Menu Close

පෙරළුණු කාසියෙන් මතු වූ විස්කම් අදහස!

මීට වසර 190කට ඉස්සර දවසක ස්කොට්ලන්තයේ කම්මල්කරුවෙක් කම්මලේ වැඩ කර වෙහෙස මහන්සි වී හවස් ජාමේ අවන්හලකට ගොඩ වැදී බීම වීදුරුවක් තොලගාමින් සිටියා. ඔහු සිය අතෙහි ඇඟිලි අතර රුවා ගත් පැන්සයේ කාසියක් මේසය මත එහා මෙහා කරමින් හුදෙකලාව විනෝද වෙමින් සිටියා. හිටිහැටියේ ම කාසිය මේසයෙන් ඉවතට විසිවී බිම වැටී පෙරළී ගියා. ඔහු එය අතට ගැනීමට නැඟිටියද වැටුණු කාසිය දිගටම පෙරළුණා. ඔහු නැඟිට ඒ දෙස බලා සිටියා. කාසිය පෙරළීම නතර කර පැත්ත වැටුණේ අවන්හලේ බිම සෑහෙන දුරක් ගිහින්. ඔහුට වුණු අකරතැබ්බය දැන අවට සිටි පිරිස් හිනා වුණා. ඔහු හෙමින් හෙමින් එය අහුලා ගත්තා. ආපසු ඇවිත් කාසිය යළිත් වරක් ‍මේසය මත පෙරළන්න තැත් කළා. කාසිය කලින් විදියටම පෙරළී ගියා. අවට සිටි පිරිස් පොඩි ළමයකු මෙන් සෙල්ලම් කරමින් සිටි මිනිසාට හිනා වුණා මිස ඔහු ගැන තැකීමක් කළේ නැහැ.

බයිසිකලයෙන් අනතුරු- ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පත්‍රයේ කාටූනයක්

ඔහු තමයි, ස්කොට්ලන්ත ජාතික කර්ක්පැට්රික් මැක්මිලන්. කලින් දා පෙරළුණු කාසිය ඔහුගේ ඔළුවට ඇතුළු කළ අදහස ක්‍රියාවට නංවන්න පහුවදාම ඔහු වැඩ පටන් ගත්තා. ඔහු පරණ අශ්ව කරත්තයක ඉදිරි රෝදයක් හා පසුපස රෝදයක් එකක් පසු එකක් සිටින සේ මැදින් ලී දඬුවකට සම්බන්ධ කළා. එය ලී අශ්වයකු බඳු වූ නිසා ඔහු එයට ‍’හොබි හෝස්’ කියා කීවා. ඔහු රෝද දෙකට මැදින් ‘ලී අශ්වයා’ මත හිඳ දෙපාවලින් එය ඉදිරියට තල්ලු කරමින් ගියා. මේක සිදුවුණේ 1839 දීයි. ඔහුට මිනිස්සු ‘පිස්සු පේට්’ කියා සිනාසුණා මිස ඔහු කළ දෙය ගණනකට ගත්තේ නෑ.

ඒත් මැක්මිලන් එයින් නතර වුණේ නෑ. එය හසුරුවන්න ඉදිරියෙන් දණ්ඩක් සවි කළා. ඔහු තම නව නිපැයුම පෙන්වන්න ග්ලාස්ගෝ නුවර තෙක් හැතැප්ම 60ක් පැද ගෙන ගියා. අද වගේ පාරවල් හොඳට නැති ඒ කාලේ රබර් ටයර් නැති අසුනට දුනු යොදා නැති එවැන්නක් පැද ගෙන යාම කෙතරම් දුෂ්කර එකක් වන්නට ඇද්දැයි අපට සිතා ගත හැකියි. පසු කලෙක බයිසිකලයට මග පෑදූ මේ උපකරණය ගැන තැකීමක් නොවූ නිසා ඔහුට ඔහුගේ උත්සාහය අත්හැර දමන්නට ඔහුට සිදු වුණා.

ස්කොට්ලන්ත ජාතික කර්ක්පැට්රික් මැක්මිලන්

නව නිපැයුම්කරුවකු ලෙස කර්ක්පැට්රික් මැක්මිලන්ට (1812-1878) මානව සංහතියේ ගෞරවය හිමි විය යුතු කරුණු දෙකක් තියෙනවා. ඒ බයිසිකලය පිළිබඳ අදහස ඉදිරිපත් කිරීමත් පසුපස රෝදයෙන් වාහන ඉදිරියට තල්ලු කිරීමේ සංකල්පය ලොවට දායාද කිරීමත් නිසයි.

 
මැක්මිලන්ගේ බයිසිකලයේ රූප කීපයක්

කර්ක්පැට්රික් මැක්මිලන්ගේ අදහස ඒ කාලයේ විසූ අය ගණන් නොගත්තත් වසර විසි පහකට පස්සේ ප්‍රංශ ජාතිකයෙක් නම් මේ ගැන උනන්දු වුණා. ඒ තමා පියරි ලැලමන්ට්. ඔහු කරකැවිය හැකි පාපැදි යොදා බයිසිකලයක් සැලසුම් කර 1863දී හිමිකම් ලියා පදිංචි කළා. වෙලෝසිපීඩය කියා හැඳින්වුණේ ඔහුගේ බයිසිකලයයි. ඉන්පසු 1876 දී එච්. ජේ. ලෝසන් මෙයට අලුතින් වැදගත් කොටසක් එක් කළා. ඒ තමයි, දම්වැල.

පියරි ලැලමන්ට්ගේ පාපැදි සහිත උපකරණය

බයිසිකලයේ ඉතිහාසයේ නිශ්චිත නොවන හිමිකාරයන් ගැන රටවල් ගණනාවකින් කියවෙනවා. ක්‍රිස්තු වර්ෂ හත්වන සියවස තෙක් පැරණි උරෙයාර්හි පන්චවර්ණස්වාමි කෝවිලෙහි ගල් කැටයමක බයිසිකලයක් වැනි දෙයක් පැදගෙන යන මිනිසකුගේ රුවක් දක්නට ලැබෙනවා. ඒ කෝවිල ඉන්දියාවේ තමිල් නාඩුවේ තියන එකක්. 1500 දී ලියනාඩෝ ඩාවින් චි ‍ගේ ‍සිසුවකු වූ ගියාන් ගියාකොමෝ කැප්රොටි ඇඳි බයිසිකලයකට සමාන චිත්‍රයක් 1998 දී සොයා ගනු ලැබුවා. ඒවාගේම 1792 දී කොම්ටේ ඩි සිව්රැක් නම් අයකු ‘සෙලෙරිෆි‍ය’ නම් බයිසිකලයකට සමාන රෝද දෙකක ලී උපකරණයක් ප්‍රංශයේ රාජකීය මාලිගයේ පැද වූ බවක් කියවෙනවා. ඒත් ඒ කිසිවක් සහතික කර කිව හැකි හිමිකාරත්වයන් නොවෙයි.

යම්තම් හරි පිළිගත හැකි, බයිසිකලයේ නිර්මාණයට දායක වූ පැරණිම තැනැත්තා ලෙස සැලකිය හැක්කේ ජර්මනියේ කාල් වොන් ‍ඩ්‍රේස් නම් බැරන්වරයායි. 1817දී ඔහු තනා ඇති ලෝෆ්මැෂින් හෙවත් දුවන මැෂිම ඔහු 1818දී ලියාපදිංචි කර තිබෙනවා. ඒ උපකරණය ඉංග්‍රීසියෙන් හැඳින්වුණේ ඩ්‍රේසින් කියලයි. ඔහු මේ උපකරණය තැනුවේ එකල පැවති අශ්වයන්ගේ හිඟයට පිළියමක් වශයෙන්. මෙයින් කීප දහසක් නිෂ්පාදනය කොට බටහිර යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ අලෙවි කළ බව සඳහන් වෙනවා. ‍එහෙත් එහි ජනප්‍රියත්වය ඉක්මනින් අහෝසි වී ගියේ ඒවායින් සිදු වූ අනතුරු බහුල වීම නිසයි. එදා බයිසිකලය බ්‍රේක් නැති නිසා අනතුරු බහුල වුණා. ඒ ගැන පුවත්පත්වල කාටූන් පවා පළ වුණා. ඒ නිසා සමහර නගර අධිකාරීන් බයිසිකල් පැදීම තහනම් කළා.

   
කාල් වොන් ඩ්‍රේස්ගේ ඩ්‍රේසීනයේ මුල් ආකෘතිය

බ්‍රිතාන්‍ය අශ්ව කරත්ත නිෂ්පාදකයන් කීප දෙනෙකුම ඩ්‍රේස්ගේ සැලසුමට අනුව ‍මේ ආකාරයේ බයිසිකල් තනන්නට තැත් කළත් වඩාත් සාර්ථක ලෙස එවැන්නක් තැනුවේ ලන්ඩනයේ ඩෙනිස් ජොන්සන් විසින් 1818දී. ඒ කාලයේ ලන්ඩන් සමාජය තුළ ඊට හොඳ පිළිගැනීමක් තිබුණා.

ඩ්‍රේස්ගේ ලීවලින් තැනූ ඩ්‍රේසින් නම් වූ මුල් ආකෘතිය පසුව විවිධ නිර්මාණකරුවන් විසින් වැඩි දියුණු කරනු ලැබුවා. බයිසිකලය යන නම මෙයට යෙදූ ප්‍රංශ ජාතිකයන් ම තමා ලෝහ භාවිත කොට පාපැදි ආදිය ‍එක්කොට අද අප දන්නා හඳුනන වර්තමාන බයිසිකලයට සමාන හැඩරුවකට ගෙනාවේ.

මිනිසා කළ නිර්මාණ අතර බයිසිකලයට හිමි වන්නේ අසම සම තැනක්. 21 වැනි සියවස වන විට එහි අගය තවත් වැඩි වෙලා. ඒ තත්වයට බයිසිකලය දියුණු වූ හැටි ගැන වෙනත් දවසක කතා කරමු.

%d bloggers like this: