Menu Close

මීපුප් ලදිම්, දරු නොලදිම්, රංකැටි පුතා කෝ….??

අමිල උපතිස්ස සිය Facebook පිටුවේ තැබූ සටහනක්.

චිත්‍රපටයේ අවසාන කවියේ පසුබිම් කථාව.

මට හිතෙන විදිහට විෂම භාග චිත්රපටයේ අන්තිම කවිය තමයි ඒ තිර රචනය කොතරම් ගැඹුරුයිද කියන්න තියෙන හොඳම නිදර්ශකය. ඒත් අවාසනාවට අපි ගොඩක් දෙනෙක් ඒ කවියේ පසුබිම් කථාව නොදන්න නිසා, ඒ කවිය චිත්රපටයට තියෙන අදාලත්වය මඟහැරෙනවා. මට නං පේන්නේ ගණිත ගුරුවරයා එතනදි සංවේදී වෙන්නේ ළමයාගේ කටහඩ නෙවෙයි ඒක පිටිපස්සේ තියන අර්ථයට කියලයි. මොකද ගුරුවරයාගේ මුහුණේ හැගීම් වෙනස් වෙන්න පටන් ගන්නේ ” පමා වෙලා වැටුන වැස්සේ මල් පිපුනා” කියන කොටස ඉවර වෙනවත් එක්කම. එතනදි ගුරුවරයාට යමක් මකත් උනා වගේ දෙයක් ජැක්සන්ගේ රඟපෑමේ තියනවා. ඒ කියන්නේ එතනදි තමයි ගුරුවරයාට ළමයා මේ කියන කවියේ වර්ගඵලය ගනනය වෙන්නේ.

ගලේ වැනුව මල් කාලා නොවේ

කුරුලු පැටියා මළේ

පමාවෙලා වැටුන වැස්සේ

මල් පිපුනා ගලේ

නුඹේ අතේ වරද නැතේ කොබෙයි ලියේ

නාඩා හිදි්න් දුක් බොහොමයි සංසාරේ

පුබ්බුරු පුතේ පුබ්බූරුයි හඬනකොට

වෙනදාටත් වඩා තනිකම දැනෙයි මට

උඹත් හඬනවා පැටියා මළ දුකට

කිරිල්ලියේ මම මොනවා කරන්නද

ඔන්න එකමත් එක කාලෙක කැලෑවක අලු කොබෙයි අම්මා කෙනෙකුයි එයාගේ පැටවු දෙන්නෙකුයි හරිම සතුටින් ජීවත් උනා. ඔය අතර මේ කැලෑවට නියගයක් ආවා. ටික ටික මේ නියගය දරුණු වෙන්න ගත්තා. ගස්වල කොළ වේලිලා ගියා. සමහර ගස් වැල් මැරුණා. දියපාරවල් හිඳිලා ගියා. කෑමට දෙකයක් හොයා ගන්නවා තියා සතා සීපාවට බොන්න වතුර ටිකක් හොයාගන්න එකත් ගොඩක් අමාරු වැඩක් උනා. ඉතිං මේ විපත අපේ මේ කොබෙයි පවුලටත් ඒ විදිහටම බලපෑවා. බඩගින්න වැඩිකමට කොබෙයි පැටවු දෙන්නා අඩන එක මේ අම්මට උහුලගන්න බැරි උනා. එයා කැලේ ඈතට ඈතට පියාඹලා ගියා පැටවුන්ට කන්න දෙයක් අරන් එන්න. කැලේ ගොඩාක් ඈතට යනකොට මේ කොබෙයි අම්මට හොඳට මල් පිපිලා තිබුන මී ගහක් මුණගැහුනා.

මී මල් ගොඩක් පැණි රසයි. වැඩිපුර කෑවොත් අපි උනත් මත් වෙනවා. ඒ තරම්ම පැණි රසයි. ඉතිං මේ කොබෙයි අම්මා මී මල් ගොඩක් අරන් ඇවිත් කොටසක් පැටවු දෙන්නට කන්න දීලා ඉතිරි කොටස පස්සේ ප්රයෝජනයකට ගන්න කියලා එයාලගේ කූඩුව ලඟ තිබුන ගල් තලාවට දැම්මා. දැන් කොබෙයි පවුලේ බඩගින්න ගැන තිබුන ප්රශ්නය විසඳිලා. කොබෙයි අම්මා හැමදාම ඈත කැලේට ගිහින් මී මල් කඩාන ඇවිත් කොටසක් පැටවුන්ට දීලා ඉතිරි කොටස ගල් තලාවට දානවා.

දවසක් හවස් වෙලා කෑම හොයාගෙන එනකොට මේ කොබෙයි අම්මා දකියනවා. එයා ගල්තලාවට දාපු මී මල් වලින් බාගයක් විතර අඩු වෙලා කියලා. අම්මා හිතන්නේ පැටවු දෙන්නා කාලා කියලා. මෙච්චර කන්න දීලත් එකතු කරලා තිබුන මල්ටික කෑවා කියලා තරහා ගිය මේ කොබෙයි අම්මා පැටවුන්ට කොටලා මරණවා.

මේ අවාසනාවන්ත සිද්ධිය දැකපු සක්ර දෙවියෝ වැස්සක් වස්සවනවා. ඒ වැස්සට වේලිලා තිබුන මීමල් පෙඟිලා ආයෙමත් තිබුන තරමටම ලොකු වෙනවා. එතකොට කොබයෙි අම්මා දැනගන්නවා තමන් දරුවො මැරුවේ නිකරුනේ කියාලා.

එදා ඉදලා මේ කොබෙයි අම්මා කැලේ පුරා “මී පුප් ලදිමි.. දරු නොලදිමි.. රන්කැටි පුතා කෝ කෝ” කිය කිය විලාප තියමින් තමන්ගේ නැතිවුන දරුවන් හොයනවාලු. ( කොබෙයියා කෑගහන තාලෙට ඒ වචන ටික කියන්න පුළුවන්. මෙතන මී පුප් කියන්නේ මී පුෂ්ප එහෙමත් නැත්නම් මී මල් කියන එකට)

ආයෙත් විචාරයට ගියොත්,

“වහින් වැස්සක් වහින්න….

අලුත් වැස්සක් අලූත් වැස්සක්…”

ඒවා නිකං ආපු වචන නෙවෙයි. කලාවෙන් සහ මානුෂීය ගුණධර්ම වලින් තෙමෙනකොට තමයි පසු ප්රයෝජනයට ගන්න ගලේ වැනුව මල්වල “පරිමාව”, මලේ තියන ජල “ධාරිතාව” අනුව ප්රකෘතිමත් වෙන්නේ. කුරුලු පැටව් මරණ්න එපා. මට පේන විදිහට ඒක තමයි චිත්රපටයෙන් දෙන සමාජ පණිවුඩය.

සටහන : අමිල උපතිස්ස.

Share

%d bloggers like this: