Menu Close

ශ්‍රී ලංකා not Vs England – හත්වෙනි කොටස

……. ලොකු නංගී මට රටකජු මිටක් දුන්නාය. එතකොට අටහමාරට විතරය.
මට තවමත් තැනත් වෙලාවත් විතරක් නොවේ, නංගී ඇඳගෙන හිටි ඇඳුමේ මෝස්තරයත් පාටත් මතකය. මතකය කියනවාටත් වැඩියෙන් ඔබින්නේ තවමත් එයා මගේ දෙනෙතේ හැංගිලා ඉන්නවා කියන එකය.

මගේ ඇස් කෙවෙණි දෙක ඇතුළේ පුෂ්පා රංජනී දිසානායක තවමත් ජීවමානව හැංගිලා ඉඳියි!
නෝනා හෙවත් අපේ ලොකු නංගී හෙවත් පුෂ්පා රංජනී දිසානායක පණ පිටින් ඉන්නවා මා දුටු අන්තිම අවස්ථාව ඒකය……………. 
ලොකු නංගි එවෙලේ ඇඳගෙන හිටියේ එල්ලා හැලෙන රෙද්දකින් මැසූ ගවුමකි. විස්කෝස් වැනි රෙදි වර්ගයක් වෙන්නට ඇති. කර වටේට ‘මන්තය’ක් වැනි කොටසකි. රෙද්දේ පසුබිම කහපාටට හුරු දුඹුරු පාටය. ඒ පසුබිම පුරාම විහිදුනු පුංචි මල් පොකුරුය. ඒවා ලා රෝස පාටය…. මැද කොටස විතරක් රතු පාටය….. 
නිදිගේ පංච තන්තරේ ලියන්නට ගනිද්දී පසක් නොවුණු සත්‍යයක් දැන් මට පසක්වී තිබේ!
මේ කෙරෙන්නේ භාව විරේචනයකි… 
හොඳ කලා නිර්මාණයක් රස විඳීමේදීත් රසිකයනට එහෙම දෙයක් සිදුවෙනවාලු. උමතු රෝගියකුගේ දැඩි මානසික ආවේග දුරු කරලන්නටත් මෙවැනි භාව විරේචන උදව් වෙන බවක් කියවෙයි. 
ඒ කතාව ඇත්ත වෙන්නට ඇති.
දුන්හිඳ අද්දර මාරකය කතන්දරේ ඔබට කියද්දී හමුවුණු ගැටවර අපයෝජක ෂර්ලි….
හිතාදර ඔබට අපේ ආච්චී, සීයා, තාත්තා, සිඟිති වියේදීම මා අපයෝජනය කළ ෂර්ලිගැන විතරක් නොවේ, දුන්හිඳ අද්දර මාරකයෙදී ඔබට කී විලියම්ගැන පවා දැන් මගේ හිතේ තියෙන්නේ මෘදු හැඟීම්ය.   
නෝනා…. ලොකු නංගි…. පුෂ්පා රංජනී ගැන ඒ කාටත් වැඩියෙන් රිදුම් දෙන මතකයකි මට තියෙන්නේ. 
එක අතකට එයා එහෙම මගේ ඇස් දෙකේ නිදන්වී ඉන්නා එකට මා කැමතිය. මියගිය එකටත් මා කැමතිය. 
නෝනා…. ඔයා තවමත් ඉන්නේ අර ලස්සන ගවුම ඇඳගෙන, උතුරන තාරුණ්‍යයේය. 
ඔයාගේ පොඩි අයියා දැන් සීයා කෙනෙකි. අනිල් මල්ලීත් ගිහින්ය. ගෙදරින් කඩවසම්ම හාදයා වුණු අන්නා මැරෙනකොට ඇටකෝටු ගොඩක් විතරය. පිළිකාවෙන් වුණත් තවමත් එච්චරටම දුර්වලවී නැත්තේ සමන්තිත්, මාත් විතරය. 
මානෙලුත් ආච්චී කෙනෙකි. සමන්ති, දීපාල්, දීපානි තුන්දෙනාම කරදඬු උස්මහත්වුණු දරුවන්ගේ අම්මලා-තාත්තලාය. ඔයා විතරක් වයසට නොගිහින් ….. දිරා නොගිහින්…. ඉස්සර වගේම ලස්සනට! 
ගෙදරින් කඩවසම්ම හාදයා වුණු අනිල් මල්ලී මියගියේ ඇටකෝටු ගොඩක් බවට පත්වෙලාය….
එහෙම වුණත් ඔයා ගැන මේ ටික හෙළි කරන්නේ මගේ හිතේ බර අඩු වෙතියි හිතාගෙනය! තරහකින් නම් නොවෙයි, හොඳේ. හිතට සහනයක් වෙන්නට…. 
මෙච්චර කාලයක් මේ හුඟක් දේවල් හිතේම හංගාගෙන ඉන්නට මං දරාපු වෙහෙසක්… 
එදා මහරගම අනුෂා සිනමා ශාලාවේ රාත්‍රී 9.30 දර්ශනය පැවැත්වුණේ නැත.
පෝලිම්වල කවුරුන්වත් හිටියේ නැතිය. සිනමාහලේ සේවය කරන ‘විනී’ විතරක් එළියේ හිටියේය. “සෙනඟ ඇතුළටත් දාල ඉවරද අයියේ?” 
“අද නයින් තර්ටි ෂෝ එක නැහැ නිමල් මල්ලී… film එක දිගයිනේ… හයහමාරේ එකවත් තවම ඉවර නැහැ…..” විනී කිව්වේය. 
ආපසු හැරුණු මා හිතුවේ වෙලාව අපතේ නොයවන්නටය. එනිසාය ගෙදර නොගොහින් කළු අක්කලාගේ ගෙදරට ගියේ…. පෝරුවට කැටයම කැපීම යළි පටන් ගත්තේ…..

දැන් දකින එකම වෙසක් කූඩුවකවත් මෙවැනි මුතු කැටයම් නැත. තියෙන්නේ ‘ගෝඩි’- ගොරහැඩි…..
“නිමල් අයියේ…. ඔයිට ඉස්සෙල්ලා අපිට මඟුල් මඩුව වටේට ගහන්න යන මුතු කැටයම ඇඳලා දුන්නා නං අපිටත් වැඩේ කරගෙන යන්න පුළුවන්.” කළු අයියා කීවාම මා කඩදාසිවල ඒවාත් ඇන්දා මතකය. 
දැන් ගැහෙන ප්‍රසිද්ධම වෙසක් කූඩුවකවත් එහෙම මුතු කැටයම් කපා තිබෙනවා මා දැක නැත.  
අන්තිම වතාවට එහෙම දෙයක් දැක්කේ 88 විතර තලපත්පිටියෙදී, නෙවිල්ලාගේ හිතවතෙකු වන අජිත් අශෝකයන් හැදූ වෙසක් කූඩුවකය. 
ඒවා කොච්චර අපූරුද කියතොත්, ඉතිරිව තිබුණු කැටයම් දෙකක් ඉල්ලාගෙන ඇවිත් තවමත් රකින්නෙමි! එතකොට අජිත් ඒ තරම් ප්‍රසිද්ධ නැත. පන්නිපිටියේ දෙව්රම් වෙහෙරේ බිත්ති කැටයම් නිසා ප්‍රසිද්ධ වුණු අජිත් අශෝකයන් වුණත් සංවර්ධන සුනාමියට බිලිවෙලාවත්ද? 
කඩදාසියේ මෝස්තරය අඳිමින් හිටි හැටි මතකය…. ඒත්….

එතැන ඉඳලා මගේ මතකය එකම අවුල් ගොඩකි! අනෙක් වෙලාවට අවුල් ටිකය!!
එතැන හිට මගේ මතකය අවුල් ගොඩකි. වැදගත් කොටස් ගොඩාරියක්ම නැතිව ගිහින්ය. ඒ මාරක පණිවුඩය ගෙනාවේ කවුදැයි මට අමතකය. 
මා ගෙදරට දිව්වේ කොහොමද… පස්සෙන් පන්නාගෙන ආවේ කවුරුන්ද…. ඊළඟට … ඒවා සිදුවුණු බව මිස වෙනත් දේවල් අමතකය…. 
තැනින් තැන විලාප මැද්දේ කියවුණු දේවල් ටිකක් විතරකි; සිහියට නැඟෙන්නේ….. 
“අනේ රංජි පුතේ…. නෝනා….”, 
“ලොකයියේ නෝනක්කා වහ බීලා….” 
“….ඉස්පිරිතාලෙට එක්ක ගිහින්…..” 
නෝනාට ජීවිතය එපා වුණේ ඇයි? අටහමාරට විතර මගෙත් එක්ක කතා කරද්දී නෝනා හිටියේ අංශු මාත්‍රයකවත් තැවීමක ලකුණක් නැතිවය.
“ලොකූ…. ඔයාටත් මේ වගේ චේන් පොටක් ගන්නයි තියෙන්නේ.” 
එදා දහවල් ඩියුටි මාරු වෙන්නට බොරලැස්ගමුවේ කඩේට ආ වෙලාවේ නෝනා මට කීවාය. ඒ ඇයගේ කරේ තිබුණු හීනි රත්තරන් මාලපොට පෙන්වමිනි.

උඩවැඩියා ලෝලියෙක් දුලබ මලක් රකින්නාසේ තවමත් මා ළඟ සුරැකිව තියෙන ලොකු නංගිගේ රන් මාලය….
“දියවන්නාවේ නාන්න යං ලොකා. හරි ෂෝක්… බත් ටිකකුත් උයාගෙන ගියා නං සීයාත් එක්ක දෙහිවල ගියා වගේම තමයි!” එදා කඩේදී අප කතා කළ පොඩ්ඩට එයාගෙන් එහෙමත් කියවිණි.  
මැරෙන්නට හිතාගෙන හිටියා නම් එහෙම දේවල් කියවේවිද? 
එතකොට අපට තියා ලංකාවෙවත් ජංගම දුරකථන තිබුණේ නැත. Land phone තිබුණෙත් කලාතුරකින් කෙනෙකුට විතරය. ළමා නිවාසයේ ෆෝන් එකටවත් කිසිම පණිවුඩයක් ආවේ නැත. 
වස බිව් ලොකු නංගිවත් ටැක්සියක දමාගෙන සුනිල්ලා කොහාට ගියාද- මොනවා වුණාද කියලා අපෙන් කිසිවෙක් දැනගෙන නොසිටියේය.
අපට වුණේ තෝන්තුවෙන් තාන්තු වෙවී ඔහේ දැවෙමින් ඉන්නටය. 
පාන්දර සුනිල්ලා ආවෝය. 
“වැඩක් වුන්නෑ…. ගෙනියනකොටත්…..”
මේ මොන වින්නැහියක්ද දෙයියනේ?
අනේ නෝනක්කේ …. 
අනේ දෙයි හාමුදුරුවනේ …. 
අනෙ අම්මෝ, මේ මොන විපත්තියක්ද… වගේ කෙළවරක් නැති අඳෝනා නැඟෙන්නට පටන් ගත්තේය. 
අහළ-පහළ ගෙවල්වලිනුත් එකා-දෙන්නා ගෙදරට ඇදෙන්නට පටන් ගත්තෝය. ඒ දෙවෙනි වතාවටය. කලින් වතාවේ ඇවිත් එයාලා පිටත්ව යන්නට ඇත්තේ ‘කන්’ අපේ ගෙදරම රඳවලා වෙන්නැති! 
කියන්නට ලජ්ජාවක් නැත. නිහඬව; නොනවත්වාම; එක දිගටම කඳුළු පෙරෙමින් තිබුණේ මගේ දෙනුවන්වලිනි. 
“රංජි… අඬ-අඬා ඉඳලා විතරක් හරියන්නෙ නැහැ පුතේ….. උඹනෙ දැන් මේ ගෙදර ලොකු එකා. උඹ මැදිහත් වෙලා තමයි මේ කටයුතු කෙරෙන විදිහක් තීරණේ කරන්න ඕනේ…. සුනිල්ට කියහං රත්තරනේ මොනවද කරන්න ඕනේ කියලා….” 
“මළාට පස්සේ කොහොම කළාම මොකද ආච්චියෙ?”
අනේ රත්තරං පුතේ, මෙහෙම වෙලාවක තරහ අරං හරි යනවද?
“අනේ රත්තරන් පුතේ…. තරහ අරං හරි යනවද මෙහෙම වෙලාවක. නෝනා ගෙනා ආයුස ඔච්චර තමයි. දැන් මේ ඉන්න කිරි සප්පයෝ ගැන බලන්න ඕනි නේද? උන් තුන්-හතර දෙනෙකුම ලෙඩින් ඉන්දදී ගෙදරට මිනියක් ගෙනෙන්න පුළුවනිද? කිල්ලට අහුවෙලා උන්ට අමාරු වෙයි පුතේ.” 
එහෙම දේකුත් තියෙන බව මට යන්තම්වත් කල්පනා වුණේ එතකොටය. අපේ ගෙදර උදවිය කිලි, නැකත්, අපල අරවා මේවා එතරම් ඔළුවට ගත් උදවිය නොවේ. ඒත්….. 
ඒ දිනවල තිබුණු පෑවිල්ල නිසාදෝ ගොඩ දෙනෙකුට දෙවියන්ගේ ලෙඩ වැලඳී තිබිණි. 
අපේ නංගිලා-මල්ලිලා හතර දෙනෙකුටමත් සරම්ප හැදිලාය. තියෙන කරදර තවත් වැඩි කරගන්නට ඕනෑ නැත. එයාලා ගැනත් සැලකිල්ලට ගත යුතුමය. 
ශ්‍රී ලංකා පවුල්  සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවෙන් කෙරුණු පුහුණු වැඩමුළුවලටසම්පත් දායකයෙකු ලෙස මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්මා නිතරම සහභාගී කර ගැනුණේය. එවැනි වෙලාවක, එතුමා පැවසූ දෙයක් මට සිහිවුණේ ඒ මොහොතේමය.
දේශකයන් ලෙස අප පුහුණු කරවන්නට සහභාගී වුණු මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්මා …..
“….. බණ ඇහුවට අපේ රටේ උදවිය හිතාගෙන ඉන්නේ මියගියාට පස්සෙත් හැඟීම්- දැනීම්- සංවේදන දැනෙනවා කියලා වගෙයි. වෛද්‍ය විද්‍යාලයට මෘත දේහය පරිත්‍යාග කරන එකෙන් අනාගත දොස්තරලාට ඉගෙන ගන්න උදව්වක් කරන්න එයාලා කැමති නැහැ…. 
-වෛද්‍ය සිසුන් මෘත දේහ කපනවිට රිදෙයි කියලා සමහරුන් හිතනවා වෙන්නැති…. දිරා යන මෘත කලේබරයෙනුත් අනුන්ට සේවයක් කරන්න ඇයි කිසිවෙක් මැලි වන්නේ?” 
එතකොටත් එතුමා වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපති ධුරය උසුලමින් සිටියේය. 
වැඩ සටහන්වලදී මා පෙන්වූ මුඛරිකම හින්දාත්, මගේ නිමක් නැති ප්‍රශ්න නිසාත් කෝදාගොඩ මහතාට එතකොටත් මගේ නම හා මුහුණත් තහඩුව මතක හිටලා තියෙන්නට ඇති බව මට සහතිකය. එතකොටත් තජකයේ සේරම මට හිනාවෙමින් හිටි කාරණයකුත් මට මතකය. 
ඒ මානව ලිංගිකත්වය, ප්‍රජනනය හා පවුල් සැලසුම පිළිබඳව දේශන පැවැත්වීමට අප පුහුණු කරවන වැඩ සටහනකදී සිදු වුණු දෙයක් නිසාය.
අපේ අය අතරේ විශ්වාසයක් තියෙනවා ලිංගික තෘප්තියත් එක්ක ලිංගේන්ද්‍රියවල ප්‍රමාණයත්…. (කජුරාවෝ කැටයමකි.)
“මහාචාර්යතුමනි. අපේ සමාජයේ විශ්වාසයක් තියෙනවා සහකාරියකට උපරිම ලිංගික තෘප්තිය ලබාදෙන්නට නම් පුරුෂ ලිංගය ප්‍රමාණයෙන් විශාල විය යුතුය කියලා. ඒ කතාවේ ඇත්තක් තියෙනවද….” 
ඒ වගේ ප්‍රශ්න අහන්නට හිටියේ මං විතරයි වගෙය. හැමෝම හිනා හංගාගෙන බලා උන්හ. 
“කාන්තාවකගේ යෝනියේ ව්‍යුහය මම කලින් පැහැදිලි කළානේ….. ක්ලිටරීසය- එහෙමත් නැතිනම් භගමණිය කියලා හඳුන්වපු ව්‍යුහය තමයි ස්ත්‍රියකගේ ලිංගික අවයවයේ වඩාත්ම සංවේදී ස්ථානය වන්නේ. එයට ලැබෙන උත්තේජන, ලබාදෙන තෙරපීම්, ස්පර්ශයන් මතයි ඇයගේ තෘප්තිය රඳා පවතින්නේ…… 
-ඒකට ඔය මෝල් ගහක් තරම් එකක් ඕනේ නැහැ….. මේ වගේ චූටි ඇඟිල්ලකුත් ඇති…..” 
එවැනි කරුණු මනා සංයමයකින් යුතුව සභ්‍ය අයුරින්; සරල බසින් පහදා දෙන එතුමන් එදා හාස්‍ය රසය මැව්වේ ඊට පස්සේ හීන් හඬින්- රහසෙන් වගේ මගෙන් ඇසූ ප්‍රශ්නයක් හා කළ ප්‍රකාශයක් මඟිනි.
මයිකල් ආන්ජලෝ නිමැවූ ලෝක ප්‍රසිද්ධ ‘ඩේවිඩ්’ ප්‍රතිමාව නිවැරදිවම සිරුරක ප්‍රමාණ පෙන්වයි!
“නිමල් …. දැන් බය නැති වුණාද? අයිසේ…. මෙච්චර කාලෙකට නං කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මටත් තියෙන්නේ චුට්ටං එකක්….” 
එහෙම දැනහැඳුනුම්කමක් තිබුණා වුණත් මෙහෙම උදව්වක් ගැන මහාචාර්යතුමා එක්ක මං කතා කරන්නේ කොහොමද? 
ඒකට හොඳම කෙනා මර්වින් බොතේජු හිතවතා බව දෙවරක් නොහිතාම මට කල්පනා වුණේය.  
එදා හිට; අවුරුදු හතළිහක් විතර කාලයක් තිස්සේ තවමත් නිතර හමුවන- කතා කරන- මගේ දුකසැප දෙකේදීම මා හා ඉන්නා ලාල් අයියා, මර්වින්, ඉන්දිරා, ගීතා, සුනීතා පස් දෙනාම මට හමුවුණේ ශ්‍රීලංපසංස තජකයේදීය. 
මෙහෙම දෙයක් ඇහුවාම කාටත් වැඩියෙන් කලබල වෙන ජාතියේ, අනුන්ගේ කරදරයක් අනුන්ටත් වැඩියෙන් තමන්ගේ කරගන්නට හපන් මර්වින් ‘මොනවා’ කියනකොටම මට වැටහුණේ, දුක්බර ආරංචියෙන් මිනිහා එදා තක්බීර් වුණු විදිහයි. 
නිදිගෙ පංච තන්තරේ පෙරලන රසික හිතවතුන්ට උපරිම සාධාරණය ඉටු කළ යුතුය. එසේ කළ හැකිවන්නේ ඇත්තම ඇත්ත, සිදුවුණු අයුරින්ම කීමෙන් පමණි. එතැනදී වෙනත් කිසිවෙකුට අසාධාරණයක් නොවිය යුතුය. 
සමහර විටෙක මා ලියන පොස්ටුවේ ඒ-ඒ අයට අදාළ කොටස් ලිව්වාට පස්සේ, ඒවා ඔවුනට කියවා බලන්නටත් යවා- නිවැරදි කිරීම මගේ සිරිතය. 
අදත් එහෙම කළාම මර්වින් උත්තර දුන්නේ හැඬුම්බර හඬිනි.

අද මර්වින් .. බිරිය ලලිතා, පුතු මාධව හා ලේලිය එරංගා සමඟ…….
“එදා වගේම මට තවමත් දුකයි නිමල්. දැනුත් මගෙ ඇස්වල කඳුළු…. නෝනා ඔයාලගෙ විතරක් නෙවෙයි, මගෙත් නංගියෙක්…. ඔයා ලියන විදිහ දන්නා හින්දා, මට තේරෙනවා ඉස්සරහට නෝනා ගැන තව ලියයි කියලා…. එදා නං මාත් shock වුණා උදේ හයාමාරට විතර ඔයා අපේ ගෙදරට ආවම. මතකද ආවේ කා එක්කද කියලා…..?” 
“අනේ මර්වින්, මට ඒවා එකක්වත් සිහියේ නැහැනේ….” 
“සමන් එක්ක…. එයාගේ චැලියේද චැපියේද කොහෙද.” 
ඒ අපේ සුනිල්ගේ හිතවතෙකි; සමන් කුඹුකගේ. සම්මානලාභී; ප්‍රසිද්ධ චිත්‍රපට සංස්කාරකයෙකුව සිටි ලාල් පියසේන මහතාගේ සොහොයුරෙකි. (සමන්ගේ සබඳකම් ගැන කියන්නට මං තවම හිතලාවත් නැත.) 
“හරි…. බොඩිය release කරන්නේ postmortem එකෙන් පස්සේ. හැරල්ඩ් පීරිස්ව මතකයිනේද? තමුසෙව යූත් එකට ගන්න ඉන්ටර්විව් කළේ…. 
-හැරල්ඩ්ලගේ මල්ලි කෙනෙක්, මයිකල් දැන් මිනී පෙට්ටි සාප්පුවක් කරනවා…. ඔයාලා දැන් ගෙදර ගිහින් ඉක්මනට කළුබෝවිල ඉස්පිරිතාලේ ගාව සාගර මල් ශාලාවට එන්න…. නවය වෙද්දී මම එතනට එනවා පුළුවන් දෙයක් කරලා…..” 
ප්‍රතිශක්තිකරණ එන්නත් දීම මඟින් සරම්ප රෝගය වළක්වා ගන්නට හැකිය! 
“මර්වින්. අපේ ගෙදර පොඩි හතර දෙනෙකුටම සරම්ප හැදිලයි ඉන්නේ. ආච්චි කියනවා නංගිගේ මිනිය ගෙදරට ගෙනෙන්න එපාලු. කිල්ලට අහුවෙලා එයාලට අමාරු වෙයිලු…” 
“අම්මට සිරි….. ඒකට මොකද කරන්නේ…” 
“මම කැමතියි නෝනගේ බොඩි එක වෛද්‍ය විද්‍යාලෙට දෙන්න…..” 
මොහොතක් නිහඬව ගෙවුණා මට මතකය. 
“මේකයි නිමල්…. සිය දිවි හානි කරගත්තු කෙනෙකුගේ මිනියක් කපලා පශ්චාද් මරණ පරීක්ෂණයක් කරනවාමයි. එහෙම කපපු මිනියක් වෛද්‍ය විද්‍යාලෙට ගන්නෙ නැහැ. 
-ඕක තමයි මම දන්න විදිය. හරි… 
-මම දැන්මම ප්‍රොෆෙසර් කෝදාගොඩට සේරම කියන්නම්… අපේ training ප්‍රෝග්‍රෑම්වලදී පුෂ්පාවත් ප්‍රොෆෙසර්ට note වෙලා ඇති. නැතත් තමුසෙව දන්නවනේ…. බලමු මයිකල්ටත් කියලා මොනවා හරි උදව්වක් ගන්න….” 
ඒ වෙද්දීත් මගේ අතීත තොරතුරු මර්වින්ලා කවුරුන්මවත් දැනගෙන හිටියේ නැත. 
කාලයක් මා කළුබෝවිල රෝහලේ ගේට්ටුව අබියස ‘පේව්මන්ට් එකේදී රජවුණු’ විත්තිය එයාලාට කිව්වේ පහුකාලයකය. ‘මක්ෂිකා වෘණ මිච්චන්ති’ කියමින් මට ඔච්චම් කළේ ඒ මයිකල්ය. ඒ තොරතුරු එකක්වත් මම ඒ වෙලාවේ හගිස්සන්නට නොගියෙමි. 
ප්‍රොෆෙසර් කෝදාගොඩ කියන නිසයි, නංගිගේ මිනිය මෙඩිකල් කොලේජ් එකට දෙන හින්දයි ඒක නොකපා….
දහයහමාර වෙද්දී මර්වින් උපරිමයෙන් සේරම ඉටු කර දුන්නේය. 
“හරි…. ප්‍රොෆෙසර් කෝදාගොඩ මැදිහත් වෙන හින්දයි, බොඩි එක Medical College එකට දෙන හින්දයි, පුෂ්පාගේ ලියුමයි හින්දා  මිනිය නොකපා ෂේප් කරගන්න පුළුවන්ලු…. විස්තර මම පස්සේ කියන්නං නිවාඩුවේ. 
-ඒත් නිමලෝ අදම හවස හතරට කලින් මිනිය එහාට ගෙනෙහින් බාර දෙන්න ඕනේ.
-විනාඩියක්වත් පරක්කු වෙන්න බැහැ. කොහොමද ඔයාලගේ නෑදෑයන්ට හරි කියන්නේ… මේ දැන් කිව්වත්, බදුල්ලේ ඉඳලා…. අනෙක අම්මා….” 
කොච්චර දුකක් තිබුණත් මගේ සිහිය නම් අවුල්ව තිබුණේ නැත. 
“ඒවා සේරම මං බලාගන්නම්. ඉස්සෙල්ලම බලන්න එපැයි, පණ පිටින් ඉන්න පොඩි එව්වෝ ගැන…..” 
“හරි, මම මේ දැන් මයිකල්ට කතා කරලා මල් ශාලාවේදීම පාංශුකූලේ දෙන්න ඕනේ කරන වැඩ ටික arrange කරලා තමයි ඉස්පිරිතාලේ ගාව ඉන්නේ. ඔයාලට ඉක්මනට ඇවිත් බොඩිය නිදහස් කරගන්න වෙනවා.” 
කඩිනමින් ඉස්පිරිතාලය ළඟට ගියත් ඒ කිසිම දෙයකට මාව සහභාගී කරගත්තේ නැත; වැද්දගත්තේ නැත.
එහාටම හාමුදුරුවන් වහන්සේලා වඩම්මලා…..
“අනේ සුනිල්, මටත් නෝනාව බලන්න ඕනේ!” 
“අයියේ මේ, අමුතුවෙන් තමුසෙට බලන්න දෙයක් එහෙ නැහැ. මල් ශාලාවට ගෙනියනකල් ඉන්නවා…. කෙලින් හිටගෙන ඉන්නවත් පණ නැතිව එනවා මෙතන මිනිය බලන්න… පිං සිද්ධ වෙයි, අන්නරහෙට ගිහින් මොනවා හරි කනවා…. හවස් වෙනකල් තමුසෙට කෙලින් ඉන්න තියෙනවා.” 
අපේ සුන්නා මට එහෙම බලන්නට ඉඩ නොදුන් හේතුව කිව්වේ සති කිහිපයකට පසුවය.
“සංසාරේ එපා වුණා අයියේ…. මෝචරියේ ලාච්චුවක් ඇරලා මිනිය පෙන්නුවාම. ඇඟේ නූල් පොටක් නැහැ…. ඒත් මුළු සරුවාංගෙම වැහිලා තිබුණේ නෝනාගෙ දිග කොණ්ඩෙන්…..” 
කේශ කල්‍යාණය ලබන්නට පිං කර තිබුණු නෝනාගේ කොණ්ඩය දණහිස්වලිනුත් පහතට දිගුය; ඝනය; සරුය. 
ඇත්තටම එදා මා ලොකු නංගීගේ දේහය නොදුටු එක හොඳය කියලා වැටහුණේ කල් ගතවෙන තරමටය.
මිනිය තිබුණේ අමු හෙළුවෙන් … කොණ්ඩෙන් තමයි දණහිස් යනකල්ම වැහිලා තිබ්බේ….
එහෙම නොදැක්කත් සුනිල් කියූ විස්තරය විතරක්ම තවමත් නිමල් දිසානායකගේ දෙසවන් දවමින් දෝංකාර දෙයි. සහමුලින්ම නිරුවත් කය විසිරුණු කෙහෙවැටියෙන් වැසී….. 
අනේ හේරත්හාමි!……

%d bloggers like this: