Menu Close

පළිගමි

අප ටිකක් නතර වෙමු
මෙහි මදක් ගිමන් හැර යමු
හඩක් නොනඟා සිනාසෙමු
අතින් අත නෑර තදින් අල්ලන් ඉමු

බොහෝ දුර තිබෙන කිසිවක් ම හෝ
පෙන්වන්න දකුණූ දඹරැගිල්ල විහිදුවා එදෙසට
නොදැක නොපෙනී ලත වෙනා කල
කර වටා අත යවා හරවන්න දෑස ඒ දෙසට
කමක් නෑ කම්මුලත් කොනිත්තන්න හීමිට
“යනවා නම් අනේ මං අරන්
යන තැනකට යන්න රත්තරං”
ඒ වගේ වෙලාවක
හදවත ගැහෙන්නේ ඒ විදිහට

ටජ් මහල් මොකටද?
කුලී මාළිගාවක අපට
ලුණුයි බතුයි බෙදා ගන්න බැයිද?
ඔන්න ඔය වගේ බොළඳ විදිහට
හරිම සරළව තමයි
හෙට මම අහන්න ඉන්නේ
“අපි බඳින්නේ කවදද?”

“හෙට එන්න වෙන්නෑ.”
කෙටි පණිවිඩය කොටි නියකි
හදවත පහුරු ගාන
ඇස් වලින් ‍‍ලේ පනින.

“අප ටිකක් නතර වෙමු
මෙහි මදක් ගිමන් හැර යමු
හඩක් නොනඟා සිනාසෙමු
අතින් අත නෑර තදින් අල්ලන් ඉමු”

නුවරඑළියේ ලස්සනම පින්තුරයක්
ඒ වචන තුන හතර එක්කම
අප්ලොඩ් කරමි. එසේ මතක් කර ලමි.

ඔබ එය දකින වේලාවට
තත්පර කොපමණද?
සිතෙන් මැන බලමි.

දුරකථනය නිවමි. දෑස වසමි.
දිගින් දිගමටම එලෙස
ඔබේ සැලසුම් සහගත වචන වලට
පළිගමි.




%d bloggers like this: