Menu Close

රුවල් ඉරී ගිය ගීතයේ ලෝකෝත්තර අර්ථ විචාරය

නැවක් උපමාකර ඇති පහත ගථාව “රුවල් ඉරී ගිය” ගීතය ගැන බුද්ධික සේමසිංහ මහතා දක්වන ලෝකෝත්තර අර්ථ විචාරය එක්ක සමපාත වෙන බවක් පෙනෙනවා.

අබලා නං බලීයන්ති
මද්දන්තේ නං පරිස්සයා
තතෝ නං දුක්ඛමන්වේති
නාවං භින්නමිවෝදකං

බිඳුනු නැවක් අනතුරට පත්වෙන්නාක් මෙන් (ජලය උනා මුහුදුබත් වෙමින්)…(ආස්වාද ලුහුබදින කෙනා කෙලෙස් නිසා) දුකට (විපතට) පත් වෙනවා.

රුවල් ඉරී ගිය අදහසට වඩා පතුල බිඳුණු නැවක අනතුර තීව්රයි. ඒ අවදානමේ වර්ණ සටහන රතුයි. බුදුපියාණන් වහන්සේ ඒ අනතුරේ අවදානම යථාර්ථවාදී ව නො සඟවා පෙන්වා තියෙන හැටි හරි අපූරුයි.

මොන තරම් දුකක් උරුම වුනත්, ඒ දුක වහමින් පිරිය (ප්‍රිය) ම ඉස්මතු වෙන නිසා, ඒ පිරිය බව සිඳ බැලුවොත්, දුක පිරිසිඳ පෙනෙනවා. ලෝකයා සැපයි, මරු කියල කියන දේ ම දුකට හේතු වන බව ඒ කෙනා වටහාගන්නවා.

රුවල් ඉරුනු නැවකින් ගොඩයන්න වෙහෙසුනාට යා හැකි එතෙරක් නැහැ. ඒ නිසා කරන්න බැරි දෙයක් කරමින් වෙහෙසන අය අවසානයේ සංසාර සාගරයේ ම ගිලී  විපතට පත්වෙනවා.

නියත බිහිසුණු දුක්ඛාන්තයන් උරුම වෙන පංචකාමයෝ හරසුන් බව ⁣බෝධි මූලයේ අවබෝධ කරගත් බුදුපියාණන් වහන්සේ සඳහම් වැසි වලින් සසර කතරට සිසිල් දම්දිය දෙමින්, ඒ අනතුරත් ඒවායින් වෙන්ව පත්විය හැකි නිවන නැමති අභය භූමියත් අපිට පෙන්වා දුන්නා. ඒ දම්දිය දෝතක් ගෙන අපි ඡන්දරාගයෙන් අල්ලාගෙන ඇති සියල්ල (සිය + අල්ල) අවබෝධයෙන් අතහැර දැමිය යුතුයි. හැබැයි, ඇත්ත ඇති සැටියෙන් ම පෙන්වමින් එතෙර විය හැකි හරි මග පෙන්වුවත් එතෙර වන්නෙ අතලොස්සක්.

අප්පකාතේ මනුස්සේසූ යේ ජනා පාරගාමිනෝ අථායං ඉතරාපජා තීරමේවානුධාවතී  

මිනිසුන් අතරින් යමෙක් (නිවන නම් වූ) එතෙරට යා නම් ඔවුහු ඉතාමත් ස්වල්ප ය. අවශේෂ ප‍්‍රජාව මෙතෙරට ම (ඔබ මොඹ) දුවන්නේ ය.

මෙතුවක් කල් මා ගොඩගියා! මා දිනුවා! කියල, තාවකාලික ආස්වාද ජයග්‍රහණ අපි සැමරුවත් ඒ තුළ ලැබූ නිවනක් කොහින් ද? හැබැයි ඒ අය හිතුවෙත් ගොඩ යන්නම තමයි.

මහා ඇලෙක්සැන්ඩර්⁣ රජු, හිට්ලර්, ප්‍රභාකරන් කියන නියමුවො දැන් කෝ? ඒ නියමුවො විවිදාකාරයෙන් ලැබූ ජයග්‍රහණ දැන කෝ්?

අවිද්‍යාව නිසා ඇත්ත නො පෙනෙන නිසාම අපි පුන පුනා රැවටෙනවා. රෑ වැටුණු වලේ දවල් වැටෙන්න හොඳ නැහැ ලු. රැවටෙන්න හොඳ නැහැ. ඒ නිසා ප්‍රඤ්ඥාලෝකයෙන් ලොව පහන් කළ තුන්ලෝකාග්‍ර සම්මාසම්බුදුපියාණන් වහන්සේ, ආස්වාද ලුහුබඳිමින් මම හදන වැඩපිළිවෙලේ, රැවටීම පසක්කර දුන්නා. එම වැඩපිළිවෙල සැබැවින් ම සත් එකක් නොව අසත් එකක් බව පෙර නො ඇසූ ධර්මයක් දේශණා කළා.

කාය කියන්නෙ එකතුවක්. මේ බණ අවබෝධ කරගත් කෙනා හට රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, ජිව්හා කාය සහ පොට්ඨබ්බ නොහොත් ස්පර්ශ කාය සහ හිතට සම්බන්ධ ධම්ම කාය යන කාය සමූහ සත් හැටියට මෙතෙක් තිබි දෘෂ්ටිය යළි ඇති නො වෙන විදිහට නිරෝධ වෙනවා. ඒ මමත්වය නැතිකර ගැනීමේ පලමු වෙඩිමුරය.

ඒ බණ අහපු කෙනා මෙතුවක් කල් මම පිනවීමට පසකම් සුව ලුහුබඳින ගමන හරයක් නැති පුස්සක් බව වටහාගන්නවා. ඒ කෙනා, පස්කම් “එතෙර” අතහැර, සංසාර සැඩපහර තරණය කරන ගමනට බහිනවා. එතැන් පටන් ඔහු නිවන නම් අනතුරු රහිත සැබෑ එතෙරට පත්වෙන්න උත්සහ ගන්නවා.

තුම්මෙහි කිච්චං ආතප්පං අක්කාතාරෝ තථාගත කියන බුද්ධ වචනය පරිදි තමන් ගෙ කෙලෙස් තර්පනය තමන් ම (තනිව) කරගත යුතුයි. තාථාගතයන් වහනසේ මග කියා දෙනවා පමණයි.

සියලු රැවටීම් පසෙකලා ලෝකය කෙරෙහි ඇති සෙනහස/ ඡන්දරාගය/නන්දිය අතහැරිය යුත්තේ ඇත්ත අනතුර වන දුක්ඛ ආර්ය සත්‍ය දැකපු සංසාර සාගරයට බට ඒ නියමුවා තනියෙන් ම යි. බුදුහාමුදුරුවො ඒක කරල දෙන්නෙ නැහැ.

තස්මා ජන්තු සදා සතෝ, කාමානි පරිවජ්ජයේ;
තේ පහාය තරේ ඕඝං, නාවං සිත්වාව පාරගූති

එහෙයින් මේ අනතුර දත්  කෙනා හැමකල්හි සිහි ඇතිව (වස්තු සහ ක්ලේෂ) කාමයන් විශේෂයෙන් වර්ජනය කර, එයින් වැලකෙනවා.

ඒ කෙනා අබල වූ නැවේ අඩුපාඩු ප්‍රඤ්ඥායුදයන් ගෙන් සාදාගෙන කාමයන් තරණය කර (කාම ඕඝ, දිට්ඨි ඕඝ, භව ඕඝ සහ අවිජ්ජා ඕඝ යන සතර මහ ඕඝ නම් සැඩපහර තරණය කර) නිවන නැමැති සදා නො වෙනස් සුවය නැමති එතරට ගමන් කරනවා.

මා හා යා නො හැකිය එතෙරට…කියන පද පෙලෙහි මමත්වය කරපින්නා ගෙන දකින නිවනක් නැති බව වගේම බුදුන් අත් අල්ලන් සව්වන් එතෙර නො කරයි යන උභයාර්ථම ගැබ්ව ඇති බව මගේ රස නහර දනවනවා.

%d bloggers like this: