Menu Close

ට්‍රම්ප් චීනය දණ ගැස්සුවාද?

මේ සතියේ සිදු වූ සුවිශේෂී සිදු වීමක් වූයේ ඇමරිකාව හා චීනය අතර වෙළඳ ගිවිසුමේ පළමු අදියර අත්සන් තැබීමයි. පසුගිය බදාදා (ජනවාරි 15) ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන උප අගමැතිවරයෙකු වන ලියු හේ අතර ධවල මන්දිරයේදී අත්සන් තැබුණු මේ ගිවිසුම පෞද්ගලිකව ජනාධිපති ට්‍රම්ප් විසින් හා පොදුවේ ඇමරිකාව විසින් ලද විශාල ජයග්‍රහණයක් කියා කිව හැකියි.

ගිවිසුම අනුව චීනය විසින් ඉදිරි දෙවසර ඇතුළත චීනය වෙත ආනයනය කරන ඇමරිකානු නිෂ්පාදන ප්‍රමාණය අවම වශයෙන් ඩොලර් බිලියන 200කින් වැඩි කළ යුතුයි. එමෙන්ම, ඇමරිකානු සමාගම් චීන වෙළඳපොළට ඇතුළු වීම සඳහා සැපිරිය යුතු විවිධ කොන්දේසි, විශේෂයෙන්ම වෙළඳපොළට ඇතුළුවීමේ කොන්දේසියක් ලෙස තමන්ගේ තාක්ෂනය චීනයට අනිවාර්යයෙන් ලබා දිය යුතු වීම, මේ ගිවිසුමෙන් වැළැක්වෙන අතර ඇමරිකන් සමාගම් වලට පේටන්ට් අයිතිය ඇති දේවල් වල ව්‍යාජ අනුකරණ පාලනය කිරීමටද චීනය ක්‍රියා කළ යුතුයි.

ඇමරිකාව කියා කියන්නේ නාමික විණිමය අනුපාතය අනුව බැලුවොත් තවමත් ලෝකයේ විශාලතම ආර්ථිකය. අනෙක් අතට ක්‍රය ශක්ති සාම්‍යය අනුව බැලුවොත් ලෝකයේ විශාලතම ආර්ථිකය චීනයයි. කොයි විදිහට බැලුවත් ලෝකයේ  විශාලතම ආර්ථිකයන් දෙක වන්නේ ඇමරිකාව හා චීනයයි.

ලෝකයේ විශාලතම අපනයනකරුවා චීනයයි. එමෙන්ම ලෝකයේ විශාලතම ආනයනකරුවා ඇමරිකාවයි. මේ දෙරට එකිනෙකාගේ ලොකුම වෙළඳහවුල්කරුවාද වෙනවා.

වසර 35කට පෙර, 1985දී, චීනය හා ඇමරිකාව අතර සිදු වූ මුළු වෙළඳාම ඇමරිකන් ඩොලර් බිලියන 7.7ක් පමණයි. මේ ප්‍රමාණය දෙපාර්ශ්වය අතර ආසන්න වශයෙන් සමසමව බෙදී ගොස් තිබුණා. ඒ වෙද්දී චීනය හා ඇමරිකාව අතර ගිණිය හැකි තරමේ වෙළඳ ශේෂයක් තිබුණේ නැහැ. ඒ වගේම ඒ වෙද්දී චීනය ඇමරිකාවේ ප්‍රධානම වෙළඳ හවුල්කරුවෙකු වූයේද නැහැ. චීනය ලෝක ආර්ථික බලවතෙකු සේ සැලකුණේත් නැහැ. ඒ වෙද්දී ලංකාවේ ඒක පුද්ගල ආදායම චීනයේ ඒක පුද්ගල ආදායමට වඩා 25%කින් වැඩියි.

චීන ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් විදේශ වෙළඳාම කරා යොමු වෙද්දී ඇමරිකාව වෙත කරන චීන අපනයන වසරින් වසර ඉහළ ගියා. චීනය වෙත කරන ඇමරිකන් අපනයනත් වසරින් වසර ඉහළ ගියත් එසේ ඉහළ ගියේ අඩු වේගයකින් නිසා ඇමරිකාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාමේ අසමතුලිතබවක් ඇති වුනා. ඇමරිකාවට අවාසිදායක ලෙස ඇති වුනු වෙළඳ ශේෂය ක්‍රමක්‍රමයෙන් පුළුල් වෙන්න පටන් ගත්තා.

ලංකාව වැනි කුඩා ආර්ථිකයක් ඇති රටක් සමඟ ඇමරිකාව විසින් කරන ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකාවට දිගින් දිගටම අවාසිදායක වුවත් එය ඇමරිකාවට දැනෙන තරමේ විශාල අවාසියක් නෙමෙයි. ඒ නිසා, එය ඇමරිකාව තුළ දේශපාලන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත්, චීන ආර්ථිකය වසරින් වසර වේගයෙන් ප්‍රසාරණය වී චීනය ලෝක ආර්ථික බලවතෙකු ලෙස ඇමරිකාව සමඟ කරට කර පැමිණීමෙන් පසුව ද්විපාර්ශ්වික වෙළඳ හිඟයේ බලපෑම ඇමරිකාවට දැනෙන්න ගන්නවා.

රටවල් දෙකක් අතර වෙළඳාම අසමතුලිත වූ විට, අවාසිදායක වෙළඳ ශේෂයක් තිබෙන රටේ ව්‍යවහාර මුදල අවප්‍රමාණය වී වාසිදායක වෙළඳ ශේෂයක් තිබෙන රටේ ව්‍යවහාර මුදල  ශක්තිමත් වෙනවා. උදාහරණයක් ලෙස ඇමරිකාව හා කැනඩාව අතර වෙළඳ ශේෂය ඇමරිකාවට අවාසිදායක ලෙස පුළුල් වුවහොත් කැනඩාවට දිගින් දිගටම ඇමරිකන් ඩොලර් ගලා යාම නිසා කැනඩාවේ ඇමරිකන් ඩොලර් වලට තිබෙන ඉල්ලුම අඩු වී ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව කැනඩා ඩොලරය ශක්තිමත් වෙනවා. එවිට, වෙළඳ ශේෂය නැවත ඇමරිකාවට වාසිදායක ලෙස වෙනස් වෙනවා.

ඉහතින් කියූ දේ එලෙසම වෙන්නේ කිසියම් රටක විණිමය අනුපාතිකය ඉල්ලුම හා සැපයුම මත තීරණය වනවානම් පමණයි. ඇමරිකාවේ, කැනඩාවේ හා වෙනත් බටහිර රටවල් බොහොමයක විණිමය අනුපාතිකය ඉල්ලුම හා සැපයුම මත තීරණය වීමට ඉඩ සලසා ඇතත් චීනයේ එවැනි තත්ත්වයක් නැහැ. චීනය විසින් දිගින් දිගටම තමන්ගේ විණිමය අනුපාතිකය නියම මට්ටමට වඩා අවප්‍රමාණය වෙන්න ඉඩ හරිමින් ජාත්‍යන්තර වෙළඳාමේදී වාසියක් ලබා ගත්තා. ඇමරිකාව දකින ආකාරයට මෙය අනිසි වාසියක්.

යුවානය නියම මට්ටමට වඩා අවප්‍රමාණය කර තබා ගැනීම නිසා චීන නිෂ්පාදන වෙනත් රටවල පාරිභෝගිකයින්ට අඩු මිලකට ලබා ගත හැකි වුනා. වෙනත් රටවල නිෂ්පාදන චීනයට මිල අධික වුනා. 2018 වසරේදී ඇමරිකාව ඩොලර් බිලියන 659.8ක බඩු චීනයෙන් ආනයනය කරද්දී චීනය ඇමරිකාවෙන් ආනයනය කළේ ඩොලර් බිලියන 120.1ක බඩු විතරයි. දෙරට අතර මුළු වෙළඳාමෙන් 81.8%ක්ම සිදු වුනේ චීනයේ සිට ඇමරිකාව පැත්තටයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2018 වන විට ඇමරිකාවේ චීනය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය ඩොලර් බිලියන 419.5ක් දක්වා ඉහළ ගියා.

ජනාධිපති ට්‍රම්ප් චීනය සමඟ වෙළඳ යුද්ධයකට පැටළුනේ මේ අවාසිය අඩු කර ගන්නයි. ඇමරිකාව හා චීනය විසින් තමන්ගේ රට වලට ආනයනය කෙරෙන එකිනෙකාගේ නිෂ්පාදන සඳහා තරඟයට බදු පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස දෙරටටම අවාසියක් සිදු වුවත්, වෙළඳ යුද්ධය ආරම්භයේදී විශාල වාසිදායක තැනක සිටි චීනයට වැඩිපුර තුවාළ සිදු වුනා. ඇමරිකාවට චීනයට තරම් නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ.

වෙළඳ යුද්ධය නිසා පසුගිය 2019 වසරේදී චීනය හා ඇමරිකාව අතර වෙළඳාම ඩොලර් බිලියන 143.5කින්, එනම් 2018 වසරට සාපේක්ෂව 21.7%කින් අඩු වුනා. මේ අඩුවීම ආසන්න වශයෙන් සමානුපාතිකව සිදු වුවත්, ද්විපාර්ශ්වික වෙළඳ පරිමාවෙන් පහෙන් හතරකටත් වඩා සිදු වුනේ චීනයේ සිට ඇමරිකාව දෙසට නිසා ඇමරිකාව චීනයට කරන අපනයන ඩොලරයකින් අඩු වන විට චීනය ඇමරිකාව වෙත කරන අපනයන ඩොලර් හතර පහකින් පමණ අඩු වුනා. හරියටම ගණන් කියනවානම් ඇමරිකාව චීනයට කරන අපනයන ඩොලර් බිලියන 22.4කින් අඩු වෙද්දී, චීනය ඇමරිකාවට කරන අපනයන ඩොලර් බිලියන 120.1කින් අඩු වුනා.

මේ වන විට චීන ආර්ථිකය සෑහෙන්න විශාල හා ශක්තිමත් ආර්ථිකයක්. පසුගිය දෙවසරක පමණ කාලය තුළ චීනයට ඇමරිකාව හමුවේ දණ නොනමින් එකට එක කරමින් සිටින්න හැකි වුණේ ඒ නිසයි. කොහොම වුනත් මේ වෙද්දී චීනය පියවරක් පසුපසට තබා තිබෙනවා.

එළැඹෙන ඇමරිකන් ජනාධිපතිවරණය හා මේ වෙද්දී පැවැත්වෙන දෝෂාභියෝග විභාගය හමුවේ අත්සන් තැබුණු ඇමරිකන් චීන වෙළඳ ගිවිසුම ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික ජයග්‍රහණයක්ද වෙනවා. චීනය සමඟ වෙළඳ යුද්ධයකට යමින් ඔහු විශාල අවදානමක් ගත්තා. වෙනත් බොහෝ දේශපාලනඥයින්ට සාපේක්ෂව බැලූ විට ජනාධිපති ට්‍රම්ප් මෙවැනි අවදානම් ගැනීමට පැකිලෙන්නේ නැහැ. දේශපාලනඥයෙකු වීමට පෙර ව්‍යාපාරිකයෙකු වීම ඊට හේතුවක් වෙන්න පුළුවන්.

දෙසතියකට පෙර කාසිම් සුලෙයිමානි ඝාතනය සඳහා අණ දෙමින්ද ජනාධිපති ට්‍රම්ප් විසින් විශාල අවදානමක් ගත්තා. එයත් මෙවැනිම ගණනය කළ අවදානමක් වෙන්න පුළුවන්. කලින් දැනුම් දීමෙන් අනතුරුව ඉරාකයේ කඳවුරු දෙකකට ප්‍රහාර එල්ල කරමින් ඉරානය ප්‍රශ්නයෙන් ඉවත් වීම නිසා ජනාධිපති ට්‍රම්ප්ගේ අරමුණ ඉටු වුනා.

ඇමරිකානු නීතිය අනුව පුද්ගල ඝාතන නීති විරෝධීයි. එහෙත්, ජීවිත හා දේපොළ වලට හානියක් සිදු වීමේ අවදානමක් ඇති විටක ආත්මාරක්ෂාව සඳහා ප්‍රතික්‍රියා දැක්විය හැකියි. ට්‍රම්ප්ට අනුව කාසිම් සුලෙයිමානිව අවසන් කිරීම මෙවැනි ආත්මරාක්ෂක ප්‍රතික්‍රියාවක් මිස ප්‍රහාරයක් නෙමෙයි. ඔහුව ඝාතනය නොකළේනම් විශාල ජීවිත හා දේපොළ හානියක් සිදු විය හැකිව තිබුණා. ඝාතනය යන වචනයට ආසන්න අරුත් තිබෙන ඉංග්‍රීසි වචන ගණනාවක් තිබෙනවා. කාසිම් සුලෙයිමානිගේ මරණය හා අදාළව ඇමරිකානු නොවන හා ජාත්‍යන්තර මාධ්‍ය විවිධ වචන යොදාගත්තත් ට්‍රම්ප් විසින් යොදාගත්තේ “ටර්මිනේට්” යන වචනයයි.

ඇතැම් ට්‍රම්ප් හිතවාදී විශ්ලේෂකයින්ට අනුව ට්‍රම්ප් විසින් චීනය සමඟ වෙළඳ යුද්ධයක් ආරම්භ කළේ නැහැ. වෙළඳ යුද්ධය දශක ගණනක් තිස්සේම පැවතුණා. ඇමරිකාව කාලයකට පෙරම එයින් පැරදිලයි හිටියේ. මෙය ඒ තත්ත්වය හමුවේ ඇමරිකාව පැත්තෙන් දැක්වූ ප්‍රතික්‍රියාවක්.

මේ කතාවේ ඇත්තක් තිබෙනවා. චීන ඇමරිකන් ද්විපාර්ශ්වික වෙළඳාම දශක ගණනාවක් තිස්සේම සිදු වුනේ චීනයේ වාසියටයි. ඒ වාසියේ උදවුවද ලබමින් මේ වෙද්දී චීනය ඇමරිකාව සමඟ කරට කර සිටින ලෝක ආර්ථික බලවතෙකු වී තිබෙනවා. දිගින් දිගටම පැවතුනු චීනයට වාසිදායක වෙළඳ අතිරික්තය නිසා චීනයේ ඇමරිකන් ඩොලර් සංචිත ගොඩ ගැහුණා. ලෝකය පුරාම චීනය විසින් ආයෝජනය කළේත්, උපාය මාර්ගික වැදගත් කමක් තිබෙන ව්‍යාපෘති වෙනුවෙන් ණය ලෙස ලබා දුන්නේත් මේ විදිහට එකතු වුනු ඩොලර්.

වෙළඳ යුද්ධය නිසා ඇමරිකාව හා චීනය අතර 2018දී වූ ඩොලර් බිලියන 419.5ක වෙළඳ හිඟය 2019 වෙද්දී ඩොලර් බිලියන 320.8 දක්වා අඩු වී තිබෙනවා. බදාදා අත්සන් කළ ගිවිසුම අනුව 2021 අවසානය වන විට චීනය වෙත කෙරෙන ඇමරිකන් ආනයන ප්‍රමාණය ඩොලර් බිලියන 200කින් ඉහළ යා යුතුයි. ඒ 2020දී ඩොලර් බිලියන 76.7කින් හා 2021දී ඩොලර් බිලියන 123.3කින් වශයෙන්. කෙසේ වුවත්, දැනට පවතින වෙළඳ හිඟය ඩොලර් බිලියන 320.8ක් බව සැලකූ විට එය ඩොලර් බිලියන 200කින් අඩු වුවත්, වාසිය තවදුරටත් තිබෙන්නේ චීනයටයි. එහෙම, බැලුවහම මේ ගිවිසුම හඳුන්වන්න පුළුවන් වන්නේත් ඇමරිකාව විසින් ගත් ආත්මාරක්ෂක ක්‍රියා මාර්ගයක් විදිහටයි.

(Image: https://www.bangkokpost.com/business/1676904/china-fires-back-at-us-with-tariff-hike-on-goods-worth-60-bn (AFP photo))

%d bloggers like this: