Menu Close

මේ U – Turn එක චිත්තාකර්ෂණීයයි

සටහන : ෂර්ලි සමරසිංහ
යූ-ටර්න් චිත්‍රපටය  පසු ගිය දා මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදී එක හුස්මට නැරඹුවෙමි . බිමල් ජයකොඩි හා ගම්‍යා විජයදාස මෙන්ම කුඩා දියණියගේ රංගන විලාසයන් මතුවන මනරම් රූප සමෝදානයකින් මෙම සිනමාපටය ආරම්භ වෙයි. යු ටර්න් සිනමා කෘතිය අවසානය දක්වා කුතුහලයකින් යුතුව රසවිඳිය හැකි එක්තරා ආකාරයක අභව්‍ය සිදුවීම් ද රැගත් ආකර්ෂණීය ක්‍රියාදාම චිත්‍රපටයකි .

වෙනත් සිනමාවක් ඇසුරෙන් ගොඩනැගෙන සිනමා අත්දැකිම් අනාදිමත් කාලයක පටන් අපි රස විද ඇත්තෙමු අසල්වැසි ඉන්දියාවෙන් උකහා ගත් අත්දැකීමක් පාදක කොටගත් යු ටර්න් චිත්‍රපටයේ තේමාව ශ්‍රී ලාංකේය සමාජ පසුතලයට කිසියම් ආකාරයකින් ගලපා ගැනීමට ගත් උත්සාහය සමස්තයක් ලෙස සාර්ථක වූයේ දැයි අපට කුකුසක් නැගේ . මෙරට ගුවන් පාලමක් මැද මෝටර් සයිකල් ආපසු හරවන( u turn) අත්දැකීමට ඉඩක් නොලැබේ. නමුත් ජනාකීර්ණ ඉන්දීයාවෙ ගුවන් පාලමක් මත එවැනි සිදුවීම් සුලභ බව ද අපට පැහැදිලිය.

ප්‍රස්තුත තේමාව ගොඩනැගෙන්නේ ඉහත සිදුවීම කේන්ද්‍ර වීමෙනි.එය සිනමාත්මක පරිකල්පනයට කිසියම් ආකාරයක බාධාවක් ද එක්කරයි. යූ-ටර්න් සිනමාපටය ඉන්දියානු වට්ටෝරු සිනමාවෙන් බැහැර ආඛ්‍යානයක ගොඩ නැඟීමට ගත් තවත් එක් සාර්ථක උත්සාහයකි. මෙහිදි අප තිර රචකයන් නිර්මාණ තර්කයන් වාස්තවිකව මග හැර මතුපිටින් ස්පර්ශ කල බවක්ද හැගෙයි. චිත්‍රපටය ආරම්භ වී විරාමය දක්වා රැගෙන යාමේදී එහි පළමු අර්ධය ගොඩ නැගීමට ගත් උත්සාහය අගය කළ යුතුය. එහි ප්‍රධාන දර්ශන තල අතර ගැනෙන පොලිස් ස්ථානය හා එහි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලෙස අපට හමු වන දයාදේව එදිරිසිංහ රංගන ශිල්පියාගේ කෘතහස්ත රංගනය කෘතියට එක් කරන්නේ විශ්වාසනීය අගයකි.

හේමාල් රණසිංහ සිනමාවෙහි ආකර්ෂණීය රංග පෞරුෂයකි . තම චරිතය වීරත්වයකින් හා කැපී පෙනෙන අයුරින් සිය රංගනයෙහි නියැලෙයි. එහි තරු ගුණය තවත් මතු කර ගැනීමට ඉඩ කඩ පැවති බවක්ද විටක හැගවෙයි. සිනමාවට හඳුන්වා දෙන ශානු දිසානායක නවක නිළියක ලෙස ඇයට ලැබුණු චරිතය නිරූපණයට ගත් උත්සාහය අගය කළ යුතුය . ඇයගේ පෙම්වතා ලෙස අපට හමු වන තුමිදු දොඩන්තැන්න රංගන ශිල්පියාගේ යථාර්ථවාදී රංගන ප්‍රවේශය ප්‍රශස්තය.

යූ-ටර්න් චිත්‍රපටයේ දෙවැනි එළඹුම ලෙස ගොඩ නැගෙන්නෙ අනතුරකින් මිය යන මව සහ කුඩා දියණියකගේ අදෘශ්‍යමාන සිදුවීම් පාදකව ගොඩ නැගෙන කතා පුවතයි. යථාර්ථයෙන් ඔබ්බට ගොඩනැගෙන මේ සිදුවීම් මාලාව කුතුහලයෙන් යුතුව ගොඩ නැගීමට අධ්‍යක්ෂකවරයා උත්සාහ⁣ ගත් බවක් හැඟවෙයි . සිදුවීම් මාලාව අතරතුර අපට හමුවෙන අති දක්ෂ චරිතාංග නිරූපණයක යෙදෙන රන්දික ගුණතිලක , නලින් ලුසේනා වැනි නවක රංගන ශිල්පින් මතුකළ නිර්මාණශීලී හැකියාවන් මෙහි වෙසෙසින් කැපී පෙනේ . නිදහස්කාමි ඉරියව්වෙන් සිය චරිතයට පණ පොවන ඔහුන් චිත්‍රපටයට සිය සාධාරණය ඉටු කරයි. .

යූ-ටර්න් චිත්‍රපටයේ තාක්ෂණික පසුතලය හා කැමරා කෝණයන් පැසසීමට ලක් කළ යුතුය.
සංස්කරණය, කලා අධ්‍යක්ෂණය , සංගීත අධ්‍යක්ෂණය ආදී අනුශාංගික අංගයන් තුළින් චිත්‍රපටයට ගෙන එන චමත්කාරය ප්‍රේක්ෂකයාගේ වින්දන ආකාශයට ඉඩ හසර විවර කර දෙයි . පරිනත රංගන ඉරියව් මතුකරන බිමල් ජයකොඩි රංගන ශිල්පියා මෙන්ම ලාංකේය සිනමාවට අලුතින් පිවිසෙන ගම්‍යා විජයදාස රංගන ශිල්පිනිය චිත්‍රපටයේ අභියෝගාත්මකම දර්ශන තලයන් කිහිපයක හමුවිමෙන් චිත්‍රපටයේ පරිසමස්තිය සටහන් කරයි. යූ-ටර්න් චිත්‍රපටය වින්දනාත්මක අද්දැකිමක් මෙන්ම කුළුදුලේ සිනමාවට ප්‍රවේශවන අධ්‍යක්ෂකවරයෙකු වන චන්න දේශප්‍රිය පිළිබඳව සුපහන් බලාපොරොත්තු සහිත ආලෝකයක් පතිතවන සිනමා කෘතියක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ .

ෂර්ලි සමරසිංහ

Share

%d bloggers like this: