Menu Close

හාල් කඩේට ගෝටා පැනීම

සතියකට පමණ පෙර (දෙසැම්බර් 18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කලින් නොදන්වා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබුණා. ඉන් පසුව, ඒ ආකාරයටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහලට ගිහින් තිබුණා.

ලංකාවේ සිටි ජනාධිපතිවරුන් අතරින් මේ ආකාරයේ හදිසි නිරීක්ෂණ චාරිකා සඳහා ප්‍රසිද්ධව සිටියේ රණසිංහ ප්‍රේමදාසයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභයගේ ප්‍රතිවාදියා වූ සහ රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස විසින්ද ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළියකදී කියා තිබුණේ තමන් බලයට පත් වූ පසු මෙවැනි හදිසි නිරීක්ෂණ චාරිකා වල නිරත වීමට බලාපොරොත්තු වන බවයි.

ජනාධිපති කියා කියන්නේ රටේ විධායකයේ ප්‍රධානියා. රටේ පවතින නීති පද්ධතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වන බවට වග බලා ගත යුත්තේ විධායකයයි. ලංකාවේ රාජ්‍ය ආයතන වලින් වැඩි ප්‍රමාණයක් සැලකිය හැක්කේ විධායකයේ කොටස් ලෙසයි. ඒ නිසා මේ ආයතන අකාර්යක්ෂමනම් එහි වගකීම මුලින්ම වැටෙන්නේ විධායක ජනාධිපතිටයි.

තමන් යටතේ තිබෙන රාජ්‍ය ආයතන ගණනාවක්ම ඉතා අකාර්යක්ෂම බව ජනාධිපති ගෝඨාභය විසින් විශ්වාස කරන බව පේනවා. ඔහු ඒ බව සෘජුවම කියනවා. රටේ බොහෝ දෙනෙක් හිතන්නේත් මේ ආකාරයටයි. තමන්ගේ යටතේ තිබෙන රාජ්‍ය ආයතන අකාර්යක්ෂමනම් එම ආයතන කාර්යක්ෂම කිරීමේ වගකීම විධායක ජනාධිපතිවරයා සතුයි.

ඉඳහිට මෙවැනි හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදීමේ වරදක් නැතත් තමන්ගේ යටතේ තිබෙන ආයතනයක් කාර්යක්ෂම කිරීම සඳහා විධායක ජනාධිපති විසින් “හදිසි නිරීක්ෂණ චාරිකා” වල යෙදිය යුතුම නැහැ. ජනාධිපති හා රාජ්‍ය සේවයේ පහළම ස්ථරය අතර නිලධාරීන් ගණනාවක් සිටිනවා. විධායකයේ ප්‍රධානියා විසින් පහළ ස්ථර වලට නියෝග දිය යුත්තේ මේ ධුරාවලිය හරහායි. ඒ වෙලාවේ මොනවා කිවුවත්, ගෝඨාභයගේ හදිසි නිරීක්ෂණ චාරිකා වලින් පසුවත්, ජනාධිපතිවරයාගේ නිල විධාන  පහළට පැමිණෙනු ඇත්තේ මේ ධුරාවලිය හරහා කියා මම හිතනවා.

කොහොම වුනත් කිසියම් ධුරාවලියක ඉහළින්ම සිටින කෙනෙක් මේ ආකාරයට සඳළු තලෙන් කාණුවටම බහින්නේ ධුරාවලියේ අතරමැද ස්ථර පිළිබඳ විශ්වාසයක් නොමැති වූ විටයි. ගෝඨාභය විසින් පෙන්නුම් කර තිබෙන්නේ ඔහුට තමන්ගේ නිලධාරී තන්ත්‍රය හා කැබිනට් මණ්ඩලය පිළිබඳ වැඩි විශ්වාසයක් නැති බවයි. ජනාධිපතිවරයකුට කටයුතු කරන්න වෙන්නේ තමන් විසින් පත් නොකළ, තමන්ට “ලැබී තිබෙන” රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්කයි. එහෙත්, එහි ඉහළම ස්ථර සඳහා පුද්ගලයින් තෝරා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයා සතුයි. අමාත්‍යවරුන් තෝරා ගැනීමේදී එය කරන්න වෙන්නේ ජනතාව විසින් තෝරා පත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් නිසා ජනාධිපතිවරයා සතුව තිබෙන්නේ සීමිත තේරීමක්.

ලොක්කෙක්ට තමන්ගේ කණ්ඩායම ගැන විශ්වාසයක් නැති වෙන්න හේතු දෙකක් තිබෙනවා. එකක් කණ්ඩායම ඇත්තටම විශ්වාසය තැබිය නොහැකි එකක් වීම. දෙවැන්න ලොක්කා තමන් පිළිබඳව අධිනිශ්චයකට පැමිණීම. මේ තත්ත්ව දෙකම භයානකයි. දෙවැන්න වඩා භයානකයි.

ලොක්කෙක් තමන් පිළිබඳව අධිනිශ්චයට පැමිණුනු විට කරන දෙයක් වන්නේ අතරමැද ස්ථර සියල්ල බයිපාස් කර පහළ ස්ථර වලට සෘජුව නියෝග දීමයි. ආරම්භයේදී මේ වැඩේ නැගලා යනවා. කාලයක් තිස්සේ සිදු නොවුණු දේවල් ඉතා ඉක්මණින් සිදු වෙනවා. ගොඩක් අය ලොක්කාව අගය කරන්න පටන් ගන්නවා. පොඩි ලොක්කන් අප්‍රසාදයට පත් වෙනවා. හැබැයි සාමාන්‍ය නිරීක්ෂණය මේ වැඩේ පහු පහු වෙද්දී කොහු කොහු වෙන බවයි.

මේ වැඩේට ප්‍රසිද්ධව සිටි රණසිංහ ප්‍රේමදාස ඔය පුරුද්ද පටන් ගත්තේ අඩු වශයෙන් අගමැතිව සිටි කාලයේ සිටයි. රණසිංහ ප්‍රේමදාස විසින් හැම දෙයක් ගැනම සෘජුව පහළටම හොයා බලන බව දැන සිටි නිසා ඔහු යටතේ පැවති ආයතන වල සේවය කළ අයට හැම විටම මේ ගැන සැලකිලිමත්ව ඉන්න සිදු වී තිබුණා. “හදිසි නිරීක්ෂණ චාරිකා” වලදී ඔහු ක්ෂණික විධාන ලබා දුන්නා. ඉන් පසු මේ විධාන ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලුවා. ඒ නිසා, බොහෝ වැඩ කාර්යක්ෂම ලෙස කෙසේ වුවත් කාර්යක්ෂම සේ පෙනෙන ලෙස සිදු වුනා. ප්‍රේමදාසගේ වැඩ කිරීමේ පිළිවෙළ ප්‍රසාදයට ලක් වුනා.

කොයි තරම් විචක්ෂණශීලී පුද්ගලයෙකුට වුවත් හැම විටම හොඳම තීරණ ගන්න බැහැ. කාගේ වුවත් දැනුමේ හා තීරණ ගැනීමේ හැකියාවේ සීමාවන් තිබෙනවා. ඉංජිනේරුවෙක් කළ යුතු දෙයක් බාස් කෙනෙක්ට කළ හැකියි කියා ලොක්කෙක්ට හිතෙන්න පුළුවන්. ලොක්කා තමන්ගේ මතය ගැන අධිනිශ්චයක ඉන්නත් පුළුවන්. කලක් යද්දී වෙනත් අයට ලොක්කාගේ මේ සීමාවන් හඳුනා ගන්න ලැබෙනවා. ඉන් පසුව, ඕනෑම ලොක්කෙක්ව පහසුවෙන් අන්දන්න පුළුවන්. ලොක්කා අධිනිශ්චයක ඉන්නා තරමට වැඩේ පහසුයි.

ඒ දවස් වල රණසිංහ ප්‍රේමදාස කොහේ හෝ විවෘත කිරීමකට එන කොටස අවුරුදු ගණන් වලවල් හැදී තිබුණු පාරවල් එක සතියෙන් කාපට් වෙනවා. හරියට වෙස්සන්තර වංක ගිරියට යන කොට වගේ. හැබැයි ඔහොම හදිස්සියට හදන පාරවල් කිරි කිරියට තියෙන්නෙත් මාස දෙක තුනයි. ඒ නිසා ජනප්‍රසාදය වෙනුවට ලොක්කා ගොන්පාර්ට් එකක් වෙන එකයි වෙන්නේ.

හදිසි නිරීක්ෂණ චාරිකා වැඩි වුනොත් ඕක ගොඩක් අයට ඇණයක් වෙනවා. ඊට පස්සේ ඔය තැන් වල මිනිස්සු හිතන්නේ කොයි වෙලාවේ මොකා ආවත් කමක් නැහැ කියා තමන්ගේ වැඩේ පිළිවෙලට කරන්න නෙමෙයි. හදිසියේ ලොක්කා කඩා පනින එකට සූදානම් වන්නේ කොහොමද කියලයි. ඒ අනුව, ලොක්කා යන එන තැන් ගැන සහ ඊළඟට කඩා පනින්න වඩාත් ඉඩ තිබෙන තැන් ගැන හොයා බලා ඔත්තු සපයන්න යාන්ත්‍රණ හැදෙනවා. ගෝඨාභයගේ කතාවටම ආවොත් දේශීය ආදායම්, රේගුව වගේ තැන් දැනටමත් ගෝඨාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට මුහුණ දෙන්න සූදානම් වෙමිනුයි ඇත්තේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හෝ කලින් ගිය හාල් කඩේ ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙකුට තේරුම් ගන්න බැරි රොකට් සයන්ස් එකක් නැහැ. ඒ නිසා, ගෝඨා තමන් ගැන අධිනිශ්චයක ඉන්නවාද නැද්ද කියා එකවර නිගමනයකට එන්න බැහැ. බොහෝ විට ගෝඨාගේ ප්‍රශ්නය තමන්ගේ කණ්ඩායම ගැන සහතිකයක් නැති වීම වෙන්න පුළුවන්. ප්‍රශ්නය ඒකනම් මුලින්ම කරන්න තියෙන්නේ තමන්ගේ ටීම් එකේ අඩුපාඩු හදාගන්න එකයි. හොඳ පරිපාලකයෙක්, හොඳ විධායකයෙක් කියා කියන්න පුළුවන් එවැනි කෙනෙකුට මිසක් රෑට රෑට ජනතාවගේ දුක සැප හොයන්න ගෙවල් වලට රිංගන කෙනෙක්ට නෙමෙයි.

(Image: http://www.businessnews.lk/blog/2019/12/27/president-gotabaya-rajapaksa-visits-werahera-rmv-office-and-kdu-hospital/)

%d bloggers like this: