Menu Close

159. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? – Diving !

වර්ණවත් හීනයක !

මම ඉස්කෝලෙ යන කාලේ; මගේ පාසලේම මට පහල පන්තිවල හිටියා මිත්‍රයින් දෙදෙනෙක් එකෙක් දැනට අමෙරිකාවේ බෝස්ටන් නුවර වෙසෙන සුජීව ද සිල්වා. 
අනෙකා දැනට බොහෝ කලක සිට මා සමග කතා බස් නවතා ඇති; කලකට පෙර මා හට සිටි විශ්වාස දායකම මිත්‍රයා – ශානක රාජකරුණා.

ශානක කලකට පෙර සේවය කලේ ගුවන් හමුදාවේ.ඔහු ගුවන් හමුදාවෙන් විශ්‍රාම යන්නේ බල ඝන නායක වරයෙක් ලෙස.  

මා දන්නා පරිදි ඔහු දැන් මහාචාර්‍ය ශානක රාජකරුණා සේවය කරණ්නේ එක්සත් ජාතීන් හෙවත් UN එකට.

ඔහුත් මමත් මේ රටේ බොහෝ පලාත් වල; පවුල් පිටින් සංචාරය කලේ බොහෝ කාලයකට පෙරයි.

මෙසේ ගිය අවස්ථාවක; හීනියට අඩියක් කාරිය ගහලා ඉන්න වෙලාවක; ඔහු මට කී එක් වැකියක් තවමත් මට අද වාගේ මතකයි.

“මචං මේ ලෝකෙ වර්ණවත් හීන දකින්නේ කවුද කියලා දන්නවාද? – ඩයිවර්ස් ලා!”

ශානක පාසැලේ පිහිණුම් කණ්ඩායමේ සාමාජිකයෙක්. එසේම වෝටර් පෝලෝ නායක. ජීවිතාරක්ශකයෙක් නවසීලන්ත ලෝකඩ පදක්කම දිනූ.

මේ නිසාම ශානකගේත් මගේත් පැවති මිත්‍රත්වයට මේ ජලාබුජ ජීවිතයත් එක සාධකයක් වූවා යැයි කීවොත් නිවැරදියි.

කිමිදීම ගැන මා පලමුව අත් පොත් තබන්නේ ඔහු ගෙන්. scuba   කියන එකෙ තේරුමම මට ශානක කියල දීලා ඇති දහ දොලොස් වතාවක්.

“scuba කියන්නේ (self-contained underwater breathing apparatus) වගන්තියේ වචන වල මුල් අකුරු ටික එකතු කරලා.” 

ශානක; මම අහන අහන පාරට කියලා දුන්නා!

මේ scuba හෙවත් self-contained underwater breathing apparatus   කියන වැකිය සිංහලට නගලා තිබුනා “කිමිදුම් කලාවේ අත්පොත” කියන මහැඟි ග්‍රන්ථය මෙරට පොත් කඩවල රාක්ක වලට ගෙන ආ ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය කිමිදුම් ශිල්පියෙකු මෙන්ම උපදේශක වරයෙකු වන ලක්ෂ්මන් මුතුකුඩ මහතා. 

එනම්: ස්ව්යං අනතර්ගත දිය යටහුස්ම ගැනීමේ උපකරණය.

Diving හෙවත් කිමිදීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කල හැකි වේ. 

ඉන් එකක් වන්නේ ස්නෝකලින්ග් Snorkeling හෙවත් මාස්ක් Mask එකක් පමණක් පැළඳ නොගැඹුරු ජලයේ කරණ කිමිදීමය. 
අප බොහෝ විට පරෙවි දූපත අසල, හික්කඩුවේදී කරණ්නේ මෙම පංතියේ කිමිදීම්ය! 
මෙහිදී අප ආශ්වාසයට අවශ්‍ය ඔක්සිජන් රැගෙන යාමක් කරණු නොලැබේ.
ස්නෝකලින්ග් Snorkeling – සිහින මොන්ටිසෝරිය !

එහෙත් ගැඹුරු දියේ කරණ්නාවූ කිමිදිමේ කටයුතු වලදී දිය යටදී ආශ්වාස කිරීමට ඔක්සිජන්; ටැංකි තුල ගබඩා කරගෙන; රැගෙන යා යුතුය. Scuba Diving යනු මෙම දෙවන හෙවත් වඩාත් සංකීර්ණ පංතියේ කිමිදීම් ය.
Scuba Diving – මීන රාශියට පිවිසීම !

කාලය සමග ඔහු ඒ පිළිඹඳව කියවීම ඇරඹුවා. ඒ වගේම ඒ ගැන ඔහු හැකි හැම විටෙකම මාවත් දැනුවත් කලා.

“පැඩී (PADI) ලයිසන් එක ගන්න ඕනෙ මචං!” වරක් ඔහු හමු උනාම මට කිව්වා. 

ඒ අපි හික්කඩුවේ කොරල් බලන්න වීදුරු පතුලක් සහිත බෝට්ටුවක ගිය ගමනකදී වගෙයි මතක.

“පැඩී (PADI) ? ඒ මොකක්ද ඒ?”  මම ඇහුවාම ශානක කියලා දුන්නා.

කිමිදීම විනෝදාශයක් කරණ බොහෝ දෙනා පෞද්ගලිකව ලඟ තබා ගන්නේ; මුහුන ආවරණය වන මාස්ක් (Mask) එක හා දෙපා ආවරණය කරණ පාවහන් හෙවත් ෆින්ස් (Fins) පමණි.

ඔක්සිජන් සිලින්ඩර හා අනෙකුත් උපාංග බොහෝ විට කුලී පදනම මත සපයා ගැනිම කරණු ලබයි.
ඒක හරියට වෙනත් රටක සිට අප රටට පැමිණෙන විදේශික සංචාරකයෙකු යාල යන්නට ලෑන්ඩ් රෝවරයක් තිස්සමහරමෙන් කුලියට ගන්නවා වගෙයි. 

මනාළියන් (ගොනාට) ඇන්දවීමේදී දාන හෝ ජසයා හා ලෙන්චිනා පැළඳි මාස්ක් නොව; 
මේ දිය යට දී ජිවිතේ ගොඩදාන මාස්ක් එකක් !

කකුල් තුනක් ඇති එකෙකුගේ ෆින්ස් හෙවත් කිමිදුම් වරළ් කුට්ටම් එකහමාරක් නොව 
විකිණීම සඳහා සාප්පුවක තබා ඇති එකම පැත්තක වරළ් තුනක් !

රියැදුරු බලපත්‍රයක් නොමැති කෙනෙකු හට වාහනයක් පැදවීම සඳහා ලබා දීම තහනම් වනවා සේම කිමිදීම සඳහා නියමිත ප්‍රමිතියේ බලපත්‍රයක් නොමැති අයෙකු වෙත කිමිදුම් උපකරණ ලබා දීමද නිති විරෝධී කටයුත්තකි.
වෙනත් රටක සිට මෙරටට පැමිණෙන සංචාරකයෙකු දේශීය මගපෙන්වන්නෙකු ගේ සහය ලබා ගන්නවා සේම;  කිසියම් ප්‍රදේශයක කිමිදීමේදී; එම ප්‍රදේශය පිළිඹඳව හොඳින් දන්නා කිමිදුම් මෙහෙය වන්නකු හෙවත් Diving Master ගේ සහය ලබා ගනියි.

එවිට එම  Diving Master විසින් තමාගේ සේවා දායකයාගේ කිමිදිම පිළිඹඳව ඇති හැකියාව තක්සේරු කරණ ප්‍රධාන නිර්නායකය වන්නේ මෙම බලපත්‍රයය.

එම බලපත්‍රයට අනුව; එම බලපත්‍ර ධාරියා හට කිමිදිය හැකි හා පලපුරුද්ද ඇති ගැඹුර පිළිඹඳ අදහසක්ද Diving Master  හට ලැබේ.

සේවා දායකයාගේ ජීවිත අවධානම හා වගකීම සහමුලින්ම දරණ Diving Master විසින් තම  සේවාදායකයා බලාපොරොත්තු වන නො එසේනම් අපේක්ෂිත කිමිදීම සඳහා ඔහු හෝ ඇය සුදුසු දැයි තීරනය කරණ්නේ මෙම බලපත්‍රය මගිනි.

මෙයට අමතරව කිමිදුම් ලොග් පොත  Diving Log Book ගින්ද තම සේවා දායකයාගේ පලපුරුද්ද පිළිඹඳව පූර්ණ වැටහීමක් ලබා ගත හැක. 

ගුවන් නියමුවන් ගේ පියාසර පැය ගණන  Flying Hours එකතුවෙමින් ගණනය කරණවා සේම කිමිදෙන්නන්ගේ කිමිදුම් පැය ගනන Diving Hours එකතු වෙමින් ගණනය කෙරෙනු ලබයි.

මෙවන් කිමිදුම් බලපත්‍ර සපයන ජාත්යන්තර සංවිධාන කිහිපයක් ඇති අතර මෙරට වඩාත් ප්‍රචලිතව ඇත්තේ; ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මූලස්ථානය පිහිටා ඇති  PADI – Professional Association of Diving Instructors  ආයතනයයි.

“මචං ඩයිවින් වල තියෙන ගෝල්ඩන් රූල් එකක් තමයි කිසි දාක තනියෙම ඩයිව් කරණ්න එපා කියන එක! විශ්වසවන්ත එකෙක්  තමයි බඩියට ගෙනියන්නේ. අපි දෙන්නාම පැඩි ගමු. එතකොට අපිට ශේප් එකේ ඩයිව් එකක් දාගෙන ඉන්න පුළුවන්!” මේ ශානකගේ ඒකාලේ තිබුණු අදහස්!

කාලය විසින් අප අතර තිබුණු හිතවත්කම් ඈත් කලත් ඔහු කාලෙකට පස්සෙ පැඩී (PADI) ලයිසන් ගත්තා කියලා මම දැක්කා එයාගෙ ප්‍රොෆයිල් එකෙන්. 

අපේ හිතවත් කම  එලෙසින්ම පැවතියානම් මම ඒ එක්කම ගනීවි.

ඒත් ඒක මගේ බකට් ලිස්ට් එකේ තිබුනු එකක්.

මම මේ බ්ලොග් එකේම ලියලා තියෙනවා ඒ අවුරුද්දේ කරණ්නට අරමුණු කරගෙන තිබුණු වැඩ වලින් එකක් ලෙස පැඩි ලයිසන් එක ගන්න බලාපොරොත්තුව හිටි බව. මට මතක විදියට “සයිකලයෙන් තල් අරණට” ලියන්න පටන් ගන්න කොට.


අප කළු ගඟ පටන් ගත්තේ 2019 මාර්තු16 දා. එතැන් පටන් තවත් බොහෝ කාලයක් ඇදුනා අවසන් අදියරය පටන් ගන්නට. මේ අතරේ තමයි මේ අවුරුද්දේ අප්‍රේල් මාසය යෙදුනේ.

හැම අවුරුද්දකම අප්‍රේල් 30 වන දින මාගේ ජීවිතයේ අමතක නොවනම දවස! ගිය අවුරුද්දේ මම හක්බෙල්ලාවක සිට හැටන් වලට සයිකලයෙන් ගියේ මේ දිනය සැමරීමට!
http://thattayagekolama.blogspot.com/2018/05/blog-post.html


අමතක නොවන හැටන් ගිය මතක !

2019 මර්තු 21 වෙනිදා රිවර් එක්ක්ස්පෙඩිශන් වට්ස් ඇප් එකතුවට  තෙශා එවා තිබුනා පණිවිඩයක්. “මම පැඩී ලසිසන් ගන්න යනවා කවුරු හරි උනන්දුද?” කියා! ඊට අමතරව ගාස්තුව  ගෙඩි රුපියල් 50,000 ක් ලෙසින්ද ස්ථානය මීගමුව කියාද වැඩිදුරටත් එහි සඳහන් වූවා.


“මේ අවුරුද්දෙ මම මාහට පිළිගන්වන උපන්දින  සමරුව පැඩී ලයිසන්ස් එක කර ගන්නට ඇත්නම් !”: මම මගේ හදවතින් ඇසුවා. 
“සත්තකින්ම එය කෙතරම් හොඳ සමරුවක්ද?” හදවත කෙඳිරුවා.

මා එකෙන්ම; වට්ස් ඇප් එකතුවට උත්තර බැන්දා! ” Yes “

අහලාම බලන්න බොරුද කියලා;  පොත් කියවන අයගෙ පුරුද්දක් තියෙනවා ඕනම දෙයක් ඉගෙන ගන්න, විමර්ශණය කරණ්න පටන් ගන්නකොට මුලින්ම කරණ දෙයක් තමයි ඒ විෂය ගැන ලියැවිලා තියෙන පුස්කොල පොත් වල සිට සියල්ල මේසය උඩ ගොඩ ගහ ගන්න එක. 

මොකද එතකොට එයාලට හිතෙන්න පටන් ගන්නවා “දැන් මම වැඩෙන් භාගයක් ඉවර කර ගත්තා!’ කියන සහනදායී සිතුවිල්ල.

ඒත් වැඩේ පටන් ගත්තාම තමයි තේරෙණ්න ගන්නේ; “සර්පිනාවේ එක පැත්තක් ඒ කියන්නේ හුළං ගහන පැත්ත දවසකින් ඉගෙන ගෙන ඉවර කොලාට අනෙක් පැත්ත දවසෙන් ඉගෙන ගෙන් ඉවර කරණ්න බැරිවග!”


ඉතිං මේ කරණ්න යන වැඩේට අදාල මෘදු දත්ත තෙශාන්ත එකතුකරගන්න කොට මමත් එකතු කර ගත්තා  පොත් පත් කිහි පයක්. 
සමහරක් ඒ වෙන කොටත් මගේ පොත් එකතුවේ තිබුනු ඒවා. තව කිහිපයක් මරදානේ ගාමිණී හෝල් ලේඛණාගාර පරිශ්‍රයෙන් මිළදී ගත්තා.


මෙතැන් සිට දිග ඇරෙණ්නේ මමත් තෙශාන්තත් පැඩී (PADI) බලපත්‍රය ලබා ගැනීම සඳහා ගිය ගමනේ කථාවයි.

%d bloggers like this: