Menu Close

අප අසන, දකින අවකාශ(ය) මත අනෙකාගේ බලය: බස් ගීත

(2019 ‍දෙසැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

වසර තුන හතරකට පෙර, කොළඹ පිහිටි පර්යේෂණ ආයතනයක සේවය කළ සමයේ මගේ දෛනික ප්‍රවාහන සේවය බවට පත්ව තිබුණේ බස් රථයයි. දිනපතා සේවා ස්ථානය සඳහා මහරගම සිට කොළඹ දක්වා 138ක හෝ 120ක හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ආ ගිය මම සති අන්තය එළඹෙද්දී බොහෝ විට පුත්තලම් පාරේ දිවෙන බස් රථයකින් අඹු දරුවන් දකිනු වස් අනුරාධපුරය බලා ගියෙමි. කිලෝ මීටර කිහිපයක් වූ මහරගම සිට තුම්මුල්ල හන්දිය තෙක් යෙදුණු මගේ ගමන, බොහෝ විට අධික වාහන තදබදය සහිත සවස් වරුවක පැයක් ඉක්මවූ ගමනක් වූ අතර, සති අන්තයේ එළඹෙන අනුරාධපුර ගමන පැය 5ක හෝ 6ක එකක් විය. වසර එක හමාරක පමණ කාලයක් නිරතුරුව යෙදුණු මෙම ගමන් වාර සියල්ලේදීම මගේ දෙසවන පිරවූයේ ‘බස්‘ ගීතයයි! එම ගීත මා කිසිසේත් ඇසීමේ අරමුණින් නොසිටි මෙන්ම ඇසීමට ප්‍රිය නොකළ ගීත වූ අතර ඒවා මගේ සවන් වෙත යොමු වී තිබුණේ ද මා ගීත අසන්නට කැමති හඬ මට්ටම් ඉක්මවූ කලාපවල තබා ය. දෙසවන් මත දෝංකාර දුන් එම ගීත බොහෝ විට පැයක් පමණ වූ මහරගම-තුම්මුල්ල ගමන කෙළවර වන තුරුමත්, පැය 5-6ක් වූ කොළඹ – අනුරාධපුර ගමන කෙළවර වන තුරුමත් ඇසිණි. එසේම බසයෙන් බැස සෑහෙන වෙලාවක් දෙසවන තුළ රැව් දිනි.

අප වෙත ‘බලෙන් අස්සවන‘ මේ ගීත ‘බස් ගීත‘ ලෙස වැඩි දෙනෙකු අතර ප්‍රචලිත වී තිබුණේ ද, සංදර්ශන වේදිකා සහ සැබවින්ම එම ගීතවලට රුචි පිරිස් අතර දී මිස වෙනත් තැනෙක ඒ ගීත අසන්නට නොලැබුණු නිසා විය යුතු ය. ඒවා පොදු අවකාශවලට පැමිණියේ බස් රථවල, ‘වෙනම සවිකර තිබුණු‘ ස්පීකර් පද්ධති හරහා ය. මම යටකී කොළඹ-අනුරාධපුර දිගු ගමන්වලට පොදු ප්‍රවාහනය භාවිතා කරන කාලය වන විට බස් රථවල ඉදිරිපසට විශාල පැතලි තිර රූපවාහිනී ද එක්ව තිබුණු අතර අදාල ගීත සඳහා තැනූ රූප රචනා හා/හෝ සංදර්ශන වේදිකාවල ඒවා ගැයුණු අවස්ථාවල වීඩියෝ දර්ශන එම තිරවල දකින්නට ද සලස්වා තිබිණ. මෙම ‘බස් ගීත‘ ඇස්සවීම හා සමග බැලවීම මුලින් හමුවූයේ පෞද්ගලික බස් රථවල පමණක් වුවත්, ලංගම සඳහා වූ එකම අඩුපාඩුව එය යැයි හඳුනාගත් පරිදිදෙන් කල් යා නොදී රතු පැහැ ලංගම බස් රථවලට ද බස් ගීත සඳහා අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපාංග සවි කෙරෙනු දක්නට ලැබිණ.

බස් ගීත අනවරතව අසන්නට ලැබීමට නැවතීමේ තිත නොතැබුණේම නොවේ. ඒ එක දිගටම ඇසුණු බස් ගීතවලට විරාමය තබමින් හින්දි, දමිළ හා ඇතැම් විට සිංහල චිත්‍රපට ඉදිරිපස තිර මතට කැඳවමිනි. බොහෝ විට කොළඹින් අප නැගුණු අනුරාධපුර මාර්ගයේ බසය සිය මගී පිරිස අසුන්වල පිරී ගොස් මීගමුව දක්වා යන තෙක් හින්දි හෝ දමිළ චිත්‍රපටයක් සිය තිරය මතට කැඳවා දුන් අතර දෙවනුව මීගමුව- හලාවත අතර කලාපයේ දී සංගීත සංදර්ශනවල වීඩියෝ තිරයට කැඳවා දුන් හ. දෙවැනි චිත්‍රපටය තිරයට ආවේ මා බසයෙන් බසින්නට ආසන්න වද්දී ය. වවුනියාව, යාපනය, මන්නාරම වැනි දිගු දුර බස්වල ඉතිරි දුර ගිය මගීන් සමස්ථ කාල සටහන පිළිබඳ මට වඩා දැනුවත් පිරිසක් බව නොඅනුමාන ය.

මගේ හෝ මා ඇතුළු බස් රථයේ මගී පිරිසේ ශ්‍රව්‍ය හා දෘශ්‍ය කලාප ආක්‍රමණය කොට බලෙන් අප වෙත ලබා දුන් මෙම ‘බස් ගීත‘ සංස්කෘතිය ගැන මා මුලින්ම අනිද්දා පුවත්පතේ මේ කුඩා තීරුව තුළ ලියා ඇත්තේ 2018 ඔක්තෝබරයේ ය. වසරකුත් මාස 2ක් ගත වන තැන මා යළි ඒ ගැන ලියන්නේ ඇයි?

“මගී ප‍්‍රවාහනය සදහා යොදවා ඇති දුරගමන් සේවා සහ අනෙකුත් මගී ප‍්‍රවාහන බස්රථවල අධික ශබ්දයෙන් වාදනය කරන ගීත බරපතල හිරිහැරයක්ව තිබෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසන“ බව සඳහන් කරමින් “ජනවාරි පළමුවනදා සිට පෞද්ගලික බස්රථවල ඝෝෂාකාරී සංගීතය භාවිතය තහනම්“ බව කියා ඇති ප්‍රවෘත්තිය මා මුලින්ම දුටුවේ https://www.itnnews.lk/ වෙබ් පුවත් අඩවිය තුළයි. එය බොහෝ පුවත්පත් හා ප්‍රවෘත්ති වෙබ් අඩවිවල මෙන්ම සෙසු ශ්‍රව්‍ය හා දෘශ්‍ය පුවත් නාලිකා හරහා ජනතාව වෙත පමුණුවා ඇති පුවතක් බව පෙනුනේ අමාත්‍ය මහින්ද අමරවීර විසින් ජාතික ගමනාගමන කොමිසමට ලබා දුන් උපදෙසක් පදනම්ව අදාල පුවත පැන නැගීම හේතුවෙනි. මා දුටු උක්ත පුවත කෙළවර වූයේ මෙවැන්නක් ද සිය සටහන කෙළවර තබමිනි.

සියලු ජාතීන්ට අයත් මගී ජනතාව නියෝජනය වන පරිදි පහලොස් දහසකට ආසන්න නියැදියක් යොදාගනිමින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙලිවුණේ මෙම අධික ශබ්දයෙන් වාදනය වන ගීත සියයට සියයක්ම හිරිහැරයක් බවයි.

ඒ අනුව ලබන පලමුවනදා සිට විවේක බුද්ධියෙන් යුතුව රසවිදිය හැකි ගීත දහසක එකතුවක් හදුන්වාදීමට තීරණය කර තිබෙනවා.“

උක්ත පහලොස් දහසකට ආසන්න නියැදිය පිළිබඳ ප්‍රකාශය ගැටළු සහගත වන්නේ එහි ප්‍රතිපලය 100%ක්ම එක් අන්තයක් දක්වමින්, එනම් ගීත අසන්නට ලැබීම හිරිහැරයක් බව දක්වමින් එයට සහභාගි වූවන් අදහස් දක්වා තිබීම ය. නමුත් මගේ අවධානය යොමුවන්නේ පහතින් සඳහන් වන දෙවැනි වාක්‍යයේ එන ‘විවේක බුද්ධයෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසක‘ අදහස වෙත ය.

පළමුකොටම බස් රථය යනු නියත වශයෙන්ම මගීන් වෙත ‘මොනවා හෝ අසන්නට සැලැස්විය යුතු‘ අවකාශ බව, පෙර බස් මුදලාලිලා, ලංගම, රියදුරු හා කොන්දොස්තර මහතුන් විශ්වාස කළ පරිදිම රජයත් විශ්වාස කරන්නේ ඇයි? ස්වකීය ගමනාන්තය කරා ළඟා වන තෙක් මගියෙකු වෙත ලැබිය යුතු ‘විවේක බුද්ධිය‘ (බස් රථයක ගමන් කරමින් එවැන්නක් ලැබිය හැකි නම්) රජය විසින් තෝරා දෙන ගීත දහසක් තුළ ගැබ් වනු ඇත්තේ කෙසේ ද?

සැබැවින්ම විය යුත්තේ බස් මුදලාලිලා හෝ ලංගම තීරණය කළ පරිදිම, නමුත් වෙනත් ගීත එකතුවක් සමග යමින්, ගමනාගමන කොමිසම ද අපේ ශ්‍රව්‍ය හා දෘශ්‍ය කලාපයන් ආක්‍රමණය කිරීම නොවේ. එය මගියාගේ, පුරවැසියාගේ, කැමැත්ත පරිදි තෝරා බේරාගන්නට ඔහු/ඇය වෙත ඉඩ සළසා දීමයි. ගුවන් යානයක මෙන් මගියෙකු වෙත ශ්‍රව්‍ය දෘශ්‍ය නාලිකා එකතුවක් ලබා දී, ස්වකීය ආසනය ඉදිරිපස ඇති කුඩා තිරයක් හා කුඩා ‘හෙඩ් ෆෝන් එකක්‘ (එනම් ඉස් බණුවක්) හරහා ඔහුගේ/ඇයගේ වරණයට අවකාශ සැලසීමට බස් රථයක පහසුකම් සැලසිය නොහැකි බැවින් එහි ලබා දිය හැකි හොඳම විවේක බුද්ධි කලාපය නිහඬතා කලාපයකි. කියවන්නට, යමක් ගැන සිතන්නට, වටපිටාව දෙස බලමින් යන්නට, යමක් අසන්නට හෝ බලන්නට කැමති අයෙකුට ස්වකීය පුද්ගලික උපකරණයක් හරහා පමණක් (හඬ සීමා කරගනිමින්) ඒ අසන්නට හා දකින්නට ඉඩ සලසා දීම සියල්ලටම වඩා විශිෂ්ටතම පියවර වනු ඇත.

මා කුඩා කල මා ද මගේ මිතුරන් ද ගොඩ වැදීමට අකමැතිම වූ පාසැල් පුස්තකාලයේ එවකට උන් ගුරුවරයාගේ බලහත්කාරය අපට අදට ද අමතක නැත. දැන් ඉඳහිට සිනාසෙමින් සිහිගැන්වුව ද එය කිසිසේත් සිනාවට කරුණක් නොවේ. ඔහු එවකට, අප පහේ හයේ පන්තිවල ඉගෙන ගනිද්දී, සිදු කළේ පුස්තකාලයට එන අප පෙළට ඉන්දවා පොත් මිටියක් අතට ගෙන වේගයෙන් බෙදාගෙන යාමයි.

“දැන් කියවනවා!!“

ඔහුගේ අණට අප කියවීම ඇරඹිය යුතු ය. මා ඒ වන විට කියවමින් සිටි ඇතැම් පොත් පුස්තකාලයේ වෙනත් අල්මාරිවල ඉබි යතුරු දමා වසා තිබෙනු දැක මා ඒ දෙස නෙත් යොමද්දී ඔහු මවෙත මුරගෑවේ මෙවැන්නක් කියමිනි.

“පණ්ඩිතය වෙන් නැතුව දුන්න එක කියවනව! ඕව කියවන්න තමුසෙල ලොකු වෙලා එද්දි මං වෙලාවට ඒව දෙන්නම්!!“

ගීත ඇස්සවීමේ සුභාවිත ගීත බලහත්කාරය මට එදා හමුවූ පුස්තකාල ගුරුතුමා සිහි කරවයි.

-ප්‍රියන්ත ෆොන්සේකා –  

සේයාරුව: https://www.motor1.com/

%d bloggers like this: