Menu Close

යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! – පළමුවෙනි කොටස

“වාද්දුවේ?”

“හ්ම්!”
වචනයක් කටින් පිට කරන්නට සල්ලි වියදම් වෙන එකක්ද?

වචනයක් කටින් පිට කරන්නට සල්ලි වියදම් වෙනවාද? මේ මනුස්සයාගේ හැටි. 


කියවන්නට පටන් ගත්තාම කටකමසිරියාවක් නැතිව කියවන මේ වාචාලයාව ආස්සරේ කරන්න ගත්තාට පස්සෙවත් Baගේ ‘අඩු කතා’ ප්‍රතිපත්තිය වෙනස් වුණේ නැත. 

එක අතකට බැලුවාම ඒකත් හොඳය. එකෙකු කියවන දේවල් අහගෙන ඉන්නටත් තව කෙනෙක් ඉන්නට ඕනෑය.

“මොකක්ද මනුස්සයෝ හූම්-හූම් ගාන්නේ…. විස්තරයක් හරි හැටියට නොකියා.”
“ඇයි, දැන් මං කිව්වේ?”

“කිව්වා නේන්නං. වාද්දුවේ මනුස්සයෙක් ඉන්නවා…. හොරා අල්ලලා දෙන්න පුළුවන් එක්කෙනෙක්… දෙතුන් දෙනෙකුටම වැඩේ කරලා දීලත් තියෙනවා….” මගෙන් කියැවුණේ අමනාපයෙනි.

“ඔය තියෙන්නේ…. ඉතින් තව මොනවද?”
“කොහොමද හොරාව අල්ලන්නේ…. මොනවද ඕනේ…. කීයක් ගන්නවද?”
කොහොමද හොරාව අල්ලන්නේ… ඒකට මොනවද ඕනේ…. කීයක්ද ගන්නේ?
“මම මිනිහගේ ඒජන්ට් කෙනෙක් නෙවෙයිනෙ. තමුසෙට කැමති නං ගිහින් මිනිහව හම්බ වෙලා විස්තර අහගන්නවා… මං උදව්වක් කරන්න හැදුවා, එච්චරයි…. බම්බු ගහන්න එනවා…”

ඒ baගේ හැටිය. හොස්ස අගින් මැස්සෙකු යන පමාවෙන් සුරුස් ගාලා කේන්ති යයි. 
මොට්ටයා වගේ මාත් කේන්ති ගත්තොත් හරි යන්නේ නැත. 
එහෙම කළා නම් ඒ වෙද්දීත් අපේ මිතුරුකම නැත්තටම නැති වෙලාය.

මම කීවෙමි. මට ba හමුවුණේ දෙමටගොඩ කැන්ටිමේදීය.

කැන්ටිමෙන් තේ බොන්නට, කෑම ගන්නට එන අනෙක් හැමෝම පාහේ දවසෙන්-දෙකෙන් හිතවත් වෙද්දී – අඩුම ගණනේ හිනාවක් පාද්දී මේ යක්ෂයා බුම්මාගෙන හිටියා විතරය. 

ඉඳියාප්පත් කිරි මාළුත් ඉවර වෙන්නට යනවා නම් එයා වෙනුවෙන් ‘අරං තියලා’ දෙන බව දැක්කාමවත් මේකාගේ ‘Don’t care’ විදිය වෙනස් වුණේ නැත.

මට හිතෙන විදිහට නම් මාලිනී ෆොන්සේකාගේ හොඳම ඩබල් ඇක්ටින් තිබුණේ…..
වැලේ වැල් නැතිව, නන්නත්තාරවී ඉන්නා කොල්ලාගේ අතේ පිච්චියක් නැත. ඉන්නේ පට්ට තරහෙන්ය. 
ඒ මදිවාට කොල්ලාගේ හිතේ තියෙන්නේ ‘හඳ අල්ලන’ බලාපොරොත්තුවකි. 

ඔහොම වෙලාවක ඒ හාදයා දකින්නේ කතා නොකරන; බුම්මාගෙන හිඳිමින් කන් දෙකම පාත් වෙනතුරු බීමත් වෙන කෝටිපතියෙකි.

හිනා නොවෙන, කතා නොකරන කෝටිපතියා කවුරුන් ලව්වා හෝ හිනස්සවා කුට්ටියක් කඩාගෙන වාසි ගන්නට බලා ඉන්නා මැරයෙකු කොල්ලාට මුණ ගැහෙයි. 
“අර පොහොසතාව කතා කෙරෙව්වොත්….” මල්ල කරේය. කොමිස් කාක්කා කියයි. 

කොල්ලා පොටක් පාදාගන්නේ ගීයක් කියලාය. ඉස්සර සිංහල ‘පිචෑර්’ එහෙමය!

‘එක දෑතින් මුහුදු ජලේ වෙරළට ඉස්සලු – ඒ වෙරළේ වැලි මිරිකා තෙල් අරගත්තලු!’ 

චැලේන්ජ් එකෙන් ජය ගන්නා කොල්ලා හඳ අල්ලනවා විතරත් නොවේ, සම්‍යක් ප්‍රයෝගයක් කරලා- පොහොසතාව බීමතෙනුත් මුදවලා අන්තිමේදී කෙල්ලවත් හිමි කරගනී.

කෝටිපති බුම්මට්ටාව හිනස්සන්නට ගාමිණී ෆොන්සේකාට ඇහැකි නම්…….
(මගේ නිගමනය අනුව) මාලිනී ෆොන්සේකාගේ හොඳම ද්විත්ව රංගනය තිබුණු; 1975 දී තිරගත වුණු, ලෙනින් මොරයස්ගේ ‘සූරයා සූරයාමයි’ තදින්ම මගේ හිතට වැදිලා තිබිණි. 

ඒ නිසා වෙන්නැති, දෙමටගොඩ දුම්රිය වැඩපොළේ හිටි බුම්මට්ටා; ba කතා කරවන්නට- හිනා ගස්සලා බලන්නට මට හිතුණේ.

‘ගාමිණී ෆොන්සේකාට කෝටිපති බුම්මට්ටා වගේ ඇට් කළ ජෝ අබේවික්‍රමව හිනස්සන්න පුළුවන් වුණා නම්…. බිම්බිසාර බිසවට, එරන්දතී කුමාරිකාවට රඟපාලා හිටි, දස-දහස් වතාවක් විතර පේව්මන්ට් එකේ රජවෙලා පුරුදු නිමල් දිසානායකට ba හිනස්සන්නට බැරි මොකෝ?’ එදා නිදි හිතුවේය.

දන්නවනේ මගේ හැටි.

බෙන්තොට ගිහින් සති කිහිපයක් යද්දී  පාරම්පරික ගම්වැසියෙකු වුණු ‘බෙන්තොට මුදලාලි’ මට දුන් චරිත සහතිකේ? 
දොස්තර අයස්මන්ත පීරිස් මහත්තයා දැනුත් මට දෙන ‘කිණ්ඩි සහතිකේ’? 

‘මුගෙ වැඩේ මිනිහෙක්ව දැක්ක ගමන් පෙමෙන් වෙළීගෙන-වෙළීගෙන  ගිහින් කෙළවගන්න එක. අපිටයි එතකොට මළ වදේ!’

දැක්ක ගමන් පෙමෙන් වෙළීගෙන-වෙළීගෙන ගිහින් කෙළවගන්නවා. අපටයි මළ වදේ!
 මට නම් ඒවා විවේචන නොවේ. නිශේධනාත්මක ස්වරූපයෙන් කියවෙන ඒවාය. එයින් කියවෙන්නේ ‘නිමල් දිසානායකගේ මනා මානව සබඳතා ඇති කරගැනීමේ හැකියාව’ පිළිබඳව නේද? මට හිතන්නට ඕනෑ සාධනීය පැත්තෙනි.

අපේ ආච්චිගෙන් මගේ කණට වැටී තිබුණේ ‘කන්ද මොහොම්මත්තුමා ළඟට එන්නේ නැතිනං මොහොම්මත්තුමා කන්ද ළඟට යන්න ඕනේ’ කියන කීමය. 
ඉතින් හිටි ගමන් කන්දක් නොවී ඉන්නටත් මට පුරුදුය.

ඒ පුරුද්දෙන් ලොකු සෙතකුත් වුණේය. 

පොඩි හිතවත්කම, අන්තිමේදී දෙමටගොඩ – මාලිගාවත්ත ඉසව්වල හිටි කරාටේකාරයන් දෙන්නෙකු අතරේ කෙරෙන්නට ගිය සටනකුත් සමාදාන කරවන්නටතරම් ප්‍රබල වුණේය; Ba නිදිගේ කිට්ටු හිතවතෙක් වුණේය. 

ඒ කතාව කියද්දී මා රසිකයන්ට කිව්වේ ඒවායේ දිගුවක් ‘යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා’ නමින් ලියන බවය. 
දීපානි බතික් එකේදී සිද්ධ වුණු සල්ලි හොරෙන් ගැනිල්ලක් ගැන…….
අපේ දීපානි බතික් වැඩපොළේ ගැහැනු ළමුන්ගේ සල්ලි හොරකම් කිහිපයක් සිදුවුණ බවක් මම ඔබට කිව්වෙමි. ඒ ‘මෝස්‌තර එක්ක හත් වසරක් -24’ පෝස්ටුවේදීය. 

Ba අපේ ගෙදරට ආ වෙලාවකත් මා හිටියේ ඒ අලකලන්චියකට මැදිහත් වෙලාය. “අන්න නිමල් මල්ලී, අදත් ….ගේ පර්ස් එකේ රුපියල් සීයක් නැතිවෙලා….” 

“මොකක්ද ගමගේ අක්කේ…. මම කියලා තිබ්බනේ බෑග්වල සල්ලි තියන්න එපා කියලා… මළ වදයක්නෙ…. මොනවද කරන්නේ…. වැඩපොළ අපේ වුණාට වැඩ කරන අයගේ සල්ලි පරෙස්සං කර-කර ඉන්න මට වෙලාවක් නැහැනේ…..”

Ba පස්සෙ වෙලාවක මට කිව්වේ ‘හොරු අල්ලන සමතෙකු ගැන විත්තියක්’ මතක බවය. “මම හරියටම දැනගෙන කියන්නං.”

“ඇවරිවත්තේ වෙද මහත්තයා තමයි පුතේ මං අහලා තියෙන විදියට නං දස්සයා. ඒ මහත්තයා දවසක් ගෙදරකට ගියාම, ගෙදර මිනිස්සු කියලා- අනේ තමුන්නාන්සේට කුරුම්බාවක්වත් කඩවලා සංග්‍රහ කරවනවා නෙව ගස් නඟින්න කවුරුවත් හිටියා නං – කියලා. 

-හා ඒකට කාරි නෑ, මට කඩාගත්තැකි කියලා උන්නැහේ අතට මතුරලා පොල් ගහට අත තිබ්බ ගමන්, පොල් ගහේ කරටිය බිමට නැමුණාලු කුරුම්බා කඩාගන්න”.

ගස් නඟින්න කවුරුවත් නැතුවට කමක් නෑ කියලා අතට මතුරලා පොල් ගහට තිබ්බා විතරයි……….
පුංචිම සන්දියේදී අපේ ආච්චීගෙන් එහෙම කතන්දර අහලා තිබුණු නිසා මා සිටියේ මන්තර ගැන විශ්වාසයකිනි. 

ඒක වැඩියෙන්ම හිතට කිඳා බැස්සේ ‘කනප්පුවෙන් හොරු අල්ලන්නට’ helpකාරයෙකු වුණාමය.

කනප්පු කතන්දරේ තමයි ‘1st & best!’

එතකොට මාත් සුනිලුත් දෙන්නාම ජංගි අඳින පුංචි කොල්ලන්ය. වැඩිම වුණෝතින් මට අවුරුදු අටක් වෙන්නට ඇති. 

“ලීලා, අද ගෙදර එළවලු විතරයි. මස් මාළු උම්බලකඩවත් දාලා උයන්න එපා.” තාත්ත උදේක කිව්වේය.

“ඒ මොකෝ?”
“තමුසේ මං කියන විදිහට කරනවකෝ!”

එදා හවස කවුදෝ දෙතුන් දෙනෙක් අපේ ගෙදරට ආවෝය. 
ඒ කිව්වේ බදුල්ලේ රේල්වේ ක්වාර්ටර්ස්වලටය. බදුල්ලේ මන්ත්‍රී බී.එච්. බණ්ඩාර මහත්තයාගේ ගෙදර ඉස්සරහම තිබුණු අපේ  නිවහනටය. තාත්තාගේ මිතුරෙකු දෙන්නෙකුත් පැමිණි බව මතකය. 

(ඒ දවස්වල තාත්තාගේ යහළුවන් අතරින් මට මතක තියෙන්නේ හතර දෙනෙකු ගැන විතරය. අල්විස්, ටිකිරි, පිච්චේ, ඔලිවර් මාමලාය. පිච්චෙ මාමා මාව දෙමළ ෆිල්ම්ස් බලන්නට එක්ක ගියේය. ටිකිරි මාමාට මහරගමින් මනාලියක් බලන්නට ගියත් ඒ මඟුල කෙරුණේ නැත.)

එහෙම බෙර ගගහා- දුම් අල්ල-අල්ලා මැතිරුවේ කනප්පුවක් ඇවිද්දවන්නට බව………
හවස් වෙද්දී ජයපහට මල්- බුලත් තටුවක් හැදුණු බව මට මතකය. ඇඳිරි වැටුණාම, වැඩි සද්දයක් නැතිව බෙරයකට තලද්දී ගජරාමෙට දුම් අල්ලමින් මතුරනවාත් මට මතකය. එහෙම දුම් ඇල්ලුවේ ගෙදර තිබුණු කනප්පුවටය.

පැත්තකින් හිටවලා හිටි සුනිල්ටත්, මටත් දුම් අල්ලන ලදී. එතකොට අපට ආඩම්බර හිතෙන්නත් ඇති!

“හරි. ගුණපාල උන්නැහේ…. දැන් ඉතින්….”

“රංජි. සුනිල්. දැන් උඹලා දෙන්නටම තියෙනවා පොඩි වැඩක් කරන්න. හොඳට අහගන්න ඕනේ. තේරෙනවා නේද…. මෙහාට වරෙල්ලා…. මෙතනට. මොකද යකෝ බයවෙලා? මරන්න නෙවෙයි එන්න කියන්නේ… මෙතනට ඇවිත් මේ කනප්පුවට අත තියපල්ලා…”

මරන්නට හැදුවා නොවුණත් තාත්තාගේ ‘දයාබරිත ආමන්ත්‍රණය’ත්, ඒකෙ tone එකත් හින්දා අප දෙන්නාම හිටියේ තක්බීර් වෙලාය.

අල්විස් මාමා ටිකක් ඉස්සරහට ඇවිත්, තාත්තාට කොඳුරලා අපේ දිහාවට හැරුණේය. 

“පුතාලා බයවෙන්න එපා. තාත්තා කියපු විදිහට කරන්නයි තියෙන්නේ. පුතාලා දෙන්නා අපට උදව්වක් කරන්නයි යන්නේ. පුතාලට කිව්වේ නැහැනේ…. ලීලගේ රත්තරන් මාලේ නැතිවෙලා…. තවත් රත්තරන් බඩු වගයකුත් එක්ක.”

නැතිවෙලා තිබුණේ මෙවැනි, ඉරානයෙන් හමුවුණු අවුරුදු 2,500කටත් වඩා පැරණි රත්තරන්……….
“මාමෙ, මාමේ. ඊයේ අම්මා ඒක දාගෙන හිටියනේ…..”

“ඔව් සුනිල් පුතේ. ඒ ඊයෙනෙ. අදයි නැතිවෙලා තියෙන්නේ….. කවුද හොරෙක් ඇවිත් එක හොරකං කරගෙන ගිහින්…. ඉතින් අපි හොරාව හොයන්නයි හදන්නේ… 
දැන් හොඳ පුතාලා වගේ මෙහාට එන්නකෝ…. 
ආං එහෙම… ඔය එන්නේ ෂෝක් එකට. 
සුනිල් මෙතනට…. රංජි පුතා මේ පැත්තට…. හරි. දැන් ගුරුන්නාන්සේ මේ පුතාලා දෙන්නට කියන්නකෝ කරන්න ඕනි විදිහ.”

එතකොටය, සුදු ඇඳුම් ඇඳගෙන, ඔළුවෙත් ඉණ වටෙත් රතු රෙදි පටි බැඳගෙන උන් මිනිහා අපට කතා කළේ.

“ඔය ළමයි දෙන්නා මේ කනප්පුවට වැටෙන්න දෙන්නේ නැතිව මෙන්න මෙහෙම යාන්තමට ඇඟිලි තියාගෙන ඉන්න විතරයි ඕනේ. කනප්පුවට ඕනේ විදිහට හෙලවෙන්න දෙන්න. අල්ලාගෙන ඉන්න එපා…. තේරුණා නේද?”

ඉතින් අපි එලෙස කළෙමු.

අනෙක් මනුස්සයා; කට්ටඩියාගේ ගෝලයා දිගටම අප වටේට යමින් තව-තවත් දුම් අල්ලන්නට ගත්තේය. 

හිටි ගමන් සුන්නාත්, මාත් දෙන්නාම බිරාන්ත වුණේත්, කනප්පුවෙන් අත් අහකට ඇද ගත්තෙත් එය හෙලවෙනවාත් එක්කමය.

එදා ඇවිද්දවූ කනප්පුවටත් කකුල් තුනකි. හැබැයි ඒවා උසය……
“කෑවා.. වැඩේ….”
“උඹලට කිව්වේ…”

තාත්තාටත්, කට්ටඩියාටත් අපේ අසලට එන්නට නොදුන්නේ අල්විස් මාමාය. 
“ගුණේ… පොඩි එව්වෝ ගැස්සෙන්නේ නැතිව ඉඳීවිද බං? මාත් බය වුණානෙ…. නේද පුතේ. ඒ වුණාට බය වෙන්න ඕනේ නැහැ.
-අපි දැන් තමයි දන්නේ, කනප්පුව ඇවිදින්නයි හදන්නේ…. 
හොරා ගිය පාර දිගේම කනප්පුව යන්නයි හදන්නේ. 
පුතාලා කිසි දේකට බයවෙන්න එපා. පුතාලගේ තාත්තයි, මායි, මේ මාමලා දෙන්නයි …. හතර දෙනාම පුතාලගේ පස්සෙන් එනවා. ළඟින්ම… එතකොට මොකටද බය වෙන්නේ. 
හරි. දැන් ආයෙමත් මේකට අත් තියාගෙන, ඒකට යන්න ඕනේ දිහාවකට යන්න දෙන්න…. හරිනේ, තේරුණානෙ?”

ආයෙමත් මතුරන්නට; දුම් අල්ලන්ට පටන් ගැනිණි.

ටිකකින් කනප්පුව හෙලවිණි. 
හීන් සීරුවේ ගමන් කරන්නටත්…. 
ගමන් කරනවා කියන්නේ ඒකටය! 

කනප්පුවට තියෙන්නේ කකුල් තුනකි; දෙකක්- හතරක් නොවේ. එක කකුලක් ඉස්සෙද්දී එය පෙරළෙන්නටත් ඉඩ තිබේ. අප දෙන්නාට බාරදී තිබුණේ එහෙම වෙන්නට ඉඩ නොදෙන රාජකාරියයි.
අප හිටි කුතුහල කන්ද ශ්‍රීපාද කන්දටත් වඩා උසය! (foto- කණිෂ්ක ජීවන්ත)
එතකොට අප හිටියෙත්, සිරීපාද කන්දටත් වඩා උස කුතුහලයෙ කන්ද මුඳුනේය!

“කාටවත් නොකියා වැඩේ කරවන්න හැදුවට අල්ලපු ගෙවල් කීපයේ අයට බෙර සද්දේ ඇහිලා. ලැයිමක ඉන්න එකේ පාඩුව ඕක තමා. රහසෙන් නං මෙලෝ වැඩක් කරන්න ඉඩක් නැහැ.” එදා රාත්තිරියේ අපේ තාත්තා හුටු-හුටු ගෑවේය.

“ඔහොම කියන්නේ දැන්නේ. හදිස්සියට අතමාරුවක් ඉල්ලගන්නකොට එයාලා හොඳයි. ලෙඩකදී හොඳයි…. ඒ මිනිස්සු එක්ක බූරුවා ගහන්න හොඳයි. මෙහෙම වෙලාවකදි විතරක්…”

“ලීලා. උඹෙත් ඔක්කොම හොඳයි. ඔය මුක්කම තමා හෙණේට හිටින්නේ….” 

ඒ වෙලාවේ රණ්ඩුවක් ඇවිළුණේ නැත. හැබැයි අපේ තාත්තා අනාරාධිතව පැමිණි අයට නම් අමනාපයක් නොපෙන්වා හිටියේය. 

එයාලාත් හානේ- හූනේ කිය-කියා හුස්ම උඩට ඇද-ඇද හූල්ල-හූල්ලා බලාගෙන උන්හ. එහෙම ඉන්නා අතරේ නොමිලයේම රැව් දෙන; සවිස්තරාත්මක කමෙන්ට්‍රියකුත් දෙන්නට අමතක නොකළහ.

“ආ…. ඉස්සෙල්ලම යන්නේ අල්මාරිය ළඟට.”

කුස්සිය පැත්තෙන් තමයි හොරා ගිහින් තියෙන්නේ!
“හරිනේ… අල්මාරියේ තමයි මාලේ තියෙන්න ඇත්තේ…. 
අන්න. අන්න හැරෙනවා….. 
කුස්සිය පැත්තෙන් තමයි හොරා ගිහින් තියෙන්නේ… 
අයියෝ, කුස්සියේ පඩියෙන් බහිද්දී නම් කනප්පුව පෙරළෙයි. 
අල්විස් අයියේ…. ඔය රංජිලට කියන්න හරියට කනප්පුව….”
“පුදුම විදිහටනේ මෙයා, කනප්පුව එළියට බැස්සේ.”

“අර…. අර. ඊට හපන් මේ පොඩි සිමෙන්ති කානුවෙන් පනින විදිහ….”

සහතිකෙන්ම ඒ කතාව සාධාරණය. රේල්වේ ක්වාටර්ස්වලට ඉදිරිපස පැත්තෙනි, වතුර ගලායන කානුව තිබුණේ. එයට සම්බන්ධ වෙන අඩි භාගයක් විතර පළල් කුඩා කානුවක් අපේ ගෙදරට දකුණු පැත්තෙන් තිබිණි. ඒ කානුවෙනුත් පැනගත් කනප්පුව එතැනම තිබුණු කෙහෙල් පඳුරේ හැපෙන්නට පටන් ගත්තේය.

“එතැන හැපෙන්නේ අහවල් දේකටද?”

“ලීලක්කගේ මාලේ ගත්තේ කෙහෙල් ගහක්ද?”

“මේ, උඹලා මෙතන ඉන්නවා නං කෙහෙල්මල් කටවල් වහගෙන ඉඳපල්ලා. බැරි නං තොලොන්ජි වෙලා ගිහින් අපට මේ වැඩේ ඉවරයක් කරගන්න දීපල්ලා.”

මට නිඳිමත හැදුණාම වෙරළේ දිගාවී රැල්ල පොරවාගෙන වුණත්………
ගුරුන්නාන්සේ ආයෙත් මැතිරිල්ල පටන් ගත්තේය. ගෝලයාට කියන්නේ නැතිවම මිනිහාත් වැඩියෙන් දුම් නංවන්නට වුණේය!

ටිකකින්ම ආයෙමත් කනප්පුව හෙලවෙන්නට පටන් ගත්තේය. ගුරුන්නාන්සේ කට ඇරියේ එතකොටය. 

“බඩුව මෙතැන හංගලා ගිහින් පස්සේ ඇවිත් මෙතනිනුත් අරන් ගිහින්……”

එතකොට තාත්තලා මොනවා කීවාදැයි මට අමතකය. 
මොකද, ඒ වෙද්දී අප නිඳාගන්නා වෙලාව කිට්ටු වෙමින් තිබුණු නිසාය. 

ඒ විත්තිය පෙනිලා තිබුණෙත් අල්විස් මාමාටය. එහෙම වෙලාවට නම් මට මුහුදු රැල්ල වුණත් පොරවාගෙන නිඳියන්න පුළුවන්ය.

“අනේ. මේ දරුවෝ දෙන්නාම කිරා වැටෙනවා කට්ටඩි උන්නැහේ. තව වැඩි වෙලාවක් කනප්පුව ඇවිද්දන්න බැරි වෙයි වගේ….”

“ඒයි…. රංජි, සුනිල් … උඹලා නිඳියනවා නෙවෙයි ඔන්න! ලීලා, වතුර ටිකක් මුන්ගේ මූණේ අතුල්ලනවා!”

නිඳි මරගාතේම වුණත් අපේ උදව්වෙන් නොවැටී බේරෙමින් කනප්පුව ඊළඟට තවත් තැනකට ගිහින්ය. වැඩේ හරිය. හොරගෙඩියා දෙවෙනි වතාවට රත්තරන් මාලය හංගලා තියෙන්නේ එතැනය!!!

%d bloggers like this: