Menu Close

සිගිරි ගලෙන් පහල පර්වත උද්‍යානයේ ඔබ නොදකින සීගිරිය

සීගිරියේ පර්වත උද්‍යානය (Boulder garden) ලෙසින් හැඳින්වෙන කොටසේ දැකිය හැකි  නයිපෙන ගුහාව ආදී නටඹුන් ස්ථාන කිහිපයක් පිළිබඳව මෙයට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කලෙමි (එම ලිපිය කියවීමට Link>> ). මේ ලිපියද එම පර්වත උද්‍යානයේ තොරතුරු ඉදිරිපත් කිරීම උදෙසා වෙන්වේ.

පෙර ලිපියෙන් විස්තර ඉදිරිපත් කල කුඩා ස්තූපය අසල පිහිටි ගුහාව අතරින් වැටී ඇති පඩි පේලිය මතින් ඊට ඉහලින් පිහිටි මලුව වෙතට පැමිණි විට විශාල ගල් පර්වතයකින් කිසියම් පුරාණ කාලයකදි සිරස් ලෙස දෙකඩව කැඩී වැටී පෙරලී ගිය පර්වත කොටසක් සහ එම මුල් පර්වතයේ ඉතිරි කොටස උපයෝගී කරගනිමින් නිර්මිත ඉතාමත්ම නිර්මාණශීලී ගෘහනිර්මාණාත්මක උද්‍යාන අංගයන් කිහිපයක් දැකිය හැක. මේ උද්‍යාන අංග වල පිහිටීම පිළිබඳව පැහැදිලි අදහසක්  මේ සමග ඇති කෙටි වීඩීයෝව නැරඹීමෙන් ලබා ගත හැක.

ආසන ගුහාව
ඉහත සඳහන් ගල් පර්වතයෙහි මුල් කොටස ජල ටැංකි ගල (Cistern Rock) ලෙසින් හැඳින්වේ. ඒ එම ගල මතුපිට සතරැස් ලෙසින් ඇතුලට හාරා උඩ ඉවුරු එකිනෙක පිරිද්දූ ගල් පුවරු වලින් නිමකල ජල ටැංකියක් තනා ඇති බැවිනි. එම ගලෙහි පහලින් පිහිටි ගුහාව ඒ තුල ඇති ගලින්ම මතුකර ඇති ආසනයක් හේතුවෙන් ආසන ගුහාව ලෙසින් හැඳින්වේ.

අතීතයේ කිසියම් යුගයකදි දෙකඩව ගිය ගල්පර්වතයේ කොටස් දෙක. දකුණු පස ආසන ගුහාව සහිත වතුර ටැංකි ගලද, වම් පස රාජ සභා ගලද (Audience Hall Rock) දැකිය හැක. රාජසභා ගලෙහි යටකොටසේද කටාරම් කොටා එහි වහලයෙහි හුණු බදාම අතුරා ඇති ලෙනක් දැකිය හැක

ගලින්ම නිර්මිත කොට බිත්ති වලින් යුත් මෙම ආසන ගුහාවේ ඇති ගල් ආසනයද ගලින්ම මතු කර ඇත. එම ආසනයට පිටුපසින් බිත්තියේ ගසක සිතුවමක් ඇඳ තිබූ බවට වූ සලකුණු ශේෂව ඇත. එයට ඉහලින් වියනේ 5 වන සියවසට අයත් විය හැකි ලෙස අනුමාණ කරන කාන්තා රූප සහ වලාකුළු වල කොටස් දැක ගත හැක. තවද එම රූප මත පසු කාලීනව හුණු තවරා ඒ මත කළු පැහැයෙන් අඳින ලද පිරිමි රූප දෙකක්ද මෙහි ඇත. ඒවා 10-12 සියවස් වලට අයත් විය හැකි බවට මත පලවී ඇත. බොහෝ දෙනෙකු නොදන්න කරුණක් වනුයේ සුප්‍රසිද්ධ කැටපත් පවුරේ පමණක් නොව මෙම ගුහාවේ චිත්‍ර මතද පැරණි යුගයේ කුරුටු ගෑ ගී ඇති බවය (සෙනරත් පරණවිතාන මහතා සහ පසු කාලීනව බෙනිල් ප්‍රියන්ක මහතා මෙම ගී කියවා පලකර ඇත.) මෙහි එවැනි කුරුටු ගී 14 පමණ සොයාගෙන ඇත. ඒ අතරින් ඉහත සඳහන් ගසක චිත්‍රය මත ඇති එක් ගීයක් අක්ෂර හැඩය අනුව 6 වන සියවසට කාල නිර්ණය කල හැක. ඒ අනුවය එම ගී කුරුටු ගෑ චිත්‍ර එයට පෙර 5 වන සියවසේ අවසාන කාලයට හෝ 6 වන සියවසේ මුල් යුගයට අයත් විය යුතු බවට අනුමාණ කරනුයේ.

ආසන ගුහාව

ආසන ගුහාවට ඉදිරියෙන් ඇති රාජ සභා ගල යටද අර්ධ කවාකාරව බිත්තියක් බැඳි කටාරම් කොටා වියනේ හුණු පිරියම් කර චිත්‍ර ඇඳ තිබූ බවට සලකුණු සහිත ගුහාවක් දැකිය හැක. මෙම ගුහා ද්වය ‘සීගිරි නුවර’ අවසානයත් සමග කුඩා බෞද්ධ විහාරයක් සහ පන්සලක් ලෙස යොදාගෙන ඇති බවට 1899 වසර සඳහා වූ H.C.P. බෙල් ගේ වාර්තාවේ සඳහන් වේ. ඔහු එලෙස පවසන්නේ එම ගුහා වල තිබී පිළිම (බුදු පිළිම විය හැක.) හමුවීම නිසා බව එහි වැඩිදුරටත් සඳහන් වේ (After the fall of Sigiri-nuwara they served as a small Buddhist shrine and pansala [Images were exhumed]) මෙම ගුහාව තුල තිබී හුණු ගලින් නිර්මිත දෙවඟනකගේ ප්‍රතිමාවක්ද (තාරා දෙවඟන?) හමු වූ බව රාජා ද සිල්වා මහතා සඳහන් කරයි.

ආසන ගුහාවේ ඇති 5-6 සියවස් වලට අයත් විය හැකි වියන් චිත්‍ර
ඉහත වියන් චිත්‍ර මත හුණු තවරා පසු කාලීනව ( 10 -12 සියවස්? ) කළු පැහැ රේඛාවලින් ඇඳ ඇති පිරිමි රූප. මින් එක් රූපයකින් එහි සිටින පුද්ගලයා ඇඳිලි බැඳගෙන ඇති බවක් නිරූපිත අතර, අනෙත් පිරිමි රූපයේ එක් අතකින් කිසියම් මුද්‍රාවක් නිරූපනය කරයි. අනික් අතෙහිද යමක් දරා සිටින බවක් දිස්වේ.
H.C.P. බෙල් මේ සම්බන්ධව දරන මතය වන සීගිරියේ කාශ්‍යප යුගයට පසුව විහාරයක් ලෙසින් මෙම ගුහා යොදා ගත් බවට වන අදහස මෙන්ම සිගිරියේ පිහිටි පබ්බත විහාරයේ අංග ලෙස මෙම ගුහා මුල සිටම තිබූ බවටද මත ඉදිරිපත් වී ඇත. මේ සම්බන්ධව යම් යම් තොරතුරු සීගිරි පබ්බත විහාරය සම්බන්ධ පෙර ලිපියේ අඩංගු විය Link>>
පැරණි චිත්‍ර මත පසුව සීගිරිය නැරඹීමට පැමිණි පුද්ගලයක් කුරුටු ගී ලියු ලෙසින්ම මෑත කාලීන සීගිරි නොයා යුතුව තිබූ එහෙත් ජාතියේ අවාසනාවට එහි ගිය ඇතැම් අමනයන් විසින්ද ඉංග්‍රීසි අකුරු ආදියෙන් විවිධ දේ ලියා ඒවා විනාශ කර ඇති බව පෙනේ. පැරණි චිත්‍ර, ඒ මත පැරැන්නන් ලියූ කුරුටු ගී මෙන්ම පැරණි චිත්‍ර මත පසු කාලීනව හුණු පිරියම් කර ඇඳි රේඛා චිත්‍රද සුරැකිය යුතු ජාතික උරුමයන් බව වටහා නොගත් පරපුරක් බිහිවී තිබීම මෙවන් සිදුවීම් ඇතිවීමට හේතු වේ. කැටපත් පවුරේ ‘ඇඩ්‍රස්’ ලියූ ද්‍රවිඩ තරුණියකට ‘ජාතික සංහිඳියාව’ උදෙසා ජනාධිපති මන්දිරයට කැඳවා රැකියාවක් ලබාදුන් පාලකයන්ද මෙරට මෑතකදි සිටිය බව මේ අවස්ථාවේ මතක් කර දීම තත්වයන් මේ වනවිට වඩාත් හොඳ අතට වෙනස් වී ඇතිමුත් වැදගත් වේ යයි හැඟේ.
අප ඉහත සඳහන් කල කිසියම් අතීත යුගයකදී එක් ගලකින් සිරස්ව කැඩී ගිය අනෙක් ගල් කොටස සහ මුල් ගල අතර පිහිටි විවෘත අවකාශය පැරණි සිංහල ගෘහනිර්මාණ ශිල්පීන් පෙත් මගක් ලෙසින් මනාව බිම ගල් අතුරා පඩි පේලි යොදා සකසා ඇති බව ඉහත ගුහා දෙක පසු කරමින් ඉදිරියට යන විට දැක ගත හැක. ඉහත ඡායාරූපයේ සහ පෙර ඉදිරිපත් කල වීඩියෝවේ මෙය පැහැදිලිව දැක ගත හැක. Link>> එමෙන්ම රාජ සභා පර්වතය දෙසට වන්නට තවත් කුඩා ගල් ආසනයක්ද මෙහි ඇත.
කුඩා ගල් ආසනය
රාජ සභා ශාලාව
මෙම ගල් පර්වත දෙක අතර වූ මාර්ගයේ ගොස් වම් පසින් ඇති පඩි පේලිය මතින් ඉහලට ගොඩ වූ විට රාජ සභා ශාලාව (Audience Hall) ලෙසින් හැඳින්වෙන ඉහත විස්තර වූ මුල් ගල් පර්වතයෙන් සිරස් ලෙස ස්වභාවිකව කැඩී වෙන්වූ පර්වතයේ මතුපිට මනාව සමතල කොට ඉදි කල, එම ගලින්ම මතු කල විශාල ප්‍රමාණයේ ආසනයක්ද සහිත ශෛලමය මණ්ඩපය වෙතට පිවිසිය හැක. මෙම මණ්ඩපය රාජ සභා ශාලාව ලෙසින් බෙල් විසින් මුල් වරට හඳුන්වන ලද අතර මෙය රාජකීය සභා ශාලාව ලෙසින් මෙන්ම වෙනත් අවශ්‍යතාවයන් උදෙසා ඉදිකර තිබූ ශාලාවක් ලෙසටද වූ විවිධ මත ඉදිරිපත් වී ඇත. 
රාජා ද සිල්වා මහතා පවසන ලෙසට මෙම ආසනය භික්ෂූන් කිහිප දෙනෙකුට ඉදිරියෙන් වාඩි වී සිටින බැතිමතුන්ට ධර්මය දේශනා කිරීම උදෙසා ‘ආසන ශාලාවක’ භාවිතා වූ ‘ධම්මාසනයක්’ ලෙසින් වූ බවට යන මතය මේ ආසන්නයේ ඇති අනෙකුත් බෞද්ධ නටබුන් සමග එකඟ විය හැකි මතයක් ලෙසින් ගත හැක. අනික් අතට සෙනරත් දිසානායක මහතා පවසන්නේ රාජ සභාව සිගිරිය ගල මුදුනේ ඇති රජ මාලිගාවට ආසන්නව තිබිය යුතු හෙයින් එයට සෑහෙන දුරකින් පර්වතය පාමුල පිහිටි මෙය රාජකීය උයනේ අංගයක් විය යුතු බවය.
රාජ සභා ශාලාවට පහලින්ද තවත් මධ්‍යම ප්‍රමාණයේ ගල් ආසනයක් දැකිය හැකි අතර පර්වත උද්‍යානයේ මෙම කොටසේ ගල් ගුහා තුල සහ පිටත මෙතරම් ආසන ප්‍රමාණයක් හමුවීම පිළිබඳව මතයක් ඉදිරිපත් කරන රාජා ද සිල්වා මහතා මෙම ස්ථානය මුල් යුගයේ බුදු පිළිමය හඳුන්වාදීමට පොරොතුව ආසන වන්දනාව සිදු කල ආසනඝරයක් පිහිටි ස්ථානයක් ද යන්න පිළිබඳව අවධානය යොමු කරයි.

රාජසභා ශාලාවට පහලින් පිහිටි ආසනය

බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ වැඩසිටි ආසනයේ අනුරූ මෙරට බුද්ධ රූපය හඳුන්වාදීමට පෙර ඒ අර්ථයෙන් වන්දනා කල බවට මතයක් ඉදිරිපත් වී ඇති අතර ඒ සඳහා ඇතැම් පිළිගත හැකි සාධකද ඉදිරිපත් වී ඇත (ඒ පිළිබඳව වෙනම ලිපියකින් අවධානය යොමු කල යුතු වේ.) තවද එම ආසන මත බුදුන් වඳින අර්ථයෙන් මල් ආදියද තබා වන්දනා කරන්නට ඇත. මෙම මතය තහවුරු කිරීම උදෙසා රාජා ද සිල්වා මහතා යොදාගන්නා තවත් සාධකයක් නම් මෙම ඇතැම් ආසන සහිත කුඩා ගුහා තුල වෙනත් කිසිදු ඉදිකිරිමක් හමු නොවීමයි. තවද මේ මතය නැවතත් පර්වත උද්‍යානයේ මෙම කොටසේ හමුවන අනෙකුත් ලෞකික නොවන බෞද්ධ ඉදිකිරිම් වල නටඹුන් සමගද ගැලපේ.

රාජසභා ශාලාව සහ එයට පහලින් පිහිටි ආසනය

වතුර ටැංකි ගල
රාජ සභා ශාලාවට ඉහලින් පිහිටි වතුර ටැංකි ගල (Cistern Rock) ලෙසින් බෙල් විසින් මුල් වරට නම් කරන පර්වතය මත අප මේ ලිපියේ මුලදී සඳහන් කල ලෙසින් ගලින් නිර්මිත ජල ටැංකියක් ඇති අතර එය වෙතට ලඟාවීමට පඩිපේලියක්ද රාජ සභා ශාලාව දෙසට පිවිසෙන පඩි පේලියට අනෙත් පසින් ඉහල මළුවට පිවිසෙන පඩි පෙල නැග මදක් ඉහලට ගිය විට හමුවේ (පහත රූපය)

මෙම වතුර ටැංකිය මෙම ගල මතුපිට තැනීම සහ එයින් නික්මෙන වැඩිපුර ජලය ගල මතුපිටම වූ කාණුවක් මතින් ගොස් වතුර ටැංකි ගලේ සිරස් අතට හාරා ඇති තවත් කාණුවක් දිගේ ඉහතින් විස්තර කල පෙත් මගෙහි පසෙකින් පහලට ගලා යන ලෙස සකසා තිබීම කුමන අරමුණකින් සිදු කලෙහිද යන්න පිළිබඳව නිශ්චිත මතයක් ඉදිරිපත් වී නොමැත. ඇතැම්විට උද්‍යානයේ අලංකාරය මෙන්ම සිසිලනය උදෙසා එය යොදාගත්තා වන්නට පුළුවන. (වතුර ටැංකි ගලෙහි සිරස් අතට ඇති එම ගල් කාණුව ඉහත වීඩියෝවේ පැහැදිලිව දක්වා ඇත.)

වතුර ටැංකිය

වතුර ටැංකි ගල මත සිට පහලින් දිස්වන රාජ සභා ශාලාව

මූලාශ්‍ර

  • Sigiriya, Senake Bandaranayaka, City, Palace and Royal Gardens, 1999
  • Sigiriya, R.H. De Silva, 1976
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • සීගිරිය, එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග. මහාචාර්ය සෙනරත් දිසානායක, 2011
  • The Rock And Wall Paintings of Sri Lanka, Senake Bandaranayake, 2006
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
  • Magnificent Sigiriya, Prof. Senarath Dissanayaka, 2013
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1895
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1899

%d bloggers like this: