Menu Close

චෙස්ටර් බෙනින්ග්ටන් – “In the end it dosen’t even matter”

ශ්‍රී ලංකාව තුළ “Rock” හා “Heavy Metal” සංගීත කලාවන්ට එතරම් රසිකයන් නැතත් “Linkin Park” හා “Chester Bennington” නොදන්නා සංගීත රසිකයෙක් නැති තරම් ය. ඒ තරමටම ඔවුන් රොක් සංගීතයෙන් ලෝකයම ආක්‍රමණය කිරීමට සමත් විය. විශේෂයෙන්ම 2000 දශකයේ මුල් භාගයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ Linkin Park සංගීත කණ්ඩායමේ හදවත වූයේ චෙස්ටර් යි. නමුත් ඔහු මුළු සංගීත ලෝකයටම පාඩුවක් සිදුකරමින් මානසික සෞඛ්‍යයට ජනප්‍රියත්වය, මුදල්, බලය හෝ වෙන කිසිම දෙයක් වැදගත් නොවන බන පෙන්වමින් 2017 ජූලි මස 22 දින සියදිවි නසාගැනීමෙන් මෙලොවින් සමුගත්තේය. මියයන විට ඔහුට වයස අවුරුදු 41ක් පමණි.

Linkin Park

1996දී ආරම්භ වූ Linkin Park “Alternative Rock” කාණ්ඩයට අයත් වන ඇමෙරිකානු සංගීත කණ්ඩායමක්. ඔවුන්ගේ මංගල ඇල්බමය වන “Hybrid Theory”, “Meteora” හා “Minutes to Midnight” ඇල්බම් අතිශය ජනප්‍රියත්වයට පත්විය. “Heavy Metal”, “Heavy Rock”, “Hiphop”, “Pop”, “Electronica” වැනි සංගීත කාණ්ඩවල ගීතද ඔවුන් විසින් නිර්මාණය කලා. කණ්ඩායමේ මූලිකයා වන චෙස්ටර්ගේ අවාසනාවන්ත මරණයෙන් රොක් ලෝකයට එක් තරුවක් අහිමිවෙද්දී චෙස්ටර්ගේ බිරිදට ආදරණීය ස්වාමියෙක් හා ඔහුගේ දරුවන් සය දෙනාට ආදරණීය පියෙක් අහිමිවිය.

අසීරු කුඩා කාලය

චෙස්ටර්ගේ දෙමව්පියන් ඔහුට වයස අවුරුදු 11දී දික්කාසද වූ අතර ඔහු ඉන්පසු ජීවත්වූයේ ඔහුගේ පියා සමඟයි. දික්කාසද වීමෙන් පසු ඔහුගේ පියා මානසික වශයෙන් පීඩාවෙන් පසුවූ අතර එය ඍජුව චෙස්ටර්ට බලපෑවේය. එසේම පියා තම රැකියාව හේතුවෙන් අධික ලෙස කාර්යබහුල වූ අතර චෙස්ටර්ට වැඩි කාලයක් ගතකිරීමට සිදුවූයේ නිවසෙහි තනියමයි. තනිකම හේතුවෙන් ඔහු මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහි විය. චෙස්ටර් අවුරුදු 17දි සිය මව සමඟ ජීවිත්වීමට නැවත ගිය අතර සංගීතය සඳහා සිය අවධානය යොමු කලේය.

මත්ද්‍රව්‍ය සමඟ අත්හදා බැලීම

චෙස්ටර් තම මානසික පීඩාවන් මඟහරවා ගැනීමට මත්ද්‍රව්‍ය භාවිතා කීරීමට යොමුවිය. වරක් ඔහු සුප්‍රසිද්ධ “Rolling Stones” සඟරාවට පවසා තිබුනේ මත්වී සිටින විට ඔහුට අනෙක් අවස්තාවන්ට වඩා ආත්ම ශක්තියක් හා තමා වටා ඇති දේවල්වල පාලනයක් ඇති බව හැගුණු බවයි. තවත් වරක් ඔහු පවසා සිටියේ තමා ජීවත්වූයේ ඇල්කොහොල් මතින් බවයි.

දික්කසාදය

චෙස්ටර් මුලින්ම විවාහ වූයේ “සමන්තා ඔලිට්” සමඟයි. ඒ 1996දී. සමන්තා හමුවීමට පෙර චෙස්ටර් තාවකාලිකව මත්ද්‍රව්‍යවලින් ඈත් වී සිටි නමුත් විවාහයෙන් පසු ඔහු නැවතත් මත්ද්‍රව්‍යවලට යොමුවිය. සමන්තා සමඟ විවාහය අවුරුදු තුනකින් කෙලවර විය. එය ඔහුගේ තිබු මානසික අවපීඩනය දෙගුණ තෙගුණ කලේය. ඔහු තම මුලු කාලයම මත්පැන්වලට යොමු කලේය. නිවසින් එලියට බැසීමට නොහැකි තරමට ඔහු බීමට ඇබ්බැහි විය. මානසිකව මෙන්ම ශාරීරිකව දැඩි ලෙස දුර්වල විය. මෙය ඔහුගේ සංගීත ජීවිතයටද බලපෑ අතර Linkin Parkලාට සංගීත ප්‍රසංග කිහිපයක්ම අවලංගු කිරීමටද සිදුවිය. මෙම කාලය පිළිබදව චෙස්ටර් පැවසූ වදන් කිහිපයක් පහත දැක්වේ.

“I don’t know if anybody out there can relate, but I have a hard time with life.”

“Sometimes it’s great, but a lot of times for me, it’s really hard.”

“This place right here, this skull between my ears, that is a bad neighborhood, and I should not be in there alone,”

“If I’m in there, I don’t say nice things to myself,”

“There’s another Chester in there that wants to take me down.”

ඔලිට්ගෙන් වෙන්වීමෙන් අනතුරුව 2006දී ඔහු “Playboy” නිරූපිකාවක් වූ “ටැලින්ඩා බෙන්ට්ලි” සමඟ විවාහ විය. මියයන විටත් ඔහු ජීවිත්වූයේ ඇය සමඟයි.

රසිකයෙක්ගෙන් සිදුවූ හිරිහැරය

රසිකයන්ගෙන් Linkin Park ඊ මේල් ගිණුමට එන පණිවිඩවලට පිළිතුරු යැවීමට චෙස්ටර් දැඩි ලෙස ඇළුම් කලේය. විශේෂයෙන්ම ළමා රසිකයන් ඔවුන්ට වෙනත් අයෙකු සමඟ බෙදාගත නොහැකි කරුණු ඔහු සමඟ බෙදාගත්තේය. නමුත් මෙයින් අයුතු ප්‍ර‍යෝජන ගත් “ඩෙවොන් ටවුන්ස්ටෙඩ්” නම් කාන්තාවක් ඇයගේ රාජකාරී ස්ථානයේ පරිගණක භාවිතා කරමින් චෙස්ටර්ගේ පෞද්ගලික පරිගණකය, ඊ මේල් ගිණුම හැක් කලාය. ඉන්පසු ඇය චෙස්ටර්ගේ පවුලේ පෞද්ගලික කරුණු හා ඡායාරූප භාවිතා කරමින් චෙස්ටර් හා බිරිද ටැලින්ඩාව දැඩි ලෙස හිරිහැරයට ලක්කලාය. පසුව මෙයට වරදකරු වූ ඩෙවොන්ට වසර දෙකක සිර දඩුවම් නියම විය. නමුත් මෙයින් චෙස්ටර්ට තම රසිකයන් සමඟ තිබූ සම්බන්ධතාවද අවහිර විය. එම සිදුවීමද ඔහුගේ මානසික තත්වය තවත් දුර්වල කලේය.

පැයෙහි ජීවත්වීම

චෙස්ටර් තම ජීවිතයේ අවසාන කාලයේ පවා එදිනෙදා වැඩකටයුතු විශේෂ බාධාවකින් තොරව සිදුකරගෙන ගියේය. ඔහු අවසාන කාලයේ පවා ගීත නිර්මාණ රැසක්ද සිදුකලේය. නමුත් කිසුවෙකු ඔහු ඇතුලතින් විඳින පීඩාව සම්පූර්ණ ලෙස තේරුම්ගත්තේ නැත. චෙස්ටර්ගේ මරණයට මසකට පමණ පෙර, ඔහුගේ දිගුකාලීන මිතුරෙකු වන “රයන් ෂක්”ට තමා අත්විදින පීඩාව පිළිබදව කෙටි පණිවිඩ මඟින් පවසා ඇත. එහිදී ඔහු දිනයක් පැයක පමණ කොටස්වලට කඩා ජීවත්වන ආකරයක් සඳහන් කර ඇත. පැයෙන් පැය ඔහු ගන්නා මත්පැන් පිළිබදවද සදහන් කර ඇත. පැයක පමණ කාලයක් වුවත් ඔහු දැඩි අපහසුවකින් ගතකර ඇතිබව මෙයින් පැහැදිලි වේ.

මිත්‍රයාගේ සමුගැනීම

චෙස්ටර්ගේ සමීප මිතුරෙකු වූ ගායක ක්‍රිස් කෝනෙල් 2017 මැයි මාසයේදී සියදිවි නසාගැනීමෙන් මරණයට පත්වූ අතර මෙය චෙස්ටර්ට දැඩි කම්පාවක් ගෙන ආ සිදුවීමක් විය. ඔවුන් දෙදෙනා ඉතා සමීපව ආශ්‍රය කළ අතර කෝනෙල්ගේ මරණයෙන් පසු චෙස්ටර් වෙනස් වූ බව සමීප මිතුරන් පවසයි. චෙස්ටර් මරණයට පත්වුයේ කෝනෙල්ගේ උපන්දිනය දවසේය.

අවසන් ඉඟිය

සෑම විටම තමා මානසික පීඩාවන් ගැන විවෘතව කතාකල චෙස්ටර් 2017 මැයි මාසයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී තමා මානසික සෞඛ්‍යය ගැන ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙලෙස පවසා සිටියේය.

“I came to a point in my life where I was like, ‘I can either just give up and die or I can fight for what I want'”

මරණය

2017 ජූලි මස 22 වන දින චෙස්ටර් බෙනින්ග්ටන් ගෙල වැලලාගමින් සියදිවි හානිකරගත්තේය. චෙස්ටර්ගේ මරණය ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දැඩි කම්පාවක් ගෙන ආවේය. ඔහුගේ මරණයෙන් මාස තුනකට පසු තම ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් ඔහුගේ බිරිද විඩියෝවක් නිකුත් කළේය. එම විඩියෝවේ චෙස්ටර්ට මරණයට පත්වීමට පැය 36කට පෙර ඔහු පවුලේ අය සමග විනෝදෙයෙන් ගතකරන අයුරු දැක්විය. එහිදී ඇය මෙලෙස සටහන් කර තිබුනි.

“This is what depression looked like to us just 36 hrs before his death”
He loved us SO much & we loved him.”

ඇය පවසන ආකරයට ඇය සිතා ඇත්තේ චෙස්ටර් ඔහුගේ මානසික පීඩාවන් අවුරුදු කිහිපයකට පෙර මඟහරවාගෙන ඇති බවයි. නමුත් යම් අවධානම් සලකුණු දුටු බව ඇය පවසයි.

“The hopelessness. The change of behavior. Isolation. That was all part of our daily lives”

චෙස්ටර්ගේ වියෝවෙන් දැඩි කම්පනයකට පත්වූ ඔහුගේ බිරිඳ චෙස්ටර්ට ගෞරවයක් පිනිස “320 Changes Direction” නමින් මානසික පීඩාවන්ට පත්වූ අයට උදව් කිරීම සඳහා සංවිධානයක් පිහිටුවා තිබේ.

කෙසේ වුවත් අවසානයට චෙස්ටර්ම පැවසූ පරිදි “In the end it dosen’t even matter”

%d bloggers like this: