Menu Close

අවසානය හා ආරම්භය

අවුරුද්ද අවසානය කතරගම ගමන යොදා ගත්තේ පුරුදු විදියට. ඒ පැත්තේ ගොඩක් තැන් වලට ගිහින් තියන හන්දා යන එන ගමන්  බලන්න තැනක් හොයාගනන ටිකක් අමාරුයි. ඒත් මැප් එකේ එහා මෙයා කැරකුනාම තැනක් හොයාගන්න එක අමාරු නැහැ. මේ ගම න අධ්‍යාපන චාරිකාව යොදාගත්තේ ටිකක් වෙනස් තැනකට

උඩවලව තිලාපියා අභිජනන මධ්‍යස්ථානය.

උඩවලවට ගිහින් අතුරු පාරක් දිගේ ගිහින් වැලි පාරක් දිගේ ටික දුරක් ගිය අපි නතර වුනේ තිලාපියා අභිජනන මධ්‍යස්ථානය ලග. වාහනයෙන් බැහැලා ගිය මම එතන හිටිය මහත්තයෙක් ගෙන් ඇහුවේ මේ තැන ගැන ‌ෙදැනගන්න පුලුවන්ද? කියලා
ඒකට අවසර ලැබුනම එළියට ඇවිල්ලා නෝනයි දුවයි එක්කගෙන ගියා. ඒ මහත්තයා ආයතනය ගැන අපිට ගොඩක් දේවල් කියලා දුන්නා.
වැව් මාලු කියලා අපි කන්නේ තිලාපියා. වැව් වල මාලු හිග වෙනකොට පැටව් ලක්ෂ කීපයක් දැම්මා කියලා අහන්නේ ඒ මාලු පැටව් බෝ කරන්නේ මේ තැන. අවුරුද්දකට මෙතන මාලු පැටව් මිලියන ගානක් බෝ කරනවා. බෝ කරන මාලු පැටව් වැව් වලට මුදා හරින එක තමයි කෙරෙන්නේ. රටේ මිනිස්සුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සම්පූර්ණ කරන්නට තමයි මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ.
පින්තුරය අන්තර්ජාලයෙන්

තිලාපියා ස්වාභාවිකම බෝ වෙන මාත්‍යසයෙක්. පිරිමි සතුන් ගැහැනු සතුන් නිශ්චිත අනුපාතයකට අනුව ටැංකිය දාලා තිබ්බම පැටව් බෝවෙනවා. පොඩි පැටව් වෙන් කරලා වෙනම ටැංකි වල දාන්න ඹ්නේ. එහෙම නැත්තං පැටවුන් ලොකු මාලුන්ගේ ආහාර වෙනවා. මෙතන අක්කර ගානක ප්‍රදේශයක විශාල ටැංකි ගොඩක් තියෙනවා.
සමහර තැන්වල fish therapy කියලා කකුල්වල මාලු කවා ගන්න වැඩේ කරන්නත් පාවිච්චි කරන්නේ තිලාපියා. ඒත් ඒකට වැඩිපුර පාවිච්චි කරන්නේ රතු තිලාපියා.
එදා වර්ෂ අවසානයේ තරමක් වැඩ අඩු දවසක් වුන හන්දා අපිට ගොඩක් දේවල් දැනගන්න කතා කරන්න වෙලාව හම්බ වුනා.
මධ්‍යස්ථානය ගැන විතරක් නෙවෙයි මධ්‍යස්ථානය භාරව ඉන්න මහත්තයාගේ අධ්‍යාපන ලබපු හැටි විශ්ව විද්‍යාලයේ හදාරපු පාඨමාලා වගේ දේවල් ඒවා කොහොමද මේ තනතුරු වලට එන්න උදව් වුනේ වගේ දේවලුත් අපි කතා කලා. මේ හැමදේම කලේ දරුවගේ අනාගතය වෙනුවෙන්. දරුවා අනාගතේ කවුරු වුනත් කමක් නැහැ. රටේ ලෝකේ මිනිස්සු කරන කියන දේවල් දැනගෙන තමන්ගේ පාර තමන් තීරණය කර ගන්න කෙනෙක් වුනොත් ඇති. එහෙම නැතුව රැල්ලට ගිහින් දොස්තර කෙනෙක් වෙනවා ඉන්ජිනේරුවෙක් වෙනවා කියලා කියන්නෙ නැතිව. ඒක තමයි මගේ පැතුම දරුවා වෙනුවෙන්.

 උඩවලව උක් පර්යේෂණ ආයතනය.

ඊළගට අපි ගියේ උඩවලව උක් පර්යේෂණ ආයතනයට. එතනට ගිහින් ගේට්ටුවේ ආරක්ෂක නිළධාරියෙකුට අවශ්‍යතාව කිව්වා. එයාලා ඇතුලේ කිහිප  දෙනෙකුට කතා කරලා අන්තිමට ගේට්ටුව ඇරලා දීලා කිව්වා නිළධාරි  මහත්තයෙක්  හම්බ වෙන්න කියාලා. අපි ඇතුලට ගියා. ඒ මහත්තයා කාමරේක හිටියා. අපිට හොදට කතා කලා.
ලංකාවට අවශ්‍ය සිනි වලින් 10% ක් තමයි අපේ රට ඇතුලේ නිශ්පාදනය වෙන්නේ. වැඩි අස්වැන්නක් තියන, ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ප්‍රභේද නිපදවන එක මේ ආයතනයේ එක කාර්යයක්. උක් කර්මාන්තය සම්බන්ධව විශාල පර්යේෂණ ප්‍රමාණයක් මේ ආයතනයෙන් කෙරෙනවා. ඒ ගැන විස්තර ගොඩක් අපිට ඉගෙන ගන්න පුලුවන් වුනා.
පින්තුරය අන්තර්ජාලයෙන්

අපි කතා කරපු නිළධාරි මහතා අදාල ක්ෂේත්‍රය පිලිබද ආචාර්ය උපාධියක් තියන කෙනෙක් කියපුවාම මාව උඩ ගියා. එතන ඉන්න නිළධාරින් හැම දෙනාම අවම වශයෙන් m.phill උපාධියක් වත් තියන අය. ඉගෙන ගන්න එකේ වටිනාකම දරුවෙකුට තේරුම් ගන්න ඉගෙන ගත්තු රටට වැඩක් කරන අයත් එක්ක වචනයක් දෙකක් හරි  කතා බහ කරන්න ඹ්නේ.
උඩවලවෙන් පිටත් වුන අපි හවස් වෙද්දි කතකරගම  අපේ නවාතැන්පලට ගියා. දෙවෙනි දවසේ කතරගම කිරි වෙහෙර, දේවාලය, සිතුල්පව්ව විහාරය වන්දනා කර ගත්තා.
මං මේ ටික කිව්වේ අපි දරුවොත් එක්කරගෙන ගමනක් යනකොට ඒ ගමනට එකතු කර ගන්න තැන් ගැන ටිකක් හිනන්නට. වන්දනා ගමන් යන අතරේ හෝටල් වල ගිහින් නැවතිලා එන අතරේ දරුවන්ට වැදගත් වෙන තැනකටත් ගොඩවෙලා එන්න කියන එක.

%d bloggers like this: