Menu Close

සුරදූතයෙක් නික්මුණි

සුනේත්‍රා රාජකරුණානායක ලියූ ‘බත් තරංග’ නවකතාවේ කියැවෙන්නේ කොළඹ පහ, හතේ ලේන් එකේ වෙසෙන බට්ටිච්චා නම් වූ සිරුරෙන් කුඩා තරුණයෙක් ගැන ය. බත් ගෙදර විසූ බට්ටිච්චා කලාවට බෙහෙවින් ඇලුම් කළ අතර අවසානයේ කතන්දර රැසක් කොළ වල ලියා මෙලොවින් සමුගත්තේ ය.මිය ගිය පසු දෙවියෙක් වී හතේ ලේන් එක දෙස බලා සිටින්නට ඇත්නම් ඔහු ජීවත්ව සිටියදී පැවසුවේ ය.
ගයාන් ඉන්දුල කොඩිතුවක්කු නම් බට්ටිච්චා අපට හමු වන්නේ පත්තර වල කවි පිටු ඔස්සේ ය. කාලාන්තරයක් තිස්සේ කොත්මලේ ජනපදයේ සිට තැපෑලෙන් කවි එවූ ඔහු අනතුරුව ඒවා පොත් වශයෙන් මුද්‍රණද්වාරයෙන් පල කළේ ය. ඉඳහිට සිය අතවැසි පිරිවර ද සමඟ කොළඹ පොත් දොරට වැඩුමකට සහභාගී වූයේ ය. තම කායික වෙනස්කම කිසි විටෙකත් අනුකම්පාවට හේතුවක් හෝ අසරණ කමක් ලෙස නොසැලකූ අපේ බට්ටිච්චා මහත් වූ ස්වාභිමානයෙන් සහ උදාරම් ලීලාවෙන් හැසිරුණේ ය. ඔහු මෑතක දී ලියූ පොත එළි දැක්වීමට සමගාමීව තම නැගණියගේ සිතුවම් දැක්මක් ද සංවිධාන කළේ ය. නමුත් ඒ සඳහා මාධ්‍ය ආවරණයක් ලබන්නට හෝ මාධ්‍ය වෙත දන්වන්නට උත්සුක නොවූවේය. හේතුව විමසූ විට අපේ බට්ටිච්චා ඉතා පැහැදිලි , ස්ථිරසාර හඬින් මෙසේ පැවසීය. ‘මීඩියා වලට කිව්වාම ඒ අය ඇවිල්ලා ලියන්නේ අපේ කවි ගැනවත් චිත්‍ර ගැනවත් නෙමෙයි. අපේ ආබාධිතකම් ගැන. අපිට ඕනේ අපේ කවි , චිත්‍ර ගැන විතරක් කතා කරන ඕඩියන්ස් එකක්’. ඉන්දුල එදා පැවසූ සේම ඔහුගේ කවි ද නැගණියගේ සිතුවම් ද නරඹනු පිණිස බොහෝ දෙනා කොළඹ මහජන පුස්තකාලයට රැස් වූයේ ඔවුන් තුළ වූ හැකියාව පැසසුම්සහගත බැවිනි.
අද , විවේකී සෙනසුරාදා අළුයම කිවිඳියකගේ හැඬුම්බර ඇමතුමෙන් පිබිදුණ ද ඒ හඬින් පැවසූ දෑ වටහාගන්නටත් පියවි සිහියට එළැඹෙන්නටත් මිනිත්තු කිහිපයක් ගත විය. ගයාන් ඉන්දුල කොඩිතුවක්කු අපෙන් සමුගෙන ගොසිනි. කොත්මලේ සිට වෑන් රථයක නැගී පොත් දොරට වැඩුම් වලට එන, ශාලාවේ සිට සැමටම අත වනන , ජනකාන්ත නළුවෙක් මෙන් පිරිස පොදි කමින් කථා බස් කරන ගයාන් ඉන්දුල කොඩිතුවක්කු අපෙන් සමුගෙන ගොසිනි. රෑ බෝ වී ආපසු ගමට යන අතරතුර, කොළඹ – නුවර පාරේ යන සැවොම වාහනයට පටවාගන්නා, අතරමග දී කඩ පිල් වල නවත්වමින් සප්පායම් වන, ගෙදර ගෙනියන්නට බැළුම්මහරෙන් අන්නාසි මිලයට ගන්නා ගයාන් ඉන්දුල කොඩිතුවක්කු අපෙන් සමුගෙන ගොසිනි.
ගයාන්ගේ වේදනාබර වියෝගය වෙනුවෙන් කල්පනා ඇම්බ්‍රොස් ඇයගේ මුහුණු පොතේ මෙසේ ලියන්නීය.
විරාමයකට පසුව

කවිත් ඉඳිකටුත්

අමුණා තබා පපුවට

දරා හිඳ දරා හිඳ

සුරදූතයෙක් නික්මුණි

අතුරා මටසිළිටි සිහින
රළු මහපොළොව මතු පිට

ඉදින්, සුර දූතයා නික්ම ගියේ ය. ඇසුරු කරන්නට තව කල් තිබේ යැයි සිතා, නෑගම් එන්නට, හමුවන්නට පිළිණ දුන් බොහෝ දෙනෙකුගේ සිත තුළ සුව නොවන තුවාල කැළැලක් ඉතිරි කරමින් ම, සුර දූතයා නිහඬව ම නික්ම ගියේය. ඈත එපිට කොත්මලේ ජනපදයේ සිට සුර දූතයෙක් නික්ම ගියේ මෑත විසාල කොළඹ කවි සමාජයක් සසල කරවමින් බව අනාගතයේ කෙදිනක හෝ ලියැවෙනු ඇත.
ගයාන් ඉන්දුල ;
නූස් වූ සිරුරකින් උස් වූ දෑ ලියූ අපේ බට්ටිච්චා නුඹය. හතේ ලේන් එක යනු ඔබ මෙතෙක් ගැවසුනු කවි සමාජය ය. අද වන විට ඔබ අප අතැර නික්ම ගොසිනි. ඉදින්, මා මේ පවසන්නට යන්නේ කුමක්දැයි ඔබ දන්නේ ය.

සුබ ගමන් ආදරණීය මිත්‍රයා.
%d bloggers like this: