Menu Close

අරුණ සුරවීරගේ කොළඹ ගෙවතු විප්ලවය

අරුණ සුරවීරගේ කොළඹ ගෙවතු විප්ලවය

(වසන්ත විජේවර්ධන)
(පින්තූර-ලලිත් පෙරේරා සහ වසන්ත විජේවර්ධන)

කොළඹ බත්තරමුල්ල, රාජගිරිය, කොස්වත්ත, නාරාහේන්පිට සහ බොරැුල්ල ආදී අතිශය ජනාකිර්ණ ප‍්‍රදේශවල මෝටර් සයිකලයකින් සැරිසරමින්, අනාරාධිතව නිවෙස්වලට ගොඩ වදින අමුත්තෙකි. ප‍්‍රථමයෙන් ම ආ-ගිය තොරතුරු විමසන හෙතෙම, ඊළඟට තමන් පැමිණි කාරියට බසින්නේ බොහොම උනන්දුවෙනි. ගෙහිමියන් කිසිදාක හඳුනන්නේ නැති අය වුව ද ඔහුට කමක් නැත!

ඔහු ගෙහිමියන් හමුවේ යම් කතා පුවතක් දිග හරියි. ඒ අතර, ‘ඇට බීජ මල්ලක්’ ඔලොගුවෙන් ගෙන, එහි තිබෙන දෑ එළියට ගනියි. වස විසෙන් තොරව ඒවා වගාකර ගෙන කෑමෙන් ඇතිවන සුගතිය ගැන පැහැදිලි කරයි. ඊළඟට ඔහු අනවසරයෙන් ම, ගෙවත්ත පිරික්සයි. ඉතා කුඩා නාගරික ගෙවතුවල පවා ආහාර භෝග වගා කළ හැකි බව කියයි. ඔහු කියන වගා භූමිය ඇතැම් විට ගෙපිලෙහි බිත්ති කොටස්, අහුමුළු හෝ උඩ තට්ටු කොරිඩෝ විය හැකි ය. 

මේ උපදේශනය අවසානයේ ගෙහිමියන් යම් වගාවක් කරන්නට එකඟ වෙති. අමුත්තා තම ඇට බීජ මල්ලෙන් බීජ ටිකක් ද ඔවුන්ට පිරිනමයි. රතු නිවිති, වැරණියා මිරිස්, ගෝන බටු කරවිල, තිත්ත තිබ්බොටු, කවුඩු කොච්චි, නයි මිරිස්, වඳුරු මෑ, ලංකා බෝංචි, ගොරක තක්කාලි, තුඹ කරවිල ආදී දේශීය ආහාර භෝග වර්ගවල ඇට බීජ ඒ අතර වේ. ඇතැම් විට, ඒවායින් කොටසක් ගෙවත්තේ සිටු වන්නේ ද අමුත්තා ම ය. 

රසයෙන් ද, ගුණයෙන් ද පිරිපුන් එබඳු භෝග වත්මන් නාගරිකයන්ට නම් අමුතු ය. මේ හැම දෙයක් ම නො මිලේ ය. කිසිවකට මුදල් අය කරන්නේ නැත.

‘මේවා හිටවන්න. මං ආයෙමත් සතියකින් හමාරකින් විතර එනවා’, ගෙහිමියන් ගෙන් සමුගන්නට පෙර ඔහු කියන්නේ මහත් සතුටිනි.

අමුත්තා වෙළෙන්දෙක් නොවේ. නාගරික ගෙවතුවල වසවිස නැති ආහාර භෝග වගා කරන්නට පොළඹවන ස්වේච්ඡා ක‍්‍රියාකාරිකයෙකි. හෙතෙම නමින් අරුණ සුරවීර ය. ස්වේච්ඡා ක‍්‍රියාකාරිකයෙක් යයි කීවාට, ඔහුට සමිතියක්, සංවිධානයක්, සංසදයක් හෝ වෙන යම් සමාජ ව්‍යාපාරයක් නැත. එහෙත් ඔහු ප‍්‍රකට ගොවියෙකි. ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් දොම්පේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 

අරුණ සුරවීර


අරුණ, දශක දෙකකට පමණ ඉහත ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ කෙනෙකි. කොළඹ, බොරැුල්ලේ තිබුණු ‘සුරවීර ඔටෝ ඉන්ජිනියර්ස්’ නම් වෙළෙඳ ව්‍යාපාරය ඔහුගේ ය. පසුව හෙතෙම ව්‍යාපාර ක්ෂේත‍්‍රයට සමු දුන්නේ ය. ඉක්බිති නාවලපිටියේ, ‘පසැස ගොවිපොළේ’ ජී. කේ. උපවංශයන් සෙවණෙහි රැඳෙමින් වස විසෙන් තොර පාරිසරික ගොවිතැනට යොමු වුණේ ය. මේ අතර, පා. ම. තෙන්නකෝන් නම් සමාජ ක‍්‍රියාකාරිකයාගේ අදහස් ද අරුණගේ වෙනස් වීමට බලපෑවේ ය. අද ඔහු වස විසෙන් තොරව දේශීය වී වර්ග ඇතුළු ආහාර භෝග වගා කරන, තමන්ට මුණගැසෙන අයට ද ඒ සඳහා ගුරුහරුකම් දෙන ප‍්‍රවීණයෙකි.

බත්තරමුල්ලේ රොබට් ගුණවර්ධන මාවතේ, කුමාරි බණ්ඩාරනායක ද අරුණගේ නාගරික වගා ව්‍යාපාරයේ ගෙවිලියකි. අරුණ කලකට ඉහත එහි පැමිණ රෝපණය කළ රතු නිවිති ගස් දැන් සරුවට හැදෙමින් යයි. ඇගේ ගෙවත්තේ ඇති ඇඹරෙල්ලා ගසට වැටෙන්නේ ‘ගව මුත‍්‍රා’ මුසු දියර පොහොර ය. දැන් එහි ඵල දරන්නේ ය. ඉන් ගෙහිමියන්ට පමණක් නොව, කුරුල්ලන් සහ ලේනුන් ආදී සතුන්ට ද ආහාර සපයන්නේ ය. ඉදුණු සුදු කොච්චි, පෝච්චිවල වැවූ වෙද හීනැටි ගොයම් පැල ද එහි තිබිණි. මේ නිවසේ ‘දවස ඇරඹුම් පානය’ වන්නේ ‘වැටේ මුරුංගා’ ය. එය සාදා ගන්නේ, මද පවනේ වියලා සකස්කර ගත් වැට මුරුංගා කොළ මේස හැන්දක් නටන වතුරට දමා, පෙරා ගැනීමෙනි. එය ඖෂධීය පානයකි.

බත්තරමුල්ලේ, රුහුණු පුර ප‍්‍රදේශයේ එක්තරා නිවසක, ගෙවත්ත පිහිටා ඇත්තේ උඩු මහලේ බැල්කනියේ ය. එහි බටු, මිරිස්, තක්කාලි, කැකිරි, පුහුල්, ගොටුකොළ, මුගුණුවැන්න, කරපිංචා, මොණර කුඩුම්බිය සහ පොල්පලා ආදී භෝග කදිමට වගාකර තිබේ. එය බඳුන්ගත වගාවකි. සමන් ජයකොඩි සහ නදීරා ප‍්‍රියදර්ශනී දෙපල මේ නිවසෙහි ගෙහිමියන් ය. සමන්, මහියංගණය ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන ‘හරිත ප‍්‍රජා නිෂ්පාදන’ නම් ග‍්‍රාමීය කෘෂි නිෂ්පාදන ව්‍යාපාරයකට සම්බන්ධව සිටින්නෙකි. ඔවුන් සිය බැල්කනි වගාව සඳහා එහි ආභාෂය ද ලබා ගෙන තිබේ. ඔවුන් ද අරුණ සුරවීරගේ හිතවතුන් ය.

බත්තරමුල්ල, දේවාල පාරේ කෙළවරට වන්නට වෙසෙන නන්දදේව වැලිකැටිය ද අරුණගේ ගෙවතු ව්‍යාපාරයේ කොටස්කරුවෙකි. විශ‍්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු වන වැලිකැටියට කුඹුරු ද තිබේ. ඔහුගේ නාගරික ගෙවත්ත කෙසෙල්, ඉඟුරු, නිවිති, ගොටුකොළ, කරපිංචා, කොච්චි මිරිස් ආදී ආහාර භෝගවලින් සමන්විත ය. ඔහු කරන්නේ වස විසෙන් තොර ගෙවතු වගාවකි.

පෙනුමේ හැටියට නම් ‘බත්තරමුල්ල’ යනු අතිශයින් ම නාගරීකරණයට ලක් වුණු ඉසව්වකි. එහෙත් එහි පැරණි පන්නයට ගොවිතැන් කරන පිරිස් තවමත් සිටිති. ‘බෝතලේ, පරණ වලව්වේ  සමරක්කොඩි ඔවුන්ගේ නායකයා ය. හෙතෙම, බත්තරමුල්ලේ බටපොත ගොවි සංවිධානයේ සභාපතිවරයා ද වෙයි. මඩ ගොවිතැන් සහ ගොඩ ගොවිතැන් ද, කිරි ගව පට්ටියක් සහ සත්ව ගොපිපොළක් ද ඔහු සතු ය. බටපොත මහ වෙල් යාය ඔවුන්ගේ ගොවි බිමයි. සමරක්කොඩිගේ කිරි නිෂ්පාදන සඳහා  
 ප‍්‍රදේශයේ ලොකු ඉල්ලූමක් ද තිබේ. මෙවර ඔහුගේ කුඹුරෙහි කොටසක, පනාගොඩ එම්. ඞී. පියසේන ගොවියා සොයා ගත් ‘ගුරුපියා’ වී ප‍්‍රභේදය ද වගාකර තිබේ. ඔහුගේ වගාවන්ට කාබනික පොහොර සකසා ගන්නේ ගව ආදී සත්ත්ව වසුරු සහ මුත‍්‍රා, කොල රොඩු ආදියෙනි.

දෙහි, දොඩම්, බෙලි, අඹ, කොස්, කුඹුක් සහ කර`ද ආදී විසල් තුරු සෙවණක් යට වැවුණු බටු, මිරිස්, තක්කාලි, කැවුම් කොච්චි, කිරි අගුණ, වැල් පෙනෙල, ගොටුකොල ආදී ආහාර භෝග කෘෂි උයනක සිරි ගනියි. ඔහු ද අරුණ සුරවීරයන්ගේ හිතවතෙකි.

අරුණ සුරවීරයන්ගේ නාගරික ගෙවතු සංචාරයේ දී නිතරම ගොඩ වදින නිවසක් කොස්වත්ත හන්දියේ තිබේ. එක්තරා සුපිරි වෙළෙඳසැලක් පිටුපස පිහිටි එය සංගීත පන්ති පැවැත්වෙන ආශ‍්‍රමයකි. එහි ගොඩ වදින පාරේ බුබුළු දමමින් උතුරා යන, පායන කාලයට හෝ නො සිඳෙන දිය උල්පතකි. එය සංගීත ඇදුරිඳුගේ ‘වගා දිගාවේ’ මව් දියවර ය. සංගීත ගුරුතුමා නමින් බණ්ඩාර දුරුතුසිංහ ය. හේ, කලාව සහ සොබාදහම වස විස නැතිි ගොවිතැනට මුසු කරන්නට හපනෙකි. 

දුරුතුගේ ගොවිතැනේ කහ මුං, කැවුම් කොච්චි, රතු නිවිති, කහ බටු, කෙසෙල් සහ තවත් දේශීය එළවළු වර්ග වගාකර තිබේ. ඔහු පැල තවානක් ද පවත්වා ගෙන යයි. කුඩා ඉඩකඩක ඔහු සියල්ල හසුරුවා ගෙන තිබේ. යාබදව පිහිටි සිය හිත මිතුරන්ගේ ඉඩම් වස විස නැති ගොවිතැනෙන් සාර කරන්නට දුරුතු සහාය දී තිබේ.

සමාජවාදී ලෝකයට ‘පැට්ටා’ හෙවත් ‘පැටි‍්‍රක් ප‍්‍රනාන්දු’ කැපී පෙනෙන චරිතයකි. ඔහු 1971 අප‍්‍රියෙල් ජ. වි. පෙ. කැරැල්ලේ ප‍්‍රබලයෙකි. කැරැල්ලට සම්බන්ධව සිටි සරත් ප‍්‍රනාන්දු සහ විමල් ප‍්‍රනාන්දු ‘පැට්ටාගේ’ සොහොයුරන් ය. දැන් සරත් ප‍්‍රනාන්දු මෙලොව හැර ගොසිනි. එකල ‘පැට්ටා’ සංස්කරණය කළ ‘දියැස’ සඟරාව වාමාංශිකයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වූයේ ය. පැටි‍්‍රක් ප‍්‍රනාන්දු මෑතක පටන් පසුවන්නේ අසනීපයෙනි. ඔහුගේ නිවස පිහිටියේ රාජගිරියේ පොල්වත්ත ප‍්‍රදේශයේ ය.

අරුණ සුරවීර ඔවුන්ගේ පවුලේ හිතවතෙකි. ඔහු පැටි‍්‍රක්ගේ බිරින්දෑ වන ස්වර්ණක්කා (ස්වර්ණා ප‍්‍රනාන්දු) කොළඹ ගෙවිලියක් බවට පත්කර තිබේ. ඇගේ ගොවි බිම මහ පොළොවේ පිහිටි එකක් නොවේ. එය අස්වද්දා ඇත්තේ පර්චස් හතරක් තුළ ඉදි කෙරුණු ඔවුන්ගේ තෙමහල් නිවසේ මුදුන් තලයේ ‘ස්ලැබ් එක’ උඩ ය. එය ‘ආකාශ වගාවකි’. ස්වර්ණා ප‍්‍රනාන්දු කලින් සේවය කළේ ජාතික ඉඩම් සහ කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ය. විශ‍්‍රාමිකව සිටින ඇයට කාලය ගෙවෙන්නේ සිය සැමියාට උවටැන් කිරීම, දරු මුණුපුරන් බලාකියා ගැනීම සහ ආකාශ වගාව නඩත්තුව සඳහා කටයුතු කිරීමෙනි.

නිවිති, කංකුන්, පැපොල්, මිදි, සේර, ගොටුකොළ, කරපිංචා, රම්පේ, තම්පලා, තෝර, තෙබු, කිරි අගුණ, මුගුණුවැන්න, පැෂන්, හීං නාරන්, පේර, තුඹ කරවිල, බටු කරවිල, වැරණියා මිරිස්, කොච්චි, ඇඹරැල්ලා, කෝමාරිකා ආදී ආහාර භෝග සහ පලතුරු වර්ග රාශියක් ඇගේ අහස් වගා බිමෙහි තිබේ. ඇය සිය වගාව ඩ‍්‍රැගන් පෲට් සහ උඩවැඩියා පැලයකින් අලංකාරකර ඇත. මේ ආකාශ පරිශ‍්‍රය පැණි කුරුල්ලන්, බටිත්තන්, සමනලයන්, මී මැස්සන් ආදී සතුන්ට ද සැරිසැරුම් බිමකි. එය උඩු මහලේ වන වදුලක් බඳු ය. එය බඳුන් ගත කාබනික වගාවකි. අසනීප වෙන්නට පෙර මේ වගාවට උදව් කළේ ඇගේ සැමියා පැටි‍්‍රක් ය. දැන් ඇය තනිවම එය නඩත්තු කරයි. ඇගේ නිවසෙහි ආහාර වේල වස විසෙන් තොර එකකි.

‘හුඟක් අය පුංචි ඉඩකඩක හරි වස විසෙන් තොරව ආහාර භෝගයක් වවා ගන්න දන්නෙ නෑ. මං ඉතින් කියලා දෙනවා. ඒ අයගේ ගෙවතුවල බව භෝග හැදෙන කොට මට හරි සතුටක් දැනෙනවා’ අරුණ සුරවීර කියන්නේ ය.
(2019/12/29 සති අග අරුණ පුවත්පතේ පළවිය)




%d bloggers like this: