Menu Close

ජුනයිඩ් හෆීස්

ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ චෝදනා මත වසර හතකට ආසන්න කාලයක් අත් අඩංගුවේ සිටි පකිස්ථාන සරසවියක දේශකයෙකු වූ ජුනයිඩ් හෆීස්ට පකිස්ථාන අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

ජුනයිඩ් හෆීස් ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු ලෙස ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ ජැක්සන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලබා ගත් අයෙක්. 2010 වසරේදී නැවත පකිස්ථානයට යාමෙන් පසුව ඔහු පන්ජාබයේ මුල්තාන් බහඋද්දින් සකරියා සරසවියේ දේශකයකු ලෙස සේවය අරඹනවා.

ජුනයිඩ් හෆීස්ගේ නිදහස් මතධාරී අදහස් හේතුවෙන් පකිස්ථානය ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටින ජමාතේ ඉස්ලාමී පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය ඇතුළු අන්තවාදී ශිෂ්‍ය කණ්ඩායම් මුල සිටීම ජුනයිඩ් හෆීස්ව සරසවියට බඳවා ගැනීමට විරුද්ධ වෙනවා. මේ කණ්ඩායම් විසින් හෆීස්ට ඉස්ලාම් ආගමට අපහාස කිරීම පිළිබඳව චෝදනා කරන්නේ වත්පොත් පළ කිරීමක් ඉදිරියට දමමිනුයි.

චෝදනාවට හේතු වූ පළ කිරීම කර තිබෙන්නේ ජුනයිඩ් හෆීස් විසින් නෙමෙයි. එහෙත් එය පළ වූ වත්පොත් කණ්ඩායම් පිටුවේ ඇඩ්මින් වරයා ලෙස ඔහු එම පෝස්ටුව ඉවත් නොකිරීම මත ඔහුට චෝදනා නගා තිබෙනවා. ශිෂ්‍ය කණ්ඩායම් වල චෝදනා වලට අනුව “So-Called Liberals of Pakistan” සහ “Mulla Munafiq” නම් ෆේස්බුක් පිටු පවත්වා ගෙන ගොස් තිබෙන්නේත්, එම නම් වලින් කමෙන්ට් දමා තිබෙන්නේත් ජුනයිඩ් හෆීස් විසිනුයි.  ජුනයිඩ් හෆීස් වෙනුවෙන් පෙනී සිටින අයට අනුව මෙය තහවුරු කළ කරුණක් නොවන අතර හෆීස්ව අත් අඩංගුවට ගැනීමෙන් පසුවද මේ වත්පොත් පිටු සක්‍රියව ක්‍රියාත්මක වී තිබෙනවා. කුරානයේ ඇති දේ පැරණි මෙසපොතේමියානු ජනකතා මත පදනම් වන බව ප්‍රකාශ කිරීම ඔහුට එරෙහිව තිබෙන තවත් චෝදනාවක්.

ජුනයිඩ් හෆීස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට ආගමික අන්තවාදීන්ගෙන් දිගින් දිගටම මරණ තර්ජන එල්ල වුනා. පකිස්ථානයේ ස්වාධීන මානව හිමිකම් කොමිසමේ මුල්තාන් කාර්යාලයේ අධ්‍යක්ෂ රෂීඩ් රෙහ්මන් විරෝධතාකරුවන්ට අවනත නොවී ජුනයිඩ් හෆීස් වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔහුට වසර කිහිපයකට පෙර ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වුනා.

ජුනයිඩ් හෆීස් වැනි නිදහස් මතධාරී ඉස්ලාම් ආගමිකයින්ව එක අතකින් ඉස්ලාම් අන්තවාදීන්ගේ විරෝධයට පාත්‍ර වන අතරම අනික් පැත්තෙන් ඔවුන්ට ඉස්ලාම් වීම නිසාම ඉස්ලාම් නොවන ලෝකය තුළ වෙනස් ලෙස සැලකීමට භාජනය වෙන්න සිදු වී තිබෙනවා. ඉන්දියාවේ අලුත් පණත උදාහරණයක්. ඉස්ලාම් නොවන වෙනත් මධ්‍යස්ථ මතධාරීන්ට මුහුණ දෙන්න වී තිබෙන ගැටළුවත් මෙයමයි. ලෝකයේ හැම පැත්තේම වගේ මධ්‍යස්ථ මතධාරීන්ට වෙන් වුනු ඉඩකඩ එන්න එන්නම පටු වෙනවා.

(Image: https://www.voanews.com/south-central-asia/pakistani-scholar-sentenced-death-blasphemy)

%d bloggers like this: