Menu Close

234. සුහදිනියේ – 29 | මධුලිකාගේ සිත තීක්ෂණ කෙරෙහි වෙනස්වේද?

කලින් කොටසට 

විස්තරය ඇසීමෙන් පසුව රිසිවර අන්තයේ තත්පර කිහිපයක නිහැඬියාවෙන් පෙනී ගියේ මා මෙන්ම තාරුක අයියාද යම් පමණකට කැළඹී ඇති බවයි.

“…උඹ දන්නවනේ… ඩඩා එක්ක මට ගේමක් නම් ගහන්න බැරි විත්තිය. අනිත් එක.. මම කැමති නැහැ මේ සීන් එක එලියට අදින්න. උඹට කලිනුත් මම කිව්වේ…. ගෙදර ගියපු ආගියුමන්ට් එක ගැන?”

“……………”

“මට මේක කියන්න උඹ ඇරෙන්න වෙන එකෙක් නැහැ. විරංග උනත් දන්නේ නැහැ මේ සීන් එක ; ඩඩාගේ”

“හරි… කලබල වෙලා බැහැ. අංකල්ට මොකක්හරි බලපෑමක් තියෙන එක දැන් ෂුවර්. එක්කෝ ඒ ගෑනිගෙන් මොකක් හරි තර්ජනයක් තියෙනවා. නැතිනම්…… “

තාරුක අයියා නොකියා කියූ දෙය මට නොවැටහුනා නොවේ. ඔහු පවා විශ්වාස කරන්නට අපහසු වූ ඒ කාරණය අවසාන නිගමනය නොවේවා කියා මගේ සිත මුරගෑවේය.

ආවරණ කලාපයේ නොවූ නිසා මම නගරයට පැමිණ පළමු ඇමතුමත්, දෙවන ඇමතුමත් නිමවීමෙන් පසුව තාරුක අයියා ඇමතුවේ සියල්ල පවසනවාට වඩා මගේ හිත හදාගන්නට මෙනි.

පළමු ඇමතුම ලබාදුන්නේ අම්මාටය. ඒ මගින් තාත්තා නිවසේ ඈ සමඟ සිටින බව සපථ කරගත් පසුව දෙවන ඇමතුම ලබාදුන්නේ මධුලිකාගේ තනි නොතනියට සිට අසනීපව සිටින සේවිකාවගේ සුවදුක් විමසීමටයි.

“… මොකක් උනත් අපි ඉස්සෙල්ලා කරන්න හිතාගෙන හිටපු දේවල් ටික කරමු. හදපු ප්ලෑන් එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න ඕනේ. උඹට පුලුවන්ද මට දෙකට විතර කතාකරන්න. මම තිබ්බ පණිවිඩ ටිකේ උත්තර ඒ වෙනකොට ඔක්කොම ලැබිලා තියෙයි. පුළුවන් තරම් මිස්ටර් වාකිෂ්ඨ එක්ක කතාකරලා ඔක්කොම විස්තර ටික ගන්න බලන්න. උඹ එවලා තිබ්බ නම්බර් එකට සිග්නල් නැහැ බං!”

“එහෙ සිග්නල් නැහැ තමයි. ඒකයි මමත් මේ ටවුන් එකට ආවේ. මධුව එහෙ තියන්නත් බය ඒකයි. අනිත් එක කොයි වෙලේ හරි අර තග්ස්ලා ආයෙමත් එන්න පුළුවන්. මොකක්වත් පණිවිඩයක් එනකොට පරක්කු වැඩි වෙයි එහෙම උනොත්”

“හ්ම්ම්”

තවත් අවශ්‍ය තොරතුරු කිහිපයක් කතාකිරීමෙන් පසුව මම ඇමතුම විසන්ධි කොට මධුලිකා වෙනුවෙන් නැවත සාප්පු සවාරි ගියෙමි.

මම මෙතරම් සොයාබැලීමක් කිසිවිටෙක නොකළ බව වැටහීමට තවත් විනාඩියක් පමණ ගතවිය. ඒ සියල්ල මධුලිකා වෙනුවෙන්ද? මගේ ආරක්ෂාවටද? මෙතරම් වගකීමකින් ක්‍රියාකළ කිසිම කලක් මට මතකයේද නැතුවාක් මෙනි. එළුවා පසුපස යන සිවලෙකු සේ නොලැබෙන දෙයක් ගැන මම පොරොත්තු තබාගෙන සිටිනවා යයි මටම සිතෙන වාර ගණන වැඩිවී ඇති හැඩකි.

නිවසට එන අතරමගදී මගේ කුසිතකම මගහරවා ගන්නටත්, අතොරක් නොමැතිව මධුලිකා සිහියට ඒම වෙනස් කරගන්නටත් මම ගුවන් විදුලිය ක්‍රියාත්මක කලෙමි. මම නිතර සවන්දෙන චැනල කිසිවක් වැඩකරන්නේ නැත. මම සිංහල චැනලයක් සුසර කලෙමි.

“… සිත නෑ කියන්නේ නෑ
ගත බෑ කියන්නේ නෑ
ඇය හාදු දෙන්නේ නෑ
ඈට තේරෙන්නෑ

මේ  දිගන්තයේ – මල් වසන්තයේ
ඈ නිසංසලේ – මා නිසංසලේ..
නිල ගුවන් ගැබේ – පායනා සඳේ
දන්නවාද ඒ – පෙම් කතන්දරේ.. “

මගේ මුවගට නැගුනේ සිනහවකි; වේදනාත්මක සිනහවකි. ගායකයා ගයන්නේ මා ගැනමය; අප දෙදෙනා ගැනමය.

නිවසට අවශ්‍ය දේ සමඟ ඈ හට මිලට ගත් ඇඳුම් හා නැවත පැමිණෙනවිට මධුලිකා මා පිළිගත්තේ නිවසට එන සැමියෙකු පිළිගන්නා පරිද්දෙනි. එය මගේ හිතලුවක්ද? වාකිෂ්ඨ මහතා ඒ මොහොතේ නොසිටියද සුන්දර් වහා ඉදිරියට දුවවිත් මාගේ වාහනයේ යතුර
ලබාගෙන එය සේදීමට සුදානම් කරන්නට විය.

“බොන්න මොනවා හරි හදන්නද?”

මධුලිකා දෙස නොබලා සිටින්නට මට අවැසි විය. නමුත් වාහනයෙන් බසින්නට පෙර මම එහි මම නිතර තබාගන්නා විලවුන් වලින් පපු පෙදෙසට බින්දු රැසක් ඉසගත් බව මම හිතාමතා අමතක කොට දැමුවෙමි.

“…. කූල් බෑනේ… තේ? කොෆී ?”

මම ඇස් කොනෙන් ඈ දෙස බැලුවෙමි. ස්නානය කිරීමකින් පසුව යයි මම අනුමාන කල ඈ , නිදහසේ සිය ලෙලදෙන වරලස මුදාගෙන සිටියාය. කෙස් කළඹක ඇති සරාගිත්වය කෙලෙසකදැයි මට වෙන්කර කිව නොහැකිය. අල්ලන්නට පොළඹවයි…. අතිශයින්ම බාදාකාරිය!

“…. තේ වත්තක් මැද්දේ ඉඳන් කවුද අනේ කොෆී බොන්නේ.. තේ බොමු තේ බොමු…”

මධුලිකා තමාටම කියාගනිමින් මා විසින් ඈ ඇත තබනලද , මල්ලෙන් මල්ලට හිස පොවන්නීය. ඈ කොතරම් ජීවයෙන් පිරුණු තරුණියක්ද?

සුන්දර් වාහනයට වතුර ඉසින අතරින් හිස හරවමින් මා දෙස බලනු මට බංගලාවේ පිවිසුම් දොරටුව අසල ඇති කණ්නාඩි මේසයේ ප්‍රතිබිම්භයෙන් පෙනේ. හදිසියේම මධුලිකාගේ කොට කලිසම මට වඩාත් කොටට දැනෙන්නට විය.

“ඔතන ඇති දිග කලිසම් වගයක්”

එහි ‘දිග’ යන්න පමණට වඩා අවධාරණයෙන් කියවුනා වන්නට ඇත. මධුලිකා එකවරම මා දෙස බැලුවාය.

ගැහැණු ළමුන්ගේ කොට ඇඳුම් පිළිබඳව මට පටු යයි සම්මත ආකල්පයක් තිබුනේ නැත. මම ගොඩේ බයියෙකු වී ඇතිද?

“ආ.. ඉලන්දාරියා… කොහෙද ගියේ? මම සුන්දර්ගෙන් ඇහුවමත් දන්නේ නැහැ කිව්වේ..”

මධුලිකාගේ ප්‍රහාරයට පළමුව වාකිෂ්ඨ මහතා පැමිණියෙන් තාරකා යුද්ධයකදී ධුමකෙතුවකින් පහරක් කෑමට නියමිතව සිට ගැලවී ගිය සතුටෙන් යුතුව වහා මම වාකිෂ්ඨ මහතා දෙස බැලුවෙමි.

ඔහු ප්‍රීතිමත් මිනිසෙකු බව පෙනේ. රඟපෑම අතින් නළුවන් පරාද වන්නට ඇත. පළමුව මා දුටු දිනයේදී ඔහුගේ මුහුණේ ඇති ගුප්ත, හැඟීමක් නැති ස්වභාවයෙන්ම ඔහු කෙරෙහි මට ඇතිවුයේ ප්‍රසාදයක් නම් නොවේ.

ඔහුගේ වෘතිය අනුව අතිශය සාර්ථක සහ ගැලපෙන වෙස්වලාගැනීමකි!

මම නගරයට යන බව සුන්දර් දැන සිටියේය. ඔහු එය නොකීවාද ?

සුන්දර් මා වඩාත් ආරක්ෂා කරන බවක් මට වැටහෙන්නේ අතිශෝක්තියක් නිසා වන්නට ඇත. වාකිෂ්ඨ යනු ඔහුගේ පවුලට උපකාර කල තැනැත්තාය. මම ඔහුගේ ස්වාමියා පමණකි. යුතුකමක් ලෙස ඔහු වාකිෂ්ඨට වඩාත් සමීප විය යුතුය. ඒ කවරක් වුවද මමත් වාකිෂ්ඨත් එක පාර්ශවයක බැවින් ගැටළුවක් තිබිය නොහැකියි මම උපකල්පනය කලෙමි.

මධුලිකා ගේ වර්තමානය පිළිබඳව මම වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගත යුතුය. එසේ නොමැතිව ඇය වාකිෂ්ඨට බාරදීමට මම කිසිසේත්ම සුදානම් නැති බව මටම වැටහී හමාරය.

“… පොඩ්ඩක් එමු පොඩි කාරනා දෙක තුනක් ගැන කියන්න”

වාකිෂ්ඨ මහතා ඇතුලත වූ සෝෆාවේ වඩාත් ආවරණය වූ කොටසේ වාඩිවූ අතර, මට නිරායාසයෙන්ම එයට විරුද්ධව පිහිටි පුටුවට යොමුවන්නට විය. එහි සිට ශාලාවට ඇතුළුවන කවරෙකු වුවද වහාම දර්ශනය වේ. මම සැහැල්ලු ආකාරයෙන් වාඩිවී තාරුක අයියා සමඟ ඇතිවූ සංවාදය යලි සිහි කැඳවීමි.

“මිස්ටර් වාකිෂ්ඨව කන්ටක්ට් කරන්න හැදුවා මගේ ලෝයර්.. ඒ උනාට කමක් නැහැ.. මට ඔක්කොම කියන්න පුළුවන්. මේ තියෙන්නේ එයාගේ කාඩ් එක. මිස්ටර් වාකිෂ්ඨව දන්නවා එයා”

“ආ..”

වාකිෂ්ඨ මගේ අතින්  තාරුකගේ නම්පත ගෙන මොහොතක්වත් ඒ දෙස නොබලා කමිසයේ උඩ සාක්කුවට දමාගත්තේය.

“… හ්ම්ම්… ඔය ළමයා එක්ක මට කතාකරන්න ඕනෙකම තිබ්බා. නමුත් මම හරි වෙලාව එනකල් හිටියේ. මම හිතන්නේ අපට වැඩි කාලයක් නැහැ”

වාකිෂ්ඨගේ හඬ යම් පමණකට බැරෑරුම් ස්වභාවයක් ගත්තේය.

“මට දැනගන්න ඕනේ… කාරනා දෙකයි මිස්ට වාකිෂ්ඨ… පළවෙනිම දේ තමයි… අපි මධුලිකාව කොහොමහරි මුන්ගේ ඇස් වහලා රටින් පිටකරගන්න ඕනේ. ඒකට ඕනේ දේවල් ඔක්කොම මිස්ටර් වාකිෂ්ඨ මට කරන්න ඉඩ දෙන්න ඕනේ… අනික….”

වාකිෂ්ඨ කට කොනකින් නැගු සිනහව තුල අමුතු විශ්මයක් තිබිණි.

“ඒක හරියන්නේ නැහැ ළමයා..”

“ඇයි?”

“ඒක හරියන එකක් නැහැ”

“හරියන විදියට අපි වැඩ කරන්න ඕනේ. මට පුළුවන් මධුලිකාව එයාපෝට් එකට යනකල් බස්සවන්න. මිස්ට වාකිෂ්ඨ මට උදව් කරන්න ඕනේ ලීගල් ඩොකියුමන්ට්ස් ඔක්කොම ක්ලියර් කරන්න.”

“…………….”

“මධුලිකාට ලංකාව ඇතුලත ආරක්ෂාව මදි… මිස්ටර් වාකිෂ්ඨ දන්නවද දන්නෙත් නැහැ… අර දුලිප් සතරසිංහ…..”

“දුලිප්? ආ…. මට මිස් මධුලිකා කිව්වා… ඒක නම් එක විදියකට තර්ජනයක් තමයි”

වාකිෂ්ඨ මහතා සිය අත තුල තබාගෙන සිටි ලිපිගොනුවක් මේසය මත තබා මා දෙස තියුණු බැල්මක් හෙලුවේය.

“…. ලොකුම තර්ජනේ තියෙන්නේ දුලිප්ගෙන් කියලා හිතන එකේ වරදක් නැහැ දැන් තියෙන පොලිටිකල් සිටුවේෂන් එක බැලුවහම. නමුත්…. මිස් මධුලිකාට ඊට වඩා ලොකු අභියෝගයක් තියෙනවා”

මගේ සිත ගොඩදමනලද මාළුවකු සේ ගැහෙන්නට විය. වාසුල එතරම් තර්ජනයක් වන්නේ කෙලෙසකද? ඔහුට මට පෙනෙන ආකාරයෙන් අතිමහත් බලයක් නැත. මධුලිකාගේ ජිවිතයට නම් ඔහුගෙන් අනතුරක් වීමට දැන් වැඩි ඉඩක් ඇත. එය මම සිටිනාතුරු කිසිවිටෙක සාක්ෂාත් නොවන බව දිවුරා පැවසිය හැකිය.

“වාසුල එක්ක මට ඕනේ ගේමක් ගහන්න පුළුවන්. ඒ ගැන සැකයක් තියාගන්න එපා”

වාකිෂ්ඨ මහතා මා දෙස බැලුයේ අභියෝගාත්මක බැල්මකි. හාත්පසම කෑලි කපන නිහඬතාවයක ගැලී ගියාක් මෙන් මට දැනුනි.

“මිස්ටර් සෙනරත් වාසලමුදලිගේ බලපෑම?”

වාකිෂ්ඨ මහතා එය පැවසුවේ ඉතාම මන්ද ස්වරයකිනි.

මගේ සර්වාංගයම පන නැතිව ගියාක් මෙන් දැනුනි. මෙය අපේක්ෂා කල ප්‍රකාශයකි. මම ඉක්මනින් තැන්පත් වන්නට උත්සහ කලෙමි.

“හ්ම්ම්… ඒක මම බලාගන්නම්… මිස්ටර් වාකිෂ්ඨ කොහොමද දන්නේ? කොහොමද සැකයක් නැතුව කියන්නේ ?”

මගේ හඬහි පරාජිත බවක් තිබුනේද? මම බොහෝ සන්සුන් හඬින් පැවසුවෙමි.

වාකිෂ්ඨ මහතා වරක් මා දෙස බලා ඉන් අනතුරුව ශාලාව දෙස බැලීමෙන් තහවුරු කරන්නට ඇත්තේ කිසිවකුත් මේ සංවාදය නොඅසන බව වන්නට ඇත. මගේ සියලු ඉන්ද්‍රියන් සංවේදීව සීරුවෙන් සිටී.

“ඒක මම දන්නවා. පුතා… මට කියන්න ඕනෙත් නැහැ. මම ආයෙමත් ඒ ගැන සාක්කි කියන්න ඕනෙත් නෑ. ඒ නිසා ඒ ගැන කතාව එච්චරයි!”

වාකිෂ්ඨ සිය දක්ෂ නීතිඥ මොළයෙන් පැවසු සේ මට වැටහෙන්නට වෙහෙසක් ගතයුතු නැත. මම පරාජය බාරගන්නට තීරණය කලෙමි.

“මිස්ටර් වාකිෂ්ඨ මම ගැන විස්වාසය තියන්න ඒ ගැන හිතනකොට. මම මධුලිකාට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. ඒක මට දිවුරලා උනත් කියන්න පුළුවන්”

මම එලෙස කියනවිටදීම මධුලිකා තේ බන්දේසිය අතැතිව ශාලාව කොනකින් මතුවුවාය. මගේ කන්පෙති රතුව යන්නට ඇත. ඇයට මගේ සිංහනාදය ඇසුනාද?

මධුලිකා මම අලුතෙන් මිලටගත් ඇඳුම් වලින් මම සඳහන් කල දිග කලිසමක් ඇඳ , හුරුබුහුටි ටී ෂර්ට් එකක් ඇඳ සිටියාය. ඒවා සියල්ලම මිලට ගත්තේ මමයි! මම ඈ දෙස කෑදර ලෙස බලා උන්නාද වන්නට ඇත.ස්නානයෙන් පසුව අගේ සිරුරේ රැඳෙන මෙම සුගන්ධය මම මෙතරම් පැහැදිලිව අවධානයට ලක්කර නොමැත.

මෙලෙස සුවඳක් පතුරවමින් ඈ ගමන් කරන්නේ මගේ හදවත සූරාගෙන මෙන් දැනෙන්නේ ඇයි?

“මිස් මධුලිකා ආපු එක හොඳයි… පොඩ්ඩක් වාඩිවෙන්න..”

“හරි අන්කල් කියන්නකෝ.. තේ නිවෙනවා.. බොන ගමන් කතාකරන්න”

මධුලිකා සිය තේ කෝප්පය අතැතිව මම හිඳගෙන සිටි දිග පුටුවේ මැද්දට වන්නට හිඳගත්තාය. ඇගේ මේ බුහුටි පෙනුම දැක , නොදැක ඉන්නට තරම් මගේ තරුණ සිත මට සරණක් නොවේ!

මධුලිකා අනාරාධිතවම මගේ තේ කෝප්පය මගේ අතටම දුන්නාය. මට අම්මා සිහිවිය. අම්මාත් තාත්තාට පුදුම ප්‍රේමයකින් සලකනුත්, එයින් අප සියල්ලන්ගේම ප්‍රීතිමත් උසුළු විසුළු වලට ලක්වනුත් මට සිහිවිය. ඈ එවන් ප්‍රේමනීය බවක් මට දක්වන්නේ අපගේ වෙන්වීම ආසන්න නිසාද?

“මිස් මධුලිකා …. අපි මේ කතා උනේ ඔයාගේ පාස්පෝට් වැඩේ”

“අන්කල්ට මාව වදයක් නෙවෙයි නේද?”

වාකිෂ්ඨ මහතා මෙන්ම මමද ඒ වචන වලින් සැලී ගියෙමු.

“අනේ නැහැ මිස්….. මධුලිකා…. අපි”

වාකිෂ්ඨ සිනාසෙයි. ඒ ඇයිදැයි මට නොතේරේ.

“මාව රට යවන්න හදන්නේ ඇයි එහෙනම්?”

මම පපුව පුරවා හුස්මක් ගතිමි. මධුලිකා ඒ පැනය නැගුවේ වාකිෂ්ඨගෙන් වුවද, පිළිතුර අපේක්ෂා කරනුයේ මගෙන් විය යුතුය.

“ඔයාගේ ආරක්ෂාවට! ලංකාව ඇතුලේ ආරක්ෂාවක් නැහැ. අනිත් එක.. දුලිප් සතරසිංහ එක්ක මේ වෙලාවේ කොනක් හදාගන්න එක ඔයාට හොඳ නැහැ. “

“ඒ කියන්නේ වාසුලගෙන් නෙවෙයිද මට දැන් ප්‍රශ්නේ?”

මධුල්කා මගෙන් ගිලිහුන වචනය ඉතාම සුක්ෂම ලෙස ග්‍රහණය කරගත්තාය.

“එයාගෙනුත් තියෙනවා. දෙන්නම එකතු උනොත් ප්‍රශ්නේ ටිකක් දරුණු වෙනවා.”

වාකිෂ්ඨ මහතා තේ කෝප්පය තොල ගාමින් සැහැල්ලුව පුටුවට හේත්තු වෙමින් පැවසුවේය.මම හිස සලා එය අනුමත කලෙමි.

“මිස්ටර් වාකිෂ්ඨ හිතනවද, ලංකාවෙන් පිට මට ආරක්ෂාවක් තියෙනවා කියල? අනිත් එක මට දැන් පොඩ්ඩක් විස්තර කරනවද මොකද්ද මේ ඔයාල කියන ආරක්ෂාව කියන්නේ කියල මුලින්ම?? ජිවිත තර්ජනයද? නැතිනම් දේපල තර්ජනයද?”

මධුලිකා මෝඩ කෙල්ලකු නොවේ. ඇයට යථාස්වභාවය නොකියා සිටිය නොහැකිය.

“අපි කියමු පළවෙනියට තියෙන්නේ දේපල තර්ජනය කියලා”

“හ්ම්ම්… “

මධුලිකා කල්පනාවට වැටුනාය. ඇගේ තේ කෝප්පය අතිශය ප්‍රනීත විය. යහමින් ඉඟුරු දමා දුම් දමමින් තිබෙන තේ කෝප්පය විසින් පරිසරයේ සීතල ආනන්දයක් ඇතිකරයි.

“…. මම දේපල දෙන්නේ නැහැ.. ඒවා තාත්තී මට ලියලා තිබ්බ ලියුම් වල විදියටම මම බලාගන්නවා. වාසුලට මම බය නැහැ. අංකල් දන්නවනේ, මමී මම ගැන මොනාද හිතාගෙන හිටියේ කියලා. ඒ කාගේවත් හීන මම නැතිකරලා බයගුල්ලෙක් වගේ හැන්ඟෙන්නේ නෑ. මේ දේවල් වලට මට මුණදෙන්න පුළුවන්.”

ඇගේ වචනවල සිටින්නට ඇත්තේ ඇගේ පියාගේ ජාන වන්නට ඇත. මවගේ අප්‍රමාන ධෛර්යය වන්නට ඇත. එයට එරෙහිව කිසිවක් කියන්නට අප දෙදෙනාටම නොහැකිය.

“… අංකල්… මට ඕනේ එක උදව්වක්..”

“කියන්න මිස් මධුලිකා”

“අන්කල් මේ විදියටම ඉඳලා මට ඕනේ උදව්ව මම ඉල්ලන වෙලාවට කරලා දෙන්න ඕනේ…”

මම මධුලිකා දෙසට හැරුනෙමි. ඈ තුලින් දකින පෞර්ෂය සැබවින්ම විශ්මිතය.

“ඒත්.. මධු මේක ඔයාගේ ජිවිතේ අනතුරේ දාන වැඩක්. මම මේ කියන්නේ ඔයාගෙන් ගැලවෙන්න හිතාගෙන නෙවෙයි.”

මගේ සැබෑ අවශ්‍යතාවය එයමද කියා මම නොදනිමි. අවසන් වැකියට මධුලිකා වෙතින් කෝපිමල් වැනි සිනහවක් විසිරී ගියේය. මැය මා නොමරා මරණ සෙයකි!

“කොහොමත්.. ඔයාට මගෙන් ගැලවෙන්න බෑනේ දැන්!”

එය නම් තද ඇඹුලක් දැනී සර්වාංගයම ලොමුදැහැගැන්වුවාක් වැනි කිරිගැසෙන වචනයකි. මම ගල්ගැසී උන්නා මිස, කිසිම ප්‍රතිචාරයක් නොදක්වුයෙමි. මධුලිකා ශෛලමය වූ මා අතින් හිස් තේ කෝප්පය ගෙන පිටව ගියේ අවසරයකින් තොරවය.

ඇගේ බුහුටි බඳ ලෙලදෙමින් ගොස් සාලයෙන් අතුරුදහන්ව ගියේය.

“හෙහ් හෙහ්… ඉලන්දාරියා මොකද ඔතරම් රතුවෙලා?”

සිය ෆයිල් කවරයට යොමුවූ නෙතින් යුතුව ඔහු සුපුරුදු ලෙස හොහ් හොහ් හඬින් සිනාසෙන්නට විය. 

**********************************

කෙතරම් උත්සහ කලද මගේ සිත මධුලිකා එහි රඳවා යාමට අනුමැතියක් දුන්නේ නැත. එබැවින් තාරුක අයියාගේ සැලසුමට පසුදින යාමට සැලසුම් කරමින් එදින වත්තෙහි ගතකිරීමට මට සිදුවිය. සුන්දර් විසින් ලබාදුන් සිම් පතකින් තාරුක අයියා ඇමතූ මම පසුදින සඳහා සියල්ලම ලැස්ති කරගත්තෙමි.

දහවල් ආහාරය වඩාත් විචිත්‍රව මට දැනෙන්නට ඇත්තේ පෙර දිනයක මෙන් සිය අතින් පිළියෙළ කල කෑම බෙදමින් මධුලිකා මා අසලම රැඳුන බැවින් වන්නට ඇත. වාකිෂ්ඨ මහතාට තවමත් මධුලිකා අප දෙදෙනාගේ විවාහ ගිවිසගැනීම පවසා නැද්දැයි මට සැකයක් ඇති වුවත් මම ඉස්සර වන්නට නොකැමැති වීමි. ඔහු දක්ෂ නළුවකු වන බැවින් මට ඔහුගේ හැසිරීමෙන් නිගමනය කිරීමටද අපහසුය.

වත්තේ වැඩකටයුතු පිළිබඳව සාකච්ජා කිරීමෙන් අනතුරුව මම එහි වැඩ වලට යම් කාලයක් යෙදවූයේ තාත්තාගේ සැකයෙන් මිදීමටයි. මධුලිකා ඒ සැමවිටම පෙනෙන මානයේ කුමක් හෝ වැඩක නිරතවෙමින් සිටියේ මගේ ඇස් වල දැවටෙමිනි. ඈ මගේ සිත කෙතරම් අල්වාගෙනද?

මා හට ඇගෙන් ගැලවිය නොහැකිබව පැවසීමෙන් ඈ අදහස් කලේ ඈ ඉන් සතුටක් ලබන බවද? මා ගැන ඈ නොදන්නවා නොවේ! ඒ කෙරෙහි ඇති ආසක්තබව පරයා දැන් ප්‍රේමයක් නැගී මා සිරකුටියකට දමා ඇති බවක් මට හැඟේ. ප්‍රේමය මෙතරම්ම අපහසුද?

සවස තේ පානයෙන් පසුව මම කාමරයට වී මගේ ඇඳුම් මදින්නට වීමි. දොරට තට්ටුවක් නැගුණි.

“ඇතුලට එන්න”

මධුලිකාගේ මුහුණේ එක ඇසකුත් කුඩා මුවත් දොරෙන් එලියට පෙනුනි. ඒ තොල් සරාගීය.

“සුන්දර් කිව්වා පහල කෝවිලක් තියෙනවා කියලා… යන්… යමුද?”

ඇය පළමුව කියන්නට තැත්කලේ  ඇය යනවා කියාද? නැතිනම් මට එන්නට කියාද?

“එපා”

එවර මධුලිකා දොර තුලින් සිය හිස සම්පුර්ණයෙන් ඇතුලට යොමුකළ අතර ඇගේ නළල රැලි ගැන්වී කට උල්ව අමනාපයක් නැගී තිබිණ.

“ඇයි ?”

“එහෙ මෙහෙ යන්න එපා…”

“ඒ මොකද? මෙතන මේ ළඟ නේ.. සුන්දර් කිව්වා ප්‍රශ්නයක් නැහැ කියල”

මගේ ලොකුකම ඊට ඉහළිනි. ඈ තනිවම යනවා කියා කියන්නට තැත්කිරීම ගැන මම කෝප වුයෙමි.

“නෑ.. කොහෙවත් යන්න ඕනේ නැහැ…”

මධුලිකා කාමරය තුලටම පිවිසියේ දෑතම ඉනේ තබාගනිමිනි. මට එකවරම සිහි වුයේ අප දෙදෙනා හරි හරියට පහුරුගාගෙන, පොරකාගත් කලින් වතාවයි. එදාද මධුලිකා ඇරඹුණේ මෙවන් පෙනය පිප්පිල්ලක් සමඟිනි. මගේ කෝපය සිනහවෙන් වැසි යන්නට පෙර මම ඇයට පිටුපා නැවත ඇඳුම් මදින්නට වීමි.

“ඒ මොකද ඒ? මේ මොන විකාරයක්ද මේ? මෙහෙ මොකාට බය වෙන්නද?”

මගේ සිනහව නිසා මම පිළිතුරු නොදුන්නෙමි. එහෙත් බැළලියක සේ මා වෙත  කඩාපනීනු ඇතැයි එකවරම ඇතිවූ සිතුවිල්ලෙන් මම හැරී බැලුවෙමි.

“… මම යන්නේ ඔයත් එක්කනේ!”

අප දෙදෙනාගේ ඇස් එකිනෙක ගැටුණි. විදුලි සන්නායක දෙකකින් විදුලිය පොලා පනින්නා සේ ඒ බැල්ම මා සිත ආලෝකමත් ලෙස පුළුස්සා දමන ලදී. එහි කෝපයක් නැත ; ඈ කරන්නේ බොරුවකි. මගේ සිතෙහිත කෝපයක් නැත ; මමද කරන්නේ බොරුවකි.

ගැහැණු ළමයින් දපනයේ දමාගන්නා මා සතු මන්ත්‍රය මට අමතකව ගොස්ද?

ඇගේ හිත දියකර හරින්නට එකදු වචනයක් මගේ මුවින් පිටවුයේ නැත. ගැහැණු ළමයින් දමනයේදී මම කරන කිසිදු මදහසක් හෝ බැල්මක් හෝ මතකයට පැමිණියේද නැත. මම බලාගෙන සිටියා පමණි. තත්පර දෙකක් පමණ ගතවෙන්නට ඇත. කුමක්හෝ සිතුවිල්ලක් විසින් ඈ බලෙන්, ලත් අවසරයෙන් හා නොදැන පවා සිපගත් ඒ මිහිරියාව මගේ සිත කළඹවාගෙන සුළඟක් සේ සියල්ල අවුල්කොට හැරියාක් මෙන් දැනුනි.

“හ්ම්ම්.. එහෙමද?… ඒ කියන්නේ….”

මධුලිකාගේ දල බිඳී සැටියෙන් කුමක් හෝ දෙයක් සිදුවුවා සේ මට දැනුනි. එය හිතලුවක් නම් නොවේ.

“දැන් සුන්දර්ද කියන්නේ යන තැන අවුලක් තියෙනවද නැද්ද කියල?”

මම මගේ අධිකාරිය පතුරවන්නට මෙන් ඇසුවෙමි.

“…………..”

පිළිතුරක් නැත. වෙනත් වෙලාවක නම් ඈ මාළු කෑල්ලට පනින බැළලියක මෙන් පුම්බනු ඇත. ඇගේම මුවින් පිටවූ වචන ගැන ඈට වරදක් වීද ?

මධුලිකාත් මමත් මෘදු බැල්මකින් එකිනෙකා දෙස බලාගෙන සිටියෙමු. ඇගේ ඇස් කියවීම උගහටය. එය මත් බවින් පිරී ඇති බැවිනි.

සෙමෙන්, එහෙත් යම් පමණකට දෙගිඩියාවෙන් මම ආපසු හැරී යලිත් ඇඳුම් මැදීමට පටන් ගත්තේ සිතට ධෛර්යය ගන්නට මෙනි.

“මධු…”

පිළිතුරක් නැත. නැතිනම් ඈගේ ප්‍රතිචාරය මට ඇසෙන්නේ නැති තරමට හදවත දඩි-බිඩි හඬිනි. මම හුස්මක් අල්වා රෙදි මැදීම නතරකොට විවේකයක් ගත්තෙමි.

“…. ප්‍රශ්නයක් අහන්න ඇත්තම කියනවද?”

පිළිතුරක් නැත. මම වහා හැරී බැලුවෙමි. එබුනු දොර එලෙසම තිබෙද්දී මධුලිකා පෙනෙන්නට නොවීය. විදුරු දොරෙන් එපිට පෙනුණු ජායාවට අනුව ; ඈ එතන මුවාවී සිටින්නීය. මට කට කොනට සිනහවක් නැගුණි.

“සුන්ද……………………….ර්…!”

මගේ උස්  හඬට සුන්දර් පැමිණියේ විදුලි වේගයෙනි. ඔහුගේ මුහුණේ චකිතයක් වූ අතර මධුලිකා එතැන සැඟවී සිටින බවට ඔහුගේ මුහුණේ වූ ගැටලුකාරී පෙනුමෙන්ම මට අවබෝධ විය.

“…. අර මිස්ට කියපන් පහල කෝවිලට යන්න ලෑස්ති වෙන්නය කියල. සුන්දර් දන්නවද එතනට යන්න? “

සුන්දර් එකවරම පිළිතුරු දුන්නේ නැත. නමුත් යමක් සිහියට නැගුනා සේ ඔහු ‘ඔව්’ කියන්නට මෙන් හිස ඉහල පහල සැලුවේය.

“… හ්ම්ම් එහෙනම් අපිව එක්කගෙන යමු. හවස මට අර මැෂින් රෙපෙයාර් කරන මනුස්සයාව ගෙන්නලා දෙන්න ෆැක්ටරි එකේ රෙපෙයාර් වල ප්‍රශ්න කතාකරන්න, හරිද?”

“හරි සර්…”

දොර මුල්ලේ උන් පොදිය පිටවනු මට දැනුනි. මධුලිකා සිය කාමරයට දුවන්නට ඇත. සුන්දර් ආපසු හැරුනේය.

“සුන්දර්..”

“සර්??”

සුන්දර් මා දෙස තිගැස්සී මෙන් බැලුවේය.

“මොනාද බන් අඳින්න ඕනේ? ඔය මොකක් උනත් කමක් නැහැ නේද?”

සුන්දර් සිය සුන්දර සිනහවෙන් මා දෙස බැලුවේය.

“කලිසමක් කමක් නැහැ සර්.. හවස පුජාවට අපි නම් සර්ට් අඳින්නේ නැහැ සර්… සර්ට කැමති නම් එහෙම ආවොත් ඇතුලට යන්න පුළුවන්..”

සුන්දර් මහත් උනන්දුවෙන් පැවසුවේය.

“හරි හරි බලමුකෝ..”

සුන්දර් යන්නට හැරුනේය.

“සුන්දර්..”

“සර්..??”

ඔහුගේ මුහුණ සිනහවකින් ඔපවත්වී තිබිණ. මම බැරෑරුම් බවක් ආරුඪ කරගත්තෙමි.

“අර මිස්ට කියන්න සුදුපාට අඳින්න කියල”

මම අලුතෙන් මිලට ගත් සුදුපැහැති ලිනන් කමිසය සහ නිල්පැහැති ඩෙනිම් කලිසම මැද , ඇඳ මත හොවා ඉක්මනින් නානකාමරයට වැද ඇඟ සෝදාගත්තෙමි. මෙවන් ගමනකට නොවුනද මම මධුලිකාට ඇගේ සිරුරේ හැඩය පෙනෙන කුර්තා ටොප් එකක් මිලට ගත්තේ සුදු පැහැයෙනි ; හිතාමතා නොවේ යයි පවසන්නට හැකි වුවද එය මගේ ලිනන් ෂර්ට් එකට ගලපන්නට මම කපටිකමින් උත්සහ කලෙමි. ඇයට එය හැරුණුවිට වෙනත් සුදුපැහැ අලුත් ඇඳුමක් නොවේ.

මම කපටි සිතින් සිනාසුනෙමි.

මම වාහනයට ගොස් එහි ඇති විලවුන් හලාගත්තෙමි. සෙරෙප්පු යුවල පිසදා ගත්තෙමි. ඇගෙන් විහිදෙන සුවඳ වෙනත් අයට දැනේවිද? විලවුන් දමන්නට එපා කියන්නද? එලෙස කියන්නේ කෙලෙසකටද?

මම ඉදිරියේ ඇති බරාදය අසල නියපොතු කමින් සිටි බව මටම වැටහුනේ මධුලිකා ඒ අසලින් මතුවෙද්දීය. මගේ සිත ඊර්ෂ්‍යාවෙන් පැලෙන්නට තරම් විය. මම මිලටගත් සුදුපැහැ කුර්තා ටොප් එකට ඈ සිය රූමත් බව ලබාදී තිබිණි. ලිහිල්කොට ලෙහා දැමු අගේ වරලස සකසමින් ඈ පිටතට පැමිණෙද්දී මා ගැන අවධානයක් නොතිබුණු බව වාසියට ගෙන ඉක්මනින් මම ඇගේ පෙනුමෙන් වශීකෘතව ගිය සිත එකතැන කොට නොදැක්කා සේ ඉවත බලාගත්තෙමි. පසෙක ඇති දොරටුව තුලින් සුන්දර් වෙට්ටියක්ද හැඳ පෙනී සිටියේය. මම සුන්දර් දෙස බැලුයෙමි.

“යමුද එහෙනම්?”

“හරි සර්…”

සුන්දර් ඉස්සර විය. අපගේ වත්තේ පිටුපසට දිවෙන මාර්ගයේ මද දුරක් ගිය පසු දකුණට විහිදෙන තේ වත්ත හරහා යන පටු මගක් දිගේ සුන්දර් පියමන්නේ වරින් වර ආපසු හැරෙමින් අප දෙදෙනා එනු පිරික්සමිනි. මට ඉදිරියෙන් ගිය මධුලිකා විටෙක ගල් බොරළු වල යන්තම් වැදී වැටෙන්නට යනවිට මම වහා ඈ අල්ලා ගත්තමි. නමුත් ඈ නොවේ ආපහසු හැරී වත් මා දෙස බැලුවේ. මගේ තරුණ ; නොහික්මුණ සිත මෙම සිතල පරිසරයේ නොදැමෙනසුළුය.

ඈ ඉදිරියෙන් යද්දී ඇගේ ලෙහා දමන ලද වරලස ඒ මේ අත වැනීම මගේ සිත කිතිකවන්නා සේ විය. මම ඈ වත්තන් කරන අවසරයෙන් නැවතත් ඇගේ වරලස ඇල්විමි. මට සිහියට නැගුනේ ඈ සිහිසුන්වී සිටියදී මම කල නොසන්ඩාල ක්‍රියාවයි. මම තනිවම සිනාසෙමින් ඈ පසුපස ගියෙමි.

විනාඩි හතරක පමණ ගමනකින් පසුව අප පඩිපෙළක් අසල නතර වූයෙමු. එය තැනිතලාවක් ලෙස සකස් කරනලද, විසල් ගසක් පාමුල ඇති කුඩා ගල් පොත්තක නැවතුමකි. පඩිපෙළ කුඩාය. එයින් ඉහල වුයේ වර්ණවත් ලෙස හැඩකල කුඩා කෝවිලකි. එය ඉතා පිරිසිඳුය; විචිත්‍රය. ඒ තුලින් සීනු නාදය පැතිරේ. හින්දු දමිළ මිනිසුන් විසි දෙනෙකු පමණ ඒ කුඩා ඉඩෙහි පේළියකට සැකසී උන්හ. පුරුෂයින් සියල්ලෝම සිටියේ උඩුකය නිරුවතිනි. ඔව්න් දකුණු පසින් පෝලිමකට සැදී සිටි අතර, වම්පස පෝලිමේ වැඩිමනත්ම මැදිවියේ සහ තරුණ වයසේ ගැහැනුන් දෙතුන් දෙනෙකු අප දෙස විමසිල්ලෙන් බලමින් සිටියහ. ඒ අතරින් අයෙකු මා හඳුනාගත් බවක් මට පෙනුනි. පෝලිමේ නොවුන ගැහැනුන් දෙතුන් දෙනෙකු වන්දනාවේ යෙදෙනු පෙනුනි.

“යමු සර්… පුජාව පටන් අරගෙන..”

සුන්දර් වහා සිය කමිසය ගලවා ගසෙහි අත්තක රඳවා පඩිපෙළේ වූ පෝලිමට එක්වූ අතර ඒ සමඟම එය ඉදිරියට ගමන් ගන්නට විය, මම මේ චාරිත්‍ර කිසිවක් දන්නේ නැති බැවින් සුන්දර් කරන්නක් කිරීමට සිතුවෙමි. මමද කමිසය ඔහු අසලින්ම රඳවා ඔහුට පසුපසින් හිටගතිමි. මධුලිකා ගැහැණුන්ගේ පෝලිමට එකතු වුවාය. ඈ හොරැහින් මා දෙස බලයි.

බලන්නේ මොනවාද?

සීනුව තවත් තීව්‍ර ලෙස නාද කරන්නට වූ අතර පෝලිමේ සිටි අප ඉදිරියට ඇදුනෙමු. පුසාරි විසින් ගැහැනුන්ට සහ පිරිමින්ට කන්නට කුමක් හෝ ලබාදෙයි. ඒ සමඟම නළලේ තිලකයක්ද තබයි.

ගැහැණුන්ගේ වෙනම පෝලිමක් තිබීම යහපත්ය. නැතිනම් මධුලිකා පිරිමින් සමඟ පෝලිමේ ස්ටිනවාට මම කැමති වුයේ නැත. මම වටපිට බැලුවෙමි. මට ඉදිරියෙන් සිටි තරුණයෙකුත්, මට දෙදෙනෙකු පමණ පිටුපසින් සිටි කොල්ලෙකුත් මධුලිකා දෙස බලනු පෙනේ. ඈ අලුත් නිසාද? කොහොමටත් ඒ කුර්තා ටොප් එක ඈට සෑහෙන අවධානයක් ලබාදෙන බව නොරහසකි. මගේ සිත ඊර්ෂ්‍යාවෙන් ඒ මේ අත දුවයි.

“එන්න සර්… “

එසේ කියා සුන්දර් පුසාරිය මොනවා හෝ දෙමළෙන් කී අතර පුසාරි එය අසා සිට මා දෙස ඉතා සුහද බැල්මක් හෙලුවේය.

“…. මකර ලග්නම්… ” කියා කුමක් හෝ දෙමලෙන් කියු සුන්දර මා දෙස ප්‍රශ්නාර්ථයෙන් බැලුවේය.

“අර මිස්??.. කෝ එන්න මිස්… මිස්ගේ ලග්නේ? “

මධුලිකා ප්‍රශ්නාර්ථයෙන් බැලුවාය.

“..සරි සරි… ඒක කමක් නේ…”

පුසාරි තෙමේ මධුලිකා පෝලිමෙන් ඉදිරියට ගෙන්වා මා අසලින්ම සිටුවා ඔහු අත තිබුණු පහන් අපගේ හිස වටා කරකවමින් මොනවාදෝ දොඩවන්නට විය. කුමක් හෝ හේතුවකට මගේ සිත නිවී ගියාක් මෙන් දැනුනි. මම දෑත ඉදිරියට තබාගෙන ඔහේ බලා උන්නෙමි. මධුලිකා වන්දනා අභිනයෙන් සිටි මුත්, යන්තම් හිස හරවමින් මා දෙස බලනු මට පෙනේ.

බලන්නේ මොනවාද??

දෙදෙනාටම නළල තිලක තබා ඉන් අනතුරුව රසකැවිල්ලකින් කොටස බැගින් දීමෙන් අනතුරුව අප දෙදෙනාව නිදහස් කෙරුණි. සුන්දර් පසෙකට වී සිනාසෙමින් මහත් සන්තෝෂයෙන් සිටියි.  මම ආපසු හැරුනෙමි. මධුලිකා දෙස නෙත යෝමාගෙන් උන් තරුණයා අප පසුකරගෙන ගියේය. මම ඇගේ අතින් ඇද මා අසලට ගත්තේ ඔහුගේ ඇඟේ හෝ නොවදින පරිද්දෙනි.

“ඇයි ?”

“හැප්පෙනවා… බලාගෙන… ඔය කොණ්ඩේ ඉස්සරහට කරගන්න”

මධුලිකා නැවතත් මා දෙස බලයි. ඇගේ මුහුණ ආලෝකමත් වී ඇති සැටියකි. මගේ වචන වලට සිනාසෙනවා හැරුනුකොට ඇගෙන් එක රැවුමක් හෝ ලැබුනේ නැත. ඇය සතුටින් බව නම් සත්‍යකි. මගේ සිතටද යම් සැහැල්ලුවක් ලැබී ඇති බවකි.

“සුන්දර් කොහොමද දන්නේ මම මකර ලග්න කියල? මමවත් දන්නේ නැතිකොට “

පඩිපෙළ බසිමින් මම ඇසුවෙමි. මධුලිකා මට ඉදිරියෙන් පඩිපෙළ බසින්නට ඉස්සර වුවාය. සුන්දර් සිනාසුනේය.

“සර්ගේ අම්මා.. ලොකු මැඩම් මට කියලා තමයි සර්ගේ කේන්දරේ බලවන්න තැනක් හොයාගත්තේ. මැඩම් වෙනුවට මට තමයි ගිහින් ඒවා ගේන්න උනේ”

“මගේ කේන්දරේ? අනේ අම්මෝ.. මමවත් දන්නේ නැහැනේ..”

මධුලිකා ආපසු හැරි සිනාසුණාය. ඈ සිනාසෙනවා වැඩිය. කොල්ලන් දැපනේ වැටෙනු ඇත.

“කේන්දරේ මොනාද කිව්වේ?”

මධුලිකා එසේ ඇසුවේ කෙළිලොල් බවට බව මට වැටහුණි. සුන්දර් සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.

“මිස් ගන්නවද කොණ්ඩේට මල්? මිස්ගේ කොණ්ඩෙට හරි ලස්සනට තියෙයි”

කුඩා බේසමක තබාගෙන මල් විකුණන මැදිවියේ මිනිසා ඒ හඬින් ප්‍රබෝධව ඉතා ඉක්මනින් සුගන්ධවත් පිච්ච මලින් පිරුණු වැලක් අප වෙත පෑවේය. ඔහුට සිංහල නොවැටහෙන බව මට වැටහුණි. සුන්දර්ට මුදල් දී මම ඉක්මනින් මල් වැලක් මිලට ගත්තෙමි. මාලාකරුවා එය මධුලිකාගේ හිසේ පළඳන්නට උත්සහ කරද්දී මම එය වහා උදුරා ගත්තෙමි.

ඌ මොකටද මධුලිකාගේ කොණ්ඩේ අල්ලන්නේ?

ඔහු විසින් ලබාදුන් ඇටවුම නිසා එය පහසුවෙන් හිසේ පැළඳිය හැකි විය. මම  මම හැකි පමණින් එය කොණ්ඩයට ඇටවුයෙමි. මධුලිකා කොණ්ඩය සකසමින් උඩ පනින්නට විය. දුරකතනයෙන් පින්තුර කිහිපයක්ම ගත් ඈ සතුටින් සිටීම මටද සැනසීමකි. කිහිප දෙනෙකු ඈ දෙස බලනු පෙනේ.

මගේ දුරකථනය නාදවිය.

‘ඩඩා !’

මම පිළිතුරු දෙන්නට දුරකතනය අතට ගත්තෙමි.

“සර්..!”

සුන්දර් කලබලයෙන් මා ඇමතුවේය. නිරායාසයෙන්ම මා අතින් දුරකථනය විවෘත වූ බැවින් මම  සුන්දර්ට නිශ්ශබ්ද වන්නට සන් කරමින්, එය කනෙහි තබාගත්තෙමි.

“ලොකු… කොහෙද ඉන්නේ?”

“ව.. වත්තේ….”

මම සුන්දර් දෙස බලමින් පැවසුවෙමි. මට ඒ ස්වරය එතරම් ඇල්ලුවේ නැත. උදෑසන අම්මාට කතාකොට ඔහු නිවසේ සිටින බව නම් තහවුරු කලෙමි.

“වත්තේ? කාර් එක නම් තියෙනවා… කොහෙද ඉන්නේ? මම බන්ග්ලෝ එකේ ඉන්නේ.. කවුරුත් නෑනේ!”

මම ගල්ගැසී ගියෙමි. මගේ කට විවර වන්නට ඇත. වහාම මම දුරකථනය රිසිවරය මියුට් දමා සුන්දර් දෙස බැලුවෙමි.

“මලා! ඩඩා ඇවිත්!!!”

********** මතු සම්බන්ධයි ***********
%d bloggers like this: