Menu Close

විශේෂ අවශ්‍යතා ඇති පුරවැසියා අභියස ජාතික පුස්තකාලය: සමාජ ප්‍රගතියේ දර්ශකයක් ලෙස

(2019 ‍දෙසැම්බර් 22 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

මේක ජාතික පුස්තකාලය’. මේකෙ බැහැ අනික් පුස්තකාලවල වගේ හිතෙන හිතෙන දේ කරන්න!“

මේ දෙබස මගේ නෙතු ගැටුණේ දෘශ්‍ය ආබාධයක් සහිත විශ්වවිද්‍යාල තරුණියක් සිය මිතුරියක සමග ජාතික පුස්තකාලයේ ග්‍රන්ථ පරිශීලනය කිරීමට එහි ගොඩ වැදුණු පසු මුහුණ දුන් අර්බුදයක් පිළිබඳ ෆේස්බුක් අඩවිය මත තබා තිබුණු සටහනක් තුළ ය. ස්වකීය දෘශ්‍යාබාධිත බව නිසාම, තමන් වෙනුවෙන් අදාල කෘති කියවන මිතුරියගේ හඬ, අතැති ජංගම දුරකථනය මගින් පටිගත කරගැනීමට තැත් කිරීමේ දී, පළමුව එතැන උන් ආරක්ෂක නිලධාරිණියකගේ ද, දෙවනුව පුස්තකාල නිලධාරිණියකගේ ද උදහසට ලක් වූ සැටි ද, ‘අන් අයට බාධා නොකොට‘ ඔවුන්ගේ කාර්යය කරගැනීම සඳහා ඔවුන් දුරකට පළවා හැරි සැටි ද, ඉන් අනතුරුව ද වරින් වර පැමිණ කාර්යය පරීක්ෂා කළ සැටි ද ඇය එහි ලියා තිබිණ. ඒ දුරකථනය අත තබාගෙන, ඇය පහත ලියා ඇති පරිද්දෙන්, කළ ඉල්ලීමෙන් ද අනතුරුව ය.

මිස්. මට පේන්නේ නැහැ. ඒ නිසා මගේ යාළුවා මට ඇහෙන්න මේ පොතේ තියෙන දේ කියවනවා. මම ෆෝන් එකෙන් කරන්නේ ඒක රෙකෝඩ් කර ගන්න එක විතර යි. අනිත් එක මම මේ මුළු පොත ම රෙකෝඩ් කර ගන්නෙත් නැහැ. මගේ තීසීස් එකට ඕන කරන කරුණු කීපයක් විතරයි මම රෙකෝඩ් කර ගන්නේ“

කෙසේ වෙතත්, මේ විශේෂයෙන් සළකා බැලිය යුතු කරුණ නොසළකා හරිමින් තරුණියන් දෙදෙන පසෙකට එළවා දමනු හැර, අනතුරුව ද ඔවුන් දෙස සැකමුසුව බලනු හැර, ජාතික පුස්තකාල සේවක මඩුල්ල ඔවුන් වෙනුවෙන් සිදු කළ වෙනත් සේවයක් මෙම තරුණිය සිය සටහනේ තබා නැත. මේ සිටින්නේ සැකකාරියන් දෙදෙනෙකි. එබැවින් ඔවුන් පිළිබඳ සැලකිලිමත් වීම අපේ රාජකාරියේ අනිවාර්ය අංගයකි. ලෙස සලකමින් තමන් පිළිබඳ විමසා බැලූ බව ඇය සිය සටහනේ ලියයි.

දැන් අප විමසා බැලිය යුතු කුමක් ගැන ද? අපට හඟවන කුමන කරුණු මේ සටහන පසුපස වේ ද?

විශේෂ අවශ්‍යතා ඇති පුරවැසියකු වෙත රටක් ලෙස අප සළකන ආකාරය මෙහි දී සාකච්ඡා කළ හැකි අතර, ඒ හා සමාන්තරව, අවැසි නම්, පුස්තකාල යනුවෙන් අප වටහාගෙන ඇති අවකාශය පිළිබඳව ද සාකච්ඡාවක් ආරම්භ කළ හැකි ය. අප අතරම වෙසෙන, අප මෙන්ම ජීවිතයේ නන්විධ සිහින සහ බලාපොරොත්තු සහිත අයෙකු, ස්වකීය ශරීරයේ යම් ආකාරයක ආබාධයක් නිසා හෝ දුබලතාවක් හේතුවෙන් විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයෙකු බවට පත්ව ඇත්නම් පුරවැසි සමාජයක් ලෙස අප ඒ ගැන සවිඥාණික විය යුතු ය. එය ඔවුන් වෙත බලා ‘අනේ පව්‘ කියමින් සිදු කරන හීල්ලීමකින් කළ නොහැක්කකි. ඔවුන්ට අවශ්‍ය අනුකම්පාවක් නොවේ. ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ සංවේදී වීමකි. අපට ඉටු කර ගත හැකි දේ ඉටු කර ගැනීම සඳහා ඔවුන් වෙත යොමු කරන මානුෂීය මැදිහත්වීමකි.

දියුණු රටවල රෝද පුටුවලින් ගමන් බිමන් යන පුද්ගලයින් අනෙක් අය මෙන්ම සක්‍රීයව මහ මග ගමන් කරති. ඔවුන්ගේ රෝද පුටුවලටද හොඳින් ගමන් කළ හැකි පදික මං තීරු නගර තුළ මතු නොව ප්‍රත්‍ය ප්‍රදේශවල ද වෙයි. බස් රථයකට මෙන්ම දුම්රියකට ද ගොඩවැදීමට අවශ්‍ය සහාය ලැබේ. එය ඇතැම් විට ‘wheel chair accessible’ බස් රථ එම මහ මග භාවිතයට යෙදවීමෙන් සිදු කරන්නක් විය හැක. අවැසි සැම විට බස් රථයේ රියදුරාම පැමිණ අවශ්‍ය සහාය ලබා දීමෙන් සිදු කරන්නක් විය හැක. එසේම, රෝද පුටුව බස් රථය තුළ නවතා තැබීම සඳහා සුදුසු අවකාශයක් බස් රථ තුළ වෙන් කර දීමෙන් විය හැක. පශ්චාත් උපාධි සමයේ මගේ අත්දැකීම් තුළ තිබුණේ මේ සියල්ල සහිත බස් රථ එරට මහ මග හමුවූ අවස්ථා ය. එමතු ද නොව සිය නිවස අසල බස් නැවතුමට පැමිණෙන බස් රථය ‘wheel chair accessible’ බසයක්දැයි මගීන්ට කලින්ම අන්තර්ජාලය හෝ නැවතුමේ ඇති දැන්වීම් හරහා දැනගත හැකි ක්‍රමවේදයන් ය.

දෘශ්‍ය ආබාධ සහිත, ශ්‍රව්‍ය ආබාධ සහිත, කතා කළ නොහැකි යනාදී වශයෙන් එක් එක් ආකාරයේ විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන් පිරිසක් සෑම සමාජයකම වෙසෙති. රටක දියුණුව අයෙකුට පෙනී යන හොඳම විදිහක් නම් මේ පුරවැසි පිරිසට සිය එදිනෙදා කටයුතු අපට මෙන්ම කරගැනීමට ඇති අවකාශ කෙතරම් ද යන්නයි. එසේම සමාජ පුරවැසියන් ලෙස අපේ දියුණුව හා සංවේදී බව හඟවන ඉහළම දර්ශකවලින් එකක් නම්, ‘අනේ අපොයි‘ නොකියා අදාල අවශ්‍යතා ඉටු කර ගැනීමට එම පුද්ගලයින්ට සුදුසු වාතාවරණයක් සකසා දීමට කෙතරම් අප මැදිහත් වන්නේ ද යන්නයි.

මම ඇමරිකාවෙ ඉද්දි මට සිද්ධ වුණා තුන් වතාවක් ඩ්‍රයිවින් ටෙස්ට් එක කරන්න. පාස් වුණේ තුන් වෙනි පාර. දෙවෙනි වතාවෙ මම ෆේල් වුණේ පාරෙ බ්ලයින්ඩ් අය වෙනුවෙන් තිබ්බ සංඥාවක් අනුව සළකල අදාල ගානට වේගෙ අඩු නොකරපු නිසා. ඒක නොසලකා හරින තරමෙ පුංචි වෙනසක් මෙහෙදි නම්. නමුත් එහෙ ඒක නිසා මම ෆේල්! වැදගත්ම කාරණේ ඒ පළාතෙ හැම වීදියකම ඒ විශේෂ සංඥා හයි කරල තිබ්බෙ එකම එක දෘශ්‍යාබාධිත කෙනෙක් වෙනුවෙන් වීම. හැම පළාතකම ඒ සංඥා නෑ. ඒත් ඒ හරියෙ එක් කෙනෙක් ඉන්නව. එකම එක් කෙනෙක්!!“

 මේ කතාව මා සමග කීවේ සිය ආචාර්ය උපාධිය ඇමරිකා එක්සත් ජනපදයේ දී නිම කොට මෙරටට ආ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි.

දැන් අප? අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනයකදී වුව එවැනි පුරවැසියන්ට ‘හිතෙන හිතෙන දේ‘ කිරීමට ඉඩ නොදෙන ‘විනයගරුක‘ තැන් පවත්වාගෙන යන ආයතන පද්ධතියකින් සමන්විත රටක පුරවැසියන් ය. මෙම ආස්ථානය විමසමින් අපට ජාතික පුස්තකාලය ද විමසිය හැක. ඒ හා සමග මෙරට සමස්ථ පුස්තකාල පද්ධතිය විමසන්නට ආරම්භයක් ගත හැක. 
 
නූතන පුස්තකාල අවකාශය යනු නිශ්ශබ්දතාව ඉහළින්ම සුරකිමින් පොත් හා පුවත්පත් දෙසම නෙත් යොමාගෙන සිටින්නන් දෙසට පමණක් අවධානය සපයන ආයතනයක් නොවේ. එවැනි පුස්තකාලයක විය යුතු පහසුකම් කිහිපයක් ගැන බොහෝ තන්හි සඳහන්ව තිබෙනු පෙනෙයි. ‘ස්වාභාවික ආලෝකය හැකි පමණ ලැබීම, ඉතා පහසුවෙන් පොත් ලබා ගැනීමට හැකි වන පරිදි තැනූ පොත් රාක්ක, කණ්ඩායම් සහ තනි පුද්ගල කියවීම් සඳහා සැකසූ ආසන පහසුකම්, වෙනස් අවශ්‍යතා සඳහා වෙන් කළ කලාප‘ ඒ අතුරින් සුවිශේෂ වේ.
පුස්තකාලය යනු තව දුරටත් නිශ්ශබ්ද පොත් ගුල්ලන් සඳහාම පමණක් ය යන අතිශය යල් පැන ගිය අදහස අපගේ ජාතික පුස්තකාලය පවා අදටත් කර තබාගෙන යන්නක් බව පෙනේ. එහි වෙනස් අවකාශ ගණනාවක් පැවතිය යුතු ය. සංවාද මණ්ඩප, ශ්‍රව්‍ය හා දෘශ්‍ය එකතූන් පරිශීලනය සඳහා වෙන් වූ කලාප (හා ඒවා තනිව හා කාණ්ඩ ලෙස ඇසීමේ හා නැරඹීමේ පහසුකම්) මෙන්ම එකම කෘතියක් වටා එක්ව ඒ කියවමින් ඒ පිළිබඳ සාකච්ඡා කළ හැකි අවකාශ යනාදිය අද ලොව දියුණු පුස්තකාලයක සාමාන්‍ය අංග ය. දෘශ්‍යාබාධිත අයෙකු එහි ඇතුළු වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි පුස්තකාලය දියුණු වී සිටීම මිස ඔහු හෝ ඇය එහි නීති මගින් ආන්තික කලාප වෙත තල්ලු කිරීම එරට සිදු නොවනු පමණක් නොව සිදු වන තැනෙක එය නීතිය ඉදිරියට පැමිණවිය හැකි වරදක් බවට ද පත් වන්නක් විය හැකි ය.

ඉහත තරුණියගේ සටහන කෙළවර වන්නේ මෙය අප වෙත තබමිනි. “එහෙත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙමින් පවතින පුස්තකාල පසුබිමෙන් වරින් වර ඇසෙන දෙසවන් බිහිරි කරවන තරම් වන යන්ත්‍රවල හඬ මෙන් ම නිලධාරීන් උස් හඬින් සිදු කරන නිරන්තර සංවාද ද…“

සැබෑ ජාතික පුස්තකාල තැනීමට අප තව බොහෝ දුර ගමන් කළ යුතු ය.

-ප්‍රියන්ත ෆොන්සේකා –     

සේයාරුව: https://www.pinterest.com/

%d bloggers like this: