Menu Close

කාම්බෝජ සංචාරය 1 – සංචාරක විධායක මාර්ගෝපදේශක නිලධාරී

අහස්  ගව්වෙන් එහා ලෝකය බ්ලොගය කරන සහෘදයා අනුරුද්ධ වැලිගමගේ නිතර කියන කතාවක් තමයි කාම්බෝජ සංචාරය ගැන ලියන්න කියල. මීට  කලින් ලංකාවේ  ගිය වෙලාවක දඹුල්ලේ ගයිඩ් මහතෙකු ගැන මෙතැන ලීවා. මේ දවස් වල බුකියේ සඳහන් වෙන සංචාරක  ක්ෂේත්‍රයේ නව තනතුරු කිහිපයක් නිසා සංචාරක මාර්ගෝපදේශකයන් ගෙන්ම කතාව පටන් ගන්න හිතුව. හැබැයි නිකම්ම ටුවරිස්ට් ගයිඩ් හරි සංචාරක මාර්ගෝපදේශකයෙක් කිව්වහම තරහ යයිද දන්නේ නැහැ.. ප්‍රතිචාර දක්වන්නෙක් වගේ  ලියන්න බෑ බෑ වගේ. හිත රිදෙයි ද දන්නේ නැහැනේ. ඒ නිසා මම ඒ අයව හඳුන්වන්නම් සංචාරක විධායක මාර්ගෝපදේශක නිලධාරීන්  කියල.


පින්තූරයේ ඉන්නේ මම කාම්බෝජයේ දී හයර් කරපු එහෙම නැත්නම් වෙන් කරගත් සංචාරක මාර්ගෝපදේශක මහතා. මෙයා ගේ දවසේ මිල ඇමෙරිකන් ඩොලර් 35 විතර. ඒ ගානේ වරදක් නැහැ මොකද මෙයා සෑහෙන්න උගත් කෙනෙක්. ඉතාමත් හොඳට ඉංග්‍රීසි භාෂාවෙන් ඉතිහාසය ඇතුළු වෙනත් අවශ්‍ය  දේවල් විස්තර කරල දෙන්න ඔහුට හැකියාව  තිබෙනවා.

මම දුටුව දේ තමයි හැමෝටම මේ මාර්ගෝපදේශක  කාර්යය කරන්න කාම්බෝජ රජය ඉඩ දෙන්නේ නැතිබව. මේ මාර්ගෝපදේශකයන් ට   දීල තිබෙනවා යුනිෆෝර්ම් එකක්. ඇත්තටම ඒක කහ කමිසයක්. මාර්ගෝපදේශකයන  හැමෝම අඳින්න ඕනේ ඒක . ඒ සමගම ඔවුන්ට බලපත්‍රයකුත්   නිකුත් කරනවා. සංචාරක මාර්ගෝපදේශක  හැඳුනුම් පතකුත් එල්ල ගන්න ඕනේ. ඒක  තියෙන අය ට තමයි නිත්‍යානුකූල ලෙස ඒ කාර්යයේ  යෙදෙන්න පුළුවන්. සංචාරකයන්ටත් ඔවුන්ව දැක්ක ගමන් හඳුනා ගන්න ලෙහෙසියි. 

ලංකාවේ මෙහෙම තියනවද දන්නේ නැහැ. අපිට එක පාරක් මාතර  වෙහෙරෙහේන  විහාරයේදී බලෙන් ගයිඩ් මහත්මයෙක් ඇඟට ගොඩ වුනා. අපේ පස්සෙන්ම  ඇවිත් බැරි බැරියා ජර්මන් සහ ඉංග්‍රීසියෙන් විස්තර කියල (අපි අයින් වෙලා එපා කියල  ගියත්) අන්තිමට විශාල මුදලකුත් ඉල්ලුව. ඒ වගේ දේවල් වැළකෙනවා බලපත්‍ර නිකුත් කලොත් අයි ඩී එකක් එක්ක.



කාම්බෝජයේ  සංචාරක ත්‍රී වීල කියන්නේ විශාල ඉඩ කඩක් තිබෙන ඒවා. මෝටර් සයිකලයකට  කරත්ත කෑල්ලක්  ගහල හදල තියෙන්නේ. සුව පහසුයි. හතර වටේම හොඳට බලාගෙන ගිය හැකියි . කාම්බෝජ ගයිඩ් මහත්මයයි මේ අපූරු ත්‍රී වීලයේ රියදුරු මහත්මයයි එක්ක කෑමට ගිය වෙලේ මට දැන ගන්න ලැබුනේ සංචාරකයෙක් අරන් එනවා නම් ඔවුන්ට නොමිලේ කෑම දෙන බව.  නමුත් මම ගයිඩ් මහත්මයට අරාධනා කලා මාත් එක්කම කෑම ගන්න කියල මම ගෙවන නිසා. එක ආපනශාලාවකදී පමණක් ඔවුන් ඒකට ඉඩ දෙන්න බැහැ  කිව. (පින්තුරයේ තියෙන්නේ ඒක). හේතුව ජපාන සංචාරකයන් කණ්ඩායමක් ඉන්නවා කියල. අනික මාර්ගෝපදේශකයන්ට වෙනම  තැනක් සූදානම් කරලා තියනවා කියල කෑමට . මම කිව්වා බැහැ ,  එහෙම නම් මම යනවා කියල. ඒ ගමන ඔවුන් කැමති වුනා ගයිඩ් මහත්මයටත් මාත් එක්කම කෑම ගන්න දෙන්න.

මේ ගයිඩ් මහතා ටිම්, පොල්පොට් ගේ පාලන කාලයේදී ගමකට යවල තියනවා අනිත් අය වගේම. පොල්පොට් ට අනුව නව අධ්‍යාපනය දෙන්න හෙවත් ගොවිතැන්  කරන්න. එහෙදි  බඩගින්නේ ඉඳල සෑහෙන්න දුකක් විඳලා  තිබෙනවා කන්න නැතිව. ළමයි හුඟක් එක ගොන්නට පොඩි ගම ගෙවල් හා ශාලාවල ගොනු කරලා. කැඳ කෝප්ප දෙකයි දවසටම. වැඩ කලේ නැත්නම් ගහනවා කෙවිටකින්. සමහරු  මීයෝ , හූනෝ පවා බඩගින්නට කාල. ගුරුතුමෙක් වන ඔහුගේ පියා මරා දමා  තිබෙනවා  ඒ කාලෙම. මව සහ සොයුරිය  බඩ ගින්නෙම මිය ගිහින්. ඉතින් ඔහුට කෑම වේලයන්   කිහිපයක් අරන් දෙන්නට හැකිවීම  සහ එකට හිඳගෙන  කතා බහ කරමින්  කෑම ගන්නට හැකිවීම මට ගෞරවයක් කියල මම ඔහුට කිව්වේ.

ඊළඟ  කතාව මම නිතර කියන එකක්. ලංකාවේ  පින්නවල බලන්න  රුපියල් 5000 පමණ, සීගිරියට 6000 , අනුරාධපුරයට 15000 වගේම  අලි හැම වෙලේම නැති වස්ගමුවටත් 5000 වගේ ගෙවන්න ඕනේ. ලංකාවේ  සංචරක ව්‍යාපාරය ඒ මුදල් වලින් නගාසිටවීමට හැකි  නම් ඒ ගණන් වල අවුලක් නැහැ. නමුත්  එහෙම දෙයක් පෙනෙන්න නැහැ.  සංචාරක පහසුකම් හොඳ තත්වයේ නැහැ.

දැන් කාම්බෝජයේ  අංකර්  වත්  (Angkor Wat ) විහාර හා දේවාල සංකීර්ණය පුරාණ  ලෝකයේ පුදුම හතෙන් එකක්.  අති විශාල ඉඩ ප්‍රමාණයක් තුල  පැතිරිලා තිබෙන නිසා එක දවසකින් බලල ඉවර කරන්න අපහසුයි. එය නැරඹීමට  දවසකට ඩොලර් 37 ගන්නවා. ඒ කියන්නේ රුපියල් 6700ක්   විතර.  දවස් දෙකක් නම් ඩොලර් 60, තුනක්  නම් 72යි.. ගාන අඩුවෙනවා. ඒ ගානෙ  ඇත්තටම වරදක් නැහැ. එපමණට බලන්න පුළුවන් දේවල් තිබෙනවා. අතීත ගෘහ  නිර්මාණ ශිල්පයෙහි විස්මිත  සමත්කම්,  ඉතිහාසය සම්බන්ධව උගත හැකි රසවත් සහ  වැදගත් කරුණු රාශියක් තිබෙනවා. ඒ වගේම පරිසරයේ සුන්දරත්වය ගත්තමත් ඒ  මිලේ වරදක් නැහැ. ඒ වගේම සංචාරකයන්ට සැලකීම සහ පහසුකම් අතිනුත් හොඳයි.



අනිත් කරුණ තමයි රා නිෂ්පාදනයට ඉඩ දීම . කාම්බෝජයේ රා පෙරලා කෝප්ප වල දාල ඩොලර් එකකට සංචාරකයන්ට විකුනනවා. එතනින් අදායම් මාර්ගයකුත් හැදිලා තිබෙනවා. නන්දන වීරරත්න සහෝදරයා කියල තිබෙනවා දැක්ක  ආචාර්ය ඇන් ඇම් පෙරේරා රා මදින්න බලපත්‍ර දෙන්න හැදුවය, නමුත් යූ ඇන් පී සිරි ලංකා මන්ත්‍රී රොත්ත   විරුද්ධ වුනාය කියල ආගමික, ශිලාචාර හේතූන් මත . වයින් විකුනන්න පුලුවන්නම්, ඔවුන්ට  විස්කි බොන්න පුලුවන්නම්  රා මැදලා  විකුනන්න දුන්නම හෙණ ගහනවද ? නව ආණ්ඩුව ඒ වගේ දෙයක් ඇති කලොත් නව අදායම්  මාර්ගයකුත් හැදෙයි.

භාතිය හා සන්තුෂ් කියන්නේ මම කැමති ගායක කණ්ඩායමක්. ඔවුන් අසර්බයිජාන් ද කොහෙද ගිහින් දිනුව  කාලේ ඉඳන්ම තමයි  මම ඔවුන් ගේ  ගීත අහන්නේ. , සිරි සඟබෝ මාලිගාවේ වගේ  නව පර්යේෂණාත්මක ගීත වගේම උමාරියා එක්ක කියන ගීතත් නියමයි.  ඔවුන් නවතම දේ අත්හදා බැලීමට අමුත්තන්  නොවෙයි . එනිසා ඔවුන් සංචාරක  ප්‍රවර්ධන අධ්‍යක්ෂකවරු වරු වීම ගැන සතුටුයි. .

එසේම “අහංකාර නගරේ “ කියන ගීතය රස වින්ද එයට  සාද වලදී නටපු කෙනෙක් ලෙස  ප්‍රසිද්ධ ගායකයෙකු හා සමාජ ජලා ක්‍රියාකාරික ඉරාජ් සම්බන්ධව නොයෙකුත් කතා කීවත් ඔහුත්  දක්ෂතාවන් ඇති අයෙක්  බව පිලි ගන්න ඕනේ.

ඔවුන්ට ලංකා සංචාරක කර්මාන්තයේ  ඇති ප්‍රශ්න දෙස නව මානයකින් බලා දේශීය සහ විදේශීය සංචාරක ව්‍යාපාරය තව නගා  සිටුවීමට  හැකිවේය  කියන සුභවාදී  ආකල්පයකින්  බලන්න කැමතියි.
යොමු (ලින්ක්ස් ) බලන්න නම්  බ්ලොගයට යන්න වෙයි.
දඹුල්ලේ ගයිඩ් 

%d bloggers like this: