Menu Close

ලොවම දිනූ “මෙහෙකාරිය”

“බේබි” කවදාවත් ආදරය දැක නැත. පුංචිම කාලේ ඇය දුටුවේ හැමදාමත් බීමත්ව ගෙදර පැමිණ අම්මාට වධ දෙන තාත්තාවය. ඒ වධ හිංසා ඉවසන්නට බැරි තැන අම්මා ගෙදර අත්හැර ගියාය.
ඉන්පසු තාත්තාගේ ඊලග ගොදුර වූයේ, තවම වැඩිවිය පැමිණීවත් නැති “බේබි”ය. තාත්තා අතින් අතවරයට පත් වන විට බේබිගේ වයස අවුරුදු දහයක්වත් නැත. වයස අවුරුදු දොලහේදී තාත්තාගේ හිංසාවන්ගෙන් මිදෙන්නට බේබිට හැකි විය. ඒ තාත්තා ඇයව නාදුනන මිනිසෙකුට විවාහ කර දුන් නිසාය. ඇයව විවාහ කරගත් ආගන්තුක මිනිසා ඇගේ වයසට වඩා දෙගුණයකින් වැඩිමහල් විය.
දරුවෙකු ලෙසින් දෙමාපියන්ගේ ආදරයක් අත් විද නැති බේබිට, බිරිදක ලෙසින් සැමියාගේ ආදරයක් ලැබුණේද නැත. ඒ විවාහ ජීවිතය තුළ ඇය දුටුවේ දූෂකයෙකු හා හිිංසකයෙකු මිසක ආදරණීය සැමියෙකු නොවේ.
කොයි හැටි වෙතත්, අවුරුදු දොලහේදී බිරිදක වූ බේබි, අවුරුදු දහතුනේදී මවක වූවාය. තවත් වසර කිහිපයක් යද්දී ඇය තිදරු මවක බවට පත්ව උන්නාය.
බිරිදක වුවත්, මවක වුවත් සතුටක් හෝ සැපක් නම් ඇගේ ජීවිතයට පෙනෙන තෙක් මානයක තිබුණේ නැත. ඇය දුප්පත් කමේ පතුලටම වැටී හැමදාමත් දුක් වින්දාය. ඒ මදිවාට දවස ගාණේම ගුටි බැට දෙමින්, හිංසා කරමින් සැමියාද ඇගේ ජීවිතය අපායක් බවට පත් කළේය.
“ගෑනු වුණාම ඔහොම තමයි.., දුප්පත් වුණාම ජීවිතේ මෙහෙම තමයි..” ඒ තත්වයේ ඉන්නා සෑම ගැහැණියකම සිතන පරිද්දෙන්ම සිතමින් බේබිද ඉවසුවාය. හැම දුකක්ම දරා ගත්තාය.
එහෙත් ඒ දුක් දරාගන්නටම නොහැකි සීමාවක් තිබිණ. බේබි ඒ සීමාවට පැමිණ උන්නාය.
අන්තිමේදී ඇය තීරණය කළාය.
“අම්මත් හැමදාම දුක් වින්දා.. මටත් දුක් විදින්න පුළුවන්.. ඒත් මගේ දරුවන්ට දුක් විදින්න දෙන්න බෑ.. මං මේ අපායෙන් නිදහස් වෙලා ගිහින්, කොහොම හරි මගේ දරුවන්ට උගන්නනවා..” බේබි තීරණය කළාය.
අම්මා දුක් විදින අයුරු ඇය පුංචි කාලේ දුටුවාය. ඇගේ සොයුරිය මිය ගියේද සොයුරියගේ සැමියා අතින්මය. ඔහු ඇයව ගෙල මිරිකා මරා දමන අයුරු බේබි සියැසින් දුටුවාය. ඇගේ වටපිටාවේ උන් බොහෝ ගැහැණු සැමියන්ගෙන් වධ විදිමින් දුක්බර ජීවිත ගෙවනු ඇය හැමදාමත් දැක්කාය. එහෙත් තමන්ගේ දූවරුන්ට නම් එවන් ඉරණමක් අත් කර දෙන්නේ නැතැයි ඇය දැඩිව සිතාගත්තාය.
පලා යන්නට ඕනෑ යැයි කොතෙක් සිතා උන්නද ඇයට ඒ සදහා සැලැස්මක් තිබුණේ නැත. අරමුණකට තිබුණේ දුර්ගාපූර්හි තම සැමියාගේ නිවසින් පලාගොස් ඇය කුඩාකල හැදී වැඩුණු දකුණු බෙන්ගාලයට යාම පමණකි. ඉතින් එක් රැයක, තම බිලිදු බාල දරුවා එක් අතකින් වඩාගෙන, ඇදුම් කඩමලු කිහිපය බෑගයක දමා අනෙක් අතින් ඔසවාගෙන ඇය මගට බැස්සාය. මේ වෙන්නේ කුමක්දැයි හාංකවිසියක් නොදැන උන් වැඩිමල් දරුවන් දෙදෙන අම්මාගේ පසුපසින් ඇදුණහ.
ආපහු තාත්තාගේ ගෙදරට ගිය බේබිව ඔවුන් බාරගත්තේ නැත. ඉතින් බේබිට හිමිවුණේ මහමග පමණකි. තාවකාලිකව අටවා ගත් පැල්පතක දරුවන් තැබූ බේබි, දරුවන්ට කන්නට යමක් හම්බ කරන්නට ගෙවල් වල මෙහෙකාරකමට යන්නට පටන් ගත්තාය.
ඇය ගැහැණියකි. තනිවුණු ගැහැණියකි. ඒ මදිවාට අන්ත දුප්පත්ය. ඒ නිසා හුදෙකලාව ජීවත් වෙන්නට ඒ සමාජය ඇයට හොද තැනක් වූයේ නැත. නින්දා අපහාස, ගැරහුම්, අයුතු බලපෑම් නොඅඩුවම ඇයට ලැබිණ. ඒ සියල්ලට මුහුණ දෙමින් ඇය අසීරුවෙන් දරුපැටවුන් තිදෙනාගේ කුස් පිරවූවාය.
එක් ගෙදරක වැඩකාරකමින් හෙම්බත් වන ඇය වැඩ කරන්නට තවත් ගෙදරක් හෙව්වාය. එලෙසින් ඇය මෙහෙකාර කම් කළ ගෙවල් ගණන දිනෙන් දින වැඩි විය. එක් මිනිසෙකු ඇයව “තාත්තා”ගේ නිවසට කැදවාගෙන ආවේ ඒ අයුරින් මෙහෙකාර කමටය.
ඒ “තාත්තා” ප්‍රබෝධ් කුමාර්ය. හෙතෙම විශ්‍රාමික මහාචාර්ය වරයෙකි. එමෙන්ම හින්දි සාහිත්‍යයේ පතාක යෝධයෙකු වූ මුන්ෂි ප්‍රේම්චාන්ද්ගේ මුණුපුරාය.
“මහත්තයා, මං උදේම ඇවිත් වැඩ කරලා හැන්දෑවට යන්නම්. මට මෙහේ නවතින්න බෑ.. මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා..” බේබි ඒ මහළු මහාචාර්යවරයාගේ නිවසේ වැඩ කරන්නට පටන් ගන්නට කලියෙන්ම කීවාය. ඔහු දරුවන්ගේ විස්තර ඇසුවේය.
“එහෙම නං මොකටද ඔය දරුවන්ව පාරවල් අයිනේ තියාගෙන ඉන්නේ.. දරුවො තුන්දෙනත් අරගෙන ඇවිත් මේ ගෙදරම නතර වෙන්න..” කාරුණික මහළු මිනිසා කීවේය. බේබිට අදහන්නට බැරි තරම් විය. “අනික.. මට මහත්තයා කියන්න ඕන නෑ.. මගේ දරුවෝ කියනවා වගේ “තාත්තා” කියන්න.. මගේ දරුවනුත් ඔය දරුවගෙම වයසේ තමයි..”
දරු තිදෙනාත් රැගෙන මහාචාර්යවරයාගේ නිවසට ආ ඇය හැකිතාක් ඔහුට කරදරයක් නොවී සිටින්නට දරුවන්ට ඉගැන්නුවාය. ඇය ඒ නිවසේ වැඩ කළේ පවා භක්තිමත් බවකිනි. සෙමෙන් තැන්පත් හඩින් කතා කරන මේ කාරුණික මිනිසා ඇය මිහිපිට දුටු දේවතාවෙක් බදු විය. ඔහු ඇගේ දරුවන්ව නිවසේ නවත්තා ගත්තා පමණක් නොව ඔවුන්ව හොද පාසැල් වලටද ඇතුලත් කර, ඔවුන්ට පොත් පත් පවා අරන් දුන්නේය.
ඔහුගේ නිවසේ එක් කොටසක, අති විශාල පොත් එකතුවක් සහිත පුස්තකාලයක් තිබිණ. ගෙදර දොර අස්පස් කරන බේබි ඉදහිටක මේ පොත් පත් ආසාවෙන් අතගා බැලුවාය. දිනක් ඇය පොතක් අතට ගෙන බලනු දුටු මහාචාර්යවරයා ඇයට කතා කළේය.
“පොත කියවන්න දුව..” ඔහු කීවේය. බේබිට ලැජ්ජාවක් දැණින. ඇය වහාම එය තිබුණු තැනින් තිබ්බාය.
“නෑ දුව. ඒ පොත ඔයා කියවන්න..” ඉන්පසුව ඔහු මෙසේද ඇසුවේය. “කියවන්න දන්නවා නේද..? ඉගෙනගෙන තියෙනවද..?”
“ඔව් මහත්තයා.. මං අටේ පන්තියට යනකල් ඉගෙනගෙන තියෙනවා..” බේබි කීවාය.
“එහෙම නම් හොදයිනෙ.. ඉගෙන ගත්ත දේකුයි බුද්ධිමත් කමයි තමයි කෙනෙකුට අපෙන් උදුරගන්න බැරි දේ..” ඔහු කීවේය.
ඇයට මුලින්ම කියවන්නට ලැබුණේ තස්ලිමා නස්රීන්ගේ පොතකි. එය ඇයට අලුත්ම අත්දැකීමක් විය. ඇයට දැනුණේ ඒ පොත තුළින් ඇයට ඇගේම කටහඩ ඇසෙන්නාක් මෙනි. එතැන් පටන් මහාචාර්යවරයාගේ පුස්තකාලය ඕනෑම මොහොතක පරිහරණය කරන්නට ඇයට අවසර ලැබිණ.
“ඔය දරුවට කියවන්න අමාරු පොත් ඔතන ඇති.. එහෙමයි කියලා නොකියවා ඉන්න එපා.. අමාරු දේවල් කියවන්න ඕන නිසා ඔය දරුවා තවත් ටිකක් ඉගෙන ගන්න ඕන..” කියූ මහාචාර්යවරයා ඇයට ඉගෙන ගන්නට අවශ්‍ය පසුබිමද හදා දුන්නේය.
දිනක් බේබි ගෘහභාණ්ඩ වල දූවිලි ගසමින් ඉන්නා විට, මහාචාර්යවරයා ඉහළ මාලයේ සිට පහතට බැස්සේ කොළයක්ද පෑනක්ද අතින් රැගෙනය. එය බේබි අතට දුන් මහාචාර්යවරයා කීවේ එක වචනයකි.
“ලියන්න..”
බේබි තුෂ්ණිම්භූත වූවාය. මොනවා ලියන්නද.. ඇයට කිසි දෙයක් ලියා පුරුද්දක් නැත.
“ඔයාගේ ගැන ලියන්න..” ඇය නිහඩව බලා සිටිනු දුටු මහාචාර්යවරයා කීය.
ඔහුගේ වචනයට පිටුපාන්නට ඇයට හයියක් තිබුණේ නැත. ඉතින් ඇය හැමදාමත් ගෙදර වැඩ නිම කොට හැන්දෑවේ තමන් ගැන මොනවා හෝ දෙයක් ලියන්නට පටන් ගත්තාය. දින ගණනාවක් යන තුරුත් ඇයට ලියා ගන්නට හැකි වූයේ පිටු හතරක් පමණකි. එයද අත්අකුරු හා ව්‍යාකරණ වැරදි වලින් පිරී පැවතිණ. මහාචාර්යවරයා නැවතත් ඇයට කතා කොට ඇය ලියූ දේ තමාට ඇසෙන්නට කියවන්නට යැයි කීවේය. ඇය එයට කීකරු වූවාය.
“මේක ආයෙමත් ලියමු.. හැම දෙයක්ම හැම සිදුවීමක්ම ලියන්න.. මේකත් ඈන් ෆ්‍රෑන්ක්ගේ දිනපොත වගේ එකක් වේවි..” ඔහු කීවේය.
බේබි යලිත් ලීවාය. මෙවර වඩාත් උනන්දුවෙන් ලීවාය. ඇගේ ජීවිතයේ සිදුවුණු, ඇයට දැනුණු, ඇයට සිතුණු හැම දෙයක්ම ලීවාය. ඇයටත් නොදැනීම මහ ගොඩක් දේවල් ලියැවී තිබිණ.
ඇය ලියූ ඒ කතාව මහාචාර්යවරයා විසින් පොතක් සේ මුද්‍රණය කරන්නට සැලැස්වීය.
“ආලෝ අන්ධේරි” හෙවත් “A Life Less Ordinary” මුලින්ම හින්දි බසින් ප්‍රකාශයට පත් විය. එය බේබි දැන උන්නේ නැත.
දිනක් මහාචාර්යවරයා ඇයව බෙන්ගාලයට කැදවාගෙන ගියේය. එහිදී බේබිට ඇගේ නමින් මුද්‍ර ණය වී තිබුණු පොත මුල් වතාවට දකින්නට ලැබිණ. මද වෙලාවක් ගල් ගැසී එදෙස බලා උන් බේබි වහා නාන කාමරයට දිව්වාය. මුහුණට වතුර ඉසගත් ඇය තමාවම කොනිත්තා ගත්තාය. නැත. ඇය මේ දකින්නේ සිහිනයක් නොවේ. ඇය පොතක් ලියා ඇත. ඇයත් දැන් ලේඛිකාවකි. බෙන්ගාලයේ ලේඛකයින්ව සැලකෙන්නේ දේවත්වයෙනි. ඇයට මේ ලැබී ඇති තත්වය ඇයට විශ්වාස කරන්නට බැරි තරම්ය.
ඇය අකාරුනික සැමියාගේ නිවසින් පැන ආවේ දෙවියන් ගැන පමණක් විශ්වාසය තබමිනි. දෙවියන් ඇත්තටම සිටින බව දැන් ඇයට විශ්වාසය. එපමණක් නොව දෙවියන් මිනිස් වෙසින් මහපොළවේ වාසය කරන බවත් ඇයට විශ්වාසය. ඇය පවසන්නේ එලෙසය.
බේබි හාල්ඩර්ගේ “A Life Less Ordinary” නම් කෘතිය මේ වන විට ලෝකයේ භාෂා 21 කට පරිවර්තනය වී ඇත. එය අදටත් අලෙවියෙන් අඩුවක් නැති කෘතියකි. මහාචාර්ය ප්‍රබෝධ් කුමාර් තව දුරටත් ඇයව තම නිවසේ මෙහෙකාරිය ලෙස රදවා ගත්තේ නැත. ඇය දැන් සිටින්නේ කල්කටාවේ ඇගේම නිවසකය. මේ වන විට ඇගේ හතරවන පොතත් මුද්‍රණය වී හමාරය. ඇගේ ජීවිත කතාව ලෝකය පුරා භාෂා කිහිපයකින්ම වාර්තා චිත්‍රපට වලට නැගී ඇත. බේබි හාල්ඩර් අද සොනගාචි හි රාජ්‍ය නොවන සංවිධානයක් සමග ලිංගික ශ්‍රමිකයින්ගේ හා අසරණ වූ කාන්තාවන්ගේ ජීවිත යහපත් තත්වයට හැරවීම වෙනුවෙන් වැඩ කරන්නීය.

සති අග අරුණ

%d bloggers like this: