Menu Close

2020දී ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය පළමු චිත්‍රපටය “ගාඩි”

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

2020 වසර වෙනුවෙන් අන්තර්ජාතික සිනමා උළෙලක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් වාර්තා පොත් අතරට එක් වෙමින් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල “ගාඩි” (Children of the Sun) සිනමාපටය ඉන්දියාවේ පැවැත්වෙන 18 වෙනි පුනේ අන්තර්ජාතික සිනමා උළෙලේදී (Pune International Film Festival) ජනවාරි 10 වැනිදා  තිරගත විය. පළමු ප්‍රදර්ශනය ලෙසින් එදින සවස 4.45 ට “INOX Bund Garden” සිනමා සංකීර්ණයේදී තිරගතවුන “ගාඩි”, දෙවන වරට ජනවාරි 12 වැනිදා සවස 6.00 ට “PVR- The Pavallion Mall” සිනමා සංකීර්ණයේදී තිරගත වේ. මේ වසරේ පූනේ උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලද එකම ශ්‍රී ලාංකේය සිනමාපටය වන ගාඩී, ගෝලීය සිනමාව (Global Cinema) නම් වූ තරඟකාරී නොවන අංශය යටතේ පුනේ උළෙල නියෝජනය කරනු ලැබේ. ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 65 කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින්, සිනමාපට 191ක් මෙවර 18 වෙනි පූනේ අන්තර්ජාතික සිනමා උළෙලේදී (ජනවාරි 09 සිට 16 දක්වා) තිරගත වේ.

2002 වසරේදී සාමාරම්භය සනිටුහන් කල පූනේ අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරන 12 වෙනි ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය “ගාඩි” වේ. මීට පෙර උළෙල නියෝජනය කල සිනමාපට 11 අතුරින් “පාංශු” (විසාකේස චන්ද්‍රසේකරන්ගේ) සිනමාපටය පමණක් උළෙලේ අන්තර්ගත ප්‍රධානතම තරඟකාරී අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ අතර , අනෙක් සිනමාපට 10 (සුළං කිරිල්ලි, ධවල දූවිලි, මචං, ඉගිල්ලෙන මාළුවෝ, ඔබ නැතිව ඔබ එක්ක, ඉනි අවන්, නෙලා, දැවෙන විහඟුන්, සුළඟ එනු පිණිස) තරඟකාරී නොවන අංශයන් යටතේ තිරගතවිය. ඉන්දියාවේ පැවැත්වෙන 60කට ආසන්න අන්තර්ජාතික සිනමා උළෙල අතුරින්, පළමු උළෙල 10 අතර ශ්‍රේණිගත වන පූනේ අන්තර්ජාතික සිනමා උළෙල තුල මේ දක්වා ශ්‍රී ලංකාව සම්මානයකට පාත්‍රව නොමැත.

2020 වසරේ ශ්‍රී ලාංකේය පළමු ජාත්‍යන්තර නියෝජනය අද දින සනිටුහන් කරන “ගාඩී” , 2019 වසරේ ශ්‍රී ලාංකේය අවසන් ජාත්‍යන්තර නියෝජනය ( 24 වෙනි කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේදී) සනිටුහන් කල සිනමාපටයද වේ. “ගාඩි” තිරගත වන සිව් වන අන්තර්ජාතික සිනමා උළෙල පූනේ අන්තර්ජාතික සිනමා උළෙල වේ. පූනේ අන්තර්ජාතික සිනමා උළෙලෙන් පසුව “ගාඩි”, ජනවාරි මස අග නෙදර්ලන්තයේ පැවැත්වෙන රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙලේ සහ පෙබරවාරි මස ප්‍රංශයේ පැවැත්වෙන විසූල් අන්තර්ජාතික ආසියානු සිනමා උළෙලේ තිරගත වීමට නියමිතව ඇත.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Share

%d bloggers like this: