Menu Close

රජයේ කන්තෝරුවකින් වැඩක් කරගැනීම

අයිඩී කාර්ඩ් එක පොට්ට පාට වී මැකී ගියේ අනාදිමත් කාලයකට පෙර නිසාත් , පාස්පෝර්ට් එකත් ඩ්‍රයිවින් ලයිසමත් දෙකම එක වර කල් ඉකුත් වීම නිසාත්, මා මේ රටේ ජීවත් වෙනවා යයි කීමට කිසිදු ලිඛිත සාක්ෂියක් නොමැති citizen X කෙනෙකු වීමට නියමිත වූ බැවින් මට පාස්පෝර්ට් එකත් , පාස්පෝර්ට් එක හදාගැනීමට අයිඩී එක අවශ්‍ය නිසා අයිඩී එකත් , තව දුරටත් තාත්තාට හෝ නංගීට කන්නලව් කර ලිෆ්ට් ඉල්ලා ගැනීමට බැරි නිසා ඩ්‍රයිවින් ලයිසමත් යන තුනම , එක වර සාදා ගැනීමට අවශ්‍ය වීමේ මහාපල මහානිසංස දෙන පාපකරුමයට නොබෝදා කර ගැසීමට මට සිදු වුනා . එම කාර්ය මේ පෝස්ට් එකේ පලවෙනි වාක්‍ය වගේ ඉතා දිගු වූ , කැත , මෙලෝ රහක් නැති ක්‍රියාවලියක් වූ බව ශ්‍රී ලාංකික ඔබට අමුතුවෙන් කිව යුතු නෑ. “රජයේ කන්තෝරුවකින් වැඩක් කර ගන්නවාට වඩා සැපයි කොහු බ්‍රෂ් එකකින් දත් මදින එක” වැනි කතා අපිට නිතර දෙවේලේ සමාජයෙන් ඇහෙන්නේ ඒ නිසායි. නමුත් මේ කාලකන්ණි ක්‍රියාවලිය තුල රස්තියාදු වී මේ ටිකේ මම ඉගෙන ගත්තු දේවල් ටිකක් තියෙනවා. ඒ ටික මෙතන කියන්නම් කාට හරි ප්‍රයෝජනවත් වෙයි යයි හිතලා..

– ඇයි මෙච්චර කට්ට ?
රාජ්‍ය යාන්ත්‍රණය මෙච්චර චොර වෙන්න හේතු ගොඩක් ඇති. ඒ අතර අපිට මුකුත් කරගන්න බැරි “දූෂණය” වගේ සාධකත් ගොඩක් තැන් වල තියෙනවා. හැබැයි රජයේ තැනකින් වැඩක් කරගන්න ගියාම අපිට අත දාන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. ඒ තමයි “තොරතුරු” ( information ) සහ “ක්‍රියාවලිය” (process ) එක.

සීයට සීයක්ම අපිට මේ දෙක පාලනය කරන්න බෑ ඒක හරි , විශේෂයෙන්ම process එක. හැබැයි සෙල්ලම කොහොමද යන්නේ කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් නම් , ඔබට වඩා හොඳින් ඒක සෙල්ලම් කරන්න පුළුවන් වෙයි. මේක හරියට කාර්ඩ් ක්‍රීඩාවක් ගහනවා වගේ හිතන්න.

– තොරතුරු ( information )
රජයේ කන්තෝරු වල වැඩ මෙච්චර චෝර වෙන්න හේතුවක් තමයි මේ තොරතුරු නැත්තම් information හරියට කළමනාකරණය නොවීම. ඔබ රජයේ කන්තොරුවටක ගිහිං විනාඩි පහක් බලන් හිටියොත් , ඔබට මීටර් වෙයි හරියට අවශ්‍ය ඩොකියුමන්ට්ස් නැති නිසා මිනිස්සු කීයක් ආපහු හැරිලා යනවද කියලා. ඇත්තටම මේ ප්‍රශ්නේ රජයේ විතරක් නෙමෙයි , ලංකාව පුරාවටම තියෙන ප්‍රශ්නයක්. මහා ලොකුවට ඉස්කෝල වල IT ඉගැන්නුවට වැඩක් නෑ අපේ මිනිස්සුන්ට හරියට තොරතුරු සන්නිවේදනය කරගන්න , තව මිනිහෙක්ට ඒ තොරතුරු කියාගන්න තේරෙන්නේ නැත්තම්. පාරක් ඇහුවත් “එහෙක්ට ගිහිං , මෙහෙක්ට හැරෙන්න” “මේ පාරේ ගොඩා..ක් දුර යනකොට වමට පාරක් තියෙනවා” වගේ මග සලකුණු කියන එවුන් එක්ක ඉතින් ආයේ තව මොන කතාද 😋

මේ තොරතුරු දුර්කළමනාකරණයේ පැති දෙකක් තියෙනවා.

1. මිනිස්සු
මිනිස්සු විදියට අපි දැනගන්න ඕනේ අපි තැනකට වැඩක් කරගන්න යද්දී , ඒ වැඩේ කරගන්න ටක්කෙටම ඕනේ දේවල් සියල්ල සූදානම් කරගෙන යන්න. අපි අවශ්‍ය දේවල් හරියට අරගෙන නොගියොත් අපි අමාරුවෙන් නිවාඩුවක් දාගෙන වෙලාව නාස්ති කරගෙන ගිය ගමන තේරුමක් නැති වෙනවා.

කොහොමද මේ තොරතුරු දැනගන්නේ?
අදාළ රාජ්‍ය ආයතනයේ වෙබ් අඩවිය පරීක්ෂා කිරීම හොඳ පියවරක්. ගොඩක් වෙලාවට ඔබ පුරවාගෙන එන්න ඕනේ පෝරම එහෙම ඔවුන්ගේ වෙබ් අඩවි වල තියෙනවා. එතකොට ඔබට පුළුවන් ඒවා ගෙදරින්ම පුරෝගෙන , අවශ්‍ය ලියකියවිලි අරගෙන ඇවිත් ඉක්මනට වැඩේ කරගන්න.

හැබැයි පුතෝ , මේ වෙබ් අඩවි වල තියෙන විස්තර හැම තිස්සෙම විශ්වාස කරන්න බෑ! අන්න එතනින් තමයි අපි මේ අවුලේ දෙවෙනි පාර්ශවයට යන්නේ

2. රාජ්‍ය අංශ
රාජ්‍ය අංශවල වෙබ් අඩවි ගොඩක් වෙලාවට අප්ඩේට් නෑ. තියෙන්නේ පරණ තොරතුරු. මමත් එක සයිට් එකකින් බලාගෙන පෝරමයක් පුරෝගෙන ගියා , ගියාම මුන් කියපු දැන් තියෙන්නේ අලුත් එකක් ලු. ඔය වගේ ලබ්බේ වැඩ නම් රාජ්‍ය අංශයේ සුලභයි. ඒ තියා අපි රජයේ කන්තෝරුවකට ගිහිං තොරතුරක් ඇහුවොත් අපිට ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ අසම්පූර්ණ හෝ ගොබ්බ උපදෙසක් ( හැබැයි මම කිව්වා වෙග් ඕක ලංකාවේම අවුලක් , පාර කියනවා වගේ තමයි ).

මේ තොරතුරු හරියට හුවමාරු නොවීම නිසා මිනිස්සුන්ගෙත් රාජ්‍ය අංශයේත් දෙකේම කාලය ගොඩක් නාස්ති වෙනවා. ඉතින් මගේ මතයේ හැටියට නම් මේ කාලකන්නි යාන්ත්‍රණය ගොඩ දාන්න නම් තොරතුරු හුවමාරුව ගැන මොනවා හරි කරන්න වෙනවා වහාම !

– දැන් ඉතින් අපිට මොකද කරන්න පුළුවන් තොරතුරු අවුල ගැන ?
මම කිව්වා නේ මුලින්ම , මම මේ පෝස්ට් එක දාන්නේ ක්‍රමය විවේචනය කරන්න නෙමෙයි මගේ අත්දැකීමෙන් අපිට ගේම ගොඩ දාගන්න පුළුවන් තැන් කියන්න කියලා. ඉතින් මේ තොරතුරු අවුලට මට හම්බ වෙච්ච හොඳම පිළියම තමයි..

1919 රාජ්‍ය තොරතුරු හොට්ලයින් එක !!

මම ගොඩක් කන්තෝරු වලට යන්න කලින් මෙයාලගෙන් කතා කරලා විස්තර අහගෙන ගියේ. ඇත්තටම ප්‍රසංශනීය සේවයක් මෙයාලා මට නම් ලබා දුන්නා. අපි වැඩකට යනකොට අරන් යන්න ඕනේ ඩොකියුමන්ට්ස් මොනවද , ප්‍රොසෙස් එක මොන වගේද වගේ දේවල් ඔවුන් ඉතාම සුහදශීලිව කියල දුන්නා. ඒක නිසා , මම රෙකමන්ඩ් කරනවා ඔබ කොහේ හරි යන්න කලින් 1919 අමතලා විස්තර අහගන්න ලෙසට. 1919ට මල් මිටක් දෙන්න පුළුවන් සෝ ෆාර්.

– ක්‍රියාවලිය ( process )

අපිට ටිකක් හරි ගේමක් ගහන්න පුළුවන් අනිත් තැන තමයි මේ අපේ වැඩේ වෙන ක්‍රියාවලිය තේරුම් ගන්න එක. ඒ කිව්වේ අපේ වැඩේ වෙන්න නම් තැනින් තැනට අපේ ෆයිල් එක යන්නේ කොහොමද , ඒ ඒ වැඩේ කරන්න ඕනේ කව්ද කොහොමද වගේ දේවල් තේරුම් ගන්න එක.

කලින් තොරතුරු පොයින්ට් එකේ වගේම මේකෙත් මිනිස්සු සහ රාජ්‍ය අංශ යන දෙගොල්ලොම වැරදි කරනවා.

ඔබ රජයේ කන්තෝරුවක විනාඩි පහක් හිටියොත් ඔබ දකියි පිස්සෝ වගේ ගේම ඉල්ලන සමහරක් මිනිස්සු. නමුත් ඔවුන් තේරුම් ගන්නේ නෑ මේ වැඩේ වෙන්නේ නැත්තේ මේ ප්‍රොසෙස් එකේ ස්වභාවය නිසා කියලා. ඒ වෙලාවට ගේම ඉල්ලලා වැඩක් නෑ. හැබැයි ගේම ඉල්ලන්න ඕනේ වෙලාවල් තියෙනවා.

සමහර රාජ්‍ය නිලධාරියෝ උදාහරනෙකට , උන්ගේ ජොබ් එක සමහර වෙලාවට මොකක් හරි ලිපි ලේඛනයක් එක තැනකින් අරන් එන එක , හැබැයි උන් ඒක ඒ වෙලාවේ අරන් එන්න කම්මැලිකමට අපිට පස්සේ එන්න කියලා කියනවා. ඔය වගේ වෙලාවට ගේම ඉල්ලුවට කමක් නෑ. හැබැයි එක පාරටම “අම්මට හුක්” කියාගෙන යන්නේ නැතුව ඒ වෙලාවට උන්ගෙන් අහන්න ඕනේ ඉතාම සන්සුන්ව “ඇයි අතනින් මේක ගේන්න බැරි” කියලා. එතකොට පෙළක් විට ඔවුන්ටම තේරෙනවා ඔබ යමක් කමක් දන්නා එකෙක් බව , එතකොට ඔබට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්න පුළුවන්. එහෙම වුණේ නැත්තම් එතනට අවශ්‍ය පීඩනය යොදවන්න හරි ඔබට එතන වෙන වැඩේ ගැන පොඩි දැනුමක් තිබීම අවශ්‍යයි. පාරක් දෙන්නත් නිලය දැනගන්න එපැයි.

ඒකයි මම කිව්වේ මේ වැඩේ කාර්ඩ් ක්‍රීඩාවක් කියලා හිතන්න , ඔබට ඇඟිලි ගහන්න පුළුවන් තැන් වලදී ඔබ කතා කරන්න , හැබැයි එහෙම කරන්න නම් වෙන වැඩේ තේරුම් ගන්න උත්සහ කරන්න.

ඉතින් ඔය දෙක තමයි මට හිතෙන විදියට මේ ගේමේ ප්‍රධානම පොයින්ට්ස් දෙක අපිට දෙයක් කරන්න පුළුවන්. අනිත් ලොකු ලොකු දේවල් ඉතින් අපේ පාලනයෙන් තොරයි නේ. මේ ඇරෙන්න තව පොඩි දේවල් ටිකක් කියන්නම්.

– පුක දීමයි මනුස්සයෙක් වගේ කතා කිරීමයි වෙනස්
අපි තැනකට වැඩක් කරගන්න ගියාම අපි කතා කරන විදිය අපේ වැඩේ ඉවර වෙන විදිහ ගැන ටිකක් බලපානවා. ඔබ දැකලා ඇති පෙළක් එවුන් හෙන ගේමෙන් මයි කතා කරන්නේ නිලධාරීන්ට, පෙළක් අය පුකමයි දෙන්නේ. මම නම් කියන්නේ අපි කිසි විටකත් කිසිම රජයේ නිලධාරියෙකුට පුක දිය යුතු නෑ. මොකෝ ඔවුන් වගේම අපිත් නම්බුකාර මිනිස්සු. නමුත් අපි දැනගන්න ඕනේ මිනිහෙක්ට නම්බු දීලා කතා කරන්න. මම සාමාන්‍යයෙන් ඕනේ මිනිහෙක්ට “සර්” “මහත්තයා” “මිස්” කියලා කතා කරනවා. හැබැයි පුතෝ අපිට ලොකුව දෙන්න ආවොත් නම් ඒ කටින්ම ධර්ම දේශනාව පටන් ගන්නත් මම පසු බට වෙන්නේ නෑ. ඔබ මනුස්සකමට කෙලින් කතා කරන්න , මෘදු වෙන්න හැබැයි පොන්නයෙක් වෙන්න එපා.

– ගරු කල යුතු අයට ගරු කරන්න
අපි නිතර දෙවේලේ රාජ්‍ය අංශයට බැනුම්මයි දෙන්නේ. නමුත් හැම කන්තෝරුවකම වගේ නිලධාරීන් කොටසක් හරි ඉන්නවා ඉතාමත්ම මහන්සියෙන් අපිට සේවය දෙන්න වැඩ කරන. ඒ වගේ මනුස්සයෙක් අපිට වැඩක් කරලා දුන්නට පස්සේ ඒ මිනිහට කට ඇරලා හිනා වෙලා “තැන්ක් යු සර් / මිස් ” කියන එක මගේ නම් පුරුද්දක්. කොල්ලෙක් වගේ නම් පිටට තට්ටුවක් දාලා තැන්ක්ස් මචෝ කියලා කියනවා . කෙල්ලෙක් නම් පිටට තට්ටුවක් දාන්නේ නෑ ආස වුණත් ඉතින් ගුටි කන්න බෑ නේ 😜. 

අමතක කරන්න එපා දවස අන්තිමට වීදුරුවෙන් එහා පැත්තේ ඉන්නෙත් අපි වගේම මිනිහෙක් බව. ගරු කරන්න ඕනේ අයට ගරු කරන එක , ස්තුති කරන එක හොඳ දෙයක් .

ඉතින් ඔන්න ඕක තමයි පහු ගිය ටිකේ කටු කාලා මම ඉගෙන ගත්තේ. කට හරි ප්‍රයෝජනයක් වේ යයි හිතනවා මේ ටික.



%d bloggers like this: