Menu Close

ගල්නෑව – ඔක්කොම දවසක රජ වෙනවා

සමහර කතන්දර ඇතුළේ කඳුළු සහ සිනහව දෙකම රැඳිලා තියෙනවා.
අවුරුදු නමයක දරුවෝ දෙන්නෙක් අතුරුදහන් වුණාම දෙමව්පියන්ට දැනෙන හැඟීම ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. සූ සැට බරණින් සැරසුණු කුල කාන්තාවක් පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දරතුඩුවට ම නිරුපද්‍රිතව පයින් ඇවිදගෙන ගියා ය කියලා කියන රටක අද අපි අහන්නේ මොන වගේ පුවත් ද ? මේ තාක් ම අතුරුදන් වුණ දරුවන් ගැන අපි අහලා තියෙන්නේ ම අසුබ ආරංචි. ඒ හැම සිදුවීමකදි ම වගේ ළමයින්ගේ ළමාකම සහ ළපටි හිත ප්‍රයෝජනයට ගන්න වැඩිහිටියන් හිත් පිත් නැති විදියට තමන්ගේ අරමුණු මුදුන්පත් කරගන්න හැටි අපි දැක්කා. මහා ධර්පාල ජාතකයේ වගේ මුලින්ම එළු ඇට ටිකක් පෙන්නලා , පස්සේ දරුවා ජීවතුන් අතර ඉන්න බව හෙළිකරන සුඛාන්ත අපි අහලාම නැති තරම්. හැට දසකයේ ගෝඨාභය කිරඹකන්දගේ ඉඳන් අසූව දසකයේ සමන් කුමාර, අනූව දසකයේ සදීප ලක්ෂාන් සහ දෙදහස දසකයේ ජූඩ් වර්ෂා රෙජී වන තෙක් ම ඒ අමිහිරි අත්දැකීම් කෙළවර වුණේ මරණයෙන්. ඉතිං ! අවුරුදු නමයක දරුවෝ දෙන්නෙක් අතුරුදන් වෙලා හම්බ වුණාම ඒ අම්මලා තාත්තලාට කොයි තරම් නම් සන්තෝසයක් දැනෙන්න ඇතිද ?
ඒ සන්තෝසය අතරේ මේ පොඩි දරුවෝ දෙන්නාගේ වික්‍රමය අහනකොට ආදරණීය හැඟීමකින් හිත පිරෙනවා. ගල්නෑවේ ඉන්න පොඩි උන් දෙන්නෙක් ලෝක සිතියම බලාගෙන ජපානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව බලන්න බයිසිකල් පැදගෙන යනවා කිව්වාම අපේ හිත් ඇතුළේ හැංගිලා ඉන්න ළමයා හෙමින් හෙමින් අවදි වෙන්න ගන්නවා. ‘මඩොල් දූවේ’ ජින්නා – උපාලි වගේ දූපතකට ගිහිං වගා කරන්න , ‘වනගත ළමෝ’ කතාවේ වගේ අලි ඉන්න කැළෑවක වීර , පළු ගස් මුදුනක දෙබලක රෑ ගත කරන්න , ‘සෝමපුර වීරයෝ’ කතාවේ වගේ රහස් පරීක්ෂකයෙක් වෙන්න අපේ හිත් ඇතුළේ කොයි තරම් නම් රහස් සැලසුම් තිබුණද ? ‘කඔරු ඉකෙයා’ නමින් වල්ගා තරුවක් නම් කෙරුණු හැටි , ‘ප්‍රියංකා වීරසේකර’ වගේ ටෙලිවිෂන් එකේ සිංදු කියන හැටි, ‘හිරන්ත මහතන්තිල’ වගේ ටෙලි නාට්‍ය වල ළමා චරිත වල රඟපාන හැටි අපිව මොනතරම් ප්‍රමෝදයට පත් කළාද ? අපි තුන වසරෙදි අපේ ඉස්කෝලෙට චිත්‍ර සහිත ළමා කතා පොතක් විකුණන්න ආවා. මට අදටත් මතකයි , ‘කේජු කෑම’ කියලා නම් කරපු ඒ පොත ලියලා තිබුණේ ‘වින්ධ්‍යා ඉරෝෂා කුඩලිගම’ කියලා කවුද , කොහේද නොදන්න අපිට වඩා වැඩිමල් අක්කා කෙනෙක්. ගෙදරින් සල්ලි ඉල්ලගෙන ඇවිත් , ඒ පොත අරගෙන, මාත් කවදා හරි පොතක් ලියන්න ඕනේ කියලා හිතපු ළමා කාලයක් එක්ක මේ ලෝක සංචාරයක යන්න හිතන පොඩි දරුවෝ දෙන්නව ආදරයෙන් වැළඳගන හිතෙනවා. බයිසිකලයකින් ලෝකේ වටේ යනවා හැරෙන්න ඒ දරු පැටවුන්ට මේ කාලේ ළමයි ආසක්ත වෙන ජනප්‍රියවාදී ආසාවල් නැද්ද කියල හිතිලා පුදුමයක් ඇති වෙනවා. හර්ෂණ දිසානායකගේ ‘පාන්දරින් ඉස්කෝලෙට’ සිංදුවේ ළමයා වගේ ළමයි තවම ගල්නෑවේ ඉන්නවා කියලාත් හිතෙනවා.
ඉස්කෝලෙන් ශිල්ප අරං මං ලොකු මිනිහෙක් වෙන්නම්
පෙව්ව කිරට ඇද්ද බරට කළගුණ මං සලකන්නම්
බැරිබර දෙන මේ වියකර නුඹේ කරෙන් ගලවන්නම්
උජාරුවට දුව පනින්න ගෙජ්ජි වැලක් පළඳන්නම්

ලොකු මිනිහෙක් වෙලා තොප්පි ගොනාට ගෙජ්ජි වැලක් පළඳවනවා වගේ හීන දකින පොඩි උන් මේ ලෝකේ තවමත් ජීවත් වෙනවා කියලා ඇහෙනකොට, හෙට දවස ගැන හිතේ කොණක යම් බලාපොරොත්තුවක් රැඳෙනවා.
‘හත්පෙති මල’ කතාවේ ශේන්යා අතින් අම්මාගේ මල් පෝච්චිය බිඳෙන්නේ ජනේලෙන් එහා පැත්තෙන් ඉගිළුණ කාක්කො රංචුව නිසා. මොකද , ශේන්යාට ඕනේ වෙනවා ඒ රංචුවේ හිටියේ කාක්කො හතක් ද අටක් ද කියලා හරියටම දැනගන්න. ඉතිං ශේන්යා පුටුව උඩ නැගලා කාක්කො ගණින්න ගිහිං අම්මාගේ වටිනා මල්පෝච්චිය බිඳිනවා. අවුරුදු තිහකට විතර කලින් ළමයෙක් විදියට එහෙන් මෙහෙන් අකුරු අහුලගෙන කියවනකොට සෝවියට් පොතක් ඇතුළෙන් දැක්ක මේ ‘ළමා කුතුහලය’ මම ආයෙත් වතාවක් දකින්නේ වැඩිහිටියෙක් වුණාට පස්සේ. ශේන්යා වෙනුවට හමුවෙන්නේ ගල්නෑවේ කොලු ගැටව් දෙන්නෙක්. කොළඹ බලලා , ගාලු කොටුව බලලා ලංකා සවාරියක් යන්න හිතන්නේ නැතිව බයිසිකලයක් පැදගෙන ජපානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව බලන්න තරම් කුතුහලයකින් පෙළෙන මනුස්ස පැටව් දෙන්නෙක් පොත් වලින් එළියේ ලෝකේ දකිනකොට මට කත්‍යානා අමරසිංහ අනාදිමත් කාලෙක පත්තරයකට කියපු දෙයක් මතක් වෙනවා. රුසියන් නමක් දැම්මා මදිවට, පොඩි කාලේ ඉඳන්ම කත්‍යානාට රුසියානු කතා පොත් දීලා ‘මේ ළමයාව ඇත්තට ම නැති ලෝකෙක අතරමං කරනවා’ යලා අම්මා නිතරම තාත්තට බණිනවාලු. කත්‍යානා ! මම හිතන්නේ ඒ ලෝකේ ගැන අපිට තවමත් පොඩි හරි අපේක්ෂාවක් දල්වන්න පුළුවන්.

මස්ඉඹුලගේ ‘සෙංකොට්ටං’ නවකතාවේ වීරප්පුලි හේනයා සහ මල්මා රිදී පෙරුම්පුරාගෙන අනුරාධපුරය වන්දනා කරගෙන ආපහු එන්නේ හිස් අතින්ම නෙමෙයි. අනුරාධපුරයට යන්න ලැබෙන්නේ නැති අනික් උදවිය වෙනුවෙන් පොඩි බෝ පැළයක් අතින් දරාගෙන. කුලපීඩිත මිනිස්සු දෙන්නෙක්ගේ දෑතින් ගම්මානයට සේන්දු වුණ ඒ පොඩි බෝ පැළය දසක ගණනාවකට පස්සේ සංස්කරණය වුණු ඉතිහාසයක් එක්ක කුලවතුන්ගේ බෝධියක් බවට පත් වෙනකොට අපිට වේදනාවක් දැනෙනවා. ඒ , අර අනුන්ගේ සතුට වෙනුවෙන් කැපකිරීම් කරපු කුලපීඩිත අඹු සැමියන්ගේ උදාර සිතිවිලි ගැන තියෙන ගෞරවය මුසු හැඟීම් නිසා. අමරකීර්තිගේ ‘අටවක පුත්තු’ නවකතාවේ පොල් සුනිල් ගැනත් මගේ හිතේ ඒ ගෞරවයම උපදිනවා. පොලිස් ජීප් එක දැක්කාම දමයන්තට කරට නැගලා කම්බි වැටෙන් පනින්න පිට දීලා තමන් කාණුවේ හැංගෙන , දමයන්තව හමුදාවෙන් ඇල්ලුවොත් පෙන්නන්න දෙයක් නැති වෙයි කියලා හිතලා , ආයුධය තියෙන තැන හෙළි නොකරම මැරුම් කාපු පොල් සුනිල් ගැන හිතාගන්න බැරි තරම් ආදරයක් ඇති වෙනවා. ඒ ඔක්කොම සිදුවීම් මේ වෙලාවෙම මට මතක් කරවන්නේ ගල්නෑවේ ලාබාල ලෝක සංචාරකයෝ දෙන්නාගේ අනික් මිතුරා. ‘සැලසුම් කළ ආකාරයට එක් පාපැදියකින් තිදෙනෙකුට යාමට නොහැකි නිසා එක් දරුවෙක් ගොස් නැති බවත් …. ‘ කියලා විතරක් ඉඩක් වෙන්වුණු , මේ ප්‍රවෘත්තියේ සමස්තයම අභිබවන කුඩා දරුවා ට මේ මොහොතේ හිස නමලා ආචාර කරනවා. බයිසිකලයේ තුන්දෙනෙක්ට යන්න ඉඩ නැති නිසා අනික් යාලුවෝ දෙන්නාට ලෝකේ වටේ ගිහිං එන්න කියලා නවතින්න තරම් පරිත්‍යාගශීලි හිතක් තිබුණ තුන්වැන්නා වැඩිහිටි අපිට අනින ටොක්ක හිතාගන්නවත් බැහැ. ඒ අස්සේ මට පේෂලා මෙන්ඩිස්ගේ ‘ඉරහඳ මොකටද අපේ ලෝකයට’ සිංදුව ඇහෙන්න ගන්නවා. එතකොට මේවා කල්පිතයන් විතරක් නෙමෙයි ද?
මිණිමුතු අතරේ නොරැඳෙන දෑතේ
කැට කැබිලිති රන්මසු වෙනවා
සක්විති රජවරු අප අතරේ නැත
ඔක්කොම දවසක රජ වෙනවා

ශේන්යාට තිබුණු නොතිත් කුතුහලයෙන් පිරීගිය ළමයි වගේ ම , දවසක ඔක්කොම රජ වෙන්න ඕනේ කියලා හිතන්න පුළුවන් ළමයි පවා ගල්නෑවේ ඉන්නවා. පරමාදර්ශ භෂ්මාවශේෂ වෙලා නෑ කියලා හිතෙන තැන දි ඒ දරු පරපුර වෙනුවෙන් සතුටු කඳුළක් උපදිනවා.
%d bloggers like this: