Menu Close

මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!

ඕනෑම සමාජයක අම්මයි තාත්තයි නැති ළමයි සම්බන්ධයෙන්, අනාථ ළමයි සම්බන්ධයෙන්, ඒ සමාජයේ සැලකිල්ලේ ප්‍රමාණයෙන් ඒ සමාජයේ ශීලාචාර තත්ත්වයේ තරම පෙන්වනවා. ඇත්ත වශයෙන්ම ලංකාවේ අම්මයි තාත්තයි නැති, වෙන කවුරුවත්ම නැති, ළමයි රජයේ අනාථ නිවාස වල ඉන්නවා. එහෙම අනාථ නිවාස විශාල ගාණක් තිබෙනවා. 

ලංකාව ඒ ළමයෙකුට දවසකට කරන වියදම රුපියල් විස්සයි. සියළු දේ සඳහා. කන්න බොන්න ඇඳුම් පැළඳුම් සඳහා, සියලු දේ සඳහා, රුපියල් විස්සක වියදමක් කරන්නේ. එතකොට තේරුම් ගන්න පුළුවන්.

ලංකාවේ මොන තරම්…කියන්නේ රුපියල් කෝටි ගණන් නොයෙකුත් දේවල් වලට වියදම් කරනවා. ඒත් අත්‍යාවශ්‍ය, අත්‍යාවශ්‍යයෙන්ම අපි බලාගත යුතු පිරිස, දෙමවුපියන් නැති දරුවෝ අපි බලාගන්නේ නැහැ කියන එක. 

ඒ දරුවෝ අපි නම්බුකාර හිඟන්නෝ බවට පත් කරලා. කියන්නේ ඒ ගොල්ලන්ව ඇත්තටම හිඟා කන්න පුරුදු කරනවා. මිනිස්සු ආපුවහම කෑම බීම අරගෙන, වැඳලා, නටලා, ඒ ගොල්ලන්ට ඕනෑ විදිහට. හරිම ඛේදජනකයි.

ඉහත කොටස උපුටා ගත්තේ රන්ජන් හඬපට හා අදාළව පසුගිය දිනක වික්ටර් අයිවන් විසින් උඩුගත කර තිබෙන ප්‍රකාශයකින්.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ 2013 වාර්තාවකට අනුව ඒ වසරේදී ලංකාවේ ළමාරක්ෂක ආයතන 414ක ළමුන් 14,179 දෙනෙකු රැඳී සිටියා. මේ ආයතන 414න් රාජ්‍ය ආයතන ප්‍රමාණය 37ක් පමණයි. ආයතන බහුතරයක් පරිපාලනය කෙරුණේ දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, ආගමික සංවිධාන ඇතුළු වෙනත් ආයතන හෝ පුද්ගලයින් විසිනුයි.

මෙහිදී, ළමාරක්ෂක ආයතන ලෙස අර්ථ දක්වා තිබෙන්නේ කවර හෝ හේතුවක් මත බාලවයස්කාර දරුවන් නේවාසිකව රඳවා ගන්නා ආයතනයි. උදාහරණයක් ලෙස මේ ආයතන අතරින් 102ක් ආගමික ආයතන. ක්‍රිස්තියානි හෝ කතෝලික සෙමනේරි 66ක්, බෞද්ධ පිරිවෙන් 21ක්, හින්දු අරනේරි පාසැල් 13ක් හා ඉස්ලාම් මද්‍රසා පාසැල් 2ක් මේ ගණනට ඇතුළත් වුනා. රාජ්‍ය රාජ්‍ය ආයතන 37ත් විවිධ වර්ගයේ ආයතන. උදාහරණයක් ලෙස විවිධ වැරදි වලට වරදකරුවන් වූ හෝ චෝදනා ලැබූ බාලවයස්කාර දරුවන් රඳවා තබා ගන්නා හා පුනරුත්ථාපනය කෙරෙන ස්ථාන මේ ගණනට ඇතුළත්.

පසුගිය අයවැයෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 373.5ක්. ඒ මුදලින් රුපියල් මිලියන 260කට වැඩි මුදලක් වැය වන්නේ එහි සේවය කරන 449 දෙනෙකුගේ වැටුප් හා අනෙකුත් දීමනා වෙනුවෙන්. ඉතිරි මුදලින් විදුලි බිල්, ඉන්ධන වියදම් ආදිය ඉවත් කළ විට වික්ටර් අයිවන් කියන, එක ළමයෙකුට දවසකට වියදම් කරන්නේ රුපියල් විස්සයි කියන එක නිවැරදි වෙන්න පුළුවන්.

“In comparison with the national budgetary expenditure in the health, education and social services sectors, the child protection sector occupies a low priority area with a 0.5% in the total national expenditure for children (Budget for Children).”

2017 වසරේ “සේව් ද චිල්රන්” වාර්තාවකද සඳහන් කර ඇති පරිදි, පොදුවේ සෞඛ්‍යය හා අධ්‍යාපනය සුබසාධනය කිරීමට සාපේක්ෂව ළමුන් ඉලක්ක කරගත්, විශේෂයෙන්ම විශේෂ සැලකිලි හිමි විය යුතු ළමුන් ඉලක්ක කරගත්, වියදම් කෙරෙහි යොමු වන්නේ අඩු අවධානයක්.

හේතුව පැහැදිලියි. දෙමවුපියන්ගේ රැකවරණය අහිමි දරුවෙකුට කිසිදු දේශපාලන බලයක් නැහැ. ඒ නිසා, ඒ අය වෙනුවෙන් පෙනී සිටීමෙන් කාටවත් දේශපාලන වාසියක් ලැබෙන්නේ නැහැ. නමුත්, ලංකාවේ පොදු සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් වල ප්‍රතිලාභ ලබන්නේ රටේ දේශපාලන බලය හිමි කණ්ඩායමයි.

“මේක ඇත්ත ඉකොනා… ප්‍රා ලේ කාර්යාලයක ඉන්නකොට ඔයවගේ දේ කොතෙකුත් අනාවරණය වෙනවා. ජීවවිද්‍යාත්මක පියා ම, මවත් දැනුවත්ව දියණිය කාලයක් තිස්සේ දූෂණය කිරීම වැනි දේ පවා.”

පසුගිය ලිපියට ප්‍රතිචාරයක් දමමින් ඩ්‍රැකී ලියා තිබෙනවා. තමන්ගේ නිවසේදී තමන්ගේ ජීව විද්‍යාත්මක දෙමවුපියන් අතින්ම හෝ ඔවුන්ගේ අනුදැනුම ඇතිව දරුවෙකු ලිංගික හෝ වෙනත් අතවරයකට ලක් වන විට ඒ දරුවා වැටෙන්නේ වැටෙන්න පුළුවන් පහළම තැනකටයි. එවැනි දරුවෙකුට හිතෙන්නේ ගෙදර මිනිස්සු සලකන්නේ මේ විදිහටනම් පිට මිනිස්සු ගැන හිතන එකවත් තේරුමක් නැහැ කියලයි.

“මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!”

මේ කතාව මා කුඩා කාලයේදී දෙමවුපියන් නුරුස්සන දෙයක් කළ විට නිවසේදී බොහෝ වර අසා තිබෙන කතාවක්. සමහර විට කුඩා කාලයේ මේ වගේ කතා අහපු තවත් අය ඇති.

ඔය කියන තැන ඉහත සඳහන් ළමාරක්ෂක ආයතන අතර තිබෙන, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියාමනයට හා/හෝ පරිපාලනයට යටත් ආයතනයක්. මා හිතන්නේ කාලයක් තිස්සේ රෝමානු කතෝලික පල්ලිය විසින් පවත්වා ගෙන ආ ආයතනයක්. “මූව මග්ගොන යවන්නයි තියෙන්නේ!” කියා කුඩා දරුවෙකුට ගෙදරදී කියන කොට දරුවාගේ මනසේ මැවෙන්නේ ගෙදර දඬුවම් දී හදා ගන්න අමාරු දරුවෙකුට ලොකු දඬුවම් දී කොහොම හරි හදාගන්නා අපායක් වගේ තැනක් ගැනයි. මේ කතාව නිතර ඇහෙන කොට දරුවෙකු හිතන්නේ තිබෙන හොඳම විකල්පය වන්නේ කවර අතවර විඳිමින් වුවත් ගෙදරම ඉන්න එක බවයි. සුමීර ගුණසේකරගේ අත්දැකීම් අනුවනම් එහෙම හිතන එකේ වැරැද්දකුත් නැහැ.

දරුවෙකුට කවර හෝ අතවරයක් වෙන විට එයට හැකි ආකාරයෙන් මැදිහත්වීම ශීලාචාර වැඩිහිටියෙකුගේ යුතුකමක්. නමුත්, බොහෝ විට මෙවැනි අතවරයක් සිදුවන බව දකින වැඩිහිටියෙකු විසින් ගන්නේ අතවරය කරන වැඩිහිටියාගේ පැත්තයි. පැමිණිල්ලක් කළ විට වැඩිහිටියාට මුහුණ දෙන්න සිදු වන තත්ත්වය ගැන සානුකම්පිකව බලන අය එසේ සිතීමෙන් දරුවෙකුට වෙන අසාධාරණය නොසලකා හරිනවා. 2017 වසරේදී සිදු වූ විවිධ ළමා අතවර හා නොසලකා හැරීම් පිළිබඳ පැමිණිලි 12,093ක් පරිවාස හා ළමාරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා. එයින් අඩක් පමණම පාසැල් නොයැවීම පිළිබඳවයි. බාල වයස් විවාහ හා ගැබ් ගැනීම් 606ක්, කායික දණ්ඩන 694ක්, මානසික අපයෝජන 1,310ක්, නොසලකා හැරීම් 1,745ක් හා ළමා ලිංගික අපයෝජන 398ක්ද වාර්තා වී තිබෙනවා.

නමුත්, මේ විදිහට කවුරු හෝ විසින් පරිවාස හා ළමාරක්ෂක අධිකාරියට වාර්තා කරන්නේ සිදුවන අතවර වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බව පැහැදිලියි. මුලතිවු හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් කිසිදු පැමිණිල්ලක් නැත්තේ ඒ දිස්ත්‍රික්ක වල ළමුන්ට කිසිදු අතවරයක් සිදු නොවන නිසා විය නොහැකියි.

%d bloggers like this: