Menu Close

යුග විලක්කුව

යාපනය විශ්ව විශ්‍ව විද්‍යාල ශිෂ්‍ය සභාව තමා සංවිධාන කළ මහ විරු දිනය අරභයා ලියන ලද්දක්යැයි පැවසෙන මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ තැවරුණු සටහනක් කියවන්නට ලැබිණ. එහි මෙසේ සඳහන් වේ.
“අපි මෙලෙස මහ විරු දිනය සිහිපත් කරනුයේ රට අල්ලා ගැනීමට නොව
ඔබලාට එරෙහිව ආයුධ අතට ගත් බව සිහිකිරීමට ද නොව
ඔබත් සමඟ අපට ගැටුම් තිබෙන බව ද සිහිකරන්න නොව

ඔවුන් අපේ දරුවන්ය
ඔවුන් අපේ සහෝදරයින්ය
ඔවුන් අපගේ මිතුරන්ය.
ඒ සෑම දෙයකටම වඩා ඔවුන් අප වෙනුවෙන් ජීවිත කැප කළ මිනිසුන්ය.

ඔබ ඔවුන්ව විරුවන් ලෙස පිළි ගත යුතු නැත.
ඔබ ඔවුන්ට වන්දනා මාන කළ යුතු නැත.

එහෙත් ඔවුන් කෙරෙහි අප හද තුළ ඇත්තේ භක්තියක් නැතිනම් ගරුත්වයක් බව පිළිගන්න. එයම පමණක් අපට ප්‍රමාණවත්ය. එතුමන්ලා අපි වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු පිරිසක් බවට වන සත්‍ය පිළිගත් අප හදවත් බිඳ නොහරින්න.
මේ යථාර්ථය තේරුම් ගත් විට අප රටේ හිරු උදාකර දීමට අහස සුදානම් වනු ඇත.”
සංවිධායකයින් විසින් ඉතා නිරවුල් පැහැදිලි කිරීමක් සමග සංවිධාන කළ යාපනය මහ විරු දිනය සහ මහා සමාජය විසින් ඉතා යහපත් අවබෝධයකින් යුතුව භාරගැනීම සුසාධිත සමාජ ස්ථරයක අනාගත අපේක්ෂා දල්වන සිදුවීමකි. ඔබ අප ජීවත්වන්නේ එවකට දේශද්‍රෝහීන් සහ අපරාධකරුවන් ලෙස බෞතීස්ම වූ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයින් පවා අදටත් නිදහසේ ‘ඉල් මහ විරු සමරුව’ පවත්වන සමාජයක ය. එසේ නම් මේ දූපතේ ම තවත් මිනිස් කොට්ඨාසයකට තම අහිමි වූවන් පිළිබඳ සංවේදී වන්නට හිමිකමක් නැතිද ?
“රිචඩ් ද සොයිසාගෙ අම්මා මනෝරනි සරවනමුත්තු දොස්තර නෝනා කියල තිබුණා දරුවෙක් නැති වුණා කියන්නේ තමන් නැති වුණා කියනවට කියල. ඒක ඇත්ත. කොයි පැත්තෙන් බැලුවත් උන් බිලි ගන්නෙත්, බිලි දෙන්නෙත් අපේ පුත්තු. උන්ගේ පුත්තු රජ කරවන්න අපේ පුත්තු බිල්ලට දෙනවා” එසේ පවසන්නේ සෝමා ජයකොඩි රචිත “රන්ගිර” නවකථාවේ එන මොණරවිල මාතාව ය. දකුණේ හමුදාවට සහ උතුරේ සටන්කාමීන්ට එකලෙස බලපවත්වන ධර්මතාවක් මොණරවිල මාතාවගේ වදන් තුළින් තියුණු හී සරයක් සේ පපුව තුළ තැන්පත් වේ.
යුද්ධය ; අවි ආයුධ සහ සටන් වැදීම පිළිබඳව පශ්චාත්තාපය තිබෙන්නේ දකුණට පමණක් ම ද ? උතුර යනු යුදකාමීත්වයේ සහ මරණයේ නිම්න භූමිය ද ? එල්.ටී.ටී.ඊ කාන්තා සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව වූ තමිළිනී ජෙයක්කුමාරන්ගේ රූපය ඈතින් බොඳ වී පෙනෙන්නට ගනී. ඇය ලියූ කතාව “තියුණු අසිපතක සෙවණ යට” නමින් සිංහලයට නැගිණ. එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳුණු එක් තරුණියකගේ පියා පැමිණ තමාගෙන් මෙසේ විමසූ බවත් ඒවා තමා ඒ ප්‍රශ්නය ඉදිරියේ නිරුත්තර වූ බවත් තමිළිනී ලියුවා ය.
“දුව අරගලයට එකතුවුණ එක ගැන මගෙ දුකක් නෑ. ගමේ රටේ සිද්ධ වෙන දේනෙ ඒක. ඒ උනත් දුවේ, හෙට පිට රටවල් වල ඉඳන් දොස්තරලා , ඉංජනියර්ල වෙලා ඉගෙන ගන්න අය මෙහාට එනකොට රට වෙනුවෙන් සටන් කරපු මගේ දුවයි, අපේ පවුලයි ඒ අය ඉස්සරහ ඉගෙන ගත්තෙ නැති හිඟන්නො හැටියටනෙ ඉන්ඩ වෙන්නෙ. ඒ ගැන හිතනකොට තමයි මට දුක”
දිවි හිමියෙන් යුදබිමට වැද අනෙකා හෝ තමා නැසෙන තෙක් වෙඩි තබාගැනීම යනු දකුණේ ජීවිත වල අභිප්‍රාය නොවන බව අප දනිමු. එසේ නම් උතුරේ දරුවන් උපදින්නේ ‘දකුණ කැති ගා මිස නොමියෙම්’ යැයි උදාන වැකියක් පවසමින් ද ? තුවාල ලද ළමා සොල්දාදුවෙක් ලෙස රජයේ හමුදාවට හමු ව ප්‍රතිකාර ලබා පුනරුත්ථාපනය කෙරුණු රදිකා පදමනාදන්ගේ රුව බොඳ වී පෙනෙන්නට ගනී. ඇය ඉරිදා ලක්බිම පුවත්පත ට මෙසේ පැවසුවා ය. “සහෝදර සහෝදරියො හත් දෙනෙක් ඉන්න පවුලක් වෙලත් අපිට එක තුරුළේ ඉන්න බැරි වුණා. මට අදටත් පාරේ තොටේදි එකට යන සහෝදර සහෝදරියො දකිනකොට හිත ඇතුළෙන් ලොකු කඩා වැටීමක් ඇතිවෙනවා , අනේ අපිට පොඩි කාලේ එකට ඉන්න බැරි වුණා නේද කියලා. අම්මලා තාත්තලා එක්ක හුරතල් වෙන්න ඕනේ වයසෙදි මම ළමයි දෙන්නෙක් බලාගෙන මහන්සි වෙලා ඉගෙන ගත්තා. අන්තිමට නැවතුණේ යුද්ධෙන්.” කකුලකට වෙඩි වැදී තෙදිනක් පුදුකුඩුඉරිප්පු රෝහලේ සිහි විසඥව සිටින මේ ළමා සෙබළියට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අණ කර තිබුණේ රෝහලෙන් පිටව තම නිවසට යන ලෙසිනි. ඔවුනට කකුල් කැඩුණු අශ්වයින්ගෙන් පලක් නැත.
යුද්ධය නිසා උතුර හෝ දකුණ අහිමි කරගත් දෙයක් විනා දිනූ දෙයක් නොමැති බව අනාදිමත් කාලයක් තිස්සේ මානව දයාව හඳුනන මිනිසුන් පුන පුනා පවසන්නේ මානව සබඳතා යනු හුණු කූරකින් අඳින රේඛාවන් බෙදා වෙන් කළ හැකි දෙයක් නොවන බැවිනි. රෝහණ විජේවීර ඇතුළු පිරිස කතරගම වනගතව සැඟවී ජීවත් වූ කාලය පුරා ඔවුන් හට ආහාර සැපයූ අනූ හැවිරිදි නෙත්තිකුමාර මාතාව මෙලොවින් සමුගත්තේ මාස කිහිපයකට පෙර ය. ඇය රෝහණ විජේවීර සමග මරුමුවට පත් තම පුත්‍රයා ඇතුළු අනෙක් සහෝදරවරු දෙස අවසාන මොහොතේ පවා දැක්වූයේ මාතෘ දාරක ස්නේහයකි. ‘ගින්නෙන් උපන් සීතල’ නමින් රෝහණ විජේවීර පිළිබඳ සිනමා නිර්මාණයක් බිහිවෙන බව පැවසූ විට ඇය පවසන්නේ “ඔය කොල්ලන්ට බත් ඇදලාමයි නාකි මම තිරිහං වුණේ. මගේ පුතා කවදා හරි බුදු වෙන්න ඕනේ “ යනුවෙනි.
මිත්‍රවරුනි ;
රජය ට හෝ ජාත්‍යන්තරයට එසේත් නැතිනම් මේ සක්වළට ම ඔබ ත්‍රස්තවාදියෙක් හෝ අසාදුගත පුරවැසියෙක් විය හැකි ය. එසේ වූ පමණින් ඔබගේ සමීපතමයන් සහ ඔබ අතර පැවති ස්නේහ බන්ධනයන් සහ මතක සමුදායන් අලු දූවිලි වන්නේ නැත.

1999 වසරේ තිරගත වූ සුදත් රෝහණගේ “යුග විලක්කුව” ටෙලි නාට්‍යයට සුනිල් ආරියරත්නයන් ලියු මේ ගීතය ගැයුවේ නිරෝෂා විරාජිනී ය
ලේ සලකුණු පමණයි රණ බිමක ඉතිරිවන්නේ
මේ කඳුළුම පමණයි රණ හඬට නෙත උනන්නේ

එකම රටක එකම බිමක විරු දරුවෝ
දෙපිල බෙදී රණ බිම් වැද අවි දැරුවෝ
කවුරුද සතුරෝ – කවුරුද රණ විරුවෝ
ජය ලද්දෝ දෙපිලම බිලිගත් මරුවෝ

දොර දොර මළබෙර ගොඩ ගොඩ ඇටසැකිලී
අවතැන් ජීවිත දළ සෝ ගිනි ඇවිලී
උරුමය මෙය වේ සටනක කෙළවරදී
තිබේද විසඳුම් ගිනි දඬුවල ලියැවී

මේ ගී පද සහ දකුණේ අපේ මතකයන් සමග උතුරේ මහ විරු සමරුව දෙස අවලෝකනයක යෙදෙන්න. කිසිදා ජයක් හිමි නොවෙන යුද්ධයකින් අහිමි වූයේ අපට පමණක් ම ද ?
අතීතයේ තුවාල පැසව පැසවා ඕජස් ගලන්නට ඉඩ නොදී , ඒවා සුවපත් වන්නටත් , කැළැල් මැකී යන්නටත් ඉඩ හසර සලසන ඕනෑම රජයක් හෝ පාලනයක් කෙරෙහි අපේ ගෞරවය පුද කරන්නේ වඩාත් මානවවාදී අනාගතයක් කෙරෙහි දුටු සිහින රැකගනු පිණිසම ය.
මිත්‍රවරුනි ;
යේසුස් ක්‍රිස්තූන් වහන්සේ කෙරෙහි මහත් වූ විශ්වාසය නිසා ඉතාලියේ පාදිරි පියෝගේ ශරීරයේ හට ගත් තුවාල ශ්‍රී වණ කැළැල් ලෙසින් ගෞරවයට පාත්‍ර වූවාට, වර්ගවාදයෙන් හෝ ජාතිවාදයෙන් පැසවා ඔඩු දිවූ , ඔබගේත් මගේත් හදවතේ තුවාල වලට ඒ අගය ලැබෙන්නේ නැත. ඉදින් ඒ බව වටහා ගනිමු. සුවපත් කරගනිමු.
%d bloggers like this: