා වැන්දේ නෑ. ඊලඟ දවසේ අපි ආපහු කොලඹ එන්නත් නියමිතයි.
එදා දිවා ආහාරයෙන් පසුව අපේක්ෂා බිඳ වැටුනෙක් පරිද්දෙන් මම අසල තැනකින් වෙලට බැස, නියරක් දිගේ ඔහේ ඇවිදගන ගියා. ගොහින්, පන්සලක් අසල තිබූ ගුරු පාරට ගොඩවී, ගම්මානය මැද්දෙන් ගොස් තාර පාරකට වැටුනා
වටපිට දකින කුඩා ගෙවල්, මිදුල්වල සෙල්ලම් කරන ලමුන්, කඩපිල්වල රංචු ගැසී වල්පල් කතා කරන මිනිසුන්, ඉඳහිට තාර පාරේ යන මෝටර් රථ මගේ මනස හරහා ගියා හැඟීමක් ඇති නොකර

බියවී ආපසු හැරුණු මම මතක සලකුණු ඔස්සේ …….

නොදැනීම මහා ටවුමකට බව දැනුනු මම බිය වී ආපසු හැරුනා. කෝකටත් ඔලුවේ තබාගෙන මඟ සලකුනු බලා ගෙන ආපසු ඇගේ ගෙදරට මම යන්න පිටත් වුනා. ගෙදරට ලං වෙද්දී හැමෝම මාව හොයන්න පටන් අරගෙන කලබල වෙලා. මූනුවල චකිතය ඇඳිලා.

නර්මදා ඉස්සරහින්ම.අයියා කොහෙද ගියේ? අපිව හොඳටම බය කලා ඔයා…”
මම අවධානය සොරා ගන්නේ සියුම්ව. I am a passive aggressor…
හින්දු භක්තිකයෝනමස්තේකියා තවකෙකුට ආචාර කරද්දී ඉන් ගම්‍යවන සැබෑම අරුත වන්නේ මම ඔබ තුලත් මා තුලත් වැඩ හිඳින දිව්‍ය ආත්මයට, පරමාත්මයට ගෞරවාචාර කරමි’ කියන එක; මුළු විශ්වය පුරාම පැවතෙන පරමාර්ථය එකිනෙකා තුල සිටින බැවින් මෙසේ කීම ඔවුනට අනුව යුක්ති යුක්තයි.
(Namaste; I honour the place in you in which the entire universe dwells. I honour the place in you that is love, truth, light and peace. When you are in this place in you, and I am in this place in me, WE ARE ONE- පරමාත්මය)

මා යමෙකු වෙත ආකර්ෂණය වන්නේ, මා තුළ වැඩවසන දිව්‍යාත්මය මට පෙන්වන කැඩපතක් බවට ඔහු හෝ ඇය….

මේ අනුවයි, ඔවුන් අන්‍යොන්‍ය ආදරයද අර්ථ දක්වනු ලබන්නෙ.

කෙනෙකු දුටු විට මගේ හිත ඇදී යන්නේ, ආකර්ෂනය වන්නේ මා තුල වැඩ වසන දිව්‍යාත්මය, එම පුද්ගලයා එම අවස්ථාවේ කැඩපතක් වගේ මටම පිලිබිඹු කරන නිසා;  කොටින්ම කීවොත් මම දිහා බලද්දී හැඟෙන ආදරයෙන්, මම දකින්නේ මා තුලම මම දකින්න අපොහොසත් උත්තරීතර, දිව්‍යමය මමමයි.
ආකර්ෂනයේ ඉන්න තාක් කල්, මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම lost in love, නැත්නම් fallen in love.
අනික් අතට මම අඩු ගානේ මේ අවස්ථාවේදී මගේ කුඩුකේඩු, පටු නොවටිනා එදිනෙදා ජීවිතයෙන් මුක්තව ආධ්‍යාත්මිකව ආදරයම වෙනවා.
ඒත් ඊට පස්සෙ….  


%d bloggers like this: