Menu Close

අලුත් අවුරුද්ද අලුත් කරවන අලුත් සිතිවිලි

2020 අලුත් අවුරුද්ද උදා වෙන්නේ අලුත් බලාපොරොත්තු රැසක් එක්ක. හැමෝටම තම තමන්ගේ ජීවිත වල අලුත් අරමුණු, අලුත් බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පෞද්ගලිකව වෙහෙස මහන්සියෙන් වැඩ කරන අතරේම රටක් විදිහට සමාජයක් විදිහටත් අලුත් වෙන්නෙ කොහොමද, ඒ වෙනුවෙන් අපි මොකක්ද කළ යුතු කියන කාරණයටත් අවධානය යොමු කරන්න අවශ්‍යයි. කලා ක්ෂේත්‍රයේ හිතවතුන් කිහිපදෙනෙකුගෙන් අපි මේ ගැන අදහස් විමසීමක් කළා.

මුලින්ම අපිට අදහස් දැක්වූයේ මාධවී වත්සලා ඇන්තනි.

අලුත් අවුරුද්දට අපි හැමෝම එන්නෙ තරමක් වෙනස් පරිසරයක. මම එහෙම කියන්නෙ අපිට පේන්න තියෙන දෙයක් තමයි අලුත් පිබිදීමක් ඇතිවෙලා කියන එක. විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ. ආකල්පමය අතින් පිබිදීමක් අපට දකින්න ලැබෙනවා. නව නිපැයුම්, නිර්මාණශීලි සොයාගැනීම් කරනවා. විභාග ඉහළින් ජයග්‍රහණය කරනවා. දේශීයව වගේම ජාත්‍යන්තරවත් ක්‍රීඩාවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉන්නවා. ඉතින් මේ සේරමත් එක්ක 2019 අවසන් වෙන්නෙම ජයග්‍රාහි වටපිටාවක කියලයි මට දැනෙන්නෙ. ඉතිං මේ පිබිදීම හරහා තරුණ පරම්පරාවේ ආකල්ප සුබවාදී විදිහට වෙනස් වෙලා රටට වඩා යහපත් හෙට දවසක් උදාවෙයි කියල විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. අපි හැමදාම කරන්නෙ අපිට එක නැහැ, මේක නැහැ, කියමින් පාලකයින්ට චෝදනා කරමින් ඔවුන්ව විවේචනය කරමින් ඉන්න එකනෙ. මම කියන්නේ එහෙම විවේචනය නොකළ යුතුයි කියල නෙමෙයි. නමුත් ඒ අතරතුර අපි පුරවැසියෝ විදිහට අපේ යුතුකම් කොටසත් ඉටු කරන්නම ඕනේ. එහෙම නැතුව රට ඉදිරියට ගෙනියන්න බැහැ. එක රටක් එක ජනතාවක් කියන හැඟීමෙන් අපි රට වෙනුවෙන් වැඩකළ යුතුයි. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිද්ද වුන එක හොඳ දෙයක් තමයි අපේ රටේ සෑම ජනවර්ගයකටම අයත් පුරවැසියන් ජාතිකත්ව සංකල්පය එක්ක අලුත් ගමනක් යන්න පෙළඹීම. එක ජාතියක් ඒ කියන්නෙ ශ්‍රී ලාංකික ජාතිය විදිහට ඉදිරියට යන්න උත්සාහ කිරීමම, ඒ ආකල්පමය වෙනස්ම හරිම සුබවාදියි. ඒ නිසා මම හිතන්නේ නම් අපේ ඉදිරිය සුබවාදියි. ඒ ගමන නොනවත්වා යන්න එකමුතුව එක්සිත්ව වැඩ කරමු කියලයි මගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනය.

ශේෂද්‍රි ප්‍රියසාද් අලුත් අවුරුද්ද ගැන කිවුවේ මෙහෙම අදහසක්.

අලුත් අවුරුද්දක් උදාවෙන්නේ අලුත් බලාපොරොත්තු එක්ක තමයි. හැබැයි එහෙම උනත් අපිට පරණ අවුරුද්දෙ නැත්නම් පරණ අවුරුදු වල ලැබුන අත්දැකීම් අමතක කරන්න බැහැනෙ. ඉතිං මට කියන්න තියෙන්නෙ මෙන්න මෙහෙම අදහසක්. අපට ලැබෙන අත්දැකීම් හැම වෙලාවකම හොඳ සුන්දර ලස්සන් දේවල්ම නෙමෙයි. ජිවිතේ කියන්නේම දුක සැප දෙකම තියෙන එකක්නෙ. ඉතිං අපට කණගාටුදායක, අසුබවාදී අත්දැකීම් වලටත් මුහුණදෙන්න සිද්දවෙනවා. නමුත් ඒ දේවල් අපි බාරගන්නේ කොහොමද කියන එක තමයි වැදගත්. ඒ හැම දෙයක්ම වෙන්නේ හේතුවක් ඇතුවයි කියල මම හිතනවා. අපි අද දුකක් කරදරයක් කියල හිතෙන දෙක වුනත් පසුකාලීනව යම් පාඩමක් කියාදුන්නා දෙයක් නේද කියල හිතෙන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා “Everything happen for a reason” කියන සංකල්පය. ඉතිං අලුත් අවුරුද්දේ මට කියන්න තියෙන්නේ සිද්දවෙන හැම දෙයක්ම ලැබෙන හැම අත්දැකීමක්ම ජිවිතයට පාඩමක් කියල හිතන්න පුරුදු වෙමු. ඒ හැම දෙයක්ම සුබවාදී විදිහට දකින්න පුරුදු වෙමු. එහෙම වුනොත් ජිවිතේ පහසුවෙයි. මේ අලුත් අවුරුද්ද විතරක් නෙමෙයි එළඹෙන හැම අවුරුද්දක්ම සුබ වෙයි.

අලුත් අවුරුදු බලාපොරොත්තු ගැන අහන්න අපි දුලීකා මාරපන රංගන ශිල්පිනියටත් කතා කළා.

2020 කියන්නේ වෙනස්ම වරක්. ඒ ඉලක්කම වුනත් පොඩි වෙනසක් තියෙනවනෙ. ඉතිං මේ අලුත් ඒ වගේම වෙනස් අවුරුද්දේ තමන්ගේ පෞද්ගලික ජිවිතේ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්නවා වගේම රටක් විදිහට පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන්නත් අදිටන් කරමු කියන යෝජනාව රටවැසි හැමෝටම කරන්න මම කැමතියි. මේ රටේ ආර්ථිකය මීට වඩා යහපත් වෙන්න ඕනෙ, අධ්‍යාපනය දියුණු වෙන්න ඕනෙ. මේ සියල්ලම වෙන්න ඕනේ සමානාත්මතාවකින් යුතුවයි. හැමෝටම එක සමානව සාධාරණව සලකන රටක් තමයි අපේ බලාපොරොත්තුව විය යුත්තේ. මේ කටයුත්ත රජයකට හෝ එක පුද්ගලයකුට තනියම කරන්න බැහැ. අපි හැමෝම තනි තනි පුද්ගලයෝ විදිහට අපේ යුතුකම් ඉටු කරන්න අවශ්‍යයි. විශේෂයෙන් ගහකොළට මහපොළවට සතුන්ට ආදරය කරන්න, අනිකාට ගෞරව කරන්න, අනිකාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න, මොකක් හරි සිස්ටම් එකක් මේන්ටේන් කරන තැනක ඒක නිසි පරිදි අනුගමනය කරන්න වගේ තම තමන් අතින් විය යුතු දේවල් ටික ඉටු කරන්න කියන එක හිතට ගන්නම වෙනවා. අපි අපිම මේ කටයුත්ත පටන් ගත්තහම තමයි ඒවා ව්‍යාප්ත වෙලා ගිහින් රටේම පැතිරෙන්නේ. ඒ නිසා අලුත් අවුරුද්දේ අලුත් වෙන්න, වෙනස් වෙන්න අපි අපිම පටන් ගමු. වඩා යහපත් හෙටදවසක් වෙනුවෙන් අපේ යුතුකම් කොටස නිසියාකාරව ඉටු කරන්න හිතාගමු. සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා..! ආයු බොහෝ වේවා..! කියල මම ප්‍රාර්ථනා කරනවා.

 

Share

%d bloggers like this: