Menu Close

දැනුමේ දේශපාලනය

Jagath 3

1980 දශකයේ පටන් ක්‍රමිකව ආරම්භ වූ සහ මේ වනවිට පරිසමාප්තියට පත් වී තිබෙනවා කියා කිව හැකි විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පරිහානියේ එක් කුඩා යහපත් ප්‍රතිඵලයක් වූයේ මෙරට බුද්ධිමය සංවාදය ‘මහපාරට’ ඇද වැටීමයි. මෙය යහපතක් වන්නේ ‘මහපාරේදී’ අදහස් වල වල කල්පැවැත්ම කෘතිමව සුරක්ෂිත කළ නොහැකි නිසාය. විශ්ව විද්‍යාලයේ දී වසරකට වරක් අලුතෙන් පැමිණෙන ශිෂ්‍ය කණ්ඩායමකට දේශන ශාලාවේදී උගන්වන දෙයට – කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ – ප්‍රතිචාර දැක්වීම අනිවාර්යයක් වෙයි. එම නිසාම එම අදහස් සමග ඔවුන් කෙතරම් අව්‍යාජ ගණුදෙනුවක සිටින්නේ ද යන්න එම අදහස් වල පැවැත්මට තීරණාත්මක වන්නේ නැත. ටියුෂන් කර්මාන්තය, විශේෂයෙන් ද්වීතීක අධ්‍යාපනය ට එකතු වීම සමග ඇති වූ ආකෘතික වෙනස්කම් අනුව ‘ඉලක්ක ප්‍රශ්න’ ආදිය ඇසුරින් අවශ්‍ය ප්‍රමාණයට මේවා ඉගෙන ගෙන ඉක්මනින් අමතක කර දැමිය හැකිය. විභාගය අවසන් වූ පසු මේවා සම්බන්ධයෙන් සිතීමේ අවශ්‍යතාවයක් බොහෝ දෙනෙකුට ඉතිරි වන්නේ නැත. සම්ප්‍රදායික විශ්ව විද්‍යාලයේ ආත්මීය පරිවර්තන සිදු වූ ක්‍රමවේදය වූ ශාස්ත්‍ර ගවේෂණය, සතත අභ්‍යාසය, මේ වනවිට මුළුමනින් වාගේ අතුරුදහන් වී තිබේ.

ඒ වෙනුවට, දැනුමට සහ අදහස් වලට ආදරය කරන මිනිසුන් අපට අද දවසේ හමු වන්නේ ‘මහපාරේදී ය’. නමුත් ‘මහපාරේදී’ අදහස් සඳහා අපට විශ්ව විද්‍යාල ආයතන පද්ධතියේ ඇති සුරක්ෂිත දැල හිමි වන්නේ නැත. එහිදී අදහස් සඳහා වලංගු බවක් ලැබෙන්නේ ඒවා යේ වටිනානාකම සත්‍ය වශයෙන්ම විශ්වාස කරනා පිරිසක් සිටින්නේනම් පමණි. අනෙක් අතට මෙහිදී එකිනෙක තරඟකාරී, අන්‍යෝන්‍ය වශයෙන් බහිශ්කාරී, අදහස් තිබෙනා හෙයින් අදහස් වල වලංගු බව නිරන්තරයෙන් අභියෝගයට ලක් වෙයි. අදහස් වල සංකල්පීය වටිනාකම සම්බන්ධයෙන් සිදු කරන සබුද්ධික ප්‍රශ්න කිරීම් වල සිට අදහස් වෙනුවෙන් පෙනී සිටිනා මිනිසුන් ගේ පුද්ගලික ජීවිතය දක්වා බොහෝ දේ මෙහිදී පරීක්ෂාවට ලක් වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ‘මහපාරේදී’ දැනුම තිබිය හැකි වන්නේ සංවිධානගත ආකෘතියකින් පමණි. එනිසාම එයට අත්‍යන්තයෙන් උරුම වන දේශපාලනයක් තිබේ.

මේ සඳහා ඓතිහාසික නිදර්ශන බොහොමයක් ලබා දිය හැකිය කියා මම සිතමි. මේ අතරින් මට පුද්ගලිකව වඩාත් බලපෑමක් සිදු කරනු ලැබුවේ, පළමුවෙන්, නලින් ද සිල්වා ප්‍රමුඛ කරගත් ජාතික චින්තන ව්‍යාපාරයත්, දෙවනුව, දීප්ති කුමාර ගුණරත්න ප්‍රමුඛ කරගත් X කණ්ඩායමත් ය. ලංකාවේ සම්ප්‍රදායික වාමාංශික චින්තනයට හඳුනා ගැනීමට නොහැකි වූ, සරල යථාර්ථවාදයට වඩා උත්තරීතර දාර්ශනික ආස්ථානයක් වන විඥානවාදයේ සම්භාව්‍ය සිතීම මට හමු වූයේ නලින් ද සිල්වා ගේ ලියවිලි වලයි. එමගින් පැහැදිළි කළ නොහැකි වූ බොහෝ නව ගැටලු ගණනක් මතු වන්නේ වුවත් එම ප්‍රශ්නයේ දාර්ශනික වැදගත්කම අඩු නොවන බව මට ඉක්මනින් වැටහිණි (එය මාටින් හෛඩගර් ද මෙලෙසම කියා ඇති බව මා දැන ගත්තේ බොහෝ කලකට පසුවයි). මූලික වශයෙන් ‘දාර්ශනිකව සිතනවා’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියා මට පැහැදිළි වූයේ මෙම නිසාය.

නමුත් ආරම්භයේ සිටම මට නලින් ද සිල්වා ගේ සංවාදයේ ඇති ආගමික අඩංගුව, ඉහත දාර්ශනික සිතීම සමග සම්බන්ධ කළ හැක්කේ කෙසේද කියා පැහැදිළි නොවුනි. මෙයට දශක දෙකකට පෙර, ගැටවර වියේ දී පළමුවරට ‘මගේ ලෝකය’ කෘතිය කියවන විට මට පැහැදිළි නොවූ මූලික කරුණ වූයේ ‘නිවන හැර අන් සෑම වචනයක් ම සංකල්පයක්’ වනවා ය යන විනිශ්චයයි. මෙයට හේතුව කුමක්ද? එකල මා සිතුවේ එය මට නොවැටහීම මාගේ අඩුපාඩුවක් වන බවයි.

දීප්ති කුමාර ගුණරත්න ගේ මූලිකත්වයෙන් X කණ්ඩායම සංවිධානය කළ නව ආරක අධ්‍යයන කව සඳහා මා ආකර්ෂණය වූයේ නලින් ද සිල්වා ගේ කතිකාවේ තිබුණු මෙවැනි සීමාකම් නිසාය. නලින් ද සිල්වා විසින් සාකච්ඡා කළ සංවාද වපසරිය ඉක්මවා ගිය බුද්ධිමය ධාරාවන් හැදෑරීමට අවස්ථාවක් සහ ඒ වෙනුවෙන් සාමූහිකව එකතු වීමට ආකෘතියක් එහි දී මට උරුම විය. ලැකේනියානු මනොවිශ්ලේෂණය සම්බන්ධයෙන් දීප්ති කුමාර ගුණරත්න ගේ අධ්‍යයන කව ඇසුරින් මට ස්ලැවෝයි ජිජැක් වත්, ජිජැක් ගේ සංවාදය තුළින්, ඉන් පසුව බදියු, රොන්සියර්, ලැක්ලාවූ වැනි චින්තකයන්වත් හමු විය. එයට තරමක් පසු කලෙක කොන්ටෙන් මෙයසූ මුණ ගැසෙන්නේ ද මෙම අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙසයි.

මේ වනවිට මට නලින් ද සිල්වා ගේ සංවාදයේ දාර්ශනික සීමාව කුමක්ද කියා ඉතාම පැහැදිළි වෙයි. අන් සෑම වචනයක් ම සංකල්පයක් වුවත් නිවන පමණක් සංකල්පයක් නොවන්නේ විඥානවාදයේ ඇති ව්‍යුහාත්මක සීමාවක් නිසා බව මම දැන් දනිමි. මෙම ගැටලුව මේ ආකාරයෙන්ම විඥානවාදයේ සෞත්‍රික මූලාරම්භය වන ජෝජ් බාක්ලී තුළත් හඳුනා ගත හැකිය. ‘නිවන’ වෙනුවට ඔහුට තිබෙන්නේ ‘දෙවියන් වහන්සේ’ ය. මෙම දාර්ශනික ස්ථාවරය ආගමික-වාර්ගික දේශපාලනය සමග සමීප වන්නේ ඇයිද යන්නත් තේරුම් ගැනීම, මේ අනුව, අපහසු නැත.

නමුත් ගැටලුව වන්නේ මෙම හේතුව නිසා උක්ත විඥානවාදී දාර්ශනික ස්ථාවරය වැරදි වන්නේ නැති වීමයි. අවම වශයෙන් වඩා නිවැරදි තර්කයකින් එයට පිළිතුරු ලබා දෙන තුරු විඥානවාදය නිවැරදි බව පිළිගැනීමට විඥානවාදියාට අයිතියක් තිබේ. එසේනම් ඔහුට පිළිතුරු දෙන්නේ කෙසේද? දශක දෙකක් පමණ මාගේ ‘මහපාරේ’ අධ්‍යාපනය යොමු වූයේ මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීමටයි. කොන්ටෙන් මෙයසූ ගේ ‘පරිමිතත්වයෙන් පසු’ කෘතිය මට තීරණාත්මක වූයේ මෙම නිශ්චිත කරුණේදී ය. මෙයසූ ඇසුරින් අපට මෙම සුවිශේෂ ලාංකික ප්‍රශ්නයට පිළිතුරක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබුණි. නමුත් මෙය කිසි සේත්ම මෙයසූ සම්බන්ධ සම්ප්‍රදායික අර්ථකථනයක් නොවේ. ඒ වෙනුවට මෙහිදී ප්‍රමුඛ වන්නේ මේ සම්බන්ධයෙන් අප පිරිසක් විසින් කලක සිට සිදු කළ අධ්‍යයනයක දී හඳුනා ගත් සුවිශේෂ ලාංකික සන්දර්භයයි. එම නිසා මෙය මෙයසූ සම්බන්ධයෙන් තිබෙනා වෙනත් ජනප්‍රිය අර්ථකථන වලට වඩා මෙම කියවීම බොහෝ වෙනස් වෙයි (නිදර්ශනයක් ලෙස මෙය ග්‍රැහැම් හාමන් ගේ අර්ථකථනයට වඩා බොහෝ වෙනස් ය).

කෙසේ වුවත් දැන් පැමිණ තිබෙන්නේ මේ පිළිතුර පරීක්ෂාවට ලක් කර ගැනීමේ මොහොතයි – අන් සෑම අදහසක් සේම දැන් මෙය ‘මහපාරේ’ පරීක්ෂාවට ලක් විය යුතුය. මෙහි නිරවද්‍යබව සහ වටිනාකම සම්බන්ධයෙන් මට සැකයක් නොමැති වුවත් එමගින් අදහස් වන්නේ මෙය අනිවාර්යයෙන් ‘මහපාරේ’ පරීක්ෂණයෙන් සමත් වන බව නොවේ. එහිදී අප මුහුණ දිය යුතු අභියෝග රාශියක් වෙයි. ඒ සෑම අභියෝගයක්ම බුද්ධිමය අභියෝග පමණක් වන්නේ නැත. මෙවැනි සන්දර්භයක වුවත් අපට කිරීමට තිබෙනා මූලික කර්තව්‍යය වන්නේ අප පෙනී සිටින අදහස හැකිතාක් ශක්තිමත් ලෙස ඉදිරිපත් කිරීම සහ එය ට විවේචනාත්මක වන ප්‍රතිචාර වලට හැකිතාක් ශක්තිමත් ලෙස පිළිතුරැ දීම පමණි. සමහරවිට, එම අදහසේ ඇති අත්‍යන්ත ශක්තිය නිසා එය හා එකඟ වීමට කෙනෙක් ඉදිරිපත් විය හැකිය.

ජීවිතයේ තවත් බොහෝ දේ අතර ‘මහපාරේ’ බුද්ධිමය සංවාදය සඳහා මා පසුගිය දශක දෙකක පමණ කාලයක් තිස්සේ එකතු කළ අදහස් වල මූලික නිගමනය හෙට පළමු වරට ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරමි. මේ සම්බන්ධයෙන් උනන්දු ඕනෑම කෙනෙක් ට පැමිණ මෙම අදහස් අභියෝග කිරීමට හෙට අවස්ථාව තිබේ.

හෙට සවස 3 ට පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට එන්න!

 

වංගීස සුමනසේකර 

 

 

 

***

%d bloggers like this: