Menu Close

ගමනාගමන කොමිසමෙන් නිවේදක තෝරයි!

රූපවාහිණී සුලභ වෙන්න කලින් යුගයේ ගුවන් විදුලියේ ජනප්‍රිය සංගීත වැඩ සටහන් දෙකක් වුනේ “අසන්නන්ගේ ඉල්ලීම්” හා  “නිවේදක තෝරයි”. ආර්ථික විද්‍යා වචන වලින් කියනවානම්  මේ දෙකෙන් පළමුවැන්නේදී ඉල්ලුම් සාධක වලටත්, දෙවැන්නේදී සැපයුම් සාධක වලටත් ප්‍රමුඛතාවය ලැබුණා.

නමෙන් කියන විදිහටම “නිවේදක තෝරයි” වැඩ සටහනක ගීත තේරුවේ අදාළ වැඩ සටහනේ නිවේදක විසිනුයි. එයින් වෙනස්ව “අසන්නන්ගේ ඉල්ලීම්” වැඩ සටහනේදී රසිකයින්ගේ කැමැත්තට ඉඩක් ලැබුණා. වැඩ සටහනක නිවේදකයා කිසියම් නිශ්චිත පුද්ගලයෙක් වූ නිසා “නිවේදක තෝරයි” වැඩ සටහනෙන් පිළිබිඹු වුනේ කිසියම් තනි පුද්ගලයෙකුගේ රුචිකත්වය. ඒ නිසා, “නිවේදක තෝරයි” ගීත තේරුණේ ඒකාධිකාරයක් යටතේ කියා කියන්න පුළුවන්.

මෙයින් වෙනස්ව “අසන්නන්ගේ ඉල්ලීම්” ගීත තේරුණේ තරඟකාරී පදනමකිනුයි. ඒ වුනත්, ප්‍රායෝගිකව “අසන්නන්ගේ ඉල්ලීම්” ගීත තේරීම සිදු වුනේ කතිපයාධිකාරී පදනමක කියා කියන්න පුළුවන්. මේ ගීත ඉල්ලා සිටි පිරිස සීමිත පිරිසක් වූ නිසා ඒ අතර සිටි ගාමා ගාමිණී සුබසිංහ, පත්මාවෝ මහේෂ්වරී, පර්ල් අයිරින් වගේ නම් නිතරම කියැවුනා. “අසන්නන්ගේ ඉල්ලීම්” යටතේ වුවත්, “නිවේදක තෝරයි” යටතේ වුවත්, ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ගීත අහන්න සිදු වුනේ ඒ ගීත වලට කැමති අයට පමණයි.

කලක සිටම ලංකාවේ පෞද්ගලික බස් මගීන්ට බොහෝ විට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සිංදු අහන්න සිදු වී තිබුණා. අද සිට මේ ගීත තෝරා දීමේ කාර්යයත් කරන්නේ ආණ්ඩුවෙනුයි. ජාතික ගමනාගමන කොමිසම විසින් අද (2020 ජනවාරි 01) දින සිට ක්‍රියාත්මක වන පරිදි “මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක්” හඳුන්වා දීමට නියමිත අතර ඊට අමතරව බස්රථයේ ගමන්ගන්නා මගීන්ට වැදගත් වන පණිවුඩ රැසක් සහිත විඩීයෝ පට හඳුන්වා දීමට ද පියවර ගෙන තිබෙනවා. මේ අනුව, අද සිට ලංකාවේ බස් මගීන්ට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ආණ්ඩුව කැමති ගී අහන්න සිදු වෙනවා.

ජාතික ගමනාගමන කොමිසම කියන ආකාරයට ඔවුන් මෙය කරන්නේ “අසන්නන්ගේ ඉල්ලීම්” අනුවයි. එම කොමිසම විසින් සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් මගී ජනතාවගෙන් 15,000ක නියැදියක් ආශ්‍රිතව සිදුකරන ලද අධ්‍යයනයක් අනුව එකී සියලුම දෙනා සියයට 100 ක්ම දැනට එම බස්රථවල අධික ශබ්දයෙන් යුතුව වාදනය කරන ගීත තමන්ට මහත් හිරිහැරයක් හා කන්කරච්චලයක් බව ප්‍රකාශ කර ඇති බව කියනවා. මේ අනුව, “අසන්නන්ගේ ඉල්ලීම්” මත ගීත තේරීම වෙනුවට ආණ්ඩුවේ තේරීම වී තිබෙන්නේ “නිවේදක තෝරයි” ක්‍රමයයි. නිවේදක රාජකාරිය කරන්න ආණ්ඩුව විසින් විද්වත් මණ්ඩලයක් යොදා ගැනීමට නියමිතයි.

මෙතෙක් කල් ලංකාවේ බස් රථ වල ප්‍රචාරය කෙරෙන ගීත නියාමනයකට ලක් වුණේ නැහැ. එහෙත්, මේ ගීත තේරුණේ එම බස් රථවල රියදුරු කොන්දොස්තරවරුන්ගේ රුචිකත්වය මත මිස බස් මගීන්ගේ රුචිකත්වය මත පදනම්ව නෙමෙයි. ආණ්ඩුවට මැදිහත් වීමට අවකාශයක් ලැබී තිබෙන්නේ මේ රියදුරු කොන්දොස්තරවරුන්ගේ හා බහුතර බස් මගීන්ගේ රුචිකත්වයන් අතර තිබෙන නොගැලපීමයි.

ලංකාවේ පෞද්ගලික බස් රථ වල නිතර ප්‍රචාරය වූ නිසාම “බස් සිංදු” ලෙස හඳුනා ගැනෙන ගීත කාණ්ඩයක් තිබෙනවා. මේ ගීත වලට පොදු ලක්ෂණ ගණනාවක් තිබෙනවා. බස් රථයේ හා පාරේ ඝෝෂාවන් නිසා හෝ බසය තැනින් තැන නවත්වද්දී හඬ අඩු වැඩි වීම් නිසා මේ සිංදු වල ගලා යාමට බාධාවීම ලොකු ප්‍රශ්නයක් නොවීම මූලික ලක්ෂණයක්. විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය යුතු සුභාවිත ගීත කියා හඳුන්වන ගීත ඔය විදිහට වාත වෙවී අහන්න අමාරුයි. අමරදේවගේ “උකුළ ළම හස මලවි කරළිය” වාදනය වෙද්දී කොන්දොස්තර මළයා “ඔටුවා පිටෝටුවා” කියලා කෑගහන එකත් අහන්න වුනොත් ඒක හරියට ලුණුමිරිස් එක්ක අයිස්ක්‍රීම් කනවා වගේ වෙන්න පුළුවන්. ඒ නිසා, මේ වැඩෙන් අන්තිමට ඔය සුභාවිත සිංදු කියන ඒවත් බස් සිංදු ගාණටම වැටෙන්න පුළුවන්.

ආණ්ඩුව කැමති ගී ගැන ඉතා ඉක්මණින් දැනගන්න ලැබෙයි. පහතින් තියෙන්නේ බස් සිංදු සේ හඳුනාගත හැකි ගීත කිහිපයක්.

1. සුදු අරලියා මල – අජිත් මුතුකුමාරණ

2. තනමල්විල මල් පිපුණත් – චාමර වීරසිංහ

3. වෙන් වී ගියත් පෙරදා – රුවන් හෙට්ටිආරච්චි

4. මට දුන්න දුක් ගින්න -දමිත් අසංක

5. මගෙ දුප්පත් ඇස් දෙක – චාමික සිරිමාන්න

6. ඩේලියා මලෙන් – කිංස්ලි පීරිස්

7. පාසැල් බිමේ හමු වූ – අජිත් මුතුකුමාරණ

%d bloggers like this: