Menu Close

මුසු නොවෙන මුහුදු: Gulf of Alaska

ලෝකයේ සාගර හතක් ඇතිබව අපි ඉගෙනගෙන තියනව. හඳුනාගැනීමේ පහසුවට මිනිසුන් විසින් බෙදා වෙන්කර තිබෙනවා මිස ඇත්තටම මේ එකම සමුද්‍ර තටාකයක්. එකම ජලය නැගෙමින් බිඳෙමින් ගලමින් එහෙමෙහෙ ගමන් කරන්නේ.  මේ එකම සමුදුරු තටාකයේ  මුහුදු දෙකක් හමුවෙන මුත්, ඒවායේ ජලය එකිනෙක මිශ්‍රවන බවක් නොපෙනෙන, පැහැදිලිව වෙනස් වර්ණවලින් යුක්තව තියෙන අපුර්ව ස්ථානයක් ලෝකයේ තියෙනවා. ඒ Gulf of Alaska ලෙසින් හැඳින්වෙන පැසිෆික් සාගරයත් ආක්ටික් සාගරයත් හමුවන ස්ථානය. හරියටම කිව්වොත් උතුරු පැසිෆික් සාගරයත්, ආක්ටික් සාගරයේ බෙරින්ග් මුහුදත් හමුවන ස්ථානය.

ඉතා පැහැදිලි ලෙස දැකිය හැකි අන්දමින් සාගර දෙක හමුවන ස්ථානය පෙන නගන අතර වෙනස් වර්ණයන්ගෙන් යුක්තව පවතිනවා. ඒ අතරමැද තිරය පැහැදිලිව දක්නට තියෙනවා. මෙය වෙරල තීරයක් නොවෙන අතර මුහුද මැදදී දැකිය හැකි සංසිද්ධියක්.
මේ සඳහා හේතු දැක්වීම් මෙන්ම විවිධ මතයන්ද ලොව පුරා දක්නට ලැබෙනවා. මුලින්ම මෙවැනි චිත්තකර්ශනිය ස්ථානයක් ඇතිවීමට හේතු සොයා, ඉන් අනතුරුව අනෙකුත් මතයන්ගේ නිරවද්‍යතාව විමසමු.

මෙම මුහුදු හමුවන තිරය පිහිටන්නේ වසර 30 000 කට පෙර අයිස් යුගයේ ආසියානුවන් ඇමරිකානු මහද්වීපයට පැමිණි බෙරින්ගියා පාලම හැදුනු  රුසියාවේ සයිබීරියාව හා උතුරු ඇමරිකාවේ ඇලස්කාව අතර ප්‍රදේශයට මදක් පහලින්. ගල්ෆ් ඔෆ් ඇලස්කා ඇලස්කාවට වගේම කැනඩාවේ කොටසකටත් මායිම් වෙනවා. (ඇලස්කාව ඇමරිකාවට අයිති මුත් කැනඩාවට පමණක් භූමියෙන් සම්බන්ධ ජනපදයක්).

පිහිටීම අනුව නම් මිනිසුන් විසින් නම් කරන ලද සාමාන්‍ය සාගර දෙකක් හමුවන ස්ථානයක්. ආක්ටික් සාගරය වගේම පැසිෆික් සාගරයෙත් තියෙන්නේ මුහුදු වතුර. කිසිම ආකාරයක ගල් පරයක් හෝ වෙනත් මුහුදේ ගොඩනැගීමක් ඇත්තෙත් නැහැ.

එහෙම පැහැදිලිව පෙනෙන වෙනස්කම් ඇතිවෙන්නේ කොහොමද?
වෙනස තියෙන්නේ ජලයේමයි. ජලයේ ඇති භෞතික හා ජෛව විද්‍යාත්මක වෙනස්කම් නිසායි වර්ණ වෙනස්කමක් සහිත මිශ්‍ර නොවෙන ස්වභාවයක් පෙනෙන්නේ.  මුහුදු දෙකෙහි ඇති ජලයේ ලවණතා වෙනස, ඝනත්ව වෙනස, උෂ්ණත්ව වෙනස සහ මෙම ස්ථනයේ ඇති දියසුලිවල ස්වභාවය නිසා සිදුවන දෙයක්.

කොපර් ගංගාව 

ගල්ෆ් ඔෆ් ඇලස්කා ඉහල කොටසට ජලය ගලා එන ප්‍රධාන මගක් වන්නේ ඇලස්කාව මැදින් ගලා එන සැතපුම් 286ක් දිග කොපර් ගංගාවයි. ඇලස්කාව තුල ග්ලැසියර ඇති ප්‍රදේශයෙන් පටන්ගෙන ඛාදනය වන ග්ලැසියර් කොටස් සමග අධික ඛනිජ ප්‍රමාණයක් සහිත මැටි රැගෙනයි මෙම නදිය මුහුදට එකතු වන්නේ. බලාපොරොත්තු විය හැකි පරිදිම අධික මිරිදිය ප්‍රමාණයක් අඩංගු නිසා දකුණු දෙසින් ඇති පැසිපික් සාගරයට වඩා ලවණතාව මෙන්ම කරදිය සාන්ද්‍රණය ද අඩුයි. මෙලෙස ලවනතවයේ ඇති වෙනස නිසා ඝනත්වයද වෙනස් වෙනවා. ඝනත්වයෙන් වෙනස් නිසා ජලය එකිනෙක මිශ්‍රවීම සිදුවන්නේ අඩුවෙන්. මැටි හා අඩු ලවනතාව ඇති ජලය නිසා අඩු වර්ණයක් එම ජලයේ දැකිය හැකිවන අතර, ලවනතාව වැඩි කරදිය සහිත උතුරු පැසිෆික් මුහුද තද වර්ණයෙන් යුක්ත වෙනවා.
ජලයේ ඇති ප්ලවාංග වල වර්ණය මුහුදු ජලයේ වර්ණ වෙනසට තවත් හේතුවක්. ඉහත විස්තර කර ඇති පරිදි ලවනතාව, ඛනිජ ප්‍රමාණය ආදිය වෙනස් නිසා ඒ මත සැදෙන ශාක ගහනයන් වෙනස් වෙන අතර ඒ මත යැපෙන මුහුදු ජිවින්ද විවිධත්වයෙන් යුතු වෙනවා. නිතිපතා ගලා ආ ජලයේ ඇති ඛනිජ තැන්පත්වීම හේතුවෙන් එම කලාපය අධික පෝෂණ මාධ්‍යයක් නිසා ශාක ප්ලවාංග වැඩි ප්‍රමාණයක් වැඩෙමින් තියෙනවා. ඒ නිසා ජලය තද වර්ණයෙන් යුතුයි.  ගලා එන ග්ලැසියර ඛාදන ශීත මිරිදිය ජලයේත්, ආක්ටික් සාගරයෙන් එන ජලයේත්  ශාක ප්ලවාංග අඩු ප්‍රමාණයක් තිබීම එම ජලය වර්ණයෙන් අඩු වීමට හේතුවක්.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙක් වන මහාචාර්ය කෙන් බ්රුලන්ඩ් පවසන්නේ  ඛනිජ ප්‍රමාණයක් රැගෙන මුහුදට වැටෙන ග්ලැසියර් කොටස් ඉතා සෙමින් චලනය වන Subpolar දියවැල් සමග වාමාවර්තව චලනය වෙන අතර  ඊට පහලින් ඇති උතුරු පැසිෆික් දියවැල් චක්‍ර  දක්ෂිණාවර්තව චලනය වන බවයි. මෙලෙස ජලධාරා දිශාවන් දෙකකට චලනය වන නිසාත් එකිනෙක හා මිශ්රවීමේ අවස්ථාව අඩුවී වර්ණ වෙනස එලෙසම පවත්වාගෙන යනවා.
ඊළඟ කරුණ උෂ්ණත්ව වෙනස. ග්ලැසියර කොටස් සමග එන ජලය මෙන්ම ආක්ටික් ප්‍රදේශයෙන් එන ජලයද අනිවාර්යයෙන්ම පැසිෆික් සාගරයේ ඇති මුහුදු ජලයට වඩා උෂ්ණත්වයෙන් අඩුයි. එම උෂ්ණත්ව වෙනසත් මෙම ජල ප්‍රවාහ දෙක එකිනෙක මුසුවීම පමා කරනවා.

මුහුදු හමුවන ස්ථානයන්හි ජලය මිශ්‍ර නොවීම ගැන ඇති අසත්‍ය මත වන්නේ ලෝකය තුල ඇති මෙවැනි එකම ස්ථානය බවයි. එකිනෙකට වෙනස් ලවනතා, උෂ්ණත්ව ඇති ඕනෑම සමුද්‍ර දෙකක් හමුවන තැනක මේ ආකාරයේ වර්ණ වෙනසක් හා ජලය එකිනෙක මුසු නොවීමේ ස්වභාවයක් දකින්නට පුළුවන්. අත්ලාන්තික් සාගරය හා මධ්‍යදරණි මුහුද හමුවන ජිබ්රෝල්ටා සන්ධිය එයින් එකක්.
ජලය  මිශ්‍ර නොවෙනවා යන්න අනෙක් සත්‍ය නොවෙන කරුණයි. විවිධ හේතු නිසා ජලය එකිනෙක මිශ්‍ර වීමට මැලි බවක් දැක්වූවත් එකිනෙක හමුවන ස්ථාන නිරතුරු චලනය වෙමින් පවතින අතර ජලය මිශ්‍ර වී සමුදුරු දියවැල් ඔස්සේ විවිධ දිශාවන්ට ගමන් කරනවා.
පින්තුරවල දකින්නට ඇති පරිදි ස්ථිර රේඛාවක් ලෙස නොවෙනස්ව මෙම තීරුව පවතින්නේද නැහැ.  ජල තරඟවල වේගය අනුව එහෙ මෙහෙ යමින්, සමහරවිට හඳුනාගත නොහැකි ලෙස ජල වර්ණ මිශ්‍ර වෙනවා..

බොහෝ ලිපි ආදියේ සඳහන් වෙන්නේ මෙය අත්ලාන්තික් හා පැසිෆික් සාගර හමුවන තැනක් ලෙස වුවත් එය එසේ නොවෙන බව ලෝක සිතියමක් දෙස බැලීමෙන් පැහැදිලි කරගත හැකියි. අත්ලාන්තික් හා පැසිෆික් සාගර හමුවන්නේ දකුණු ඇමරිකා මහාද්වීපයේ චිලි රටට අයත් කෙලවර තුඩක් වැනි කේප් හෝන් වලට පහලින් පමණයි. ඒ මන:කල්පිත සීමාව කේප් හෝන් සහ ඇන්ටාක්ටිකාව සම්බන්ධ කරන ඍජු රේඛාවකි. එතන මෙවන් සාගර වෙන්කර හඳුනාගත හැකි ලකුණක්  පියවි ඇසින් දකින්නට ලැබෙන්නේ නැහැ.

උදව්:
http://ccom.unh.edu/theme/law-sea/gulf-alaska-margin-obliques
https://www.youtube.com/watch?v=NA5-XGcj0LQ
www.truthorfiction.com/two-oceans-meet-but-do-not-mix-in-the-gulf-of-alaska/
https://earthobservatory.nasa.gov/images/83754/springtime-in-the-gulf-of-alaska
researchgate.net/figure/Gulf-of-Alaska-region-geography-and-location-of-previous-DSDP
https://blogpatagonia.australis.com/

%d bloggers like this: