Menu Close

ඉරානය සහ රුසියාව අතර සබඳතාව කෙබඳු ද?

ඇමරිකාව හා ඉරානය අතර ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය එක්ක තුන්වෙනි ලෝක යුද්ධයක් ගැන කතාබහක් ඇතිවුණා. ඊට හේතු වුණේ රුසියාව ඉරානය පැත්ත අරන් යුද්ධයට මැදිහත් වෙයි කියන අදහස. මගේ මතය ඊට විරුද්ධ වුණත්, ඇතැමුන් එවන් මතයක් දැරුවා.

රුසියානු රජයට සමීපව කටයුතු කරන මාධ්‍ය ආයතනයක් ඒ ගැන ලිපියක් පළ කර තිබෙනව. එහි අනුවාදයක් තමයි මම පහළින් පළ කරන්නෙ. මීට අමතරව, ළඟදි වෙච්ච සිද්ධිවලට පුටින් දෙපාර්ශවය වෙතම දොස් පැවරූ බවත් මතක් කරගන්න.

රුසියාව ඉරානයේ සන්ධානගත මිත්‍රයෙක් ද?

(අනුවාදකගේ සටහන – මෙහි සන්ධානගත මිත්‍රයා යනු ally යන අර්ථය ය. Friend යන අර්ථය නොවේ)

ඉරානය සහ රුසියාව අතර මතුව ඇති පවතින අර්බුදය පසුබිමෙහි මේ ප්‍රශ්නය වැදගත් එකකි.

අලුත් අවුරුද්දක් පටන් ගන්නට ඇති එක් “හොඳ ම” ක්‍රමයක් වන්නේ ලෝක විනාශය පිළිබඳ සාකච්ඡා කිරීම යි. එසේ නම්, 2020 ඇරඹුණේ ම විශාල පිපිරීමක් සමග යි. ඉරාන ජෙනරාල් කාසෙම් සුලෙයිමානි ඇමරිකන් ප්‍රහාරයකින් මියයාමත් සමග අන්තර්ජාලය පුරා හුන්වන ලෝක යුද්ධයක් පිළිබඳ කතා පැතිරෙන්නට වුණා. මෙය බොහෝ විටම ඉරානය හා ඇමරිකාව මූලික කරගත් සාකච්ඡාවක් වුවද රුසියාව පිළිබඳ ද (ඇතැම් විට හාස්‍යයට හෝ) සඳහන් වුණා.

උදාහරණයක් ලෙස, හිටපු කාමෝද්දීපණ චිත්‍රපට නිළි මියා කලීෆා සිය ට්විටර් ගිණුමෙහි රුසියානු රාජ්‍ය ලාංඡනය සහිත ටී-ෂර්ට් එකක් ඇඳගෙන ගත් ඡායාරූපයක් පළ කළා ය. එහි ඈ මෙසේ ලියා තිබුණි. “ඇමරිකාව ඉරානය එක්ක හැප්පෙනව. ඉරානය රුසියාවේ මිත්‍රයෙක්. වැඩි පරිස්සමට මම…”

කදිම කතාවක් මියා!

එහෙත්, ඇත්තෙන්ම රුසියාව යි ඉරානය යි “මිත්‍රයො” ද?

1. රුසියාව හා ඉරානය සිරියාවෙදි සහයෝගයෙන් කටයුතු කරනවා.

ඇමරිකාව විසින් ත්‍රස්තවාදියකු ද ඉරානය හා ඊට සහය දක්වන ෂියා මිලිෂියා කණ්ඩායම් විසින් වීරයකු ද ලෙස සලකන ලද කාසෙම් සුලෙයිමානි සිරියානු යුද්ධයෙදී ඉරානය සමග ළඟින් ම කටයුතු කළා. මොස්කව් මෙන්ම ටෙහෙරානය ද මෙහිදී සහය දක්වන්නේ සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් වෙතයි. එමෙන්ම රුසියාව හා ඉරානය ඉස්ලාමීය ත්‍රස්තවාදීන් හා බටහිරට හිතවත් සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට විරුද්ධ වනවා.

රුසියාව් ගුවන් ප්‍රහාර සහ සීමිත ගොඩබිම් ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය යොමු කරද්දී ඉරානය සිරියාවේ භූමියේ විශාල සේනාංක පාලනය කරනවා. ඇමරිකානු ඇස්තමේන්තුවකට අනුව 2018 වනවිට ඉරානය විසින් මෙහෙයවනු ලබන සංවිධානවල (proxies) අවිගත් පිරිස් 12,500 ක් පමණ සිරියානු යුද්ධයට සම්බන්ධ ව සිටියා. රුසියාවේ හා ඉරානයේ සහයෙන් 2015 සිට 2019 වනවිට සිරියාවේ බොහෝ ප්‍රදේශ නැවත සිය පාලනයට ගන්නට අසාද් රජය සමත් වුණා.

ඉතින්, සිරියාව සම්බන්ධයෙන් නම් රුසියාවේ හා ඉරානයේ අවශ්‍යතා එකිනෙක සමපාත වනවා. දෙරටම සිරියාව ඉතා වටිනා සහචරයකු (valuable partner) යයි සළකනවා. “සිරියානු යුද්ධයෙන් පසු එහි නැවත ගොඩනැගීම පිළිබඳ අවධානය යොමුකරන රටවල් දෙක රුසියාව හා ඉරානය යි. එහෙත් ඒ දෙරටටම තනිව එය කරන්න බැහැ. මේ දෙරට සිරියාවේ කරන කටයුතු දෙරටටම වාසිදායක වන ඒකාබද්ධතාවක්” රුසියානු අන්තර්ජාතික සබඳතා කවුන්සිලයේ පෙත්‍ර කොර්තුනොෆ් කියා සිටිනවා.

2. රුසියාව හා ඉරානය මැදපෙරදිග පිළිබඳ සිටින්නේ ස්ථාවරයන් දෙකකයි

කෙසේ වෙතත්, දිගු කාලීන උපක්‍රම පිළිබඳ සාකච්ඡා කරතොත් පෙනී යන්නේ රුසියාව හා ඉරානය මැදපෙරදිග සම්බන්ධයෙන් වෙනස් ඉලක්ක කරා ගමන් කරන බවයි.

“රුසියානු රජයේ අරමුණ වන්නේ කලාප්‍යෙන් බාහිර සිට ක්‍රියාත්මක වන මැදිහත්කරුවකුගේ භූමිකාවෙහි කටයුතු කිරීම සඳහා කලාපයේ බල සංතුලනය පවත්වා ගැනීමයි” ඉරානය පිළිබඳ විශේෂඥයකු වන නිකිතා ස්මගින්, කාර්නගී මොස්කව් මධ්‍යස්ථානය වෙනුවෙන් ලියූ ලිපියක සඳහන් කළා. ඔහු වැඩි දුරටත් සඳහන් කරන පරිදි: “ඉරානය, බොහෝ ආකාරවලින්, බලන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවක් දෙසයි. එරටට අවශ්‍ය මැදපෙරදිග බලවතා වීමයි. සිය ආරක්ෂාව සලසාගත හැකි එකම ක්‍රමය එය බව ඉරානය විශ්වාස කරනවා.”

ස්මගින් පෙන්වා දෙන්නේ එවන් එළඹුමක් මොස්කව් රජයෙහි සතුටට හේතු නොවන බවයි. රුසියාව ප්‍රිය කරන්නේ, කිසිදු එක් බලවතෙකු නොමැති, පාලනයන් සහ සංතුලනයන් (checks and balances) සහිත ක්‍රමයක් කෙරෙහියි. ‍රුසියාව, ඉරානය හා සිරියාව පමණක් නොව ඊශ්‍රායලය, තුර්කිය හා මෑතක සිට සෞදි අරාබිය ද සමග හොඳ සබඳතා පවත්වනවා. මේ රටවල් තුනම කලක් තිස්සේ ඉරානය සමග ගැටෙන රටවල්. මේ අතර ඉරානය, සිරියාවේදී අසාද් හා විපක්ෂය අතර එකඟතාවක් ඇතිකරගැනීම මගින් දිගු කාලීන දේශපාලන විසඳුමක් කරා යාම පිණිස රුසියාව විසින් කරන උත්සාහයන්ට බාධා කරනවා. මෙවන් ගැටළු මෑතකදී විසඳෙන හැඩක් නැහැ.

3. දෙරටෙහි ආර්ථික සබඳතා දුර්වලයි

“අප දෙරටෙහි සබඳතාවල දුර්වල තැන ආර්ථිකය යි”. 2013 සිට 2019 දක්වා රුසියාවෙහි ඉරාන තානාපති වූ මෙහ්දි සනායෙයි මෙසේ කියා සිටිනවා. එක් හේතුවක් වන්නේ දෙරටම බලශක්තිය අපනයනය කරන රටවල් වීමයි. එහෙයින් එකිනෙකා අතර වෙළෙඳාම පුළුල් කිරීමට අපහසුයි.

ඇත්තෙන්ම දෙරට අතර වෙළෙඳාම තිබෙන්නේ ඉතා අවම තත්ත්වයකයි. 2018 වී එය ඩොලර් බිලියන 1.7 ක් වුණා. එය රුසියාවේ විදේශ වෙළෙඳ පිරිවැටුමෙන් සියයට 1 කට ද අඩු ප්‍රමාණයක්. යටිතල පහසුකම් හා වෙළෙඳාම පුළුල් කිරීමේ ව්‍යාපෘති පිළිබඳ අවධානය යොමු ව තිබෙනවා. ඉන්දියන් සාගරයේ සිට බෝල්ටික් මුහුදට ගොඩබිම් මාර්ගයක් විවර කරගැනීමේ “උතුරු-දකුණු” ව්‍යාපෘතිය ඉන් එකක්. ඉරානය හා රුසියාව ප්‍රමුඛ යුරේසියානු ආර්ථික එකමුතුවක නිදහස් වෙළෙඳ කලාපයක යෝජනාව තවත් එකක්. එහෙත් මේවා නුදුරේදී ඉටු වන බවක් පෙනෙන්නේ නැහැ. ශක්තිමත් ආර්ථික සබඳතා නොමැතිව සන්ධානයකට පවතින්න අමාරුයි.

4. ඉතිහාසයේ දෙරට අතර සබඳතා නරක අතට ගිය අවස්ථා

“19 වන සහ 20 වන සියවස්වල රුසියාව සහ සෝවියට් දේශය ඉරානයේ ස්වෛරීභාවය නොතැකූ අවස්ථා ගණනාවක් වුණා” නිකිතා ස්මගින් මතක් කර දෙනවා. 1911 ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විප්ලවය අවස්ථාවේ සිය බලපෑම් කලාපය ආරක්ෂා කරගැනීමට උත්සාහ කළ රුසියානු අධිරාජ්‍යය ඉරානයට හමුදා එව්වා පමණක් නොව පාර්ලිමේන්තුවට කාලතුවක්කු ප්‍රහාර ද එල්ල කළා.

දෙවන ලෝක යුද්ධය අතරතුර, 1941 දී, සෝවියට් දේශය හා බ්‍රිතාන්‍යය ඉරානයට හමුදා එවා එය සිය පාලනයට යටත් කරගත්තේ ඉරානය ජර්මන් රූකඩයක් වනු ඇතැයි බයෙන්. යුද්ධය නිම වූ පසු, ස්ටාලින් ඉරානයෙන් කොටසක් සෝවියට්කරණය කරන්නත් උත්සාහ කළා. නමුත් 1946 දි සෝවියට් හමුදාවන්ට ජාත්‍යන්තර බලපෑම මත ඉවත් ව යන්න සිදු වුණා.

මෙවන් සිද්ධීන්වලින් රජයන් දෙකක් අතර ගනුදෙනුවලට බාධා නොවෙන්න පුළුවන්. ඒත් ජනතාව අතර ඇති අවිශ්වාසය එහෙම නැති වෙන්නේ නැහැ. ඊට උදාහරණයක් 2016 දි අප දුටුවා. සිරියාවේ ISIS ත්‍රස්තයින්ට පහර දීම සඳහා රුසියානුවන්ට ඉරාන හමුදා කඳවුරක් භාවිතා කිරීමට අවසර දීමට ඉරාන රජය ක්‍රියා කළා. එහෙත් මහජන විරෝධය හමුවේ ඔවුන්ට එම තීරණය ආපහු හරවන්න සිදු වුණා.

5. මේ දෙරට සගයින්, සන්ධානගත මිතුරන් නොවේ

ඉහත කරුණුවලින් පෙනී යන්නේ මේ දෙරට එක්ව කටයුතු නොකරන බවක් නෙවෙයි. මෑත කාලීනව ඔවුන් අතර සබඳතා පෙරට වඩා සමීප වී තිබ්නවා. (ඉරාන හා රුසියන් ජනාධිපතිවරු 17 වරක් එකිනෙකා හමු වී තිබෙනවා). එහෙත් ඔවුන් අතර ඇති සබඳතාව දැකිය හැක්කේ උපක්‍රමික මිත්‍ර සන්ධානයක් මෙන් නොව සගයින් දෙදෙනකු අතර ඇති සබඳතාවක් ලෙසයි.

අල්යෙග් යෙගොරොෆ්
(https://www.rbth.com/lifestyle/331528-russia-iran-ally)

%d bloggers like this: