Menu Close

ඇලිගේටර් ස්නැපිං ටර්ටල් (Alligator Snapping Turtle)

විද්‍යාත්මකව මෙයාව හඳුන්වන්නේ Macrochelys temminckii කියලයි.මෙයාගේ මේ විද්‍යාත්මක නමේ අග කොටස යොදලා තියෙන්නේ සත්ව විද්‍යාවට ලොකු සේවයක් කරපු විද්‍යාඥයෙක් වන Jacob Temminck ට ගෞරවයක් විදිහටයි.මෙයා ලොව බර අධිකම ඉබ්බන්ගෙන් කෙනෙක්.ස්වභාවිකව ජීවත් වෙන්නේ ඇමරිකාවේ.

මෙයාගේ වර්ගීකරණ තොරතුරැ ගත්තම මෙයා අයිතිවන Macrochelys කියන ඝණයට විද්‍යාත්මකව තහවුරැ කරපු එක විශේෂයකුත් තහවුරැ නොකරපු තව විශේෂයකුත් අයිති වෙනවා.ඒ වගේම තමයි මෙයාට තරමක් සමාන රෑපීය ලක්ෂණ දරණ Chelydra serpentina කියන ස්නැපිං ටර්ටල් විශේෂය සිටියත් මෙයාලා පරිනාමිකව ටිකක් දුර නෑකම් තමයි තියෙන්නේ.මම හිතන්නේ දැං ඒ ගැන ඇති.මොකද සතා ගැන නේ දැනගන්න ඕනේ.😁

මෙයාගේ වාසභූමි ගත්තම මෙයා ස්වභාවිකව ජීවත්වෙන්වේ ඇමරිකාවේ ⁣ෆ්ලොරිඩා,ඉලිනොයිස්,කෙන්ටකි,මිසුරි,අයොවා,
ටෙක්සාස්,ඉන්දියානා ආදී වගේ ප්‍රාන්ත වල තමයි මෙයා ස්වභාවිකව දකින්න පුලුවන්.මෙයා ටිකක් ආක්‍රමණික ⁣ලක්ශණ පෙන්වන නිසා ඇමරිකාවේ ම සමහර ප්‍රාන්ත වලට පවා ගෙනයෑම තහනම්.මෙයා පිරිසුදු හෝ තරමක් මඩ සහිත ජලය ප්‍රිය කරනවා.ඒ වගේම තමයි ජලයේ තරමක් ගලා යන තැන් වඩා ප්‍රිය කරනවා.මේවට හේතු පහල තියනවා.මෙයාව අප්‍රිකාවේ සමහර ප්‍රදේශ වලට හඳුන්වාදීම නිසා දැන් ආක්‍රමණික විශේෂයක් බවට පත්වී තිබෙනවා.ඒක නිසා ලඟ තියාගන්න අය බොහොම කල්පනාවෙං.ඒකට තව හේතු තියනවා.ඒව පහලින් සඳහන් කරන්නම්.

මෙයාගේ රෑපීය ලක්ෂණ ගත්තම සරලවම කියනවා නම් ජීවත්වෙන ඩයිනෝසර් පෙනුමක් තමයි තියෙන්නේ.😅.මෙයාලා සාමාන්‍යයෙන් 60-80cm/අඩි 2-2.8ක් වගේ දිගින් වැඩෙන අතර එවිට බර 80-140kg විතර වෙනවා.නමුත් තහවුරැ නොකරන ලද වාර්ථාවකට අනුව 190kg ක පමණ බරකින් යුත් අය ගැනද සඳහන් වෙනවා.මෙයාලගේ කටුවේ ඉහලට ඉලිප්පුණු තරමක් උල් ගැටිති පේලි 3ක් පිහිටනවා.මේක හරියට කිඹුලෙක්ගේ පිට වගේම තමයි.ඒකයි මෙයාලට ඇලිගේටර් කියන නම ලැබිලා තියෙන්නේ.මෙයාලගේ කටුවේ පැහැය ගත්තම දුඹුරැ,තද රතු-දුඹුරැ හෝ කළු පැහැයක් ගන්නවා.තියුණු නිය සහිත පාද 4ක් පිහිටනවා.හිස තරමක් විශාල වන අතර ගිරා හොටක් වැනි මුඛයක් පිහිටනවා.මේ මුඛයයේ දැලිපිහි මෙන් මුවහත් අස්ථිමය තල දෙකක් පිහිටනවා.ඒ වගේම තමයි මේ මුඛය ඇතුලේ එලියට දැමිය හැකි පණුවෙක් වැනි මස් වැදැල්ලක් තිබෙනවා.මේක උගුලක්.ඒක ගැන පසුවට.හොඳින් ආවරනය වන වේශාන්තරයට ගැලපෙන ලෙස පටල වලින් ආවරණය වූ ඇස් පිහිටනවා.මේ ටික කියනකොටම තේරෙනවනේ මෙයා හොඳ රැකසිට පහරදී ගොදුරැ අල්ලගන්න කෙනෙක් කියලා.😁

මෙයාලාගේ ආහාර ගත්තම ප්‍රධාණ වශයෙන් මාංශ භක්ෂකයන්.ඒත් සමහර ශාක කොටස් උනත් ආහාරයට ගන්නවා.මෙයාලා මූලිකව මාළු තමයි ආහාරයට ගන්නේ.මේක හරි අපූරැ දඩයමක්.මෙයාලා කරන්නේ කට ඇතුලේ තියන පණුවෙක් වගේ මස් වැදැල්ල එලියට දාගෙන කට ඇරගෙන ඉන්න එක.ඉතිං ජලයේ කැලඹීම එක්ක මේක සෙලවෙනකොට මේකට රැවටිලා මාළු වගේ සත්තු ලංවෙනවා.(ඉතිං මේකට තරමක් පැහැදිළි ගලා යන ජලය වැදගත්.)ඒත් එක්කම විදුලි වේගයෙන් මෙයාලගේ තියුණු හණු ක්‍රියාත්මක වෙනවා.ඉතින් මේ හණුවකට හසුවෙන සතෙකුට ගැලවෙන එක නම් කරන්න බැරි වැඩක්.මොකද මේ හණු හරි තියුණු වේගවත් ඒවා වගේම මේ සැපීම හරි ශක්තිමත්.මේක ලොව බලවත්ම සත්ව සපාකෑම් වලින් එකක්.😅මෙයාලගේ ආහාර මෙනුවට මාළු,මීයන්,බීවරයන්,ඉබ්බන්,කකුළුවන්,ඉස්සන්,සර්පයන්,ගෙම්බන්,කුරැල්ලන් ආදී ඕනෑම සත්වයෙකු ඇතුලත්වෙන්න පුලුවන්.පුදුමය කියන්නේ මෙයාලා තරමක කිඹුලන් පවා පහරදී ගිලදමන එක.ඒ වගේම තමයි මෙයාලා තරමට ගැලපෙන ගොඩබිම ඉඳන් ජලයට ලංවෙන වෙනත් ක්ශීරපායීන් පවා ආහාර කරගන්නවා.මෙයාලා දඩයම් කිරීම විතරක්ම නෙමෙයි මියගිය සතුන් හෝ ශාක කොටස් උනත් ආහාරයට ගන්නවා.සරලව කියනවා අහුවෙන ඕන දෙයක් ගල් බොරලුද ඇතුළුව ගිල දමනවා.ඒත් මෙයාලා උශ්නත්වයට තරමක් සංවේදියි.ඉතා ඉහල හෝ පහල උශ්නත්ව වලදී ආහාර ගැනීම අතහැර දමනවා.

මෙයාලගේ ප්‍රජණනය ගත්තම බිත්තර මගින් තමයි බෝවෙන්නේ.මෙයාලා වයස වසර 12දී පමණ ලිංගිකව පරිනත වෙනවා.එතකොට අඩියක් පමන දිගින් වැඩී තිබෙනවා.ගැහැනු සත්වයා සහ පිරිමි සත්වයා ජම්බාලිය මගින් පහසුවෙන් හඳුනාගත හැකියි.මෙයාලා වසන්තයට පෙර හෝ පසු සංසර්ගයේ යෙදෙනවා.ඉන් මාස දෙකකට පමන පසුව ගැහැණු සත්වයා ගොඩබිමට පැමින සාදන වලක් වැනි කූඩුවක බිත්තර 10-50ත් අතර සංඛ්‍යාවක් හෙලනවා.මේ කූඩුව ජලයට යට නොවන ගොඩබිම් සීමාවේ තමයි හදන්නේ.ගැහැනු සත්වයා ගොඩබිමට ආවට පිරිමි සත්වයා ගොඩබිමට පැමිණීමක් සිදුකරන්නේ නැහැ.දින 100-150ත් අතර කාලයකදී මේ බිත්තර පුපුරා පැටවුන් එලියට එනවා.එම පැටවුන්ගේ ගැහැණු පිරිමිබව තිරණය වන්නේ අදාල බිත්තරයට ලැබුන උණුසුම මතයි.මෙයාලා වසර 200ක් විතර ජීවත් වෙනවා කියලා විශ්වාස කරත් වඩා තහවුරැ කරපු මතය වන්නේ වයස වසර 80-120අතර ගණනක් බවයි.සාමාන්‍යයෙන් කෘතිම පරිසරයේදී වසර 20-70ත් අතර ගණනක් ජීවත් වෙනවා.

මෙයාලා වාසභුමි අහිමිවීම සහබමස් පිණිස දඩයම් කිරීම නිසා මෙයාලා දැං තරමක අනතුරේ තමයි ඉන්නේ.මෙයාලගේ ගැහැණු සතුන් බිත්තර දාන්න ගොඩට එන වෙලාවට වහෙන වල හැපිලත් ගොඩක් මිය යනවා.ඉතිං ඒක නිසා ප්‍රජණනයට ඉන්න ගැහැණු සතුන් තමයි මිය යන්නේ.ඒක ලොකු ගැටළුවක්.මේ කාරණා නිසා මෙයාගේ සංරක්ශිත තත්වය දැක්වෙන්නේ වඳවීමේ තර්ජණයට මුහුනපෑ හැකි(V)
සත්වයෙකු ලෙසයි.

මෙයා සුරතල් සත්වයෙක් ලෙසත් ගොඩක් ජනප්‍රියයි.ඇත්තටම මේක සුරතල් සත්වයෙක් කියනවට වඩා මෘග සතුන් ඇතිකිරීම (monster keeping) කියන එක වඩා සුදුසුයි.මෙයා ඇතිකරණ එකත් තරමක් අපහසු කාර්‍යයක්.ඒකට හේතු කිහිපයක් තියනවා.එකක් තමයි අවධානම.මොකද මෙයා හරියට දන්නේ නැතුව අතපතගාන්න ගිහින් කටට ඇඟිල්ලක් එහෙම අහුඋනොත් ඒක නිසැකවම වෙන් වෙනවා.ඒක නිසා මෙයාට multilayer කියලත් කියනවා.😅
අනෙත් කාරනය තමයි ඉඩ.මෙයා තරමක් වේගයෙන් විශාල ශරීරයක් ඇතුව වැඩෙන කෙනෙක්.ඉතිං ලොකු ඉඩක් ඕනෙ කරනවා.අඟල් 8ක විතර පැටියෙකුටත් ලීටර් 250ක විතර ටැංකියක් ඕනේ.වැඩුනු සත්වයෙක්ට නිර්දේශ කරන්නේ ලීටර් 800-3000ත් අතර ටැංකියක් හෝ පොකුණක්.ඒත් මේකට උපස්තර හෝ විසිතුරැ ශාක සහ ගල්බොරළු දැමීම එතරම් සුදසු නැහැ.මොකද මෙයාලා ඒ සියල්ල වනසා දමන අය.ගල්බොරළු වගේ ඒව නම් ගිලදාන්න උනත් පුලුවන්.අව්ව තැපීම වගේ දේකට දානව නම් තරමක් ලොකු ලී කොටයක් ගල් ආදිය දැම්මට කමක් නැහැ.ඒත් මෙයාලා එහෙම අව්ව තැපීමක් විශේෂයෙන් කරන අයත් නෙමෙයි.ජලයේ ජලධාරා නිර්මාපකයක් වගේම හොඳ පෙරහන් පද්දතියක් තිබීම වැදගත්.
මෙයාලට ආලෝකය සැපයීමේදී එලිය සහ අඳුර පැය 12 බැගින් ලබාදීම සුදුසුයි.
ආහාර ගැන නම් වදවෙන්න දෙයක් නැහැ දෙන ඕන දෙයක් ගිලදාන ජාතියේ අය තමයි මෙයාලා.හරක්මස්,ඌරැමස්,කකුල්මස්,මාළු,එලවළු,අල කොළ ඕන දෙයක් කන්න හුරැ කරන්න පුලුවන්.මාස 6ක් යනකන් දිනකට දෙවරක් ආහාර දෙන්න ඕනේ.ඊට පස්සෙ නම් දවසක් ඇර දවසක් එක වේලක් ආහාර දීම ප්‍රමාණවත්.ඒත් ඉතිං මේක හොඳට අත්දැකීම් එක්ක කරණ එක තමයි වඩා සුදුසු.මොකද මේකත් තරමක් මිල අධික හීනයක්.සාමාන්‍යයේ ජාත්‍යන්තර වෙළදපොලේ රැපියල් 15000 පමණ සිට පැටවෙකු මිලදීගන්න පුලුවන්.මේ කොහොම උනත් තමංගේ අරෙක්ශාවට වගේම මෙයාලා අපේ ස්වභාවික පරිසරයට නිදහස් නොවීමට වගබලාගන්න එක හරිම වැදගත්.මෙයාලා ලංකාවෙත් හරි ජනප්‍රියයි.
දැනට මේ ඇති.ප්‍රශ්න තියනව නම් පහලින් අහන්න.

(පින්තූර ගෞරවය මුල් හිමිකරුවන් සතුයි).

#විමුක්ති

කතෲ අයිතිය : @Vimukthi Prathap

The post ඇලිගේටර් ස්නැපිං ටර්ටල් (Alligator Snapping Turtle) appeared first on අටමඟල.

%d bloggers like this: