Menu Close

සමාජීයත්වය යනු බැහැර කිරීමට එරෙහිව කරන අරගලය යි

83322243_590033268477172_2615898025456828416_n

සිංහලයෙක් යනු කුමක්ද? පසුගිය 12 වනදා කදිර් ස්මයිලි සමඟ පැවති සාකච්ඡුාව තුළින් ශ‍්‍රී ලංකාව සිංහල ජාතිය මුල්කරත් රාජ්‍යක් ලෙස ගොඩනැගී පැවතීමේ ප‍්‍රාථමික කොන්දේසිය වන්නේ ම මෙරට සුළුතර ජාතීන්ගේ පැවැත්ම බව නැවතත් අවධාරණය කෙරුණි. ඉතාම සංකීර්ණ මෙම සහසම්බන්ධය ඔහු පැහැදිලි කරන්නේ ගැහැනියක් යනු කුමක්ද? යන ප‍්‍රශ්නය උදාහරණ ලෙස දක්වමිනි. ස්ත‍්‍රී විමුක්තිකාමීන් ඉල්ලා සිටින විමුක්තිය උදාකරලීමට ද අකමැත්තෙන් වුව පුර්ෂ මූලිකත්වය හැමවිටම ඒ වනවිටත් පිළිිගෙන සිටිය යුතු බව ඔහු පවසයි. ජෝන් ලොක් පවා ලිංගභේදය හඳුන්වන්නේ පිරිමියා සහ බිරිඳ ලෙසයි. එනම් පිරිමියාට සාපේක්ශව ගැහැණිය අර්ථකථනය කිරීමයි. එසේනම් වෙනස පිලිගැනීම තුළින් ඒකීයත්වයක් ගොඩනැගීමේ මෙම වියවුලට මුහුණදීමට අප සවිඥානිකව කටයුතු කළයුතු නොවේ ද? මන්ද මේ පිලිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කරන්නා හා එසේ නොමැති වූ ජාතිවාදියා හෝ පුරුෂෝත්තමවාදියා යනු ප‍්‍රායෝගික තලයේදී පැහැදිලිව හඳුනාගත හැකි පාර්ශව දෙකකි. අප මෙලෙස අනෙකාට සාපේක්ශ ව තම පැවැත්ම තහවුරු කරගෙන ඇති  බව ලාංකික බහුතර ජනවර්ගය වන සිංහල යැයි කියාගන්නා ජාතියට, පාලකයන්ට, මෙන්ම ආගමික නායකයන්ට පවා අමතක වී ඇති බව හොඳින්ම පෙනෙයි.  එබැවින්  මේ ඔවුන් වෙත කුඩා හෝ බලපෑමක් සිදු කිරීමට දරණ උත්සාහයකි.

කිරන් කවුර්ගේ ලේඛනයක සඳහන් වන පරිදි ප‍්‍රංශ දාර්ශනික ජාක් රොන්සියර්ට අනුව සෞන්දර්යය යනු කලාව සහ රසඥතාව  පිළිබඳ කරුණකට වඩා කාලය හා අවකාශය පිලිබඳ වන්නකි. එය අප විසින් සමාජය තුළ අපගේ ස්ථානය නිර්මාණය කර ගන්නා ආකාරය සහ අන්යෝන්‍ය අවබෝධය ගොඩනගා ගැනීම සඳහා සන්නිවේදනය කරන්නේ කෙසේද යන්න පිලිබඳ වන්නකි. එම නිසා සෞන්දර්යය සහ දේශපාලනය සමීපව සම්බන්ධ වේ. පිළිිගැනීම සහ සහභාගිත්වය පිළිබඳ සමාන අයිතීන් දිනා ගැනීම සඳහා වන  ඕනෑම ක‍්‍රියාවක් දේශපලනික නම් සෞන්දර්යය යනු බොහෝවිට මෙකී ඉල්ලීම දිනාගත හැකි මාර්ගයන් වන්නේය. ලෝකප‍්‍රකට බැන්ක්සි නම් වීදී සිත්තරුවා පවසන්නේ ද ‘The art should comfort the Disturbed and should disturb the Comfortable’ ලෙසයි.

මොහොතකට ග‍්‍රීසියේ පළමු පුර රාජ්‍ය වෙත අවධානය යොමු කරමු. පිරමිඞ් යුගයේ රජවරු දෙවියන් වශයෙන් මිසරවාසීන් පිලිගත්ත ද බටහිර ශිෂ්ටාචාරයේ නිර්මාපකයා වන ග‍්‍රීසිය විශ්වය පිලිබඳ ව තර්කාන්විතව සලකා බලා, ස්වභාවධර්මය පිලිබඳ ව දාර්ශනික චින්තනයක් ඉදිරිපත් කළ පළමු වැන්නා වේ. වීර කාව්‍යය, භාව ගීත, ඉතිහාසාත්මක ගද්‍ය රචනා, හාස්‍යයෝත්පාදක, ශෝකාන්ත සහ උපහාසාත්මක නාට්‍ය ඇතුළු මුළු ග‍්‍රීක සාහිත්‍ය ක්ෂේත‍්‍රය තුළින් ම පෙන්නුම් කළේ ග‍්‍රීක චින්තනය මෙන්ම ප‍්‍රතිභාවයි.

හේගල්ට අනුව ඛේදාන්තයක් සඳහා දියහැකි හොඳම ආදර්ශය නම් ඇන්ටිගනී ග‍්‍රීක නාට්‍යයයි. මෙම නාට්‍ය තුළින් රාජ නීතිය හා දේව නීතිය අතර ගැටුම කියාපායි. ජිවිතය පිලිබඳව ග‍්‍රීක ජාතිකයින් දැක්වූ අදහස් ලෝක ඉතිහාසයේ නවතම අදහස් බව තහවුරු කරමින් ඊඩිපස් රජුගේ දියණිය වන ඇන්ටිගනී රජ අණ නොතකා දේව නීතිය වෙනුවෙන් පෙනී සීටී.

ඇන්ටිගනී කතා පුවතට අනුව තීබයේ රජකම් කරන ක්‍රෙයෝන් රජු තම දේශය වෙනුවෙන් යුද්ධයට ගොස් මියගිය එටියෝක්ලීස් හට ගෞරවනීය අවමංගල්‍යයක් සඳහා සියල්ල සූදානම් කළද, තම රටේම පුරවැසියෙකු වන, ඔහු සමඟ රාජ්‍ය විරෝධීව සටන් කළ පොලිනීසස්ගේ මිනිය මිනී කපුටන්ට ආහාරයට දැමීමට අණ කරයි. තම දෙසොහොයුරන්ගේ  මියයාම සැල වූ ඇන්ටිගනී ගෞරවාන්විත අවමංගල්‍යක් අහිමි වූ සොයුරාට ද  අවමංගල්‍යය චාරිත‍්‍ර සිදුකිරීමට උත්සුක වේ.

ඇය මියගිය සොයුරාට ඇති ස්නේහය නිසා රජ අණට විරුද්ධ ව අවමංගල චාරිත‍්‍ර සිදුකරන්නීය. ඇන්ටිගනී නාට්‍ය විකාශනය වන්නේ මේ පසුබිම තුළයි. ග‍්‍රීසියේ පැවති විශ්වාසයන් අතර මියගියවුනට ගෞරවනීය ලෙස අවමඟුල් චාරිත‍්‍ර කිරීම ඉතා වැදගත් ය. මන්ද මියගිය අයට සුගතියක් ලැබෙන්නේ එවැනි ගෞරව සම්පන්න අවමඟුලක් කළහොත් පමණකියි ඔවුහු ඇදවූහ. මේ තත්වය යටතේ ඇය රජුට පවසන්නේ,

”ඉහළ වැඩ වසන දෙවියන් – නොසලකති එය සරි යැයි

ඔබ නරයෙක් පමණි පුහුදුන් – ඔබ පනවන අණ සවිමත් නැත

නොලියවුණු නොකියවුණු දේව නීතිය – ඉක්මවා යන්නට

කවදා කවුරු පැනවූයේදැයි නොදත් මුත් – අදට හෙටට පමණක් නොව

සදාකාලයටම වලංගු දේව නීතිය”

ඇන්ටිගනී ක්‍රෙයෝන් රජුට මෙසේ පවසද්දී ඔහු පවසනුයේ,

”ඔහුගේ මිනියට නොමැත මේ බිම – වළ දමන්නට ඉඩ කඩක්

කිසිවෙකුටවත් ඔහු නිසා – අඩන්නට වැලපෙන්නට ඉඩ නැත

මිනිය කුණු වී ගොදුරු විය යුතු – ලිහිණියන් බලූ කැණහිලූන් හට”

එසේ නොකරන්නන්ට දඬුවම මරණය යැයි ද පවසයි. එහිදී අත්වැල් ගායකයන් විසින් දෙවියන් සිහිපත් කරනුයේ මේ අකාරයෙනි.

”රජතුමාණෙනි මෙය දෙවියන් කළ දෙයක් යැයි සැක නැෙඟ් මා සිත”

රාජ නීතියට යටත් කළ නොහැකි වූ මෙම ජීවත්වීමේ අයිතිය හැඟ වීමේ එනම් ඒ සඳහා පවතින අපරිමිත අවකාශයක සැලසිය යුතු ඉඩප‍්‍රස්තාවේ අවශ්‍යතාව  අපට වර්තමානයේ වුවද ප‍්‍රකාශ වේ.

එනම් 2019 ඉල් මස 13 වනදාට යෙදී තිබූ මහවිරු සැමරුම රජය විසින් තහනම් කර තිබියදී පවා යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සැමරීමයි.  එහිදී උතුරු නැගෙනහිර යුද්ධය නිසා මියගිය ද්‍රවිඩ තරුණ තරුණියන් සැමරීමට පිලිබඳ ව ඔවුන් සමාජ මාධ්‍ය තුළ තබන ලද සටහන් පවා කවුරුන් හෝ විසින් මකා දමන ලදි. තම භූමිය තුළින් හිමි නොවන  එසේ හෙයින්ම අපරිමිත්ත්වයක් වෙතට ඇන්ටිගනී මෙන් යාපනය විශ්ව විද්‍යාලයයේ විද්‍යාර්ථීන් හඬ නගන ඒ සංවේදී අදහස් මෙසේය.

”අප මෙලෙස මහ විරු දිනය සිහිපත් කරනුයේ රට අල්ලා ගැනීමට නොව, ඔබලාට එරෙහිව ආයුධ ගත් බව සිහිපත් කිරීමට ද නොවේ. ඔබත් සමඟ අපට ගැටුම් තිබෙන බව ද සිහිකරන්න නොවේ. ඔවුන් අපේ දරුවන්ය, ඔවුන් අපේ සහෝදරයින් ය, ඔවුන් අපගේ මිතුරන්ය. ඒ සෑම දෙයකට වඩා අප වෙනුවෙන් ජීවිත කැපකල මිනිසුන්ය. ඔබ ඔවුන් විරුවන් ලෙස පිලිගත උතු නැත, ඔබ ඔවුන්ට වන්දනාමාන කල යුතු නැත. එහෙත් ඔවුන් කෙරේ අපහද තුළ ඇත්තේ භක්තියක් නැතිනම් ගරුත්වයක් බව පිලිගන්න. එයම පමණක් අපට ප‍්‍රමාණවත්ය. එතුමන්ලා අප වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු පිරිසක් බවට වන සත්‍ය පිලිගත් අපහදවත් බිඳ නොහරින්න. මේ යථාර්ථය තේරුම් ගත් විට අප රටේ හිරු උදාකර දීමට අහස සූදානම් වනු ඇත.”

මෙහි වන අවසන් වදන් පෙල කියා සිටින්නේ ඇන්ටිගනී මෙන්ම නොලියවුණු නොකියවුණු දේව නීතිය – ඉක්මවා යන්නට රජුට හැකිවීමේ ඛේදය හා ජීවත්වීමේ අයිතිය රාජ නීතියෙන් අහිමි වූ කල අපරිමිත්ත්වය කෙරේ තැබූ  බලාපොරොත්තුවයි. එසේනම් මෙහිදී දේව නීතිය තුළින් ඇන්ටිගනී නිරූපනය කරන්නේ දෙවියන් පිලිබඳ නොව මිනිසුන්ට හිමිවිය යුතු නිදහස මූලික කරගත් සදාචාරයට ගරු කිරීමයි. එසේ නොකිරීම තුළ ලාංකික බහුතර ජනයා විසින් තමන්ද ඇතුලූව මුලූමහත් ජනතාවටම උදාවිය හැකි විනාශකාරී යතාර්තය අමතක කර දමා තිබේ. අවසානයේ ඇන්ටිගනී ගුහාවක සිරකර දමා රජු විසින් මියයාමට සලස්වයි. මෙකී දඬුවම පිලිබඳ අදහසක් දක්වමින් ක්‍රෙයෝන්ගේ පුතු මෙන්ම ඇන්ටිගනීගේ පෙම්ව්තා පවසන්නේ, ”ඔබ හොඳයි රජෙක් වෙන්න කාන්තාරයක” යනුවෙනි.

මෙම කතා පුවත නිර්මාණය සඳහා හේතු වූයේ ග‍්‍රීක සමාජයේ ක‍්‍රි පූ 6 වන සියවසේ පැවති සමජ ආර්ථික හා දේශපාලන වටපිටාවයි. නමුත් වර්තමානය වනවිටත් එම කලාකෘතිය අප සාමාජය හා අභිමුඛ වීමෙන් ශිෂ්ටාචාරය තුළ සදාචාරමත් පෙනී සිටීමක් දැකිය නො හැකි අතර ආකෘතිමය රැුවටිල්ලක් පමණක් ම දැකිය හැකි ය. සත්තකින්ම අප සොල්දාදුවා අර්තකතනය කළ යුත්තේ කෙසේද?

90 ප‍්‍රවණතාවත් සමඟය යුද්ධය සහ ප‍්‍රචණ්ඩත්වය දිගින් දිගටම පවත්වාගෙන යන රාජ්‍ය මතවාදයට එරෙහි වීමේ, ප‍්‍රතිචාර දැක්වීමේ, විරුද්ධ වීමේ ක‍්‍රමයක් ලෙස සොල්දාදුවා නැමති තේමාව කලාකරුවන් යොදාගත් බවට සඳහන් කළ හැකි ය. දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධයේ බිහිසුණු බව නිසාම එම කෘති සොල්දාදුවා ගැන පුද්ගලයෙක් ලෙස කතා කිරීම වෙනුවට මූලික හරය වශයෙන් ගත් කළ යුද්ධය හා ප‍්‍රචණ්ඩත්වය ගැන පුළුල් අරුතකින් සාකච්ඡුා කර තිබේ. මෙම තේමාමය ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වූ වඩා සංවේදී බවකින් යුතු තවත් ප‍්‍රවේශයක් වන්නේ සොල්දාදුවා ද පුද්ගලයෙකු ලෙස දකින්නට උත්සහ කිරීමයි. මිතුරෙකු, ආදරවන්තයෙකු, අපගේ ම පුරවැසියකු ලෙසත් දැකීමයි. ජගත් වීරසිංහගේ ‘සොල්දාදුව නුඹ කවුද? (Who are you Soldier?) නැමැති පින්තාරුව මෙයට කදිම උදාහරණයකි.

අවසාන වශයෙන් ජාතිකවාදයට අභියෝග කිරීම සඳහා සුළු ජනවර්ගයකට පෙනී සිටිය හැකි සාධනීය මාර්ගය, එනම් බැහැර කිරීමට එරෙහි අරගල කිරීම වන්නේ තම අනන්‍යතාව අතික‍්‍රමණය වී  රැුඩිකල්වාදී ප‍්‍රවේශයක් ගැනීමද? ඇන්ටිගනීගේ චරිතය ස්ත‍්‍රියක් ලෙස ගොඩනැගී ඇති ආකාරය ප‍්‍රකට කරන්නේ එය ද? තම අනන්‍යතාවය අතික‍්‍රමණය කළ හැකි රැුඩිකල් පෙනී සිටීමක් ද?

එයට පිලිතුර ස්ත‍්‍රිය සමාජ තුළ හැසිරීමේදී ආයාසයෙන් තමාගේ ස්ත‍්‍රී අනන්‍යතාවයන් මැඬලීමට පරිශ‍්‍රමයක් දැරීමද? එනම් ගැහැනියක් ලෙස මා ඒකීයත්වයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පුරුෂ අනන්‍යතාවයන් මා කෙරේ අවශෝෂණය කරගැනීමට උත්සාහ කළ යුතු ද?. මන්ද ශ‍්‍රී ලාංකීය සුළුතර ජනයා බහුතර ජනයා ලෙස නිරූපණය වීමට තම අනන්‍යතාවන් කැපකිරීම මා දැක ඇත. එනම් රජයේ රැුකියාවක් ලබා ගැනීම සඳහා දමිල නොදත් සිංහල බහුතරය දමිල ඉගන ගනිමින් සිටින අතර ම බහුතර ද්‍රවිඩ හා මුස්ලිම් දරු දැරියන් සිංහල ඉගැනීම නිසා දමිල භාෂාව ලිවීමට හා කියවීමට නොදනී. මේ සියල්ල තුළින් නැවත වතාවක් තහවුරු වන්නේ වෙනස තුළින් ඒකීයත්වයක් ගොඩනැගීම තුළ මුහුණපෑමට සිදුවන අභියෝගයයි. ඇතැම්විට මෙම ඒකීයත්වය දිව්‍යමය පහසක පමණක් භුක්තිවිදිය හැක්කක් දැයි හැෙඟයි. නමුත් උත්සාහය අත්හැර දැමීමට ඔබ අප සැවොම ඉක්මන් නොවිය යුතුය.

චාමනී දර්ශිකා

%d bloggers like this: