Menu Close

ඇඟට නොගත්තොත් ඇඟට අමාරුවකුත් නැහැ

2015 මහා මැතිවරණය කාලේ මම වැඩ කෙරුවේ ‘ද නේෂන්’ පත්තරේ. මැතිවරණ ප්‍රතිඵල, විශ්ලේෂණ සමග අපේ වෙබ් අඩවියේ පල කරන්න සියලු කටයුතු සූදානම් කල යුතුව තිබුනා. මැතිවරණයට දින දෙකකට පෙර රෑ 10ට විතර කොටාවේ අපේ නිවස වෙත යන ගමන් මගේ බිරිඳට මෙසේ පැවසුවා මතකයි: ‘ඔයාලව ගෙදර ඇරලවලා ආපහු ඔෆීස් එකට යන්න ඕන.’

‘ඒ ඇයි?’

ඉහත කරුණු ඇයට පැවසූ විට ඇය පෙරළා මෙසේ ඇසුවා: ‘අනේ මන්දා…ඇඟට අමාරු නැද්ද?’

වචන කොහෙන් ආවද කියල දන්නේ නෑ, ඒත් එසැනින් මෙහෙම උත්තරයක් දුන්නේ සිනාසෙමින්: ‘ඇඟට ගන්නේ නෑනේ.’

ඒක ආතල් දෙයක්. කලයුතු දේවල් කලයුතුමයි. එච්චරයි.

ඇත්තටම කළයුතුව තිබුනේ මහා දෙයක් නෙවෙයි. ඉතින් ඇඟට අමාරුවක් දනවන දෙයක් කරන්න තිබුනේ නැහැ. පාමංකඩ ඉඳල කොට්ටාවට යන්නත්, කොට්ටාවේ ඉඳල පුංචි බොරැල්ලට යන්නත්, වැඩ ඉවර කරලා ආයෙත් කොට්ටාවට යන්නත් අමාරු නැහැ. ඒ වෙලාවට.

ආතල් විවිධයි. විවිධ හැඩ තියෙනවා, විශාලත්ව තියෙනවා. සමහර ආතල් සියුම්. සමහර ආතල් මොහොතයි, සුන්දරයි, අමතකයි. සමහර ආතල් කාලෙන් කාලෙට අලුත් වෙනවා. මතක් වෙනකොට සුන්දරයි. ඊළඟ මොහොතේ අමතකයි. වෙන ආතල් වගේම වෙන වේදනාවන් ඒ ආතල් මකල දානවා. තාවකාලිකව. ආයෙත් ඒවා මතුවෙනවා. සතුටක් දෙනවා.

මම ආස පුංචි ආතල් වලට. මම ආස ආතල් දෙන්න. ලොකු ආතල් දෙන්න මම දන්නේ නැහැ. ඒත් පොඩි ආතල් පහසුයි. වාහනේ පදවාගෙන යද්දී පොලිස් නිලධාරියෙක් නැත්තම් ඉස්කෝලයක් ළඟ වාහන හසුරවන ‘රථ නියාමකයෙක්’ පහු කරද්දී වාහනේ හෝන් එක ගහල අත වනනවා. හිනාවෙනවා. එයාලත් සමහර අවස්ථාවලදී හිනාවෙනවා. අත වනනවා. ඒ වගේ දේවල්.

ඇත්තටම මිනිස්සු හිනාවෙනවා දකින්න මම  කැමතියි. හිනස්සන්නත් කැමතියි. ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. යම් මොහොතක බලාපොරොත්තු නොවනම දෙයක් බලාපොරොත්තු නොවනම විදිහට කියනවා නම් නැත්තම් කරනවා නම්, ඒ කියන කරන දේ අපහාසාත්මක නොවනවා නම්, ඒක විහිළුවක්. පුංචි සතුටක් ගෙන දෙන දෙයක්. ආතල් එකක්. පුංචි ආතල් එකක්. ලේ පිරිසිදු කරන දෙයක්.

පරණ යාලුවෝ, ගුරුවරු, නෑදෑයින් බලන්න මම කැමතියි. ආගිය තැන ආයෙත් දැකබලාගන්න ආසයි. ඒවා ගැන ලියන්න ආසයි. ලෝකය වෙනස් වෙලා තියෙන විදිහ ගැන හිතන්න ආසයි. දැකල නැති තැන දකින්න ආසයි. කවදාවත් ගමන් කරලා නැති පාරව වල ගමන් කරන්න ආසයි. ඒ හැම දෙයකම ගැබ්ව තියෙන්නේ කවි කියල හිතන එකටත් ආසයි. ලොකු දේවල් ප්‍රකාශ කරන පුංචි කවි වලට ආසයි. පුංචිම දෙයක් කියන්න නැත්තම් දන්වන්න ලියන නවකතා වලටත් ආසයි. නරුමයින්ගේ නරුමකම් විනිවිදන මනුස්සකම් මට සතුටක් ගෙන දෙනවා.

මේ ලෝකයේ අවලස්සන දේවල් වල අඩුවක් නැහැ. ඒත් මේ ලෝකේ තුල ලස්සන දේවල් එමටයි. මිනිස්සු පෘතග්ජන. පෘතග්ජන මිනිස්සු තුල දේවගති තියෙනවා. ඒවා දකිද්දී දැනෙද්දී මම සතුටුවෙනවා. සමස්තය තුල සුවිශේෂතා දකින්නත් සුවිශේෂතා තුල, පුද්ගලයා තුල සමස්තය දකින්නත් කැමතියි.

හිරිපොද වැස්ස හීනියි. මොරසූරන වැස්ස දැවැන්තයි. වැස්ස මොන වේශයකින් ආවත්, ලස්සනයි. හීන් කවියක්. මහා කාව්‍යයක්. ස්වභාව ධර්මයේ ලොකු පොඩි දේවල් මාව සතුටු කරනවා.

නගර වල අවලස්සන දේ බොහෝ තියෙනවා. එත් ඒ අවලස්සන නගර තුල පුංචි පුංචි ලස්සන තැන තියෙනවා. ඝෝෂාව තුලත් හීන් සංගීතයක් තියෙනවා. ඒ සංගීතය ඇහෙද්දී සතුටු වෙනවා.

අසතුටු වෙන දේවල් නැතුව නෙවෙයි. ඒවා ගැන හිතන්නේ නැතුව නෙවෙයි. සතුට වගේම අසතුටත් වළඳන්න සිද්ධ වෙනවා. ඒවා වෙතින් පලා යන්න බැරි බව දන්නවා. අසතුට වගේම සතුටත් හත්පොලේ ගාගන්නේ නැතුව ඉන්න බලනවා. ඊලඟ ආතල් එකට ඉඩ හැදෙන්නේ එහෙමයි කියලයි මට හිතෙන්නේ.

ඇඟට ගන්නේ නෑ ඕනවට වැඩිය. විඳිනවා. ඉවත් වෙනවා. තදින් බදාගන්නෙ නැතුව ඉන්න උත්සහ කරනවා. එකහෙලා බැහැර නොකරන්නත් උත්සහා කරනවා. ඇත්තටම අට ලෝ දහම හමුවේ කම්පා නොවෙන්න උත්සහා කරන එක තමයි මම දන්නා හොඳම ආතල් එක.

 

%d bloggers like this: