Menu Close

උඹ යකින්නක් වුනේ කොහොමද?

“සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ…”

සමන් ලෙනින් ඔහොම අහන්නේ මෝහිණීගෙන්. මෝහිණී ගැන නොදන්නා කෙනෙක් නැහැනේ. ගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ දොළ හඩන තුන්මං හන්දියේ ඈ බලා ගෙන ඉන්නේ අතේ ඉන්න දරුවාව දෙන්න කෙනෙක් එන තුරුයි. අතේ ඉන්න දරුවා ඇයට කරදරයක් වෙන්න ඇති. නමුත්, යකින්නක් වන ඇය මේ දරුවාව කුණු බක්කියකට දමන්නේ නැහැ. පණ පිටින් වලලන්නෙත් නැහැ.

ඒ අතින් බැලුවහම මෝහිණීගේ අතේ ඉන්න දරුවා නැත්නම් දැරිවිය වාසනාවන්තයි. සමහර දරුවෝ ඒ තරම් වාසනාවන්ත නැහැ.

“සුරඟනට අමතකව දරුවන් හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් වුනේ කොහොමද කියා දීපන් නංගියේ…”

රජී වසන්ත වෙල්ගම සමන් ලෙනින් හරහා අහන්නේ සාධාරණ ප්‍රශ්නයක්. අද උදේ වැඩට එද්දී කාර් එකේදී ඔය සිංදුව ඇහෙද්දී මතක් වුනේ රත්නපුර කොස්ගල වත්තේ පදිංචි අවිවාහක තරුණියකට දාව උපන් බව කියන, උපන් මොහොතේම නිවස පිටුපස පස්ගොඩක් යට පැය පහක් තිස්සේ වළ දමනු ලැබ සිටීමෙන් පසුව අසල්වැසියකුගේ ඇස ගැටී පණ බේරා ගෙන තිබෙන බිළිඳියවයි.

මේ මව විසින් කරලා තිබෙන්නේ මෝහිණීවත් නොකරන දෙයක් වුණත් ඈ යකින්නක් කියා අපට එක වරම කියන්න බැහැ. බොහෝ විට ඇගේ පැත්තෙනුත් අපි නොදන්නා කතාවක් ඇති.

උපන් හැටියේම දරුවන්ව මරා දැමීම හෝ මැරෙන්නට අත හැර දැමීම ලෝකය පුරාම අතීතයේ සිටම සිදු වූ දෙයක්. රොබට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී “දරුවා ආහාර නොමැති කමින් මිය යන තුරු හාමත් කර තැබීමෙන්, දිය බඳුනක හිස ඔබා තබා හුස්ම හිරවී මැරෙන්නට සැලැස්වීමෙන් හෝ පණ පිටින්ම වළලා දමමින්” මැරෙන්නට ඉඩ හළ බව ඔහු ලියා තිබෙනවා. මේ වගේ දේවල් අදටත් ලෝකයේ බොහෝ රටවල සිදු වෙනවා. ඇමරිකාවේ පවා.

ලෝකයේ බොහෝ සමාජ වල ඉතිහාසය පුරාම මේ විදිහට බිළිඳු දරුවන් මරා දැමීම හෝ මැරෙන්නට හැරීම කර තිබෙන්නේ ජනගහණ පාලන උපක්‍රමයක් විදිහටයි. මේක අර ඕස්ට්‍රේලියාවේ ඔටුවන් මැරීම වගේම වැඩක්. උපත් පාලන ක්‍රම ප්‍රචලිත වීමෙන් පසුව ජනගහණ පාලනය සඳහා වඩා “සදාචාර සම්පන්න” විකල්පයක් ලැබුණා. එහෙත්, අදටත් අනවශ්‍ය ගැබ් ගැනීම් සුලබව සිදු වෙනවා.

ලංකාවේ කාන්තාවකට අනවශ්‍ය ගැබ් ගැනීමකින් පහසුවෙන් නිදහස් වීමේ හැකියාවක් නැහැ. එහෙත්, සෑම දිනකම නීති විරෝධී ගබ්සා විශාල ප්‍රමාණයක් රටේ සිදු වන බව ප්‍රසිද්ධ රහසක්. නිසි ලිංගික අධ්‍යාපනයක් නැතිකම අනවශ්‍ය ගැබ් ගැනීම් වලට හේතුවක් වුවත් එය එක් හේතුවක් පමණයි. ලිංගික අධ්‍යාපනයක් තිබුණත් එතැනින් එහාට බොහෝ දේවල් තීරණය වෙන්නේ රටේ බහුතරය හිතන හා ක්‍රියා කරන ආකාරය මතයි.

හතේ අපේ පොත පසුගිය දවස් වල බොහෝ කතාබහට ලක් වුනා. ඔය පොත වසර කිහිපයකට කලින් ලබා දී තිබුණානම් කොස්ගල වත්තේ තරුණියට ඇගේ දරුවාව පණ පිටින් වළලන්න සිදු වෙන එකක් නැද්ද?

හතේ අපේ පොත සර්ව සම්පූර්ණ නැහැ. එහි පැහැදිලි අඩුපාඩු තිබෙනවා. නමුත්, එවැන්නක් එළිදැක්වීම හොඳ ආරම්භයක්. රන්ජන්ගේ හඬපට වලින් දරුවන් ලිංගික අධ්‍යාපනය ලබා ගන්නවාට වඩානම් එය අනිවාර්යයෙන්ම හොඳයි. දරුවන් ලිංගික අධ්‍යාපනයක් ලැබිය යුතුයි. එහෙත්, බටහිර රටවල ක්‍රමය ලංකාවට ඒ විදිහටම යොදා ගන්න අමාරුයි.

ඇත්තටම කියනවානම් හතේ පන්තිය කියන්නේත් මේ වැඩේට තරමක් වැඩි වයසක්. ලංකාවේ දරු දැරියන් බොහෝ දෙනෙක් විවිධ ආකාර වල ලිංගික අතවර වලට ලක් වෙන්නේ ඊට වඩා ගොඩක් අඩු වයස් වලදී.

ඇමරිකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ පෙර පාසැල් කාලයේ ඉඳලයි. හැබැයි මෙතැනදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ විවිධ ලිංගික ක්‍රියා ගැන කියා දෙන එක නෙමෙයි. මෙවැනි වයසකදී ලිංගික අධ්‍යාපනය කියා කියන්නේ දරුවෙකුට පුද්ගලිකත්වය ගැන කියා දීමයි. පුළුල් ලෙස කියනවානම් දරුවෙකුගේ අයිතිවාසිකම් ගැන හා පෞද්ගලිකත්වය කියන සංකල්පය ගැන ඔවුන්ව දැනුවත් කිරීමකුයි වෙන්නේ. අනෙක් අතට ලොකු පන්ති වලදී වුවත් වඩා බරපතල දේවල් කියා දෙන්නේ දෙමවුපියන් විසින් ලිඛිත අවසරයක් ලබා දී ඇත්නම් පමණයි. ඇමරිකාවේ කිවුවත් මම දන්නා පැති වල. මෙය හැම ප්‍රාන්තයකම වෙන ආකාරය ගැන මම හොයා බලලා නැහැ.

උපන් හැටියේම දරුවන් අතහැර දැමීමේ සිට දරුවන්ට සිදුවන ලිංගික අතවර දක්වා බොහෝ දේ පොදුවේ ගත් විට ළමයින්ට සිදුවන අතවර වල කොටසක්. කායික වධ හිංසා වලට නිතරම ලක් වෙන දරුවෙක් කොයි වෙලේ හෝ ලිංගික අතවරයකට ලක් වීමේ අවදානම වැඩියි. ඒ නිසා, වඩා සුදුසු වන්නේ වධ හිංසා වලට ලක් නොවීමට දරුවෙකුට තිබෙන අයිතිය ගැන පොදුවේ දැනුවත් කරන අතරම නිසි වයසේදී  ලිංගික අතවර ගැනත් යම් දැනුවත් කිරීමක් කරන එකයි. ලිංගිකත්වය හා අදාළ සෞඛ්‍යමය කරුණු ගැන වෙනම දැනුවත් කිරීමක් කළ හැකියි.

පසුගිය දවස් වල සංසරණය වූ දරුවෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝව දරුවන්ට සිදු වන වධ හිංසා පිළිබඳ ඇස් අරවන්නක් වෙන්න පුළුවන්. එහෙත්, කොළඹ ගමයා විසින් පළ කර තිබුණු සුමීර ගුණසේකරගේ ලිපියේ ඇති පරිදි, මේ වගේ දේවල් ඉතාම සුලබ දේවල්. වධකයින් වන වැඩිහිටියන් අසල්වැසියන් එක්ක ප්‍රශ්න ඇති කරගෙන නැත්නම් බොහෝ විට ඔවුන් වින්දිතයින් වන දරුවන් වෙනුවෙන් පෙනී නොසිට ඇහැ කණ පියාගෙන ඉන්න එකයි කරන්නේ.

ලිංගික අතවර වේවා, වෙනත් වධ හිංසා වේවා, තමන්ගේ නිවසේදීම දරුවෙක් අතවර වලට ලක් වන විට දරුවා ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙනවා. දරුවෙකු මේ වගේ වෙලාවක කට පියාගෙන ඉන්න පුරුදු වෙන්නේ මුළු ලෝකයම ඉන්නේ වධක වැඩිහිටියන්ගේ පැත්තේ මිසක් තමන්ගේ පැත්තේ නොවන බව තේරුම් ගැනීමෙන් පසුවයි. හැකි ඉක්මණින් ලොකු මහත් වී වැඩිහිටියන්ගෙන් නිදහස් වීම හැර දරුවා දකින වෙනත් විකල්පයක් නැහැ.

මේ විදිහට කුණු ගොඩවල් වල ළමා කාලයම ජීවත් වෙන්න සිදු වී ඇති දරුවන් කුඩා කාලයේම කුණු ගොඩකට වීසි කරනු ලැබ මිය යන දරුවන්ට වඩා අවාසනාවන්තයි. හැම විටම නොවූවත්, සොයා බැලුවොත් ඔවුන් බොහෝ විට තමන්ගේ ජීව විද්‍යාත්මක මවුපියන් දෙදෙනා සමඟ ජීවත් නොවන දරුවන්. අර වීඩියෝවේ සුළු මවගෙන් පහර කන දැරිය වගේ.

ඇමරිකාවේදීනම් මේ වගේ වෙලාවක පාසැලේ ගුරුවරයෙකුට දැනුම් දීමට දරුවන්ව දැනුවත් කරනවා. එසේ දරුවෙකු විසින් දැනුම් දීමක් කළ විට, එසේත් නැත්නම් දරුවෙකු නිවසේදී කිසියම් වධ බන්ධනයකට ලක් වන බව ගුරුවරයෙකුට සැක සිතුණු විට අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබෙනවා. ගුරුවරයෙකුට ඒ ක්‍රියාපටිපාටියෙන් බැහැර වෙන්න බැහැ.

ලංකාවේනම් හැමෝම නැතත් බොහෝ දෙමවුපියන් වගේම ගුරුවරුනුත් වධකයින්. කණගාටුවට කරුණ එය වරදක් කියා බොහෝ දෙනෙක් නොසිතන එකයි. මෙය සංස්කෘතියේ කොටසක්නම් එය වෙනස් විය යුතු කොටසක්.

කුඩා කාලයේ ලිංගික අතවර වලට හෝ වෙනත් ශාරීරික හෝ මානසික වධ හිංසා වලට ලක්වන හැම දරුවෙක්ම වැඩිහිටියෙකු වූ විට සමාජ විරෝධියෙකු හෝ මානසික රෝගියෙකු වෙන්නේ නැතත් එවැනි වැඩිහිටියන් අතර කුඩා කාලයේ අතවර වලට ලක් වූ අය වැඩියි. කිසියම් සමාජයක් දරුවන්ට හා වෙනත් දුර්වල අයට සලකන ආකාරයෙන් අදාළ සමාජයේ නිරෝගී භාවය පිළිබිඹු වෙනවා. එසේ වුවත්, සමාජයක් සැබෑවටම නිරෝගී බව කිව හැක්කේ ආකල්පමය වෙනසකින් එය සිදු වී ඇත්නම් මිසක් දැඩි නීති රීති හරහා කෘතිමව එවැනි තත්ත්වයක් පෙනෙන්නට සලස්වා ඇති අවස්ථා වලදී නෙමෙයි.

%d bloggers like this: