Menu Close

ශ්‍රී ලංකා not Vs England – හයවෙනි කොටස

උඹලට පිස්සුද නිමොල්…. දවස් පහක් තිස්සේ ගියා….. ගියා… ගියා… රුඉන්ස්…..

අපේ රටේ ශ්‍රේෂ්ඨ; ප්‍රෞඪ ඉතිහාසය ගැන සාඩම්බරයක් තිබුණේ මට පමණක් නොවේ. අපේ ගෙදර හැමෝටමත් එහෙම හැඟීමක් තිබිණි. ඒ නිසාමය සුනිල්ලා dadaaව ලංකාව පුරා සංචාරයකට එක් කරගෙන ගියේ. 

ගමන ගියේ මල්ලිකාලගේ ලොකු අක්කා; චන්ද්‍රානි අක්කලාගේ වෑන් එකකය. අපේ අම්මා, dadaa, සුනිල්, ලොකු නංගී හා ලක්සිරි අයියා ඇතුළු කිහිප දෙනෙකු ගිය බව විතරය මට කියන්නට තියෙන්නේ. 
“මම ගෙදර ඉන්නං. ගෙදරින් වැඩියත්ම ගමන්-බිමන් ගිහින් තියෙන්නේ මමනේ….” තව කිහිප දෙනෙකුට අවස්ථාව ලබාදී මා ගෙදර නැවතුණේ ස්වේච්ඡාවෙනි. 
“උඹලට පිස්සුද නිමොල්…. දවස් පහක් තිස්සේ ගියා… ගියා… ගියා…. rest කෙරිල්ලක් ඇත්තෙම නැහැ. මෙහෙමද උඹලා trips ගිහින් enjoy කරන්නේ? එකම වගේ රුයින්ස්…. කැඩිච්ච පන්සල්, ගඩොල් ගොඩවල්…. ඒ වුණාට lady විසිටර් කෙනෙකුට මුත්‍රා කරන්න වුණොත් no proper place! මට නම් එපා වුණා. රස්නේ ඊටත් වඩා….. හැබැයි අනෙක් අය නම් එන්ජෝයි වුණා.” dadaa ගමන ගිහින් ඇවිත් කිව්වේ එහෙමය.

අපට නම් ගමනක් ගියාම විවේකයකුත් තිබෙන්නට ඕනෑමය…..
කතාව ඇත්තය. ඊට අවුරුදු 35කට විතර පස්සේ වුණත්, තවමත් ලංකාවේ ගොඩක් අය ට්‍රිප් එකක් යනවාය කියන්නේ පුළුවන් තරම් තැන් ගොඩකට යනවාටය. තවත් විදිහකින් කියනවා නම් එක ගමනකදී ලංකාවෙන් බාගයක්වත් cover කරන එකටය. 
ගමනක් යන්නට සුදුසු තැන්- බලන්නට තිබෙන තැන් ගැන මගෙන් විමසන ගොඩක් හිතවතුන් අදටත් දන්නේ අනුරාධපුර- පොළොන්නරු- කතරගම- නුවරඑළිය වගේ සීමිත ගමනාන්තයන් පිළිබඳව විතරය. එයාලාට එක ගමනකින්ම ඒ තැන් ඔක්කෝටම යන්නටත් ඕනෑය. 
එහෙම වෙනවා ඇත්තේ අපේ උදවිය ගමනක් යන්නේ, යන තැන් ගැන පුරසාරම් කියන්නට හින්දාය. 
“අපි අරහෙටත් ගිහින් තියෙනවා, මෙහෙටත් ගිහින් තියෙනවා.” කියන්නටය ඔවුනට ඕනෑ. හරි විදිහට බලනවා නම් දවස් තුන-හතරකින්වත් අනුරපුර වුණත් බලලා ඉවර කරන්නට බැරි බව එයාලා දන්නේ නැත. 
ඒ අතින් තරුණ පරම්පරාව තරමක් හොඳය!
අපේ මන්දාරම් නුවර ගමනට තැන හෙව්වේ, වෙන් කළේ, සංවිධානය කළේ….
අපේ හිතවතා; WAL Constructors ලොක්කා; ලලිත් ප්‍රියන්ත පහුගිය සැප්තැම්බර් 13-15 දිනවල අප ගිය ‘මන්දාරම් නුවර ගමන’ට තැන වෙන්කරවාගත්තේ ජාලයෙන් හොයල බලලාය. 
“අපෝ…. අයියා හොයාගත්ත තැනක හැටි…. පිරිසිදුකමක් ඇත්තෙම නැහැ වගේ, මිනිස්සු කොච්චරක්ද….. මුඩුක්කුවක හිටිය වගෙයි!” 
ගමනට සහභාගී වුණු කාන්තා පාර්ශ්වයේ කෙනෙකුගෙන්, අන්තිමට එහෙම කමෙන්ටුවක් ලැබී තිබිණි. 
එක අතකට ඒ කතාවෙන් බාගයක් ඇත්තය. 
එහෙම කියන්නේ ඒ නවාතැනට අප එහි යද්දී එතැන හිටි උදවිය camp එකකට පිටත් කළේ ඒ වෙලාවේ බැවිනි. පහුවදා අපව කෑම්ප් එකට යවන්නටත් කලින් ඊළඟ පිරිස එහාට ඇවිදින්ය. අප camping අවසන්වී එද්දී තවත් නඩයක් ඇවිත් ඉවරය…. 
නරකත් නැත! ව්‍යාපාරයක් කරන කෙනෙකු බලන්නේ හැකිතාක් ගනුදෙනුකරුවන්ට සේවය සලසන්නටය.
දාම් ලෑල්ලක ඉත්තන් අදිනවා වගේ මිනිසුන් එහා-මෙහා කරන්නට සැලසුම් කරලා තිබුණත්….
මට නම් එහි වරද තිබෙන බව පෙනුණේ ශ්‍රී ලාංකික අප අතේය. 
අපේ රටේ උදවියගේ වෙලාවට වැඩ කෙරීම කොහොමද කියා නවාතැන් හිමිකරුවා ගණන් බලලා තිබුණේ නැත; දාම් ලෑල්ලක ඉත්තන් වගේ මිනිසුන්ව එහා-මෙහා කරන්නට සැලසුම් හදලා තිබුණත්, අපේ රටේ උදවියත් එක්ක මේ කපේදී ඒවා කළ හැකිද? 
ඉතින්, අර නෝක්කාඩුව හින්දා මේ වතාවේ දෙසැම්බර් 27, 28, 29 යා යුතු තැනත්, නවාතැනත් හෙවීමේ රාජකාරිය ප්‍රියන්ත බාරදී  තිබුණේ ෂෙරාන් එච්. ගමගේ ගැටවරයාටය. 
“නිමල් අංකල්, Renuka’s Rest එකට යනකල් මාත් ඉන්නේ පණ බයේ…. එතැනත් හොඳ නැහැයි කියයිද කියලා….” 
ෂෙරාන් බයෙන් හිටියාට තැන හොඳය. ඇල්ලට නුදුරු ඒ නවාතැනේ ඉඩ පහසුකම, පිරිසිදුකම, සත්කාරය විතරක් නොවේ, නිස්කලංකකමත් හොඳටම හොඳය! අය කිරීමත් සාධාරණය. 
රෙස්ට් එක rest කරන්නට කියාපු තැනකි. ගස්-කොළන් යායක් මැද්දේ තිබෙන්නකි. බුළු, නෙල්ලි  වැනි ගස් වර්ග රැසකට අමතරව එහි ඖෂධීය ගම්මාලු ගසුත් තිබෙයි!

ඇල්ලේ වළ ඇල්ල හරිම අපූරුය! කියන්නට වදන් නැතිය!!
අලිතොට ආර ජලාශයට, ආරුක්කු නවයේ පාලමට, රාවණ ඇල්ලට හා ඇල්ලේ වළ ඇල්ලට එහි සිට වැඩි දුරක් නැතිය. 
මා නරඹා ඇති, දිය නාලා ඇති දිය ඇලිවලින් වැඩියත්ම ලකුණු ගන්නේ ඇල්ලේ වළ දිය ඇල්ලයි! ඒ ගමනට මාවත් සහභාගී කරගත්තාට, ප්‍රියන්තට වගේම ෂෙරාන්ටත් ගොඩාක් ස්තුතියි!!! 
අපේ dadaa හිටියා නම් එක්කං යන්නට නියම තැනකි; ඒ. 
ඩැඩා දෙවන ලෝක යුද්ධ කාලයේ පළමු වරට ලංකාවට පැමිණ තිබිණි. “As a solder…” කියලා එයා කීවත් වැඩි විස්තරයක් අහගන්නට ඒ දවස්වල මට හිතුණේ නැත. 

Dadaaගේ ඒ ගමනේදී මට නම්අමතක නොවන සිහිවටන කිහිපයක්  තෑගි ලැබිණි. 

1941-1942 කාලයේ අච්චු ගැහුණු සතයේ, සත දහයේ, විසිපහේ, පනහේ නෝට්ටුව බැගින්…. දසනායක රත්නවතීගෙන්; අපේ ආච්චිගෙන් උරුම වුණු 1929 තඹ සතයත්, 1937 සත භාගයේ; සල්ලියේ කාසියත් ඒවාට තනි රකියි. ඒ ගැන කලින් වතාවකත් කිව්වෙමි. 

නිදිගේ පංච තන්තරේ දිගටම කියවන, කමෙන්ට්ස් දමන ‘සිරිබිරිස් උන්නැහේ’ කොහේ ඉන්නවාද කියලා මා දැනගෙන හිටියේ නැත. 
සති කිහිපයකට කලින් දවසක උන්නැහේ ‘නිදි’ව හොයාගෙන ආවේය. හැබැහින්ම මාව දැකගන්නටය. කාටද ආඩම්බර? 
ඕස්ට්‍රේලියාවේ හිට එනකොටම උන්නැහේ මට තෑගිත් අරගෙනය ඇවිත් තිබුණේ. ඒවා අතර තිබුණු 1901 සත ¼ හෙවත් අලුක්කාලත් දැන් මගේ එකතුවේය.

සත අලුක්කාලේ, සල්ලියේ කාසිවල සිට සතයේ- සත දහයේ- විසිපහේ- පනහේ නෝට්ටුත්…….
අම්මලාගේ ඒ වට-වන්දනා trip එකත් එක්කම ලොකු නංගී එංගලන්ත ගමන ගැන තව-තවත් දවල් හීන දකින්නට පටන් ගත්තාය. ඒ හීන සබන් පෙණ බුබුළු වගේ බිඳී ගියේ, ඇපීල් එකෙනුත් පලක් නැති වුණාමය. 
ඒ අතරේම සුනිලුත් මල්ලිකාත් එකතුවී පලතුරු කඩය විවෘත කළෝය. 
මා දෙමටගොඩ කැන්ටිමටත්- වැටීගෙන යන බතික් වැඩපොළටත් හිරවිණි. 
ආර්. වී. ජයසූරිය; පොඩි මාමාට දෙතුන් පොළේම වරින්-වර ඉන්නට වුණේ අප නැති විටෙකය. 
ඒ කාලයේමය, මා ‘රිවිරැස’ පත්තරයෙන්   දැන්වීමක් දැකලා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවට සම්බන්ධ වුණේ. මුල් මාස හය-හතේ මා ගියේ සෙනසුරාදා හවස් වරුවේ තිබුණු උඩවැඩියා වගා පාඨමාලාවේ පන්තිවලට පමණකි. ඊළඟටය වැඩමුළු – පුහුණු වැඩ සටහන් – සම්මන්ත්‍රණ සඳහා සහභාගී වෙන්නට පටන් ගත්තේ. ඒ අත්දැකීම්වලින් කොටස් මගෙන් මංගල යෝජනාවක්’ ‘නැණ ලැබ ගත්තෙමි….’, 
මාතර තානායමේ අමු හෙළුවෙන්’  වගේ පෝස්ටුවලදී ලියැවිණි.

ජේ.ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරුන් දෙන්නාගේ ඔරලෝසු ගැන වික්ටර් අයිවන්  ‘චෞර රැජන’ පොතේ…
“ඔයාගේ බ්ලොග් එක කියවන එකෙන් තව කෙනෙකුට ඇති වැඩේ මොකක්ද?” ඉතාම මෑත දිනයකදී හිතවතෙක් ඇසුවේය.
ඒ කතාවෙත් ගත යුත්තක් තිබෙන බව මම නිහතමානීව පිළිගනිමි. 
ඕනෑම දෙයක වටනාකමක්, අගයක් තිබෙන්නේ එහි ප්‍රයෝජනයක් තිබෙන අයට පමණි; ඒවා ගැන අවබෝධයක් තිබෙන අයට පමණි. 
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රුපියල් ලක්ෂ තුන-හතරක් වටිනා ‘ගෝල්ඩ් රෝලෙක්ස්’ ඔරලෝසුවක් අතේ පැළඳි බවත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය මිලියන ගණනක් වටිනා ‘පතේ පිලිප්ස්’ ඔරලෝසුවක් පැළඳි බවත් ‘චෞර රැජින’ පොතේ වික්ටර් අයිවන් මහතා ලියා තිබිණි. 
අජාසත්ත- 4’ පෝස්ටුවෙන් ඒ කොටස උපුටා දැක්වුවත්, අදටත් මට ඒ ඔරලෝසු එකක්වත් හඳුනාගන්නට බැරිය. ඒ මගේ නොදන්නාකම නිසාය. 

කපිල කුමාර කාලිංගගේ ‘හීසරය’ තීරු ලිපියේ ……………
එහෙත් මා තවත් අයගේ ජීවිත කතන්දරවලින්, අත්දැකීම්වලින් බොහොමයක් දේවල් ඉගෙනගෙන ඇති නිසා; ඒවා කියවීමෙන් වින්දනයක් ලබන නිසා මගේ බ්ලොගයෙනුත් කෙනෙකුට පලක්-කමක් වෙතැයි සිතමි. ඒ සිතිවිල්ලෙන් යුතුව ලියමි. 
මේ එම ලේඛනාවලියේ 252 වෙනි පෝස්ටුවයි. 
2018 අප්‍රේල් 1 වෙනිදා සිට පළවන ‘නිදිගෙ පංච තන්තරේ’ට දැන් පිවිසීම් 85,072 කි. මගේ ලියවිල්ල කිසිම කමකට නැතිනම් එච්චර ගණනක් මෙය කියවාවිද? 
මගේ පාඨක හිතවතුන්- හිතවතියන් සැම දෙනාටම ස්තුතිවන්ත වෙමින්, විස්සයි විස්සට සුබ පතන අතරේ මට හිතෙන්නේ එහෙමය. 

මට එහෙම හිතෙනවා ඇත්තේ මා කියවන සමහර දේවල් කොහෙත්ම අමතක කර දමන්නට බැරි තරම් අගනා නිසා වෙන්නටත් හැකිය. 2019 ජුලි 27 ‘දේශය’ පත්තරයට ‘කපිල කුමාර කාලිංග’ ලියූ ‘හීසරය’ තීරු ලිපියේ මෙහෙම කොටසක්  තිබිණි. 

…… ප්‍රකට ලේඛකයෙකු මෙන්ම දේශකයෙකු ද වන ටොඩ් හෙන්රි ලියූ “Die Empty” කෘතිය ද බොහෝ ජනප්‍රිය විය. එය ලිවීමට නිමිති වූ සිද්ධියක් පිළිබඳව ඔහු මෙසේ සඳහන් කරයි.
එක්තරා ව්‍යාපාරික ආයතනයක පැවති උදෑසන රැස්වීමකදී එහි අධ්‍යක්ෂවරයා සභාවෙන් මෙසේ අසයි.
මේ ලෝකයේ පොහොසත්ම භූමිය පිහිටා තිබෙන්නේ කොහේද?”
තෙල් නිධි තියෙන අරාබියේ කෙනෙක් පිළිතුරු දුන්නේය.
දියමන්ති ආකර තියෙන අප්‍රිකාවෙ තවත් කෙනෙක් කීය.
ලෝකේ තියෙන පොහොසත්ම භූමිය තමයි…….
මඳ සිනාවක් පෑ අධ්‍යක්ෂවරයා මෙසේ පැවසීය. නෑ.. ලෝකේ තියෙන පොහොසත්ම භූමිය තමයි සොහොන් පිටිය.
සභාවේ පිරිස අන්දුන්කුන්දුන්ව අධ්‍යක්ෂවරයා දෙස බලා සිටියහ. ඔහු යළිත් කතා කරන්නට විය.
මේ ලෝකෙ මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් මැරෙන්නෙ තමන්ගෙ හිත් තුළ තිබෙන වටිනා අදහස් ක්‍රියාත්මක කරන්නේ නැතිව. සොහොන් පිට්ටනි තුළ වැළලෙන්නේ ඒ වටිනා අදහස්. ඒවා මිල කරන්න බෑ.
ටොඩ් හෙන්රි තම පොතෙන් කියා සිටින්නේද අප මිය යා යුත්තේ අප සිත් තුළ තිබෙන වටිනා අදහස් ක්‍රියාවට නැංවීමෙන් පසුව බවය. ජීවත්ව සිටින කාලයේදී ඒවා බෙදාහදා ගත හැක. අනුන්ට පිරිනැමිය හැකිය. එවිට කවුරුන් හෝ ඉන් ප්‍රයෝජන ගනු ඇත…..
මගේ උත්සාහයත් ‘කාට හෝ පලක් වෙති’යි සිතමින් මගේ අදහස් හා මගේ සැබෑ ජීවන අන්දරය තතු පරිද්දෙන්ම ඔබට කියන්නටය.
මගේ ජීවනාන්දරය කාට හෝ කියන්නේ එයින් යම් කිසි පලක්-කමක් ……..
“නිමල් මල්ලී, අපේ ලතාගේ මංගල්ලේ වැඩ කරලා එකලාසයක් කරන්නයි යන්නේ. ඔන්න බැහැයි නොකියා ඔයා ලස්සන පෝරුවක් හදලා දෙන්න ඕනේ…..” 
කළු අක්කා දවසක් කීවාය. ඒ කළු අක්කාගේ ලොකු දුව; සෝමලතාගේ විවාහය ගැනයි. ඇය අපේ බතික් වැඩපොළට පැමිණීමෙනි, අපේ හිතවත්කම් ඇති වුණේ. 
“ඔව්, ඔව්. නිමල් මල්ලී…. එච්චර විතරක් නෙවෙයි… ඔයාට තව වැඩ ගොඩක් තියෙනවා. අපේ ලතාට ආසයිලු හංස පූට්ටුවක් තියෙන පෝරුවකට….” සෝමේ අයියාත් කිව්වේය. 
“සෝමේ අයියලා දැන්මම කිව්ව එක හොඳයි…. මගේ වැඩත් පාඩු නොවෙන්න හීන් සීරුවේ පෝරුව හදමු….. හංස පුට්ටුව රිජිෆෝම්වලින් කපමු…. මං ඒ ටික කරන අතරේ, ලෑලි තට්ටුව කළු අයියලාට කියලා හදවගන්න පුළුවනිනේ…..” මම යෝජනා කළෙමි. 
යෝජනාව ස්ථිර වුණේය. 
(ඒ වෙද්දී අප කැන්ටින් කෙරුවාව හමාර කරලාය.) දිනපතාම වාගේ හවස හත-අටේ සිට හංස පූට්ටුවේ කැටයම් කැපිල්ල සිදු වුණේය. සුපුරුදු 304 සෙල්ලම් කිරීම නතර කරන්නට වුණෙත් පෝරුව හැදිල්ල නිසාමය. ඊට සමාන්තරව තවත් වැදගත් සිදුවීමක් වුණත්, කළු අක්කලා ඒ ගැන දැනගෙන හිටියේ නැතිය. 

ලතාගේ පෝරුව උඩ- රෝහිත,කළු අයියා, නිදි හා කිංස්ලි….. 
“රංජිට මොකක්ද හැමදාම මහ රෑ වෙනකල් ඒ මිනිස්සුන්ගේ ගෙදර තියෙන රාජකාරිය?” 
“එක සැරේම දුවල දෙන්නගෙම මඟුල් දෙකම කෙරෙන්නද යන්නේ?” මට ඇහෙන්නට කසු-කුසු ගෑවුණේය. 
හිත යටින් ඒවාට හිනා වෙවී, ඒවා නෑහුණු විදිහට මා සිටි හැටි ‘සැවුළු සංහාරය’ කියවූ ඔබට මතකද?   
ඒ දවස්වල මාස කිහිපයක් එක දිගටම ඉඩෝරයකුත් අල්ලලාය. ළිංවල පතුළේ තිබුණේ බොන්නට විතරක් සෑහෙන වතුර ටිකකි. 
“අයියේ… දියවන්නාවට ගිහින් නාගෙන එන එක තමයි හොඳම වැඩේ…. පාර්ලිමේන්තුව හැදුණු හින්දා දැන් පමුණුවෙන් දිගටම පාරත් දික් වෙලානේ තියෙන්නේ….” අපේ සුනිල් කිව්වේ ඉඩෝරයෙන් වැඩියත්ම රිදිලා; බැට කාලා හිටි ‘දියබරි’ මටය!
“ඔව් ලොකා… අපිත් ගියානේ. රෙදිත් හෝදගෙන, හිතේ හැටියට නාලත් එතෑකි.” ලොකු නංගි; පුෂ්පාත් ඒ අදහසට තව මනාපයක් එකතු කළාය.

පාර්ලිමන්ට් එක හින්දා දියවන්නාව පැත්තට පමුණුවෙන් යන පාරත්………
එතකොටත් ලංකාවට ත්‍රී වීලර් ඇවිදින් නැත. අපට එහෙම ගමන් යන්නට වුණේ පා ගමනින්මය. නැතිනම් ෆුට් සයිකල්වලින්ය. සුනිල්ට තිබුණු බයිසිකලය මිනිහගේ පස්ස පැත්තේ ඇලවුණු ගමන්ම වගෙය. මට පිහිටට හිටියේ ලොකු නංගිගේ බයිසිකලයයි. එය කාන්තා බයිසිකලයකි. 
එදා උදෙන් බොරලැස්ගමුවේ කඩයට යන්නට වුණේ මටය. ලොකු නංගිට අසනීප ගතිය ඇතිවී  තිබුණු බැවිනි. “තමුසෙට ඊයෙත් ඔළුව උස්සගන්න බැහැ කිව්වා නේද?” මං හැදුවේ නෝනාවම කඩේට යවන්නටය. එතකොටත් මට කඩ කෙරුවාව එපා වෙලාය. 
එකම තැනක… එකම විදිහට….! එකම තානයක- ස්වර දෙක තුනකින් විතරක් ගැයෙන ගීතයක් වගේ නීරස රස්සාවක්….. 
“ඔව් ලොකා…. අදත් ඒ වගේ….. ඔයා ගිහින් කඩේ අරින්න…. මං පොඩ්ඩක් දවල් වෙලා එන්නං. තව පොඩ්ඩක් නිඳාගත්තම හරි යයි.” 
“මං යන්නම්. තමුසෙ පුළුවන් තරම් ඉක්මනට එනවා….”
බෙන්හර්, ටෙන් කමාන්ඩ්මන්ට්ස් චිත්‍රපට දෙකෙන් එකක්……….
හිතුවාටත් වඩා ඉක්මනින් නෝනා කඩේට ආවාය. මම එතැනින් මිදුණෙමි. 
බොරලැස්ගමුවේ සිට මහරගමට එන අතරවාරේ මගේ ඇහැ ගියේ චිත්‍රපට පෝස්ටරයකටය. ‘අනුෂා- මහරගම’ වම් කෙලවරේ උඩින්ම…. දර්ශන වේලාවන් ඊළඟටය. 
චිත්‍රපටයේ නම යටින්මය…. 
ඒ The Ten Commandments හෝ Benhur බව මට ඕනෑම තැනක දිවුරා කිව හැකිය. ඒ මා ඊට කලින් ඒ චිත්‍රපට දෙකම නරඹා තිබුණු බැවිනි. 
එකක් බැලුවේ කොල්ලුපිටියේ ‘ලිබර්ටි තියටර්’ එකේදීය. අති විශාල රිදී තිරයක් තිබුණේ එහි විතරය! අනෙක බම්බලපිටියේ මැජෙස්ටික් සිනමාවේදීය. 
මහරගම අනුෂා සිනමා ශාලාවේ තිරය දැවැන්ත එකක් නොවුණත් මොකෝ? ‘අද නයින් තර්ටි ෂෝ එක බලනවා!’ මා ගෙදර ආවේ ඒ අධිෂ්ඨානය හිතේ දරාගෙනය.
9.30 දර්ශනයට සෙනඟ අඩුය. ඊටත් වඩා ඒකට ගියාම දවසේ වැඩ පාඩු වෙන්නෙත් නැත. ඒ නිසාය මා ඒ දර්ශනයම බලන්නට පුරුදුවී හිටියේ.
“මොකද නිමල් මල්ලී, ආ පයින්ම වගේ යන්න හදන්නේ…. අද කැටයම කපන්නේ නැද්ද?” 
“කළු අක්කලාට කලින් කියන්න බැරි වෙච්ච හින්දා කියලා යන්නයි ආවේ. අද මට පික්චර් එකක් බලන්න යන්න තියෙනවා. අනුෂා එකේ. හෙට එන්නං…”

ලොකු නංගී පණ පිටින් ඉන්නවා අන්තිම වතාවට මා දුටුවේ එවෙලේය! 
එහෙම කියලා පමුණුව පාර දිගේ මහරගමට එන අතරේ මට ලොකු නංගිත්, බඩා මල්ලියා; දීපාලුත් මුණ ගැසිණි. එයාලා බොරලැස්ගමුවේ සිට එන ගමන්ය. 
“කොහෙද ලොකූ යන්නේ? මේ…. අපි දෙන්නා රටකජු ටිකක් කකා ආවේ. ආ ඔයාටත් ටිකක්….” 
ලොකු නංගී මට රටකජු මිටක් දුන්නාය. එතකොට අටහමාරට විතරය. 
මට තවමත් තැනත් වෙලාවත් විතරක් නොවේ, නංගී ඇඳගෙන හිටි ඇඳුමේ මෝස්තරයත් පාටත් මතකය. මතකය කියන
නෝනා හෙවත් අපේ ලොකු නංගී හෙවත් පුෂ්පා රංජනී දිසානායක පණ පිටින් ඉන්නවා මා දුටු අන්තිම අවස්ථාව ඒකය…………….

%d bloggers like this: