Menu Close

ආර්එම්වී එකට සේවකයෝ මදිද?

ජනාධිපති රාජපක්ෂ විසින් හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදෙන්න තෝරාගත් මුල්ම තැනක් වුනේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි. කවුරුත් දන්න බාසාවෙන් ආර්එම්වී එක. මෙය අහම්බයක් නෙමෙයි. ලංකාවේ රජයේ ආයතන වල සිදුවන අක්‍රමිකතා ගැන කතා කරන අයට මුලින්ම මතක් වෙන්නේ රේගුව, ආර්එම්වී එක වගේ තැන්. මම කියන කතාවක් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ විසින්ම මේ කතාව කියනවා. ගෝඨාභය ආර්එම්වී එකට හදිසියේ යන්න ඇත්තේ කාටවත් හදන්න බැරි, අමාරු තැනින් වැඩේ පටන් ගන්නවා කියලා හිතලා වෙන්න ඇති.

ආර්එම්වී එක කියන්නේ ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙකුට තේරුම් ගන්න බැරි තරම් අමාරු සංකීර්ණ වැඩ ගොඩක් සිදු වෙන තැනක් නෙමෙයි. ඒ නිසා, ආර්එම්වී එකේ සේවකයින්ට ගෝඨාභයව අන්දන එක ටිකක් අමාරු වැඩක්. ඔවුන් ඉදිරිපත් කරපු සමහර නිදහසට කාරණා වලට ගෝඨාභය වහාම අනෙක් අතට පිළිතුරු දුන්නා. ඔහු ආර්එම්වී එකේ වැඩ කෙරෙන විදිහ දිහා බැලුවේ පාරිභෝගිකයාගේ පැත්තේ හිටගෙනයි.

ගෝඨාභයගේ විසිට් එක නිසා ආර්එම්වී එකේ වැඩ කටයුතු සිදු වන ආකාරය ගැන පිටත සිටින කෙනෙක්ට සෑහෙන අවබෝධයක් ලබා ගන්න අවස්ථාව සැලසුණා. මේ වෙද්දී ආර්එම්වී එක එහි කටයුතු සෑහෙන ප්‍රමාණයක් ස්වයංකරණය කර ඇති බව පේනවා. බොහෝ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය කාර්යාල වලින් අන්තර්ජාලය හරහා ලබා ගන්නා බවත්, දත්ත පරිගණකගත කිරීම සඳහා යතුරු පුවරු භාවිතා නොකර මෘදුකාංග ඇසුරෙන් ස්කෑන් ඡායාරූප වල අකුරු හඳුනා ගත හැකි තරමට ආර්එම්වී එකේ තාක්ෂණික යටිතලපහසුකම් වැඩි දියුණු වී ඇති බවත් පෙනෙන්න තිබෙනවා.

මේ සියල්ල වෙනුවෙන් පසුගිය කාලයේ සැලකිය යුතු මහජන මුදල් ප්‍රමාණයක් ආයෝජනය කෙරෙන්න ඇති. එය නරක දෙයක් නෙමෙයි. ගෝඨාභය වුනත් ආර්එම්වී එකට එනකොට හිතාගෙන එන්න ඇත්තේ තාක්ෂනය යොදාගෙන කාර්යක්ෂමතාව ඉහළ දැමීම ගැන වෙන්න පුළුවන්. කොහොම වුනත් විසිට් එකෙන් පස්සේ ගෝඨාභය ආපහු යන්නේ ආර්එම්වී එකට තවත් සේවකයින් අනුයුක්ත කළ යුතු බව තීරණය කරගෙන බව පේනවා. ඒ කියන්නේ ඉන්න සේවකයෝ ටිකට මීට වඩා දෙයක් කරන්න අමාරු බව ඔහුට ඒත්තු ගන්වන්න ආර්එම්වී එකේ සේවකයින් සමත් වී තිබෙනවා.

අවශ්‍ය තරමට යටිතල පහසුකම් තියෙද්දී, ඇතැම් වැඩ පෞද්ගලික සමාගමකට අවුට්සෝස් කරලත් තියෙද්දී, පාරිභෝගිකයින්ට අවශ්‍ය මට්ටමේ සේවයක් සැලසෙන්නේ නැත්නම් කරන්න තියෙන්නේ තවත් සේවක පිරිස් අනුයුක්ත කරන එක කියලා ගෝඨාභයට හිතෙන්න ඇති. ඇත්තටම කියනවානම් වීඩියෝව බලමින් මනසින් ගෝඨාභය එක්ක ආර්එම්වී එකේ නිරීක්ෂණ චාරිකාවට සහභාගී වන ඕනෑම කෙනෙකුට ඕක හිතෙනවා.

කියන විදිහට එක සේවකයෙක් දවසකට ෆයිල් දෙසීයක් විතර ගොඩ දානවලුනේ. ගෝඨාභයනම් සමහර දවස් වල ෆයිල් දාහක වැඩ ඉවර කළා කියනවා. ඒ කියන්නේ ෆයිල් එකක වැඩ ඉවර කරන්න මිනිත්තුවක්වත් අරගෙන නැහැ වගේ. අනේ මන්දා! කොහොම වුනත් දවසකට ෆයිල් දෙසීයක් කියන්නේ ටිකක් ලොකු ගාණක්.

ආර්එම්වී එකේ ප්‍රශ්නය සේවකයෝ මදිකමද?

ආර්එම්වී එකේ ඉන්න මුළු සේවකයින් ගණන 876ක්. දෙපර්තමේන්තුවේ වියදම් වෙනුවෙන් 2019 වසරේදී වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 4,129ක්. 2018 වසරේදී වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 3,383ක්. මුළු වියදමෙන් 20%ක් පමණ වැය වී තිබෙන්නේ සේවක වැටුප්, අතිකාල දීමනා ආදිය වෙනුවෙන්.

මේ සේවකයින් විසින් අවුරුද්ද ඇතුළත කරල තියෙන වැඩ මොනවද?

ආර්එම්වී එකෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ පහත කටයුතු තුනයි.
– අලුත් වාහන ලියාපදිංචි කිරීම
– පාව්ච්චි කළ වාහන විකිණීමේදී අයිතිය වෙනස් කිරීම
– රියදුරු බලපත් නිකුත් කිරීම

ආර්එම්වී එකෙන් කෙරෙන වෙනත් කටයුතු බොහොමයක් ඉහත කටයුතු තුනටම සම්බන්ධ කටයුතුයි. මගේ අවබෝධය අනුව ඊට අමතරව ආර්එම්වී එකෙන් කෙරෙනවානම් කෙරෙන්නේ ඉතාම සීමිත කාර්යයන් ටිකක් පමණයි.

පසුගිය 2018 වසර ඇතුළත ආර්එම්වී එකෙන් අලුත් වාහන 479,340ක් ලියාපදිංචි කරලා තිබෙනවා. ඊට අමතරව වාහන හිමිකම් පැවරීම් 666,752ක් කරලා තිබෙනවා. රියදුරු බලපත් 806,600ක් අලුතෙන් නිකුත් කර හෝ අලුත් කරලාත් තිබෙනවා. මේ ටික කරලා තිබෙන්නේ සේවකයින් 876 දෙනෙක් විසින් කියා සැලකුවාම අවුරුද්දක් ඇතුළත එක සේවකයෙක් විසින්,
– රියදුරු බලපත් නිකුත් කිරීම් 921ක්;
– අලුත් වාහන ලියාපදිංචි කිරීම් 547ක්; සහ
– වාහන හිමිකම් පැවරීම් 761ක් ලෙස සාමාන්‍ය වශයෙන් ගණුදෙනු 2,229ක් කරලා තිබෙනවා. මේ ගණනය කිරීමේදී මේ කටයුතු වෙනුවෙන් හවුල් කරගෙන තිබෙන මෙට්‍රොපොලිටන් සමාගමේ සේවකයින් එකතු කරලා නැහැ. පෙනෙන විදිහට ප්ලාස්ටික් කාඩ්පත් මුද්‍රණය කිරීම කරන්නේ ඒ අයයි.

දැන් ප්‍රශ්නය මේ වැඩ ප්‍රමාණය මහා විශාල වැඩ කන්දරාවක්ද කියන එකයි. වෙනත් තැනක් සමඟ සැසඳීමක් නොකර මේ ගැන නිගමනය කරන්න අපහසු නිසා මම ඇමරිකාවේ දත්ත දිහා බැලුවා. ඇමරිකාව ලංකාවට වඩා ගොඩක් විශාල රටක් නිසා මම ලංකාව සමඟ සැසඳිය හැකි ඇමරිකාවේ ප්‍රාන්තයක් තෝරා ගත්තා.

මා තෝරාගත් ඉන්දියානා ප්‍රාන්තයේ මෝටර් රථවාහන කාර්යාංශයේ එහෙමත් නැත්නම් බීඑම්වී එකේ සේවකයින් 1,564 දෙනෙකු ඉන්නවා. ඔවුන් විසින් පසුගිය 2018 වසර ඇතුළත අලුත් වාහන 933,108කට ඔප්පු නිකුත් කර තිබෙනවා. වාහන ලියාපදිංචි කිරීම් 7,335,106ක් කරලා තිබෙනවා. රියදුරු බලපත් (රිය පුහුණුවීමේ බලපත් හා ප්‍රාන්ත හැඳුනුම්පත්ද ඇතුළුව) 2,277,845ක් අලුතෙන් නිකුත් කර හෝ අලුත් කරලාත් තිබෙනවා. කරලා තිබෙන සියළුම ගණුදෙණු ප්‍රමාණය 13,806,802ක්.

මේ අනුව අවුරුද්දක් ඇතුළත එක සේවකයෙක් විසින් ගණුදෙනු 8,828ක් කරලා තිබෙනවා. ලංකාවේ ප්‍රමාණය මෙන් හතර ගුණයක්. ඉන්දියානා බීඑම්වී එකේ වැඩ ලංකාවේ ආර්එම්වී එකේ වගේ පෞද්ගලික සමාගම් වලට අවුට්සෝස් කරලත් නැහැ. මේ සියලු වැඩ කටයුතු කරන්නේ බීඑම්වී සේවකයින් විසින්මයි. මීට අමතරව ඉන්දියානා බීඑම්වී එකේ සේවකයින් විසින් පසුගිය වසර ඇතුළත පාරිභෝගිකයින්ගේ දුරකථන ඇමතුම් 1,809,244කටත් පිළිතුරු දී තිබෙනවා. බීඑම්වී එකට පැමිණි පාරිභෝගිකයෙකුට වැඩේ කර ගන්න ගත වී තිබෙන සාමාන්‍ය කාලය මිනිත්තු 18කුත් තත්පර 37ක් පමණයි.

ඇමරිකාවේ රජයේ කාර්යාල බොහොමයකම පාරිභෝගිකයින්ට තමන්ට ලැබුණු සේවාවේ තත්ත්වය ගැන දැනුම් දෙමින් බොත්තමක් එබීමේ අවස්ථාව තිබෙනවා. පිටවීමේ දොරටුව අසළ තිබෙන කොළ පාට හිනා මූණු බොත්තම හෝ රතු පාට ඇඹුල් වූ මූණ ඔබා ගෙන යන එකයි කරන්න තියෙන්නේ. ඇමරිකාවේ තිබෙන මේ මූණු බොත්තම් එබීම ගැන හොඳින් දන්නා ගෝඨාභය විසින් ආර්එම්වී එකට පැමිණ සිටින අයගෙන් අහන්නෙත් මේ මූණු ප්‍රශ්නයයි. හොඳ සන්නිවේදකයෙක් නොවන ඔහුට ප්‍රශ්නය හරියටම කටට එන්නේ නැහැ. ඉන්දියානා බීඑම්වී එකට පැමිණි පාරිභෝගිකයින්ගෙන් 96.83%ක්ම තමන්ට ලැබුණු සේවාව ගැන සතුටු වන බව පවසා තිබෙනවා.

ලංකාවේ ආර්එම්වී එකට එන කෙනෙකුට අඩුම වශයෙන් පැය තුන හතරක්වත් රස්තියාදු වෙන්න වෙන බව පේන්න තිබෙනවා. ඇමරිකාවේ මේ වැඩේ මිනිත්තු 18ක් ඇතුළත වෙන්නේ තාක්ෂනය වැඩිපුර යොදාගන්නා නිසානම් නෙමෙයි. ලංකාවේ තාක්ෂනය පේන හැටියට වඩා දියුණුයි. ඇමරිකාවේ බීඑම්වී සේවකයින් දත්ත පරිගණකයට ඇතුළු කරන්නේ යතුරු පුවරුව යොදාගෙනයි. ලංකාවේ ඇතැම් තොරතුරු කෙළින්ම ස්කෑන් කිරීමේ පහසුකම තිබෙන බව පේනවා. එහෙමනම් ලංකාවේ අකාර්යක්ෂමතාවයට හේතුව කුමක්ද?

මම හිතන විදිහට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව සුළු වැඩක් පවා කරන්න නිලධාරීන් හත් අට දෙනෙකු සම්බන්ධ වීම. පෝරමය නිකුත් කරන්න එක්කෙනෙක්. මුදල් ගන්න තව කෙනෙක්. ලිය කියවිලි පරීක්ෂා කරන්න තවත් කෙනෙක් ආදී වශයෙන්. ඉතින් පාරිභෝගිකයා කවුන්ටරෙන් කවුන්ටරේට යන්න ඕනෑ. ඇමරිකාවේදීනම් ඔය කටයුතු සියල්ලම කරන්නේ එකම නිලධාරියා විසිනුයි. යම් හෙයකින් දෙවැන්නෙක් වෙත යා යුතුනම් එසේ යන්නේ එම නිලධාරියා මිස පාරිභෝගිකයා නෙමෙයි. ලංකාවේ ගොඩක් රාජ්‍ය ආයතන වල අකාර්යක්ෂමතාවයට හේතුව ඉංග්‍රීසින්ගෙන් ලැබුණු, දැන් ඔවුනුත් වෙනස් කරගෙන තිබෙන මේ ක්‍රමවේදයයි. මෙය වෙනස් විදිහටකට වෙන තැනක් ලෙස රාජ්‍ය බැංකුද ඇතුළු ලංකාවේ බැංකු පෙන්වන්න පුළුවන්. ලංකාවේ බැංකු වල සාපේක්ෂ කාර්යක්ෂමතාවයට මෙය ප්‍රධාන හේතුවක්.

ආර්එම්වී එකේ අකාර්යක්ෂමතාවයට දෙවන හේතුව ලෙස මට පෙනෙන්නේ පරිගණක ඇසුරෙන් ස්වයංක්‍රීය ලෙස ලබා ගන්නා තොරතුරු නිලධාරියෙකු හෝ කිහිප දෙනෙකු විසින් නැවත පරීක්ෂා කරන්නට යාම. කිසියම් ක්‍රියාවලියක් පරිගණකගත කළාට පස්සේ නැවත එය පුද්ගලයෙකු විසින් පරීක්ෂා කරන්න යාම අනවශ්‍ය වැඩක්. එහෙම වෙනවානම් කොතැනක හෝ වැරැද්දක් තිබෙනවා.

මේ අඩුපාඩු දෙක හදා ගත්තොත් ආර්එම්වී එකේ දැනට ඉන්න සේවකයින් ප්‍රමාණය ඕනෑවටත් වැඩි වෙයි කියන එක මගේ අදහසයි.

අවුරුද්දත් ඉවරයිනේ. හැමෝටම සුබ නව වසරක්!

(Image: https://srilankamirror.com/news/15512-another-scam-at-rmv-this-time-4-billion)

%d bloggers like this: