Menu Close

තිස්ස තිස්ස !! …ගොඩක් මැද්දට එන්න, මම ඔබට අභය දෙමි

ලංකා ඉතිහාසයේ පළමු වරට පාසල් යන දරුවන් වෙනුවෙන් සෑදුනු පොතක් හොය හොයා කියවන්නට වැඩිහිටියන් පොරකන දවසක් උදාවී ඇත. අලුත් පොත හතේ පන්තිය වෙනුවෙන් නිකුත් වූවකි. පොත කියවන්නට පොරකන වැඩිහිටියන් හතේ පන්තියෙන් පිටවී අවුරුදු දහ හතකටත් වැඩි අයය. පොරයට මුල් වූයේ සියල්ල පාලනය කරනුවස් පෙරට එන මෙරට සඟ සමාජයේ භික්ෂුවකගේ කටමැත දෙඩවීමකි. ඒත් ඒ පොරකෑම පිටුපස ඇත්තේ මේ වැඩිහිටියන්ට අහිමි කරන ලද, ඔවුන්ගෙන් වසං කරන ලද පාඩමක කුතුහලයයැයි මට සිතේ. ප්‍රසන්න ජයකොඩිගේ 28 චිත්‍රපටයේ එක් තැනකදී එහි කතා නායිකාව සුද්දී මෙසේ කියයි,

“නවය පන්තියට යන්න කලින් මං ලොකු ළමයෙක් වුනා.අලුත් අච්චු පොත් හම්බවෙච්ච ගමන්ම අපි පෙරලුවේ විද්‍යාව පොතේ අගටම තිබුණු ප්‍රජනන පාඩම.දැන් මට අවුරුදු 38ක්….තාමත් ඒ පාඩම මට උගන්නලා නෑ.”

28 හි සුද්දීට පමණක් නොව මෙරට වැඩිහිටි අතිබහුතරයක් ඒ පාඩම තවමත් ඉගෙන ගෙන නැත. සජිත්ගේ සනීපාරක්ෂක තුවා කතාව ජෝක් එකක් වී වේදිකා ගානේ වැලේ වැනෙන්නේ ඒකය. එක් විකට නළුවෙකු කසාද බැඳ අවුරුදු ගාණක් ගිහිල්ලාත් තම බිරිඳගේ ඔසප් වීම‍ යන කරුණ නොදන්නා බවට පාරම් බාන්නේ ඒ නොදැනුම විසින් ඇති කර ඇති මුග්ධ බව නිසාය. ලංකාවේ ඉතා තරුණ වයසින් සිදුවන බොහොමයක් කසාද පිටුපස ඇති රහස, සඳ එලිය මෙන් අචින්ත්‍ය ආදරය නොව පාසල් වයසේදී අහිමි කල අර පාඩම නිසා ඇති වූ කරදරය බව ඔබට පැහැදිලි වනු ඇත. වයස අවුරුදු පහේදී පාසැල තුලට පලමු අඩිය තබනා ‘ළමයා’ වයස අවුරුදු 18දී පිටවන්නේ ‘වැඩිහිටියා’ යන ලේබලය දෝතටත් ඔලුවටත් ගනිමිනි. ඒ වැඩිහිටියාට ලැබෙන අලුත් ලයිශන් දෙකකි. එකක් චන්ද බලයේ ලයිසමයි. අනික කසාද බැඳීමේ ලයිසමයි. මට හිතෙන හැටියට අපේ පාසල් පද්ධතියෙන් පිට කරන මේ අලුත් වැඩිහිටියාට ඒ ලයිසන් දෙක අත දැරීම සඳහා වන දේශපාලන දැනුමවත් ලිංගික අධ්‍යාපන දැනුමවත් කිසිසේත් ලැබී නැත්තේය. අප වටා ඇති මේ අඳුරට ඒවා ප්‍රධාන හේතූන් වන්නේය. ඒ අඳුරට ආවඩන්නන් මහ රොත්තකි. තමන් සතු සිවිල් බලය අවියක් කරගනිමින් අඳුරට ආවඩනා ඒ රොත්තේ බණ අසනා අප වැනි හුදී ජනයාට මම කාලාම සූත්‍රය නැවත නැවත මතක් කරගන්නා ලෙස පවසමි. එසේ මතක් කරගනිමින් එන්න, අපි හතේ පොත කියවා , දැනුමේ මැද්දට ගොඩ වෙමින් අඳුරට ආවඩන්නන්ට අභය දෙමු….

ලිව්වේ මගේ මිත්‍ර දසුන් සිල්වා

%d bloggers like this: