Menu Close

මේ හඬ පටය හැර තවත් හඬ පට තිබේද ස්වාමීනි

හඬපට පිළිබඳව සැලකිල්ලක් නොදක්වා සිටියේ ඒවායේ ඇත්තේ ජුගුප්සාජනක කතා යයි සිතාය . එක අතකට අනුන්ගේ ඕපදූප අසා පලක් නැති අතර අනිත් අතට රන්ජන් වැනි අයෙකු මෙය හිතාමතාම කර ඇති දෙයකි යයි ද සිතෙන නිසාය. එජාපයේ සිටියදී ඔහුට වුනු කෙනෙහිලිකම් මැද  පසුගිය  යහපාලන රජයේ වැදගත් ආයතන වන අධිකරණය සහ පොලිසිය මෙහෙයවූ සැඟවුණු නායකයා මොහුද යයි සිතෙන තරමට ඔහු ගේ ක්‍රියා කලාපය විශ්මය ජනක ලෙස දූෂිත බවට අදහස් පළවේ. මට නම්  පෙනෙන්නේ මුළු මහත් සමාජය පුරාම ඉහ වහා  ඇති වංචා, දූෂණ, පාවා දීම්  සහ දේශපාලන බලවතුන් ඇතුළු රටේ ඉහල යයි සම්මත පිරිසකගේ පිරිහීම මේවායින් පෙන්නුම් කරන බවයි.

දැනට හෙළිවී ඇති බොහෝ හඬපට යුඇන්පී නායකයන්ගේ සහ අධිකරණ විනිසුරන් ගේද නළු නිලියන් ගේද වස්ත්‍ර ගලවා දමන ඒවාය. ඇත්තම් පවසනවානම් මේ හඬ පටවලින් මතු වන්නේ  ශ්‍රී ලාංකික සමාජයේම එක්තරා  පැතිකඩකි. එකිනෙකාට මඩ ගසා  ගැනීම වෙනුවට මේවායින් එළිවන කරුණු ගැන පියවරක්  පසුපසට ගෙන විමසා  බැලිය යුතුය. රන්ජන් හා හිරුණිකා අතර හඬ පටයේ ඔවුන් එක්තරා ආර්යාවක් ගැන කතා කරති.

එම ආර්යා ප්‍රකාශය ගැන අපි බුකියේ සරදම් පෝස්ටු හුවමාරු කර ගත්තේ නැත්ද?  මම නම් ඒවාට ඇති තරම් සිනා සුනෙමි. යුඇන්පීයට සාමාන්‍යයෙන් පක්ෂ මිතුරන් පවා ඒවා හුවමාරු කරගනු දුටිමි.

ශිරන්ති රාජපක්ෂ, මෛත්‍රී වික්‍රමසිංහ එසේ අනවශ්‍ය කතා නොකියන බවට රන්ජන්  හා හිරුණිකා දෙදෙනාම එකඟ වෙති. මට මෙතනට හිටපු ජනාධිපති සිරිසේන ආර්යාවද එක් කළ හැකිය. ජේ ආර් ජයවර්ධන ආර්යාවද එක් කළ හැකිය. වර්තමාන ජනාධිපතිවරයාගේ ආර්යාව වතුර වීදුරුවක් ගෙන සාමාන්‍ය ගෘහණියක් හා මවක් මෙන් “තාත්තී දැන් එන්න ” යයි කියන වීඩියෝවක් දුටිමි. ඇත්තටම එය දැක මටද යම් සුහදාත්මක හැඟීමක් පහල වුනි. මේ ආර්යාවන් සියල්ලන්ම පටි බේරාගෙන කට වරද්දානොගෙන සිටීම ගැන අපද අගය කළෙමු. පුතාණෝ ට වස්ත්‍රයක් ඇඳගෙන කඩේ යාමට හැකිදැයි ඇතැම් එජාපයට හිතවත් යහළුවන් කතා බහ කළ බව මම දනිමි. මේ සැබෑ තත්වය ම රන්ජන් හා හිරුණිකා ගේ  මුවින් පිට නොවූයේද?

මට ගෝටන් කෙනකු විසින් පහත රන්ජන් – ශෂී විරවංශ හඬපටය ඉන්බොක්ස් කර තිබුණි. ගෝටන් ලා යනුවෙන් මා අදහස් කරන්නේ වර්තමාන ජනාධිපති තුමාට  චන්දය දුන් සහ ඔවුන් පවසන පරිදි ඔහුට පමණක් සහය පල කරන අයටය . ඔවුන්ගේ විශ්වාසය නම් ගෝඨාභය මේ දූෂිත ක්‍රමයන් පිටු දකින ඒවා නිවැරදි කිරීමට යත්න දරන බවයි. එනිසා  ඇතැම් විට අගමැති මහින්ද මහතා හා ඔහුගේ ඇතැම් චක්ගෝල ඇමැතියන් පවා විවේචන කිරීමට ඔවුන් කැමැත්තක් දක්වති.

මේ හඬ පටය මා තෝරා ගත්තේ මෙන්න මේ නෙළුම් යාය සම්මාන උළෙල පිලිබඳ කතාවටය.  හෙන්රි වර්ණකුලසුරිය, ජවිපෙ වී රූපවාහිනිය මෙහෙයවූ  හිටපු ජවිපෙ සාමාජිකයෙකු හා නාවික හමුදා නිලධරයකු මෙන්ම කතුවරයෙකුද බ්ලොග් ලියන්නෙකුද වේ.  ඔහු රාජිත ඇමැති ට විරෝධය පෑමට එදා  උළෙලේදී නැගිට ගිය අයෙකි. ජවිපෙ ට ඒ කාලයේ සහය දුන් මංජුල සමරසේකර ද මේ විරෝධය ට එක්වූ අයෙකි.  මම කලේ ප්‍රධාන  බ්ලොග් සංවිධායක වශයෙන්  ත්‍යාග ප්‍රදානය කළ අමුත්තාට එනම් එදා මේ කියන  රාජිතට සහය වීමයි. මැතිවරණ කොමසාරිස් මහින්ද  දේශප්‍රිය මහතාද, උපුල් සන්නස්ගල මහතාද තවත් වියතුන්ද  සහභාගී වූ මුත් ප්‍රධාන විවේචනය එල්ල වූයේ මෙතනටය.එසේම  ලඟ දී  බ්ලොග් වලට ප්‍රතිචාර දක්වන්නෙකු ශුද්ධ සිංහලෙන් මට බැන වැදුනේ සම්මාන උළෙලට දේශපාලනය ගෙනාවා  යයි පවසමිනි.
ප්‍රශ්නය  වන්නේ ඒ මහතා බුකියේදී සම්පුර්ණයෙන් ම  එජාප විරෝධී කෙනෙකු ලෙස බොහෝ විට අන්තවාදීව හැසිරීම මා දැක තිබීමයි. 
 මා රාජිත පන පිටින් දැක්කේද එදා පමණි.

අද බ්ලොග් සම්මාන උළෙලක්  ක් පවත්වන්නේ නම් හා ගෝඨාභය ජනාධිපති තුමා හෝ වෙනයම් ඇමතිවරයෙක් සහභාගී වන්නේ නම් හා මා  එය සංවිධානය කරන්නේ නම් සහතික පත් දීමට උදව් වීමට වේදිකාවට යාම මට ප්‍රශ්නයක් නොවේ. පැමිණි කාර්යය එය මිස දේශපාලනය නොවන බැවිනි. කිසියම් පිරිසකට උදව් කිරීම සඳහා එංගලන්තයේදී කොන්සර්වටිව් හා කම්කරු පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් හමුවී පුරුදු මට මගේ  දේශපාලනයට අදාල නොවන අය සමග කටයුතු කිරීම කවදාවත් ප්‍රශ්නයක්  කරගත්තේ නැත. එය ප්‍රශ්නයක්  කර ගැනීම මට පෙනෙන්නේ අන්තවාදී ක්‍රියාවක් ලෙසය.


ශෂී වීරසිංහ මෙහි කරන්නේද එයයි.  තම ස්වාමියාගේ ප්‍රශ්නයක් ඇය යහපාලන ඇමතිවරයෙකු සමග සුහදව විසඳා ගන්නවා  විය හැක. නමුත් ඇය කතා කරන්නේ “ප්‍රා ” රාජිත සහ ඔහුගේ බිරිඳ සුජාතා ගැනය. ඒ කියන්නේ ඔවුන් ඇගේ හොඳ මිතුරන් විය හැකි බවය. විමල් විරවංශ මහතා පොහොට්ටුවේ මන්ම  ගෝඨාභය මහතා ජනාධිපතිකරවීමේ ව්‍යාපාරයේ ඉහල නයුවෙකි. එසේ නමුදු යම් කාර්යයන් කර ගැනීම සඳහා ඔහු ගේ එම සහජීවනය ප්‍රා රාජිත සමග තිබු බව පෙනේ.

එවිට අපේ දයාබර හෙන්රි මහතාට  මෙන්ම රාජිත  එදා පැමිණි හෙයින් සමහර අයටද  සිදුවූ අර මොකද්ද  මෙව්වා එකට ද,  ඒ  සිදුවූ “කැළලට” ද  අප සමග මරාගෙන මැරෙන වලියට පැමිණි මහත්වරුන්ට අපට කිව හැක්කේ කුමක්ද? ඔබලාගේ නායකයන් නටන්නේ හැංගි හොරා කියලාය.  මමනම් ඒ වැරැද්ද  නිහතමානීව පිළිගෙන සම්මාන උළෙල පැවැත්වීමෙන් ඉවත් වූයෙමි.

බුකියේදී මෙන්ම වෙනත් තැන්වලදීද අපේ ජවිපෙ මිතුරන්ගෙන් මා ඇසූ ප්‍රශ්නයක් වුයේ දයා පතිරණ ඝාතනයෙන් පසු ඝාතන රැල්ල  පටන් ගත්තා  නොවේද යනුවෙනි. ඒ වෙනුවට ඔවුන් ප්‍රා සංවිධානයෙන් කල බිහිසුනු ක්‍රියා  ගැන වමාරති . ඒවා සිදුවුයේ පසුවය. ඒ සඳහා කිසිවෙකුත් ප්‍රා කාරයන්ට සමාව දෙන්නට යයි කියන්නේ ද නැත. සමාව දෙන්නට ඔවුන් කිසිවෙකු සුදුසුද නැත. එතරම් තිරශ්චින ලෙස කටයුතු කල බවද ඇසින් දුටු සාක්ෂි තිබේ. එනමුදු ඒ ක්‍රියාදාමය පටන් ගත් අයට වගකීමෙන් මිදිය නොහැකිය.

මේ හඬ පටවල ඇතැම් සමාජවාදී වාමවාදී සගයන්ද  සිටින්නේ නම් මැනව යයි සිතේ. හේතුව නම්  ඔවුන්ගෙන් සමහරුද නටන්නේ දෙබිඩි නාටක බැවිනි.බොහෝ විට දේශනයකදී, තමන් ලියන කියන දෙයකදී අති ප්‍රගතිශීලි , අති මිත්‍රශීලි , අධි සුභාවික, පරිභෝජනවාදී නොවුන මොවුහු සැබෑ ජීවිතයේදී එයට හාත්  පසින්ම වෙනස් අය බව මට අත්දැකීමෙන් ම අවබෝධව ඇති නිසාය .


එනිසා තව තවත් එවැනි  හඬ පට එලියට ඒ නම් එය  හොඳය. මේ යන්නේ සාමාජිය මනෝ විශ්ලේෂණයකි.  මුළු දේශපාලන සංස්ථාවම කිසියම්  සෝදා  පළුවකට ලක්වන්නේ නම් වඩා හොඳය.

අවසාන වශයෙන් මුස්ලිම් තරුණයන් පිරිසක් “මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ ” ගීතයේ වචන කුකුලන්ට ගීයක් ගයන මේ හඬ පටය අසා විනෝද වන්න.

මට තවම සැකයි මේ හඬ පට ආ වෙලාවේ      

       

යොමු:
රන්ජන් හිරුනිකා 
රන්ජන් ශෂී 

සම්මාන උළෙල – රාජිත – ප්‍රාජිත , හෙන්රිගේ දිව දෙකේ කතා සමග මංජුලගේ අපස්මාරය

%d bloggers like this: