Menu Close

බදුලු කෝච්චිය

“ඔය බෑග් එක ඔතන තියෙන එක පුතාට කරදරයක් නෙමේ නේද ?” එහා පැත්තේ ආසනයේ ඉන්න වයසක ගැහැණු කෙනා තුන්වෙනි පාරටත් අහනකොට පසන් ට පොඩ්ඩක් කේන්ති ගියා. ඒත් ඒක නොපෙන්නා ඉන්න වග බලාගත්තා. “අපෝ නෑ ආන්ටි” මවාගත්ත මහත්මා හිනාවකින්න් පසන්ගේ මූණ පිරිලා ඉතිරිලා ගියා. “ඒක මගේ කකුලේ වැදෙන්නේ නෑ”
පසන් බදුල්ල කෝච්චියේ දෙවනි පංතියේ වෙන් කරපු ආසනයට නැග්ගේ ගම්පහ ස්ටේෂන් එකෙන්. ටිකට් එකේ විදියට අංක 28 ආසනය හොයාගෙන යනකොට පෙට්ටිය ඉස්සරහම තියෙන වම් පැත්තේ ජනේල ආසනයක් පසන් ට හම්බ වුණා. දෙවනි පංතියේ මැදිරි වල එක පේළියක ආසන දෙක ගණනේ ආසන හතරක් තිබුණා. පසන් වමේ අයිනේ. ඊට මෙහා පැත්තේ තමයි උද්‍යෝගිමත් ඇන්ටි වාඩිවෙලා හිටියේ. පසන් වාඩි වෙනකොට ඇන්ටිගේ එක ගමන් බෑග් එකක් පසන්ගේ ආසනය ඉස්සරහ කකුල් තියෙන තැනට හේත්තු කරලා තිබුණා. මේ සැරින් සැරේ අහන්නේ ඒ බෑග් එක ගැන. “නෑ… නෑ.. නෑ.. නෑ” කියලා හිනාවක් දාලා වෙනදා පුරුදු විදියට ෆෝන් එකට එබෙන්න ගත්තට වැඩේ හරි ගියේ නෑ. මොන ? ඇන්ටි ට කතාකරන්න හුඟක් දේවල් තියෙනවා වගේ. අන්තිමට පසන් ෆෝන් එකෙන් ෆේස්බුක් එක හරහා ලෝකය බලන අදහස අත ඇරලා අල්ලපු සීට් එකේ කතා සරිත් සාගරයෙන් එපිට ලෝකය බලන්න ගත්තා.
ඒක මෙහෙමයි වුණේ. පසන් කෝකටත් කියලා ඇන්ටිගෙන් ඇහුවා ඕනේ නම් මේ ජනේලේ අරින්නද කියලා. “පුතාට ඕනේ නම් අරින්න” කියපු ඇන්ටි අනෙක් අතට හරස් ප්‍රශ්න කීපයක් අහන්න ගත්තා. එහෙම ජනේලේ ඇරියොත් හොරු ජනේලෙන් අතදාලා බඩු හොරකම් කරනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවාම පසන් කිව්වා එහෙම දේවල් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇන්ටිත් ඒකට එකඟ වුණා. එකඟ වෙලා කිව්වා ඒක එයා අහලා තියෙන්නේ ඉස්කෝලේ යන කාලේදි , එයාගේ තාත්තා රේල්වේ එකේ වැඩ කරපු සංදියේ කියලා. පසන් හිනාවෙලා ජනේලෙන් එළිය බලාගෙන ඉන්න හැදුවට ඒ පාර ඇන්ටිට දැනගන්න ඕනේ වුණා මේ පහු වුණ ස්ටේෂන් එක මොකක්ද කියලා. ඒ වෙනකොට ඇන්ටි දෙවතාවක්ම පසන් ට කියලා තිබුණේ මේ අංක 28 ආසනය වෙන් කරපු කෙනා හරියටම නගින්නේ ගම්පහ ස්ටේෂන් එකෙන් කියලා එයා අනුමාන කරපු බව. “නන්දා ! මම කොළඹදිම කිව්වා නේද?” ඇන්ටි සාක්කි විමසුවේ එහා සීට් එකෙන්. චහ් ! අමතක වුණානේ. එහා සීට් එකේ ඉන්න , බොහොම උනන්දුවෙන් ඔලුව එළියේ දාගෙන කුටු කුටු ගගා යන දෙන්නා මේ ඇන්ටිගේ යාළුවෝ දෙන්නෙක් ලු. තුන්දෙනා ම මේ බදුල්ල කෝච්චියේ ගිහිං හවසට දියළුම ඇල්ල බලලා ආයේ රෑට කෝච්චියෙන් කොළඹ එනවලු. “මම කිව්වා පුතේ පොඩි කාමරයක් අරං නවතිමු කියලා. මොකෝ උස්සං යන්න අපි කෙල්ලෝ යැ. කොහෙද ඉතිං ? මෙයාලා බයයිනේ” ඇන්‍ටි ඒ කියන අස්සේ අනික් යාළුවෝ දෙන්නා මෙලෝ සිහියක් නැතිව එළියේ ගමන ෆෝන් එකෙන් වීඩියෝ කරනවා. “ඔය වීඩියෝ කරන්නේ පුතාලට යවන්න” පසන්ගේ ඇහැ යොමු වුණේ කොහෙද කියලා දැනගත්ත ගමං ඇන්ටි ස්වේච්ඡාවෙන් ම පැහැදිලි කළා. “එයාගේ පුතා රට ඉන්නේ. ඒ පුතා තමා මේ ගමනට සල්ලි එව්වේ. අනේ ඉතිං දෙවියන් වහන්සේ ඒ දරුවාට වැඩි වැඩියෙන් දෙන්න ඕනේ මේ දක්වන කාරුණිකකම් වලට” කියලා අනෙක් අතට ඇන්ටි තව ප්‍රශ්නයක් මතු කළා. “පුතා බෞද්ධ ද ? මම කතෝලික” පසන් ඔව් කියන්න හිනාවුණා. එතනින් එහාට ඇන්ටි කිව්වේ බෞද්ධ නොවුණාට තමන් සිරීපාදේ ඉඳන් මුතියංගන , අනුරාධපුර , පොළොන්නරු සිද්ධස්ථාන වලට ගිය සංචාර ගැන. “මම නම් ගමනක් යන්න හිතුණොත් තනියම හරි යනවා පුතේ. අපි ඉතිං අද ද හෙට ද දන්නේ නෑනේ. මගේ යාළුවෝ දෙන්නා කොහෙවත් ගිහිං නෑ. ඒකයි අර පුතා සල්ලි එවලා කිව්වේ අපි තුන්දෙනාට බදුල්ල බලලා එන්න කියලා. අනේ ඒ දරුවන්ට ජේසු පිහිටයි” ඇන්ටි ආයෙම ප්‍රශංසා කරන්න වුණා. “ඒ හින්දමයි මම ජනේලේ අයිනේ සීට් එක එයාලට දීලා මැදට ආවේ. මම ඕවා බලලා තියනවනේ.” ඇන්ටි හිනාවුණා.
ඊ ළඟට ගත වුණ පැය ඇතුළේ පසන් හෙමින් සීරුවේ ෆේස්බුක් යන්න එකසිය අට පාරක් උත්සාහ කළා. ඇන්ටි එකසිය නම පාරක් බාධා කළා. මෙන්න මේ වගේ හේතු එකසිය නමයක්.
  1. බදුල්ලට යනකොට බිංගෙවල් කීයක් පහුවෙනවද ?
  2. දිගම බිංගේ කොයි එකද ?
  3. මේ වැස්ස දවස් වල ඇල්ල ගිහිං වැඩක් නෑ නේද ?
  4. බදුල්ලෙන් බැහැලා දිය ඇල්ලට ත්‍රී විල් එකේ ගිහිං එන්න තුන්දාහක් ඇති වෙයි නේද ? එක්කෙනෙක් දාහ ගාණේ දානවා. ලේසියි
  5. මොනවා ? පුතා තවම සිරීපාදේ ගිහිං නෑ ?
  6. මන්දාරම් නුවර කියලා එකක් තියෙනවා. ඔයා යන්නම ඕනේ. ගිහිං බලන්න
  7. මව්බිම පත්තරේ “තුරු” කියලා අතිරේකයක් තියෙනවා. කොල්ලො ටිකක් ඇවිදින තැන් ගැන ලියනවා. ඔයා බලලා නැද්ද ? මම නම් ඒ ලිපි ඔක්කොම එකතු කරලා තියෙන්නේ. යන්න ඕනේ
  8. අර ! රිළවෙක්. දැක්කද ? නන්දා .. අන්න නෑයෝ ඉන්නවා. හහ් හහ් හා..
  9. (රහසින්) අර දෙන්නාම මගේ පොඩි කාලේ ඉඳන් යාලුවෝ. අපි එකට පල්ලි ගියේ. තවම පල්ලි යන්නේ එකට. බලන්න ඒ දෙන්නගේ සන්තෝසේ
  10. දෙවියන් වහන්සේ මං ගැන හිතලා තමයි පුතාව මේ සීට් එකට එව්වේ. වෙන කවුරු හරි ආවා නම් මේ නාකි මාත් එක්ක කතා කරන්නේ නෑනේ. ඔයා හිතන්නකෝ. අර දෙන්නා මෙතන හිටියා නම් පුතා එක්ක කතා කරන්නෙත් නෑ. ඒකයි මම කිව්වේ ! දෙවියන් වහන්සේ අපි ගැන බලනවා.

අන්තිමට කියපු කතාවත් එක්ක පසන්ගේ හිත ටිකක් ගැස්සුණා. විශ්‍රාම අරගෙන ගෙදර ඉන්න , පරණ යෙහෙළියන් එක්ක මාසෙකට වතාවක් නාන තැනකට , වන්දනාවකට යන අම්මාව මතක් වුණා. පසන් ෆෝන් එක බෑග් එක ඇතුළටම දාන්න තීරණය කළා. ෆේස්බුක් ගිහිං දේශපාලනය ගැන තමන්ගේ සත දෙක නොලිව්වට , කෑම බීම ගෘප් එකක ෆොටෝ එකක් අල නොකළට මෙතනත් ජීවිතයක් තියෙනවා කියලා පසන්ට හිතෙන්න ගත්තා. ඒ වෙනකොට ඇන්ටි කිය කිය හිටියේ ලේලිගේ හොඳ ගතිගුණ. ලේලි ඇන්ටිගේ ඉලන්දාරි වැඩ වලට කොයිතරම් කැමති ද කියන එක. ” මේ ගමන එන්න වියදමට සල්ලි දෙන ගමන් අපේ පුතා මගෙන් අහනවා ‘අම්මට ටිකට් බුක් කරන්න සල්ලි කොහෙන්ද'” කියලා” ඇන්ටි අතින් කටවහෙගෙන හිනා වුණා. “එයාලා දන්නේ නෑ මම සල්ලි ඉතුරු කරන හැටි” කිව්ව ඇන්ටි මාස දෙක තුනකට වතාවක් දරුවෝ තුන්දෙනාම ඇඳුමක් ගන්න කියලා වෙන වෙනම දෙන සල්ලි වලින් එක ලාබ ඇඳුමක් විතරක් ගන්න හැටි උජාරුවෙන් විස්තර කළා. “ඔන්න තුන්දෙනාම තුන්දාහ ගාණේ වගේ දෙනවා. මම එක ඇඳුමක් ගන්නවා දෙදාස් පන්සීයකට විතර. අරගෙන ඒක තුන්දෙනාටම වෙන වෙනම පෙන්නනවා , ඔයා දුන්න සල්ලි වලින් ගත්තේ කියලා. ඉතුරු සල්ලි වලින් තමයි පුතේ මම මේ තැන් බලා කියාගන්න වියදම් කරන්නේ” කිව්ව ඇන්ටි පොඩි කාලේ තාත්‍තා එක්ක රට වටේ ඇවිද්ද හැටියි , දීග ආවාට පස්සේත් වික්ෂෝපමාතා දේවස්ථානේ ආගමික සංචාර ගමන් වලට එකතු වුණ හැටියි පල්ලියේ ප්‍රජා සමිතියේ වැඩ වලට එක එක දිහා සංචාරය කරපු හැටි විස්තර කළා.මොකක්ද ඒකේ සමිතියේ ලස්සන නම ? ශ්‍රී හෘදය සමිතිය. සෙක්‍රඩ් හාර්ට් සොසයිටි.
“අපේ පුතාලා එක්ක ට්‍රිප් යනවා වුණාට ඒවා මේ වගේ නිදහස් නෑනේ. ගිය වෙලාවේ ඉඳන් පිරිමි ටික බොනවා. මමයි ලේලියි කුස්සියේ ඉඳන් බයිට් හදනවා ; උයනවා. ළමයි බලාගන්නවා. ට්‍රිප් එකක් ගියා කියලා වෙනසක් නෑනේ” ඇන්ටිගේ කතාව අස්සෙන් පසන් ට එකපාරට ම අම්මාව මැවිලා පෙනෙන්න ගත්තා. “මෙහෙම ආවාම නිදහස්. අර ප්ලාස්ක් එකේ තියෙන්නේ කිරි තේ” ඇන්ටි යෙහෙළියන්ගේ කකුල් ළඟ තියෙන බෑග් එකකට අත දික් කළා. “මම කිරි බොන්නේ නැති නිසා ඔය ප්ලාස්ක් එකේ කහට දාගෙන ආවා” පසන්ගේ කකුල් දෙක ළඟ තියලා තිබුණ වසරේ මාතෘකාව වුණ බෑග් එක පෙන්නලා ඇන්ටි කිව්වා. කිරි , තේ කහට අස්සේ පසන්ට ආයේ ආයෙම අම්මාව මැවිලා පෙන්න ගත්තා. අම්මා කවදද අන්තිමට තනියෙන් විනෝද ගමනක් ගියේ ?
ඔය අස්සේ පසන් බෑග් එකට දාපු ෆෝන් එකට කෝල් එකක් ආවා. ඒක මේ යාළුවෙක්ගෙන් නිකං එදිනෙදා විස්තරයක්. ෆෝන් එක ගන්න අත දානකොට ඒ එක්කම අතට ආපු කතා පොත පසන් සීට් එක ඉස්සරහ තියෙන පොඩි මේසය වගේ කොටසෙන් තිබ්බා. ඒ දිලීප ජයකොඩිගේ “ලයිල ලයිල ලා” පරිවර්තනය. කෝල් එක ඉවරවෙලා පසන්ට ෆේස්බුක් ඇප් එක තියෙන තැන දිහාවත් බලන්න වුණේ නැහැ. ඇන්ටි පොතට අත දික් කළා. “අනේ ! පුතාත් පොත් කියවනවද ? ” කියපු ඇන්ටි උත්තරයක් අපේක්ෂා නොකරම කතා කරන්න ගත්තා. “මම දිලීප ජයකොඩිගේ පොත් හුඟක් කියවල තියෙනවා. මම හුඟක්ම ආස පරිවර්තන වලට. වෙන එකක් තියා මම “හෙයිඩි” බලලා ඇති පනස් පාරක්වත්. මම “හෙයිඩි” මුලින්ම කියෙව්වේ නමසිය හැට ගණන්වලදි ” කතා පොත් අස්සෙන් තව ස්ටේෂන් කීපයක් , බිංගෙවල් කීපයක් පහු වුණා. එව්වායේ නම් ලියාගන්න කියලා යාලුවන්ට අණ කරන ගමන් ඇන්ටි කතා කරගෙන කරගෙන ගියා. වයස හැත්තෑ අටක ඇන්ටි පුස්තකාලෙට යන්න පඩි හැටක් නගිනවලු. පොතක් කියවන්න සති දෙකක් දුන්නට ඇන්ටි දවස් තුනෙන් පොත් ටික කියවනවලු. ඒ පුස්තකාලාධිපතිනියත් හරි හොඳයි ලු. ඇන්ටි හොයන පොත් ගෙන්නලාත් දෙනවලු. ” පොලියානා පොත් තුන ම ගෙන්නලා දුන්නානේ. ඒක නියමයිනේ. ආහ් ! ඔයත් කියවලා තියෙනවද ?” ඇන්ටි විස්මය පල කළා. “මමයි ලේලියි ගෙදර ඉන්න ගමං සමහරවෙලාවට “සතුටුවෙන සෙල්ලම” කරනවා” ඇන්ටි හිනාවෙන සද්දේ කෝච්චි පෙට්ටිය පුරා පැතිරුණා. “බාගෙට උයපු දවසට අපි හිතාගන්නවා අද නම් අපි කන්නේ වෑංජන පහක් එක්ක රජ කෑමක් කියලා. හොඳම වැඩේ කියන්නේ අපේ දුවට ඒ සෙල්ලම තේරෙන්නේ නෑ. එයා මගෙනුයි ලේලිගෙනුයි අහනවා , ඔයාලට පිස්සුද අනේ කියලා” ඇන්ටි ආයෙම හිනාවෙලා මෙහෙම කියනවා. “අපි හිනාවෙනවා විතරයි”
පොත් කතාව ඇදීගෙන යනකොට ඇන්ටි කිව්වා කත්‍යානා අමරසිංහගේ පොත් වලටයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ පොත් වලටයි හුඟක් ම කැමතියි කියලා. තව පොඩ්ඩෙන් ඇන්ටි “සෙංකොට්ටන්” කතාවත් පසන්ට කියාදෙනවා. පසන් ඔය අතරේ කවදාවත් නොකරන වැඩක් කරන්න තීරණය කළා. ඇන්ටිටත් නොකියා මේ උදේ පාන්දරම කත්‍යානාටයි මස්ඉඹුලටයි කෝල් ගත්තා. ඒ දෙන්නාම පසන් ටිකක් අඳුනනවා. මුලින්ම කත්‍යානා ට කෝල් එකක් අරං කාටද කතාකරන්නේ කියලා ඇන්ටිට නොතේරෙන්න මේ උද්‍යෝගීමත් කියවන්නිය ගැන විස්තර කළා. පස්සේ ඇන්ටිට ෆෝන් එක දුන්නා “මෙන්න කත්‍යානා ට කතා කරන්න” කියලා. කත්‍යානා අනෙක් පැත්තෙන් කතා කරනකොට ඇන්ටිගේ කට විස්මයෙන් ඇරුණා. ටයිටැනික් චිත්‍රපටයේ මිත්තණිය අතීතය සිහිකරන මොහොත වගේ මූණ පුදුම සතුටකින් ඇඳුණා. “ඔයා මොන වගේ කෙනෙක්ද කියලා මම හිත හිත හිටියේ” ඇන්ටි එහෙම කිව්වා. මස්ඉඹුලගේ ඇමතුමට නම් ඇන්ටි පුහුණු නිවේදිකාවක් වගේ ගැම්මට කතා කළා. කවදාහරි දවසක කොහේහරි දැක්කොත් කතා කරනවා කිව්වා. මිනිස්සුන්ට වැඩක් වෙන පොත් ලියන්න ඕනේ විදිය ගැනත් කියලා දුන්නා. “මම ඔය බොළඳ කතා නම් කියවන්නේ නෑ. ඔයාලා ඒවා නොලියන එකමයි හොඳ”. ඇන්ටි අර “සෙංකොට්ටං” ලිව්ව මහින්ද ප්‍රසාද් මස්ඉඹුලට අවවාද කළා.
එතකොට සරසවි උයන ස්ටේෂන් එක පහුවෙලා. පසන් නුවර බහින්න බෑග් ලෑස්ති කරන්න ගත්තා. ඇන්ටි අර පොත් ලියන කට්ටිය කොහොමද පුතාගේ යාලුවෝ වුණේ කියන එක ගැන අහන්නයි, කෝල් අරගෙන කතා කරන්න දුන්න එක ගැන පසන්ට ස්තුති කරන්නයි , ඇන්ටිගේ මිණිබිරී ලියන කෙටිකතා ගැන විස්තර කරන්නයි වෙලාව ගත්‍තා. නුවර ස්ටේෂන් එකේ කෝච්චිය නැවැත්තුවා. පසන් ඇන්ටිටයි යෙහෙළියෝ දෙන්නටයි කතාකරලා සමුගන්න හදනකොටම ඇන්ටිගේ ප්‍රීතිමත් කටහඬ ආයෙම ගිගුම් දෙන්න වුණා. ” බලන්න ! මම අයිනේ සීට් එක මෙයාලට දුන්න නිසානේ මට කතා කර කර යන්න පුතාව හම්බ වුණේ. පුතාව හම්බවුණ නිසානේ මට මහින්දටයි කත්‍යානටයි කතා කරන්න හම්බ වුණේ. මම කොච්චර ආසද ඒ දෙන්නාගේ පොත් වලට. දෙවියන් වහන්සේ අපි දිහා බලාන ඉන්නවා කියන්නේ ඒකයි පුතේ. ඔයාව මෙතෙන්ට එව්වේ දෙවියන්වහන්සේ ම තමයි” ඇන්ටි පසන්ගේ අත මිරිකගෙන කියාගෙන ගියා.
“ජේසු පිහිටයි පුතේ ! “
%d bloggers like this: