Menu Close

ගැබාගේ graduation එක

Graduation එක , Convocation එක නැත්තම් උපාධි ප්‍රධානෝත්සවය කියන්නේ ළමයෙක්ගේ ජීවිතයේ වැදගත්ම සහ මෙමරබල්ම දවසක්. අවුරුදු තුන හතරක් මහන්සි වෙලා ගත්තු උපාධියේ පොටෝ එකක් හැගීම්බර ලොකු ටෝක් එකක් සහිතව ෆේස්බුක් එකේ දාලා ආතල් එකක් ගන්න දවස. හැබැයි මගේ ජීවිතේ ඒ දවස ගත වුණේ කොට උඩ. අද ගැබාගේ ජීවිතයෙන් බිඳක් පරිසරයට විනාඩියක් ලැට් එකට බාල්දියක් කතාංගයෙන් ඒ කතාව කියන්න හිතුවේ ලඟදි ගේ අස් කරනකොට මගේ බැච් ෆොටෝ එක හමුවීම නිසයි , ඒ සමගම ඒ කතාවේ මතකය අලුත් වුනා.


කලින් කිව්වත් වගේ ගොඩක් ළමයින්ට තමන්ගේ උපාධි ප්‍රධානෝත්සවය කියන්නේ ජීවිතයේ වටිනාම දවසක්. ලොකුකමකට කියනවා නෙමෙයි නමුත් මට නම් convocation එක කියන්නේ ජීවිතේ පඩේක වටිනාකමක් දැනිච්ච දවසක් නෙමෙයි, ඒ කාලේ. 

කොටින්ම මම convocation ගියෙත් අම්මවයි තාත්තවයි සතුටු කරන්න ඕනේ නිසා. නැත්තම් ඒ රෙද්දට දාන නිවාඩුවත් අපරාදේ කියලා තමයි මට හිතුනේ. මට එහෙම හිතෙන්නේ හේතු ගොඩක් තියෙනවා. ලොකුම හේතුව තමයි  මාව ඒ ලෙවල් පාස් වෙලා තේරිච්ච කොළඹ විශ්වවිද්‍යාලයේ physical science කෝර්ස් එක මට පොඩ්ඩක්වත් ආසාවක් තිබිච්ච දෙයක් නොවීම , තව එකක් තමයි මාව කැම්පස් එකෙන් දෙන ඉන්ටර්න් ප්‍රෝග්‍රෑම් එකටවත් සිලෙක්ට් නොවීම. ඒ ඔක්කොමත් හරි කියමුකෝ , මම කැම්පස් යන කාලේ බැච් එකේ කෙල්ලෝ දෙන්නෙකුටම බොක්කෙන් ලව් කොට ප්‍රතික්ෂේප වීම මේ එපා වීමට තවත් ලොකු හේතුවක් ( කියන්නත් ලැජ්ජයි හුත්තෝ දැන්නම් :P). තවද  මම කැම්පස් එකේ දෙවෙනි වසරේ ඉඳලම ටියුෂන් කරලා , එටිසලාට් එකේ සිම් විකුණලා එක එක hustle කරලා සල්ලි කීයක් හරි හොයාගෙන,  තෙවෙනි වසරේ පත්තරෙන් ඉන්ටර්න් එකක් මමම හොයාගෙන කැම්පස් අවුට් වෙන්නත් කලින් ලංකාවේ හොඳ කොම්පැනියක ජොබ් එකක් හොයා ගැනීම නිසා ඒ වෙනකොට මම කැරීම මාන්නයකින් හිටියේ මම ගැනම. ඒක නිසා මට කැම්පස් එක ගැන සත පහක ආදරයක් තිබ්බේ නෑ ඒ වෙනකොට. ( හැබැයි මට පස්සේ කාලෙක ගණිතය ඉගෙන ගන්න ලොකු ආසාවක් ආවා , එතකොට තමයි මට තේරුණේ මම ඇත්තටම කැම්පස් එකේ ගත කරපු කාලය නාස්ති කළා කියලා. එතකොට ඉතින් පරක්කු වැඩියි. ඒ ගැන පස්සේ ලියන්නම්කො . අනික ඉතින් අදටත් මම හම්බ කරන කන්නේ මේ කැම්පස් එකෙන් ලැබිච්ච උපාධි කොලේ නිසා / ඒකෙ පලයක් නැති වුණත් , ඒක නිසා ඒකට මම දැන් ගරු කරනවා. නමුත් තරුණ කාලේ මට කැම්පස් එක ගැන තිබ්බේ වෛරයක් විතරයි . දැන්නම් ඒ කාලයට ආදරෙයි හැබැයි).

ඉතින් ඔය හේතු නිසා මම convocation එක දවසේ උදේ ඉඳන්ම හිටියේ ඒ ගැන ලොකු උනන්දුවකින් නෙමෙයි. එදා මගේ ඩෙස්ක්ටොප් කොම්පියුටරේ කැඩිලා තිබ්බේ. ඉතින් කොහොමත් නිවාඩුවක් දාපු එකේ මම එදා උදේ වරුව ගත කලේ කොම්පියුටරේ රිපෙයාර් කරන්න උත්සහ කරමින්. හැබැයි දවල් වෙද්දී මට මීටර් වුණා ඒක මට තනියම ගොඩ දාගන්න බෑ , කෝම්පියුටර කඩේට අරන් යන්න ඕනේ කියලා. ඒ කාලේ මම කොම්පියුටර හැදුවේ බම්බලපිටියේ ටියුලිප් එකෙන්. ඒ කාලේ මගේ නිල වාහනේ තමයි තාත්තා මට අරන් දීපු “සුසුකි DR 125 ට්‍රේල් බයික් එක !!”. 

කිව්වට මොකෝ පින්වතුනි මමයි මගේ බයික් එකයි ගැන වෙනම කතා පොතක් ලියන්න පුළුවන්. දන්නවනේ ඉතින් කොල්ලෙකුට ට්‍රේලක් ට්‍රේලකට කොල්ලෙක් කියන්නේ ආයේ ඉතින් ගලුයි කේජියි වගේ කොම්බිනේෂන් එකක් තමයි. බයික් එක සුපිරි ඒක පදින මට සයිකෝ 😀 , කනේ වැලි ගෑවෙන්න නවාගෙන තමයි යන්නේ! ( බයික් කතා පස්සේ වෙනම කියන්නම්කො ).

ඉතින් කොහොමහරි , ඔන්න මම තීරණය කළා මගේ බයික් එකේ පටෝගෙන මුළු මැෂින් එකම බම්බා අරන් යන්න අලුත්වැඩියාව සඳහා ටියුලිප් එකට බාර දෙන්න. බයික් එකේ මේක තනියම පටෝගෙන යන්න බැරි නිසා ඒ කාලේ මගේ හැම වැඩේකටම අපාය සහය මිත්‍රයා වෙච්ච , යම් ප්‍රාතිහාර්යයකින් අදටත් පණපිටින් ඉන්න කලණ මිතුරු දඹ දිවතුරු හසිත හෙවත් අකමුකෝ ට කතා කළා මාත් එක්ක බම්බා යන්න එන්න ! අකා කියන්නෙත් අපේ බැච් එකේම කොල්ලෙක් , හැබැයි ඌ කලේ අවුරුදු හතරේ ස්පෙෂල් ඩිග්රි එක. ඒක නිසා උගේ convocation  එක තිබ්බේ ඊළඟ අවුරුද්දේ . නමුත් අපේ සෙට් එකේ 90% ම වගේ එදා graduate වෙච්ච නිසා අකා කොහොමත් එදා convocation එකට එන්න හිටියේ. ඉතින් ඒක නිසා මමයි අකයි ඔන්න දැන් බයික් එකේ නැගලා මැෂින් එකත් පටෝගෙන බම්බා යන්න හදන්නේ , මම අම්මටයි තාත්තටයි කිව්වා මගේ සූට් එකත් අරගෙන කැම්පස් එකට එන්න කියලා , එහෙදි ඇඳුම් මාරු කරගන්න. එහෙම කියලා මම බයික් එකට නැග්ගේ ශෝර්ටක් සහ ටී ෂර්ට් එකකින් සැරසිලා.

“අද මේ convocation  එක දවසේ මොකටද ඔය වැඩ දාගන්නේ.. පස්සේ දවසක යන්න කොම්පියුටරේ හදන්න.. ” හැමදාමත් සන්සුන්ව සහ ප්‍රඥාවන්තව වැඩ කරපු අපේ තාත්තා මට උපදෙසක් දුන්නා යන්න හදනකොටම..

“ආයේ නිවාඩු දාන්න බෑ තාත්තේ මේකට.. ඔයාට මෙව්වා තේරෙන්නේ නෑ..” තාත්තටත් ලොකු සීන් එකක් දාපු මම “බ්රුහ්” ගාලා බයික් එකේ කික් එක ගහලා ස්ටාර්ට් කරගෙන යන්න පිටත් වුණා.. මම කිව්වේ ඒ කාලේ මම හිටියේ මම ගැන හෙන අධි මාන්නයකින්. පොඩ්ඩක් කොහෙන් හරි ජොබ් එකක් සෙට් වෙලා සල්ලි ටිකක් අතට ආවම ඉතින් කොයි කොල්ලටත් තමුන්ට වඩා කෙරුමෙක් නෑ නේ , මමත් හිටියේ ඒ අවධියේ තමයි.

ඉතින් ඔය විදියට ලොකු සීන් දීගෙන මමයි අකයි බම්බා ආව. මම විදිනවා බයික් එකේ අකා ඉන්නවා පිටි පස්සේ මැෂින් එක බදාගෙන. මැෂින් එක කොම්පියුටර් කඩේට බාර දීලා එනකොට convocation එකට වෙලාවත් ලං වුණා. ඒක නිසා මමයි අකයි හනි හනිකට කැම්පස් එක පැත්තට ආවේ මට convocation  එකට ලෑස්ති වෙන්න තිබ්බ නිසා. අපි කැම්පස් එනකොට අම්මයි තාත්තයි මගේ ඇඳුම් අරගෙන ඇවිත් තිබ්බා , අපේ ජීප් එකේ. මම ඒවා මාරු කරගෙන එයාලා එක්ක BMICH එකට ගියා අකාවත් ජීප් එකේ දාගෙන බයික් එක කැම්පස් එකේ දාලා. හෙල්මට් දෙකත් ජීප් එකේම දාගෙන ගියා කෝකටත් කියලා.

BMICH එකට ගිහිං ඉතින් මුකුත් නෑ , පැය ගානක් හෝල් එකකට වෙලා තැම්බිලා හිස් බම්බුවකුත් අරගෙන , තව පැයක් විතර පෝලිමක ඉඳලා ෆොටෝ එකකුත් ගහගෙන ඔන්න එතන වැඩ ටික ඉවරයක් වුණා. convocation එක අහවරයි. ෆොටෝ ටික අරන් ඉවර වෙච්ච ගමන්ම මම කලේ ඇඳන් හිටපු සූට් එක ගලෝලා උදේ ඇඳන් ආපු ශෝර්ටයි ටී ෂර්ට් එකටයි මාරු වෙච්ච එක. ගොබ්බ කොන්වොකේෂන් එක මට එච්චරටම හිරිකිත වෙලා තිබ්බේ ( මම එදා හැසිරෙච්ච විදිය හැබැයි පොඩි එකෙක් වගේ තමයි , දැන් තමයි ඒවා තේරෙන්නේ 😛 ).  ඔය අතරේ මම පස්සෙන් ගියපු කෙල්ලෝ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් මම එදා දැක්කා. ඒක නිසා මගේ අවුල් මූඩ් එක තවත් අවුල් ගිහිල්ලා තිබ්බේ..

කොහොමහරි ඉතින් යාළුවො එක්ක ෆොටෝ මොටෝ ගහලා කට්ටිය විසිර යන්න ලැස්ති වුණා. මම , අකා ඇතුළු තව කීපදෙනක් චාරිත්‍රානුකූලව බොන්න යෝජනා කලේ ඔය වෙලාවේ. අපේ අම්මයි තාත්තයි දෙන්නත් ඒ වෙනකොට BMICH එකේ හිටියා අපි ඉවරවෙනකන් බලාගෙන.

අපේ ගෙදරින් කොහොමත් බොන ඒවාට අව්ලක් තිබ්බේ නෑ ඒ කාලේ ඉඳන්ම. ඒ වෙනකොටත් මම තාත්තයි එකට බීලා තිබ්බා කීප පාරක්ම. ඒක නිසා අපි ආයෙත් කැම්පස් එකට ගිහිං බොන එක ගැන තාත්තා ගේ කිසිම විරුද්ධත්වයක් තිබුනේ නෑ. හැබැයි බීලා මම බයිසිකලේ එන එක ගැන නම් එයාගේ පොඩ්ඩක්වත් කැමැත්තක් තිබුනේ නෑ.

“බිව්වට කමක් නෑ.. හැබැයි බයිසිකලේ එහෙම එන්න එපා හරිද???” මට දැඩිව එසේ අවවාද කරපු තාත්තා අම්මා එක්ක ජීප් එකේ නැගලා ගෙදර ගියා.

මමයි අකයි නානයි සුනකෙයි තව කීප දෙනෙකුයි බොන්න සෙට් වුනා කැම්පස් එකට. මම කැම්පස් එකට පයින් ගිහිං එතනින් බයික් එකේ ගිහිං ආරියපාල එකෙන් ගල් බෝතලයක් අරං ආවා. තව කොහෙන්ද මන්දා බියර් වගේකුත් කවුරැ හරි ගෙනත් තිබ්බා. ඇත්තටම එදා බොන්න සෙට් වුනු කට්ටිය හැමෝවම මට මතක නෑ. මට මතක විදියට මමයි නානයි අකයි ගල් බෝතලේ ගැහුවා. බියර් එකකුත් ගහන්න ඇති. සාකසාර ගැහුවද කියලා නම් මතකයක් නෑ. කොහොමහරි එදා එහෙම දරුණුවට අපි බිව්වේ නෑ. ඒ කාලේ වෙනකොට මම සෙනසුරාදා හවසට අකා එක්ක කොට්ටාවේ ග්‍රීන් ගාර්ඩන් එකේ බෝතලයක් ගහලා , කිසි අව්ලක් නැතුව අකාව බයික් එකේම ගෙදරත් බස්සලා , මම කිසි ගානක් නැතුව ගෙදර ඇවිත් අම්මත් එක්ක ITN එකේ සැටර්ඩේ නයිට් මූවි එකත් බලන්න තරම් ධාරිතාවකට ලං වෙලා හිටියේ. ඉස්සර දැන් තරම් බීමත් රියදුරෝ චෙක් කලෙත් නෑ. ඔය ඔක්කොම නිසාත් ඒ ඔක්කොටොම වඩා මගේ තරුණ මදය ලොකු වුන නිසාත් , “ඕනේ තරම් බීලා මට වාහනේ අරන් යන්න පුළුවන් හුත්තෝ” මානසිකත්වේ නිසාත් මම තීරණය කළා අපේ තාත්තාගේ අණට සහ එදා නොබී හිටපු සුනකේ ඇතුළු කොල්ලන්ගේ ඇවිටිල්ලට විරුද්ධව ගිහිං බයික් එකේ ගෙදර යන්න ! අකාවත් දාගෙනම..

ඇත්තටම මට ඒ වෙලාවේ වැඩිය වැදිලා තිබ්බේ නෑ..

හැබැයි මට බේබදු ලොවේ තියරි කියා දුන් අපේ තාත්තා කියපු එක දෙයක් මට එදා ප්‍රත්‍යක්ෂෙන්ම තේරුණා. ඒ තමයි “සමහර වෙලාවට බෝතලයක් ගැහුවත් වදින්නේ නෑ.. සමහර වෙලාවට ෂොට් දෙකක් දැම්මත් වදිනවා..” කියන එක!

අකාගේ ගෙවල් තිබ්බේ හෝමාගම රෝහල ළඟ , ඉතින් අපි තීරණය කළා කොට්ටාව වෙනකන් හයිලෙවෙල් එකේ ගිහිං ඊට පස්සේ රෝහල පාර පැත්තෙන් යන්න. ඉතින් පින්වතුනි ඇත්තටම ඔය ගමනේ මට හරියට මතක කිරුලපොන හරියට එනකන් විතරයි.. වැදිලා නෑ කියාගෙන බයික් එකට නැග්ගට ටිකක් දුර යනකොට මට නාග සලන් වෙන්න වැදුනා මම දන්නෙත් නෑ මොනවා වුනාද කියලා.. 

කිරුලපොන සිග්මා එක හරියේදී “උඹ හිතන්නේ මට වැදිල කියලද හුත්තෝ.. ඔන්න බලහන්..” කියලා මම අත් දෙක අත ඇරලා බයික් එක අරන් යනවා මතකයි ලාවට වගේ.. අකා කිව්වා මම ඊට පස්සේ සැරෙන් සැරෙන් ඌත් එක්ක කතා කලේ බයික් එකේ යන ගමන් සම්පූර්ණයෙන්ම ඉණෙන් උඩ කඳ උගේ දිහාවට භ්‍රමණය කරලා උගේ දිහා බලාගෙන ලු. පාර බලන්නේ නැතුව තමයි මම එළවලා තියෙන්නේ.. ඒක නිසා ටිකක් දුර යනකොට ඌ මාත් එක්ක කතා කරන එක නතර කරලා.. කොහොමෙන් කොහොමහරි එච්චර පිස්සු කෙලලත් අපි කොට්ටාවේ හන්දියට ආවා පණ පිටින් , මට කොට්ටාවට එනවා ලාවට මතකයි..

ඊට පස්සේ ( අපේ මොලේ තරම කියන්නේ ) එච්චර දුර හයිලෙවල් පාරේ ආපු අපි,  තීරණය කළා කොට්ටාවේ ඉඳන් ඉතුරු ටික හයිලෙවල් එකේ නැතුව රෝහල පාර පැත්තෙන් යන්න , පොලිසියෙන් බේරෙන්න :D. මම හිතන්නේ බීලා වාහන එළවලා තියෙන හැමෝම වගේ දන්නවා ඇති අපි බීලා එලවනකොට ඇත්තටම මොලෙන් නෙමෙයි එලවෙන්නේ , නිකන් “පුරුද්දට” ඔටෝ පයිලට් යනවා වගේ එකක් වෙන්නේ. මටත් ඉතින් වුණේ ඕකම තමයි. කීප පාරක්ම ගිහිල්ලා තිබ්බ පාරේ මමත් ඔහේ පුරුද්දටම ගියා.. ඒත් වෙරි මත නිසා මගේ මොලේ ඔෆ් වෙලා තිබ්බේ. කොටින්ම මට මෙලෝ සිහියක් මතකයක් නෑ මම යන්නේ කොහොමද කියලා.. තනිකර බ්ලැක් අව්ටු..  මේලෝකේ සිහියක් නැතුව සොම්බියෙක් වගේ බයික් එක එලෝගෙන ගියපු  මාව ඇහැරුනේ අකා “ඕයි ඕයි හුත්තෝ හුත්තෝ නවත්තපා……..න් !!!! ” කියලා යටි ගිරියෙන් බෙරිහන් දීපු සද්දෙට ! මමත් උඩ නැගලා බ්රේක් එක ගහලා යන්තම් බයික් එක නවත්ත ගත්තා !!

කිව්වට විශ්වාස කරන්න පින්වතුනි , අපි හැමදාම ආපු ගියපු පාරේ , කාලකන්ණි RDA එකෙන් පාර මැද්දේ පත වලක් හාරලා.. ඒ වලේ යට අර පරණ රජ කාලේ වලවල් වල වගේ , අර ප්‍රින්ස් ඔෆ් පර්ශියා DOS ගේම් එකේ තියෙනවා වගේ , වියට්කොං ගරිල්ලෝ ඇමරිකන්කාරයන්ට කපපු උගුල් වල තියෙනවා  වගේ පත යකඩ කූරු වගයක් හිටවලා!! අපේ බයික් එක නතර වෙලා තිබ්බේ ඒ වලට ඔන්න මෙන්න තිබිලා !! අකා කෑගැහුවේ නැත්තම් අපි දෙන්නම අද වෙනකලුත් ඒ වල ඇතුලේ යකඩ කූරු වල ඇමිණිලා ඇති කෙබාබ් වෙලා! 

කොහොමහරි යන්තම් ඒ මාරකයෙනුත් බේරිලා එතන හිටපු මිනිස්සුන්ගෙනුත් බැනුම් අහගෙන ඔන්න යන්තම් අපි දෙන්නා අකාලගේ ගෙදරට සේන්දු වුනා , නිරුපදිත්‍රව !! 

ඇත්තටම මෙච්චර බුල කෙලලත් සීරිමක්වත් නැතුව ගෙදරටම පණ පිටින් එන්න පුළුවන් වෙච්ච එක ගැන උටයි මටයි දෙන්නට ඇති වුණේ ලොකු සතුටක්.. අපි ඒ සතුට සමරන්න තීරණය කලේ කැම්පස් එකෙන් අරගෙන ආපු ඉතුරු වෙලා තිබිබ බියර් කෑන් එකක් කඩලා.. අන්න ඒක තමයි මගේ විනාසයට මුල පිරුවේ..

දැන් වෙලාව පාන්දර ජාමෙත් කිට්ටු වෙන්න ඇති,  අකාගේ ගෙවල් ළඟ තිබ්බ අඳුරන බේකරියකින් අකා උණු උණුවේ බාපු මාළු පාන් වගයක් අරගෙන ආවා.. නැවුම් මාළු පානුයි බියරුයි අපිට ඒ වෙලාවේ දැනුනේ දිව්‍ය භෝජන වගේ.. බියර් කෑන් එක බෙදාගෙන ගහපු අපි දෙන්නා මදි පාඩුවට ගොල්ලීප් දෙකකුත් ගැහුවා.. දැන් ඉතින් ෆුල් ටෑන්ක් !

“උඹට අමාරු නම් අද මෙහෙ ඉඳලා පලයන්..” අකා සුපුරුදු ලෙන්ගතු කමෙන් කිව්වා. උන්ගේ ගෙදර මට නුපුරුදු තැනක් නෙමෙයි. ඒත් මගේ ගොබ්බ තරුණ මදය නැවතත් ඉහලට හිස එසෙව්වා!

“පිස්සුද හුත්තෝ මට වැඩි නෑ..”

“මට වැඩි නෑ හුත්තෝ..” , මම හිතන්නේ මේ ලෝකේ “ඔයා මට යාලුවෙක් වගේ” කියන වචන හතරට පස්සේ වැඩියම මිනිස්සු මරපු වචන හතර “මට වැඩි නෑ හුත්තෝ” වෙන්න ඇති..

මම අකාට හග් එකක් දීලා සමුගෙන බයික් එකේ නැගලා එන්න පිටත් වුණා.

මේ වෙනකොට නම් මට පුක් වෙන්න වැදිලා තිබ්බේ.

මම හයිලෙවල් පාරෙන්ම ගෙදර යන්න යන්න තීරණය කළා. මට මතක නෑ ඒ ඇයි කියලා. පෙළක් විට ඒ බෙල්ල කපපු හන්දියෙන් දාලා කැලෑ පාරවල් වලින්ම මට ගෙදර යන්න පුළුවන් බව යටි හිතේ තිබ්බ නිසා වෙන්න ඇති. යටි හිත කෙසේ වෙතත් මගේ උඩු හිතට නම් ඒ වෙලාවේ බඩු වෙලා තිබ්බේ. මම බයික් එක පාරට දාලා හයිලෙවල් එක දිගේ මංචි එක දිහාට එන්න ගත්තා. මේලෝකේ සිහියක් නෑ. ආවේ කොහොමද කියලා දන්නෙත් නෑ. ඇස් දෙක ඇරගෙන ආවද , වහගෙන ආවාද කියල දන්නෙත් නෑ. මම ආවේ නින්දෙන් වගේ.. හැබැයි මට එක පාරටම ඇහැරුණා “ඩොග්!!” ගාලා බයික් එක කොහෙද මන්දා හැප්පෙන සද්දෙත් එක්ක !

“සූස්…” ගාලා මාව බිම දිගේ ඇදිලා ගියා ටික දුරක්.. බයික් එක පැත්තක.. මම බිම වැටිලා ඉන්නවා තව පැත්තක.. ෆුල් ආතල් එකේ හැබැයි , වැදිලා හොඳටම. මම කොච්චර වෙලා එහෙම හිටියද මතක නෑ..



“ඒ මචං නැගිටපන්.. නැගිටපන්..” 

“උඹට අව්ලක් නැද්ද..” හඬට මාව ඇහැරුනා.. කොල්ලෝ දෙන්නෙක් ඇවිත් මාව කෙලින් කළා.. උන් දෙන්නා කව්ද කියලවත් මම දන්නේ නෑ.. 

“උඹට අව්ලක් නැද්ද මචං??”  එක කොල්ලෙක් මගෙන් ඇහුවා..

“නෑ බං.. ” මම කිව්වා , තාම බඩු වගේ 

“මොකද වුණේ..??”

“වැටුණා නේද??” ඌම උත්තර දුන්නා. බැලින්නම් උන් දෙන්නා පාරේ එහා පැත්තේ ලොරියක යන ගමන් මාව දැකලා ඇවිත් තියෙන්නේ මට උදව් කරන්න 🙂

“කෝ උඹේ පර්ස් ෆෝන් තියෙනවද??” උන් ඇහුවා..

මම චතුර සේනාරත්න වගේ “බහ් බහ්” ගැවා මිසක් මුකුත් කියාගන්න තරම් සිහියක් තිබ්බේ නෑ..

“ආ මේ තියෙන්නේ..” කියලා උන් දෙන්නගෙන් එකෙක් මට ෆෝන් එකයි පර්ස් එකයි හොයලා ගෙනත් දුන්නා.. මම ෆෝන් එක අරන් ශෝර්ටේ ඉස්සරහ සාක්කුවකට දාගෙන පර්ස් එක අරන් පිටි පස්සේ සාක්කුවට දැම්මා.. ඒත් දාපු පරක්කුවට පර්ස් එක ආයෙත් බිමටම වැටුණා.. මම ආයෙත් පර්ස් එක ඇහිඳගෙන පිටිපස්සේ සාක්කුවට දාගත්තා.. ආයෙත් පර්ස් එක බිමටම වැටුණා ! ඔහොම ඔහොම දෙපාරක් විතර කරනකොට තමයි මට තේරුණේ මගේ කලිසමට වෙලා තියෙන දේ..

මම බිම දිගේ ඇදිලා ආපු ටිකට මගේ කලිසම හොඳටම ඉරිලා. මගේ පිටි පස්සේ සාක්කුවත් නෑ.. කලිසම ගන්න දෙයක් නෑ.. 

මම ටිකක් වටපිට බැලුවා.. එතකොට තමයි මට වෙලා තියෙන දේ ටික ටික තේරෙන්න ගත්තේ. මම හැප්පිලා තියෙන්නේ නිකන්ම පාර වෙන් කරන කොන්ක්‍රීට් බැම්මක , අර පාර මැද්දේ තියෙන්නේ.. සිද්ධිය වෙලා තියෙන්නේ කොට්ටාව හයිවේ එන්ට්‍රන්ස් එක හරියේ.. 

“තාම බඩු නේ..” එක කොල්ලෙක් මගෙන් ඇහුවා පොඩි හිනාවකුත් දාලා..

“ඔව් බා..න්” මමත් කිව්වේ වියරු හිනාවක් දාගෙන..

“ඔය පර්ස් එක ඉස්සර සාක්කුවට දාගනින්..” එහෙම කියල ඌ මගේ පර්ස් එක ඉස්සරහ සාක්කුවට එබුවා.

“අප්පට සිරි මේ අත..” අනිත් කොල්ලා මගේ අත උස්සලා පෙන්නුවා. එතකොට තමයි දැක්කේ මගේ අතට වෙලා තිබ්බ දේ. කැඩිලා බිඳිලා මුකුත් නෑ.. හැබැයි  ඇටේට වෙනකන්ම වගේ  මස් ටික දිය වෙලා ගිහිං පාරේ ඇතිල්ලිච්ච පාරට.. forearm එකේ පදාසයකම මස් නෑ , තඩි වලක් වගේ තුවාලයක් , ලේ එකයි. බීලා හින්ද හැබැයි මට මුකුත් වේදනාවක් දැනෙන්නේ නෑ.

“ඉඳා මේකෙන් ගැටගහගනින්..” එක කොල්ලෙක් උගේ සාක්කුවේ තිබ්බ ස්කාර්ෆ් එක අරගෙන මගේ තුවාලේ වෙලුවා..

“උඹට තනියෙන් යන්න පුලුවන්ද ?? උඹ කොහෙද??” උන් දෙන්න මගෙන් ඇහුවා..

“පන්නිපිටියේ..”

“අපි ගිහිං දාන්නද..???” ඒ උන්

“ඕනේ නෑ බං.. මට පුළුවන්..”

එහෙම කියලා මම බයික් එකත් කෙලින් කරගත්තා. එතකොට තමයි මම දැක්කේ බයික් එකේ ඉස්සරහ රෝදේ ඇද වෙලා හොඳටම..

“මේකේ යන්න පුලුවන්ද බන්???” අර කොල්ලෝ දෙන්නා ආයෙත් ඇහුව මගෙන්.. මම පුළුවන් බං කියලා බයික් එකේ නැගලා ස්ටාර්ට් කරගෙන ආවා..


ඇත්තටම අරුන් දෙන්නට ස්තුති කලාද නැත්ද වත් කියලා මතක නෑ.. මට එතන ඉඳන් ගෙදර ආපු හැටිත් හරියට මතක නෑ.. කොහොමහරි ආයෙත් කොහේ වත් හැප්පෙන්නේ නැතුව මම අපේ ගෙදර දොර ඉස්සරහට ආවා මතකයි බයික් එකේම..

මම ගෙදර දොරේ බෙල් එක ගැහුවා.. තාත්තා ඇවිත් දොර ඇරියා..

“තාත්තේ.. මේ මාර සීන් එක නේ…”

“මාව හැප්පුනා නේ බීලා ගිහිං..”

මම කිව්වේ එච්චරයි.. මම හිතුවේ මගේ කණ හරහා “චටාස්” ගාලා පාරක්වත් එයිද කියල.. ඒත් එහෙම මුකුත් නෑ.. 

“මේ බයික් එක.. බයික් එකේ රෝදේ ඇද වෙලා තාත්තේ…” මම ආයෙත් ගොත ගොත කිව්වා.. බයික් එකක් පැදපු ඕනේ කොල්ලෙක් දන්නවා ඇති තමන්ට මොනවා වුණත් කොල්ලෙක්ගේ ඔලුව වැඩ කරන්නේ බයිසිකලේ ගැන බව. අපි මලත් කමක් නෑ බයික් එක ඉතුරු වෙලා කියල නේ ඒ කාලේ හිතන්නේ..

“හරි හරි බයික් එක වැඩක් නෑ.. ඔයාට මොකෝ??” තාත්තා මාව අල්ලලා පරීක්ෂා කරන ගමන් ඇහුවා.. මට ඒක නම් හොඳට මතකයි තාත්තා මට වචනයකින්වත් දොසක් කිව්වේ නෑ !

“මේ අත තුවාල වෙලා තාත්තේ..” මම අත පෙන්නුවා..

“ඔලුව වැදුනද ඔලුව..” තාත්තා දොරකඩ ඉඳලම ඔලුව හරවා හරවා බැලුවා..

“නෑ නෑ අව්ලක් නෑ..”

“හරි යන් බෙහෙත් දාගෙන එන්න..”

තාත්තා මාව ගේ ඇතුලට අරගෙන දොර වහන ගමන් කිව්වා. 

“අම්මට දැන් ඇහැරුවොත් බය වෙයි.. ඔයා නාගෙන එන්න මම නංගිව ඇහැරවන්නම්..” අපේ නංගි පොඩි කාලේ ඉඳලම ඉස්කෝලේ සෞක්‍ය දානේ බැහැල වැඩ කළා , ඒ නිසා එයාට ඔය තුවාල සාස්තරේ හොඳට පුළුවන්..

“තුවාලේ හොඳට හෝදගෙන එන්න..” කියලා තාත්තා මාව ටවල් එකත් දීලා බාත්රූම් එකට තල්ලු කළා.. 

මේ වෙද්දීත් මට ඉතින් හොඳටම බඩු ලු ඈ.. ඉතින් ඔන්න මම ආයෙත් ආතල් දෙන්න පටන් අරගෙන! කොච්චරද කියනවනම් මට තාත්තා තුවාලේ හෝදගෙන එන්න කිව්වම මම ගිහිං ඔලුව හොඳට අල්ලලා හෝදගෙන , ෂැම්පුත් දාලා නාලා . හැබැයි තුවාලෙට වතුර පොදක් වත් දාලා නෑ.

“හරි තාත්තේ..හෝදගෙන ආවා..” මම ටවල් එකෙන් ඔලුව පිහිදාන ගමන් කාමරේට එනකොට නංගියි තාත්තයි බෙහෙත් පෙට්ටිය සූදානම් කරනවා..

“මේ මොකද්ද මේ.. කෝ තුවාලේ හෝදලා නෑ නේ..” තාත්තා මගේ අත උස්සලා පෙන්නුවා හප්පට සිරි ඒක තියෙනවා එහෙම් පිටින්ම වැලි ලේ ඔක්කොමත් එක්ක ! 

“මෙන්න මෙහෙ එන්න!!’ කියලා මගේ අතින් ඇදගෙන ගිය තාත්තා එයාගේ අතින්ම මාව ටැප් එකට අල්ලලා තුවාලේ හේදුවා හොඳට සබන් දාලා. 

ඊට පස්සේ ආයෙත් කාමරේට මාව ඇදගෙන ගිහිං නංගි ලව්වා තුවාලේ සුද්ධ කරලා හොඳට බෙහෙත් දැම්මෙව්වා..මට ඒ වෙනකොටත් කොච්චරද බඩු ද කියනවනම් වෙනදට කට්ටක් අයින් කරන්න ගියත් මරලතෝනි දෙන මම එදා අර පත තුවාලේ නංගි අතුල්ලද්දීත් ෆුල් ආතල් එකේ හිටියා 🙂 

බෙහෙත් දාලා ඉවර වෙලා මාව ඇඳේ නිදි කරවපු තාත්තා නෙට් එකත් දැම්මා.

“මම නිදාගන්නද මෙතන බිම ??” තාත්තා ඇහුවා මතකයි මට ලාවට වගේ..

“ඕනේ නෑ තාත්තේ.. දැන් අවුලක් නෑ..” මම කිව්වා..

“හරි” කියපු තාත්තා මට වතුර එකක් ගේන්න කාමරෙන් එලියට ගිහිං ආපහු ආවලු. ඒ එන ටිකට මම නිදිලු නිකන් ගහක් කපලා දැම්ම වගේ ! මම එච්චර ඉක්මනට කොච්චර නිශ්චලව නින්දට වැටුනද කියනවනම් තාත්තා බය වෙලා මට ලංවෙලා බැලුවලු මේකා මැරිලාවත්ද කියලා :P.  

කොහොමහරි ඔන්න ඔය විදියට මම යන්තම් පණපිටින් ගෙදර ඇවිත් මගේ අයිතිහාසික convocation රාත්‍රිය එසේ නිමා කළා !

ඊට පස්සේ දවසේ තාත්තා මාව අපේ ෆැමිලි ඩොක්ටර් ලඟට එක්කන් ගියා තුවාල පෙන්නන්න. එතනත් පොඩි ආතල් එකක් සෙට් වුණා මට. මගේ අතේ තුවාලේ පෙන්නුවම ඩොකා කියපි මේක හොඳට සුද්ද කරන්න නම් හම් කෑලි වගයක් මොනවද මන්දා කපලා අයින් කරන්න ඕනේ කියලා.. ඔන්න දැන් පොර ඔපෙරේෂන් බ්ලේඩ් එකකුත් අරගෙන මගේ හම් කෑලිද මොනවද මන්ද කපනවා.. අප්පට හුඩු රිදෙනවා කියන්නේ…. මම හිතන්නේ මගේ වැඩිහිටි ජීවිතේ මට වැඩියෙන්ම රිදිච්ච දවස එදා.. ඇත්තටම එදා මට අඬන්න පුළුවන් වුණා නම් මම අඬනවා එතනම , නිකන් නෙමෙයි කෑගහලා අඬන්නේ !! ඒත් පවුලේ නම්බුව සුරකින්න ඕනේ නිසා මම කාගෙන හිටියා. හැබැයි මොලේ සයිල නම් දෙක තුනක් වත් මැරෙන්න ඇති ඒ කාගෙන හිටපු කෑමට.. ඒ ඔක්කොමත් හරි , මගේ මස් ටික ඔක්කොම කපලා ඉවර වෙලා ඩොකා කියපි “හොස්පිටල් ගියා නම් මේක හිරිවට්ට්ලා කරන්න තිබ්බා..” කියලා. “මුගේ අම්… දැන් ද යකෝ කියන්නේ…” කියලා පැනලා උගේ රීරි මාංස හූරන් කන්න හිතුනේ ඒ වෙලාවේ තමයි මට ! @#%#^@

ඔයාකාරයට මම බෙහෙත් දාගෙන තාත්තා එක්ක ඩිස්පෙන්සරියෙන් එලියට එනකොට අකයි නානයි දෙන්නත් ඇවිත් හිටියා මගේ දුක සැප බලන්න.. ඊට පස්සේ අපේ තාත්තයි මමයි උන් දෙන්නයි සිගරට් ටිකක් පත්තු කරගෙන සිද්ධිය කතා කරන්න පටන් ගත්තා..

“ඇයි යකෝ උඹ ඊයේ රෑ මට කෝල් කලේ නැත්තේ හැප්පුනාම???” ඒ අකා

“කොහේ කෝල් කරන්නද..” අපේ තාත්තා දුම් ගුලියක් යවන ගමන් පටන් ගත්තා.. “මේකට හොඳටම සූර් ඊයේ රෑ.. මම තුවාලේ හෝදන් එන්න කිව්වම මූ ගිහිං ඔලුව හෝදගෙන ඇවිත් , තුවාලේ එහෙම්මමයි.. වෙනදට පොඩි තුවාලෙකටත් බෙරිහන් දෙනවා මූ.. ඊයේ රෑ නම් පොල් ලෙල්ලකින් තුවාලේ ඇත්තිල්ලුවත් ගාණක් නෑ..” තාත්තා මගේ රෙදි ගලවන්න පටන් ගත්තා..

කට්ටියටම හිනා ඉතින්..

“පුතාලා බිව්වට කමක් නෑ .. හැබැයි බීලා එලවන්න එපා..” තාත්තා එදා අපි හැමෝටම රත්තරන් උපදෙසක් දුන්නා..

හැබැයි ඒ කියලා කාලයක් යන්න කලින් අපේ තාත්තත් බීලා ගිහිං හප්පා ගත්තා 😛 ! අපේ තාත්තා කියන්නේ එසේ මේසේ පුතයෙක් නෙමෙයි. යටියන්තොට පැත්තේ එයාලගේ අම්මලාගේ ගමේ එහෙම හෙල් උඩ පටු පාරවල් වල කුඩු වෙන්න ගහලා එලෝගෙන ගියපු මිනිහෙක් , බීලා ඇවිදිගන්න බැරි සයිස් එකට ඉද්දිත් උස්සන් ඇවිත් තිබ්බම වාහනේ බබා වගේ එළවන් යන මිනිහෙක් , කොටින්ම මම දැකපු හොඳම ඩ්‍රයිවර් අපේ තාත්තා බිව්වත් නොබිව්වත්! ඒත් එච්චර පළපුරුදු එයත් බීලා ගිහිං එහෙම ඇනගත්තා කියන්නේ ? බිව්වම අපිට අපිව ෂුවර් නෑ කියන එක තමයි. ඒක නිසා මේක කියවන හැමෝටම මට කියන්න තියෙන්නේ , බීලා නම් එලවන්න එපා දෙයියෝ කියලා තමයි ! 

ඒ ඇරෙන්න මේ සිද්ධියේ මට හදවතට වැදිච්ච දෙයක් තමයි අපේ මිනිස්සුන්ගේ තියෙන උදව් කිරීමේ ගතිය. අර පාරේ ගිය කොල්ලෝ දෙන්නා මාව එදා දැක්කේ නැත්තම් මට මොනවා වෙයිද ? එක කොල්ලෙක් උගේලේන්සුවෙන් මගේ අතත් වෙලුවේ. ඒ ස්කාර්ෆ් එක තාමත් මගේ ළඟ තියෙනවා , පහලින් තියෙන්නේ ඒකෙ පින්තූරයක්. මම ඔය අතුගාද්දී එහෙම ඕක බැඳගෙන අතු ගාන්නේ ( මට පීනසේ යකෝ පොඩ්ඩක් දූවිලි ගියත් ඉවරයි 😛 ). අපේ රටේ මිනිස්සුන්ව අපි කොච්චර විවේචනය කලත් , දන්නෙවත් නැති මිනිස්සුන්ට උදව් කිරීම අතින් නම් අපි තරම් ජාතියක් තවත් නැතුව ඇති !


පහලින් තියෙන්නේ එදා මම ගහපු ෆොටෝ ටිකක් , තුවාලේ ෆොටෝ නම් නෑ මොකෝ ඒ කාලේ මට හොඳ කැමරා ෆෝන් එකක් තිබ්බෙත් නෑ. සිද්ධියේ මතක සටහන් විදියට මට ඉතුරු වෙලා තියෙන්නේ මගේ අතේ තියෙන පත කැළැලයි අර කොල්ලගේ ස්කාර්ෆ් එකයි විතරයි.

ආ ඊට අමතරව මමයි තාත්තයි මේ සිද්ධියෙන් පස්සේ අන්‍යොන්‍ය අවබෝධතා ගිවිසුමක් ගැහුවා තාත්තා බොන දවසට මම ලිෆ්ට් දෙන්නත් මම බොන දවසට තාත්තා ලිෆ්ට් දෙන්නත්. ඒ ක්‍රමයෙන් අපි දෙන්නත් ආරක්ෂා වෙනවා , පාරේ යන අහිංසක මිනිස්සුත් ආරක්ෂා වෙනවා නේ.. 

ගැබාගේ දිග convocation කතා වස්තුවත් මේසේ අවසාන වෙනවා !




%d bloggers like this: