Menu Close

කිම බැදිවල යන්නේ?

පෙර ලිපියේ ලියූ පරිදි, සාමාන්‍ය පෙනීම ලෙස සැලකෙන්නේ 20/20 හෙවත් 6/6 පෙනීමයි. එහෙත්, පෙනීම මේ මට්ටමට නැති සියළු දෙනාවම දෘශ්‍යාබාධිත පුද්ගලයින් සේ සැලකෙන්නේ නැහැ. 6/12 මට්ටම ඉක්මවන පෙනීමක් ඇත්නම් එය සාමාන්‍ය පෙනීමක් ලෙස සැලකෙනවා. එහෙත්, පෙනීම 6/12 මට්ටමට වඩා අඩුනම්, එනම් සාමාන්‍ය පුද්ගලයෙකුට මීටර 12ක් ඈත සිට දැකිය හැකි දෙයක් මීටර 6ක දුරකදීවත් නොපෙනේනම් එය ඇස් පෙනීමේ දුර්වලතාවයක් ලෙස සැලකෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, අවම වශයෙන් බිලියන 2.2ක පිරිසක්, එනම් ලෝක ජනගහණයෙන් 28% ඉක්මවන ප්‍රතිශතයක් කිසියම් හෝ ඇස් පෙනීමේ දුර්වලතාවයකින් පෙළෙනවා. මෙයින් බොහෝ දෙනකු වයස අවුරුදු පණහ ඉක්මවූ අයයි. මේ අයගෙන් බිලියනයක පමණ පිරිසක් ඒ තත්ත්වයට පත් වීම වලක්වා ගත හැකිව තිබුණු බව ඇස්තමේන්තු කර තිබෙනවා.

ජාත්‍යන්තර රෝගාබාධ වර්ගීකරණය අනුව දුර පෙනීමේ දුර්වලතාවය මත පුද්ගලයින් වර්ග කරන්නේ පහත ආකාරයටයි.

6/12 සිට 6/18 දක්වා – සුළු දෘශ්‍යාබාධිත තත්ත්වයක්
6/18 සිට 6/60 දක්වා – මධ්‍යස්ථ දෘශ්‍යාබාධිත තත්ත්වයක්
6/60 සිට 3/60 දක්වා – දරුණු දෘශ්‍යාබාධිත තත්ත්වයක්
3/60ට අඩු- අන්ධ

දුර පෙනීම ඇමරිකානු ක්‍රමයට 20/200 මට්ටමට එහෙමත් නැත්නම් මෙට්‍රික් ක්‍රමයට 6/60 මට්ටමට වඩා අඩු පුද්ගලයින් ඇමරිකන් එක්සත් ජනපද නීතිය අනුව අන්ධ පුද්ගලයින් සේ අර්ථ දැක්වෙනවා. මෙසේ මනින්නේ උපැස් හෝ වෙනත් දෘශ්‍යධාර පැළඳීමෙන්ද පසුව වඩා හොඳින් පෙනෙන ඇසේ පෙනීමයි. ඇමරිකානුවන්ගෙන් මිලියන 1.1ක පමණ පිරිසක් නීත්‍යානුකූලව අන්ධ අයයි. ඒ අයට අන්ධ පුද්ගලයින්ට ලැබෙන විශේෂ පහසුකම් හා වරප්‍රසාද ලබා ගැනීමේ හිමිකම ලැබෙනවා. එහෙත්, ඔවුන් අතරෙන් වෛද්‍යමය ලෙස පූර්ණ අන්ධ සේ සැලකිය හැක්කේ 15%ක පමණ පිරිසක් පමණයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2010 ඇස්තමේන්තු අනුව ඒ වෙද්දී ලෝකයේ අන්ධ ජනගහණය මිලියන 39ක්. ලංකාවේ මෑතකාලීන සමීක්ෂණයකට අනුව, රටේ ජනගහණයෙන් තුනෙන් එකක් පමණ කිසියම් හෝ දෘශ්‍යාබාධිත තත්ත්වයකින් පෙළෙනවා. මේ උපැස් හෝ වෙනත් දෘශ්‍යධාර පැළඳීමෙන්ද පසු තත්ත්වයයි.

6/12ට වැඩි (සාමාන්‍ය පෙනීම) – 67.5%
6/12 සිට 6/18 දක්වා (සුළු දෘශ්‍යාබාධිත තත්ත්වයක්) – 13.6%
6/18 සිට 6/60 දක්වා (මධ්‍යස්ථ දෘශ්‍යාබාධිත තත්ත්වයක්) – 15.4%
6/60 සිට 3/60 දක්වා (දරුණු දෘශ්‍යාබාධිත තත්ත්වයක්) – 1.6%
3/60ට අඩු (අන්ධ) – 1.7%

රටේ එක් එක් ප්‍රදේශ වල ජනගහණයේ අන්ධ ප්‍රතිශතය සමාන නැහැ. බස්නාහිර, දකුණු හා සබරගමු පළාත් වල තත්ත්වයට  සාපේක්ෂව ඌව, වයඹ හා නැගෙනහිර පළාත් වල අන්ධ ප්‍රතිශතය දෙගුණයකටත් වඩා වැඩියි. ග්‍රාමීය, අඩුආදායම්ලාභී, අඩු අධ්‍යාපනයක් ඇති අය හා කාන්තාවන් අතර අන්ධ හා දෘශ්‍යාබාධී තත්ත්වයන් විශාල ලෙස සංකේන්ද්‍රනය වී තිබීමෙන් පෙනෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ සමාජයේ එවැනි ප්‍රතිලාභ අවශ්‍යම කොටස් වෙත සමානුපාතිකව බෙදී නොයන බවයි. වළක්වාගත හැකි තත්ත්වයන් යටතේ අන්ධ හෝ දරුණු දෘශ්‍යාබාධිත තත්ත්වයට පත්ව සිටින අයගෙන් තුනෙන් දෙකක් පමණම සඳහන් කර තිබෙන්නේ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඔවුන්ට මිල අධික කාර්යයක් වූ බවයි.

මග හොඳට පෙනේනම්
යන්ට දෑසත් පෙනේනම්
කිම බැදිවල යන්නේ
මං මුලා වූ එවුන් සේ

ඔහොම කියන්නේ මග හොඳට පේන අය ගැනයි. දෑස හොඳින් පෙනෙන ඇතැම් අයත් බැදි වල ගියත්, යන්ට දෑස නොපෙනෙන අයටත් මං මුලා වූ එවුන් සේ බැදි වල නොගොස් පාර දිගේම යන්න තාක්ෂනය විසින් ඉඩ සලසනවා. රටක සුළුතරයක් වන දෘශ්‍යාබාධිත ජනගහණයටත් අනෙක් අයගේ උදවු නැතිව ස්ව-උත්සාහයෙන් පාර දිගේ යන්න පහසු කරමින් පාරවල් හොඳින් එළි පෙහෙළි කිරීම ඇස් පෙනෙන බහුතරයකගේ යුතුකමක් හා වගකීමක්.

බටහිර රටවල පොදු ස්ථාන වල ඇති නාම පුවරු ආදියේ ඇති දෑ බ්‍රේල් අකුරින්ද ලියා තිබීම දෘශ්‍යාබාධිත පිරිස් වලට විශාල පහසුවක්. ලංකාවේද මෙසේ කළ හැකි වුවත් දෘශ්‍යාබාධිත පිරිස් වලට එහි වාසිය ලැබෙන්නේ ඔවුන්ට බ්‍රේල් අකුරු කියැවීමට හැකිනම් පමණයි. ඇතැම් මූලාශ්‍ර අනුව බ්‍රේල් අකුරු කියැවිය හැක්කේ ලංකාවේ දෘශ්‍යාබාධිත ජනගහණයෙන් 15%කට පමණයි.

අද (ජනවාරි 4) ලෝක බ්‍රේල් දිනයයි.

(Image: https://www.pharmabraille.com/wp-content/uploads/2014/11/World-Braille-Usage-Third-Edition-1.pdf)

%d bloggers like this: