Menu Close

අධ්‍යාපනය ගැන අලුතින් සිතීමට: බිංදුව වෙනුවට ලකුණු දෙකක්!

(2020 ‍ජනවාරි 12  වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

නව පාසැල් වාරය ඇරඹී තිබේ. විශ්වවිද්‍යාල ගණනාවක ද නව ප්‍රවේශයන් සඳහා, පාසැල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කළ, විද්‍යාර්ථීන් පැමිණ සිටිනු ද දකින්නට ලැබේ. ඒ හා සමග, අනාගතයේ පාසැල් සහ විශ්වවිද්‍යාල හරහා යමින් ස්වකීය අධ්‍යාපන ගමන සාර්ථක කරගනු ඇතැයි යන විශ්වාසයෙන් තුන් වියැති වයසේ පටන් කුඩා දූ පුතුන් සමග ළදරු පාසැල් වෙත ඔවුන් රැගෙන යමින් සිටින මාපියන් ද අපට මේ දිනවල නිරතුරුව මුණගැසේ. ඒ සියල්ලම අතරතුර, දැවැන්ත ටියුෂන් පන්ති සඳහා බුරුතු පිටින් ඇදී එන පාසැල් දරු දැරියන් ප්‍රධාන නගර හා ප්‍රත්‍ය ජනපදවල ඇති ස්වකීය ‘සිත් දිනාගත්‘ ගුරුවරයාගේ පන්ති සඳහා ගාල් වන අයුරු ද, සාමාන්‍ය දිනවල සුලභ දසුන් අතර වෙයි. අධ්‍යාපනය ලැබීම හා ලබා දීම සඳහා වන උනන්දුව විවිධ රූප හා රූපක ඔස්සේ අප වෙත මුණගැසෙමින් තිබේ.

මෙයට ටික දිනකට කලින් මැකී ගියේ මෙම ‘අධ්‍යාපන උනන්දු‘ රැල්ලේ එක් වාර්ෂික ප්‍රමුඛ අවස්ථාවකි. ඒ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ දිනය හා ඉන් පසු යෙදෙන ඇගයුම් දින කිහිපයයි. පුවත්පත් හා ටෙලිවිෂන් නාලිකා දිවයිනේ ප්‍රථමයින්, දිස්ත්‍රික් ප්‍රථමයින් නව හා පැරණි නිර්දේශ ඔස්සේ ධාරා දෙකක් හරහා ගනිමින් අප වෙත මුණගැස්වූ අතර සුපුරුදු පරිදි ඔවුන් ස්වකීය ජයග්‍රහණයන් සඳහා වෙහෙස වූ ආකාරයන්, පාඩම් කළ හැටි, දෙමාපියන්ගේ කැපවීම් ආදිය අපට හඳුනාගන්නට ලැබිණ. මගේ නෙත ගැටුණු එක්තරා ටෙලිවිෂන ප්‍රවෘත්තියක දී මා දුටුවේ සෑම ජයග්‍රාහකයෙක්ම හා ජයග්‍රාහිකාවක්ම බුලත් හුරුල්ලක් රැගෙන සිය පාසැලේ විදුහල්පතිතුමා/තුමිය වෙත, සිය මාපියන් සමග ඇවිද යන සැටි හා වැඳ ආශිර්වාද ලැබීමෙන් අනතුරුව මාධ්‍යයට සිය අදහස දක්වන සැටි ය.

‘අපේ දරුවන්ට හොඳට උගන්නන්නයි මේ සේරම කරන්නේ‘ යනුවෙන් සඳහන් කරමින් ස්වකීය ජීවිතයේ බොහෝ දුක් ගැහැට ඉවසා දරාගන්නා දෙමාපියන් අපට නිරතුරුව මුණ ගැසේ. දහසින් බැඳි පියලි අත යටින් තබා පැමිණ හෝ සිය දරුවාට ‘හොඳ පාසැලක්‘ ලබා දීමට තැත් කරන ඔවුහු අනතුරුව ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ යනාදී කඩඉම් ඔස්සේ දරුවන් දුවවමින් හා විටෙක තමන් ද දුවමින් ද දිනයක් තුළ සැලකිය යුතු කාලයක් අධ්‍යාපන තරගයේ සිය (දරුවාගේ) ස්ථානය තහවුරු කිරීම සඳහා වෙන් කර තබා ගනිති.

පාසැල් ද කලින් කල යෙදෙන ජයග්‍රහණ සිය පිවිසුම් දොරටු අභියස ලියා තබමින් ‘හොඳම පාසැල‘ වීමේ තරගයට පිවිස කටයුතු කරන අතර ඒ සඳහා දරුවන් ද පෙළ ගස්වති. කෙසේ වෙතත්, පාසැල යනු පෙර පරිදි අධ්‍යාපනයේ ප්‍රධාන නියමු ස්ථානය නොවන අතර බොහෝ අවස්ථාවල ඒ තත්ව සංකේතයක් බවට පමණක් පත්වන්නේ විභාග ජයග්‍රහණ හිමි කරගනු පිණිස ‘හොඳම ටියුෂන් එක‘ සොයා ගැනීමට දරුවන් හා දෙමාපියන්, ඇතැම් විට පාසැලේ ද අනුදැනුම ඇතිව, කටයුතු කරනු සුලභ තත්වයක් වීම හේතුවෙනි. 

දැන්, අධ්‍යාපනය යනු, එක් එක් සමයන්හි ටෙලිවිෂන නාලිකා විසින් ‘රඟ දක්වවමින්‘ අප වෙත තබමින් ද, ඉන් අනතුරුව එක් එක් ටියුෂන් ගුරුවරුන් විසින් ස්වකීය පන්තියේ ජයග්‍රහණ පිළිබඳ වෙළඳ දැන්වීම් පළ කරමින් නගරවල දැවැන්ත පුවරුවල තබමින් ද, පාසැල්වල ඉදිරිපස ‘සුභපැතුම්‘ පුවරු බවට පත් කරමින් ද ඔද වැඩිය යුතු ‘ජයග්‍රහණ හෙවත් ප්‍රථම හා දෙවන‘ ආදී වශයෙන් ස්ථාන දිනන යමක් ද? නොඑසේනම්, රටක් ස්වකීය අනාගත පරපුර පූර්ණ වශයෙන් පෝෂණය කරමින් වඩාත් පොහොනි සමාජයක් හා පුරවැසි ප්‍රජාවක් තනා ගැනීම සඳහා ගෙන යන අනවරත ක්‍රියාදාමයක් ද?

රුසියානු විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා තරුණයෙක් එහි විභාග සඳහා ලබා දෙන ලකුණු පිළිබඳ තැබූ සටහනක් තවත් කවරකු හෝ උපුටා පළ කොට තිබියදී පසුගිය දිනෙක මගේ නෙත ගැටිණි. ඔහුට අනුව එහි එක් සාමාන්‍ය විභාගයකට ලැබෙන උපරිම ලකුණු සංඛ්‍යාව පහකි. යමෙක් කිසිවක් නොලියා හිස් කොලය යළි ගුරුවරයා වෙත ලබා දුනහොත් ලැබෙන ලකුණු සංඛ්‍යාව දෙකකි. මේ ‘අරුම පුදුම‘ ලකුණු දීම පිළිබඳ විමසන තරුණයාට එහි මහාචාර්යවරයා ලබා දුන් පිළිතුර මගේ මතකය අනුව මෙවැන්නකි.

පුතා, අපිට පුළුවන් ද කෙනෙකුට බිංදුවක් දෙන්න? පහුගිය කාලයක් තිස්සෙ, මේ සීතලේ පාන්දර නැගිටලා දිනපතා දේශනවලට ආපු කෙනෙකුට, තමන්ගෙ කාලය ඉගෙනීම වෙනුවෙන් යොමු කරන්න තීරණය කරපු කෙනෙකුට, තමන්ගෙ අතේ ඇති මුදල්වලින් පොතක් පෑනක් සල්ලි දීල ඉගෙන ගන්න තීරණය කරපු කෙනෙකුට බින්දුවක් දෙන්න? ඒ ලකුණු දෙක දෙන්නෙ එයාගෙ කැපවීම හා ඉගෙන ගැනීමට කරපු වෙහෙස වීමට ගෞරවය හා ආදරය දක්වන්නයි…

ජයග්‍රාහකයින් පිළිබඳ ටෙලිවිෂන තිරවල, නගර කටවුට්වල හා පාසැල් ගේට්ටු අසල විවිධ ඇගයුම් තබන අප ඉගෙන ගැනීම සඳහා සිය කාලය, ශ්‍රමය හා උනන්දුව පෙන්වමින් පැමිණ ඇත්තේ ඒ සුළුතරය පමණක් නොවන බව සිහිකොට ගත යුතු ය. ජයග්‍රාහකයින් ලෙස අප දකින්නන් මෙන්ම අදාල තරග විභාගයට අනුව පරාජිතයින් හෝ නුසුදුස්සන් ලෙස වර්ගීකරණය ලබන්නන් ද අදාල පාසැල්වල හා ටියුෂන් පන්තිවල යම් මොහොතක සාමාජිකත්වය දැරූ පිරිසක් බව අමතක නොකළ යුතු ය. එබැවින් අප කළ යුත්තේ පළමුවැනියා හෝ දෙවැනියා ලෙස ඉහළ වර්ගීකරණය දිනූ පිරිස සමග ‘හුරේ දැමීමෙන්‘ ඔබ්බට ගොස් සමස්ථ අනාගත පරපුරේ ජයග්‍රහණය වෙනුවෙන් අධ්‍යාපනය මෙහෙයවීම ය.

එය ටියුෂන් පන්තියක් හරහා ජනප්‍රියත්වය දිනූ, ඇතැම් විට අවශ්‍ය සුදුසුකමට වඩා මුඛරිකම ඇති, අධ්‍යාපන වෙළෙන්දන් හරහා සිදු කළ හැක්කක් නොවේ. ජනප්‍රිය පාසැල්, දිවයිනේ හෝ දිස්ත්‍රික් ප්‍රථමයා තෝරා දමන ඇගයීම්, පාසැල් දොරටු අභියස තබන සුභපැතුම් ආදිය ඔස්සේ කළ හැක්කක් ද නොවේ. නිසි අධ්‍යාපන ප්‍රතිපත්ති ඔස්සේ කළ හැක්කකි. අධ්‍යාපනය පිළිබඳ අපගේ චින්තනය වඩාත් පුළුල් සීමා දක්වා විහිදුවීම ඔස්සේ කළ හැක්කකි. ඒ සඳහා අප ඉගෙනුම පිළිබඳ ඇති අපගේ මූලික ප්‍රවේශය නැවත විමසා බැලිය යුතුම ය. ඒ කෙළෙසින් ද?

මෙය වටහා ගන්නට මා අත් විඳි කුඩා සිදුවීමක් ඔබ වෙත තබමින් මෙම සටහන හමාර කරමි. ඒ ඉදිරි ලිවීම් තුළ මේ පිළිබඳ තවත් සාකච්ඡා ගොඩ නංවන අපේක්ෂාවෙනි.

එහි කතා නායකයා පාසැල් ගුරුවරයෙකි. ප්‍රධාන නගරයකින් දුරබැහැර පාසැලක ස්වකීය සේවා කටයුතු කරන්නෙකි. ස්වකීය පැවැත්මේ පටන් තරගකාරී අධ්‍යාපනය ප්‍රතික්ෂේප කළ, වෙනස් සිතීමක් ඇති මිනිසෙකි; මහත් සතුටින් කල් ගෙවන දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ නිවසට ගොඩ වැදුණු මොහොතේ පාසැල් යන වයසේ වූ දියණිය හා පුතුන් දෙදෙන මහත් සතුටකින් මා හා කතා කළ අයුරු හා ස්වකීය කටයුතුවල නිරත වෙනු මගේ අවධානයට ලක් වූයේ ඔවුන් වෙත දක්නට ලැබුණු නිදහස්කාමී ස්වභාවය ද විශේෂ අවධානයකට පාත්‍ර වෙමිනි. අටේ පන්තියේ පමණ විය හැකි ඔහුගේ දෙටු දියණිය මවෙත තැඹිලි වීදුරුවක් ගෙන ආවේ මා එහි ගොස් ටික වේලාවකිනි.

“අද මෙයාලගෙ අම්මා ගෙදර නෑ. ලෙඩෙක් බලන්න ගිහිල්ලා…“ දියණිය ගෙන ආ තැඹිලි වීදුරුව බොන්නට ආරාධනා කරමින් මට වඩා වයසින් වැඩි ගුරුවර මිතුරා මට කරුණු කීවේ ය. දරුවන් වෙත දැකිය හැකි, උද්යෝගය, මිත්‍රශීලී බව, නිදහස්කාමී බව පිළිබඳ මගේ නිරීක්ෂණය දක්වමින් ඒ සඳහා හේතුව මම ඔහුගෙන් විමසුවෙමි. ඔහු සිනාසෙමින් පහත උදාහරණ කතාව මට කීවේ ය.

“මගෙ දරුවො තුන් දෙනාගෙන් දෙන්නෙක්ම ශිෂ්‍යත්වෙ ලියල ටිකක් කල්. අන්තිමයා මේ එන පාර ලියනව. මං කලින් දෙන්නටම විභාගෙට කලින් දවසෙ කිව්ව කතාව පොඩි පුතාටත් කියනව… ඒ කතාව මේකයි. මම කිව්ව ‘පුතේ… මේ විභාගෙ ඔයාට ලියන්න ඕනෙ නම් ලියන්න. බැරි නම් නොලිය ඉන්න. ඔයා මේක ලිව්වත් නැතත්, පාස් වුණත් නැතත්… මං එක දෙයක් හොඳටම දන්නව… ඒ මගේ පුතා දක්ෂයෙක් කියල!!“

“එයාල විභාගෙ පාස් වෙලා තිබුණ. ඒත් මං ඒවා ලොකුවට අරන් එයා අනිත් කාටවත් වඩා ලොකු ය… උසස් ය… කියන අදහස එයාලගෙ ඔළුවලට දැම්මෙ නෑ!“

අනාගත පරපුරම වඩාත් දියුණු චින්තන ලොවක් වෙත ඔසවා තැබීමට කටයුතු සරි කිරීම අධ්‍යාපනයේ මූල ප්‍රවේශය විය යුතුව ඇත.

-ප්‍රියන්ත ෆොන්සේකා –

%d bloggers like this: