Menu Close

158. මෛත්‍රී – ආයුබෝවන් මිත්‍රයා . . . !

ඔව් මේ අලි පන්නපු මෛත්‍රී තමයි.

මෛත්‍රී මා හට මුන ගැහෙන්නේ අපි මහවැළි ගඟේ මහියංගනයේ සිට මනම්පිටියට යාත්‍රා කල අවස්ථාවේ අපිට එක් වූ අවසාන ගමන් සගයා ලෙස.

“මා කණ්ඩායම නැවත සැකසූයෙමි. 
ධම්මික පැමිනිය හොත්; පසිඳු-ධම්මික , වසික – මම , තෙශාන්ත –  ?

ඔව් තව එක් අයෙකුගේ සහභාගීත්වය අනිවාර්‍යයෙන්ම  අවශ්‍ය වේ. මන්ද මේ  ගමන සඳහා   භාවිතා කලයුතු වන්නේ Two Man Kayak මය. එය හැසිරවීමේදී පොඩි ලමයෙකු වාගේ  කීකරුය ! 


මේ නොදන්නා ගමන් මගේ තිබිය හැකි  Rapid හෙවත් ඇළි වලට වඩාත්  සාර්ථකව මුහුන දිය හැක්කේ Two Man වලටය. වැඩි බරක් ගෙන යා හැක්කේද මේවාටමය . මේ නිසාම මේ ගමනට Two Man හෙවත් Tandem  විනා  One Man හෙවත්  Solo ගෙනයාම බුද්ධි ගෝචර නොවන්නේය. එසේම  One Man හෙවත්  Solo කයාකයක් පැදීමට සුවිශේෂි හැකියාවක් තිබිය යුත්වේ. එවන් හැකියාවක් ඇත්තෙකු ඉතිරිව ඇත්නම්  ඒ පසිඳු පමනකි! 


අවසානයේ තෙශාන්ත මාහට කථාකලේය. ඔහුගේ මිතුරෙකුවූ වන ජීවී දෙපාර්තමේන්තුවේ  මෛත්‍රී නමැති අයෙකු මේ ගමනේ ඉතිරි ගමන් සගයා ලෙස මහියංගනයේදී  අප හා එක්වන බව ඔහු සහතික විය.


මේ වන විට ඇළහැර ප්‍රදේශයේ අලි පැන්නීමේ ව්‍යාපෘථියකට සම්බන්ධව සිටිනා ඔහු අද රාත්‍රී බසයෙන් මහියංගනය බලා පිටත්වන බව වැඩි දුරටත් හේ පැවසීය.”

-(https://thattayagekolama.blogspot.com/2017/10/54-11.html )-

මහවැළියේ යන්නට අප පිටත් වෙන්නේ රජරටට මහ වැසි වැටෙන්නට ඔන්න මෙන්න තියෙන කාලයක. අහස ගැබ්බරව වැසි වදන්නට සූදානම්ව සිටි මොහොතක අප ගමන යොදාගෙන තිබුනි. 
මුලින් අප සමග සිටි 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩයම කෙට්ටුවී කෙසඟවී කෙඬෑරිවී 5 දෙනෙකු දක්වා පසු බැස තිබුනි. 
එවන් මොහොතක අප “නැතිවූ” සගයා සොයමින්; හාත්පස  ඉව අල්ල අල්ලා සිටි මොහොතක මෛත්‍රී පිළිබඳ ආරංචිය ගෙනාවේත් තෙශාන්තයමය!

“අප දැන් මහියංගනය නගර සීමාවේ සිට නිපෝන් පාලම සොයා යන්නට පිටත් වූ අතර;   තෙශාන්ත දිගින් දිගටම ඔහුගේ මිතුරා මෛත්‍රී ඇමතීමට උත්සාහ ගනිමින් විය. 

මේ තෙශාන්ත පවසන 
මෛත්‍රී  අනුකම්පා විරහිත අපව අතර මං කලාවත්ද? මෛත්‍රී  නොපැමිනියහොත් අප අතරින් කවුරුහෝ එක්  අයෙකු එක්  කයාකයක් සමග මහියංගනයේ නවතින්නට සිදුවනු ඇත. මන්ද Two Man  කයාකයක්  තනිව ලොකු දුරක් පැදීම බොහෝ අසීරු කටයුත්තකි. එය වඩාත් අසීරු වන්නේ එය මතුපිට තවත් අමතර බරක් පැටවූ පසුය.


 අවසානයේ නිපෝන් පාලම අසලදීම  තෙශාන්තට තම උත්සාහය සාර්තක කර ගැනීමට හැකි විය. ඔහු පෙරදින සිට නිදි වර්ජිතව ඇලහැර සිට මහියංගනයට පැමින ඇත.


මහියංගනයේ සිට නිපෝන් පාලම පසුකොට ගොස් අපසු හරවා ගෙන පැමිනෙද්දී කාල වර්ණ, ප්‍රියමනාප, ශක්තිමත් දේහයකට හිමිකම් කියූ තරුණයෙකු අපට හමුවිය. ඒ අන් කිසිවෙකුත් නොව මෛත්‍රීය. 

http://thattayagekolama.blogspot.com/2017/10/12.html )-

හමුවී කෙටි වේලාවකින්ම ඔහු අප සමග ඇති කර ගත්තේ කලක සිට ගෙන ආ මිතුරු බවක සේයාවක්. ඔහු පැද්දේ වසික එක්ක. වසික කියන්නේ මගේ සුජාත පුත්‍රයා. ඔවුන් දෙදෙනාම ගමනට එක් වූයේ ආධුනිකයින් ලෙස! එහෙත් ඔවුන් ඉතා ඉක්මණින්ම කයාකය හසුරුවා ගැනීමට ඉගෙන ගත්තා. ගමන තුල ඉතිරිව ඇති මිහිරි මතක අතර මෛත්‍රී වටා ගෙතුනු කථා බොහොමයක් තවමත් අප අතර.

“බොහෝ විට වසික -මෛත්‍රී  යුගලය රැගත් කයාකය ඉදිරියෙන්ම ගමන් ගති. අප එය හැඳින්වූයේ අධිශක්ති කයාකය ලෙසයි. හොඳින් වැඩුනු දේහයකට හිමිකම් කියූ මෛත්‍රී ශක්තිමත් තරුණයෙකු විය.ඔහුගේ දෑතේ හෙවත් බාහු යුග්මයේ   මස්පිඩු හොඳින් වැඩී තිබුනි.

වන ජීවී දෙපාරතමේන්තුවේ සේවය කරණ ඔහු එයට අමතරව පුහුණු ජීවිතාරක්ෂකයෙකි! නවසීලන්ත ජීවිතාරක්ෂක සංගමයෙන් තඹ පදක්කම් ලද්දෙකි. ( Bronze Medalist)! එසේම හොඳ පිහිනන්නෙකි. වසිකද ඇඟ පුරා ගාය ඇති නව යොවුන් තරුණයෙක්‍ ය.

මේ නිසා වසික මෛත්‍රී ද්විත්වය රැගත්  කයාකය ගඟේ හරහටද දිගටද උඩහටද පහලටද සෑම දිශාවකටම ගමන් කරණු බොහෝවිට දක්නට ලැබුනි. ශක්තිය අවශ්‍යය; ඒ අවශ්‍ය වේලාවට අවශ්‍ය පරදිය!  ඔවුන් මෙසේ ගඟේ හතර මුල්ල පැන්නේ අප බොහෝ සීරුවෙන් මෙන්ම අසීරුවෙන් ගඟ පහලට සෙමෙන් සෙමෙන් රූටමින් සිටිනා විටදීය !”
-( http://thattayagekolama.blogspot.com/2017/11/14.html )-

මහ කැලේ අප රාත්‍රිය ගත කරද්දී අපගේ ජීවිත ආරක්ෂාවට ගිනි මැලය පරදා ඉදිරියේ සිටියේ මෛත්‍රීය.  ඔහු අපගේ කාන්සිය මැකී යන්නට තම කට හඬ අවදි කලේය.
තෙශාන්ත පවසන ලෙසට පලමු විවාහය කෙළවර වී ඇත්තේ “හුලවාළි” චිත්‍රපටයේ කථාවට සමපාත වෙමිනි. ඒ වන විටත් විරහව ඔහුගේ සිතේ කොතැන හෝ තිබෙන්නට ඇත!

“ටික වේලාවකින් තෙශාන්ත විසින් සම්පාදනය කොට මෛත්‍රී විසින් ඉදිරිපත් කරණ්නට යෙදුනු “අසන්නන්ගේ   ඉල්ලීම්”  වැඩසටහණකට සවන් දීමේ අවස්ථාව ලැබුණි. 
මාගේ මතකයේ හැටියට  ඔහු පලමුවෙන් ම ගායනා කලේ  විශාරද  ටී ෂෙල්ටන් පෙරේරා ගේ ගීතයකි.

“මී පැනි දී රිදී ගන්න   ගං පොජ්ජට මං ගච්චා …….” නම් රසාලිප්ත  ගීතයය. 

ඒ වන විට ප්‍රථම ප්‍රේමය විසින් මෛත්‍රීගේ හදවත දරුණු ලෙස බරුගසා සිටි අවධියයි! ඒ දුක් බර හඬ නැගුනේ ඔහුගේ ස්වරාළයෙන් නොව හදවතින් විය යුතුය!

මේ ඔහුගේ ආත්ම කථනයද ?”

“මී පැනි දී………..” ගීයෙන් පසු තවත් එම ශිල්පියා ගේම ගීත කිහිපයක් මෛත්‍රී  ගායනා කලේය.   

ෂෙල්ටන් පෙරේරා ගායකයානන් ගේ නාසික හඬට  තරමක දුරින් නෑකම් කී හඬකට හිමිකම් කී මෛත්‍රීගේ ගී රාවය ; ඒ වනවිට බොහෝසෙයින් විඩාබරව සිටි අපට සුන්දර මිහිරියාවක් ගෙන දෙන්නට සමත් විය.

මයිත්‍රී එක් ගීතයක් ගයා අවසන්  වත්ම තෙශාන්ත ; “අනේ මයිත්‍රියෝ තව එකක් කියහංකෝ…….!” යයි පවසමින් කල ඉල්ලීම පසෙක නොහෙලා මෛත්‍රී ගීත දහයක් පමන ගැයුවේය.

අප එකෙක් අය කැමති ගායක ගායිකාවන් කවුරුන් වුවද ;  එම මොහොතෙ අප සියල්ල ඒකාග්‍රව ඒකාත්මිකව එම හඬ රස විඳීය. 

ඒ ; ඒවනවිට   අප කැමතිම හඬ වූයේ ටී ෂෙල්ටන් පෙරේරා ගේ හඬ මුසුවූ මයිත්‍රීගේ දුකබර හඬට වූ බැවින්‍ ය.”
-( http://thattayagekolama.blogspot.com/2017/12/16.html )-

මෙවර කළු ගඟේ යන්නටත් මා ඔහුට අමතන ලෙස තෙශාට කීවෙමි.

“අප සමග මහවැළි තරණයට ගිය අනෙක් තිදෙනා වන්නේ වසිකත්, මෛත්‍රීත්, ධම්මිකත්ය. වසික මේ වන විට කැන්ගරු දේශයේය.
ඊළඟට ලැයිස්තුවේ ඉන්නේ මෛත්‍රී හා ධම්මික ය.  
දෙදෙනාගෙන්; අවස්ථාවට පළමුව හිමිකාරීත්වය කීවේ මෛත්‍රීය. ඔහුගේ ජිව දත්ත මා මෙහි නැවත සඳහන් නොකරණ්නේ  ඒ සියල්ල මා ගඟක් දිගේ ලියා තැබූ බැවින්ය.

“අද හවසට ඌට කතා කරලා උදේම උඹට කියඤ්ඤං !” කියා කීවාට තෙශාන්ත කියපු දෙයක් නැත.

මම දෙවන වර තෙශාන්තව අමතන විටත් ඔහුට මෛත්‍රීව සම්බන්ධ කර ගැනීමට නොහැකිවී තිබුනි.

මන්ද මහ කැළයේ ගස් බෙනවල, රූස්ස ගස් මුදුන් වල, ගල් ගෙවල් තුල කටු ලැහැබ් තුලින් මී පැණි පොජ්ජක් මන්දො කර ගත්තාට සිග්නල් පොජ්ජක් පටෑරගෙන කෝල් පොජ්ජක් මන්දො කරාන්නට හැකියාවක් නොමැති නිසාය.

“දිවයිනම ආවරණය වන පරිද්දෙන් . . .  ” බයිලා  මහ කැළයට ඒවා වලංගු නොමැත.

බඩ රස්සාවට අලි පන්නන මෛත්‍රී ඉන්නා රූස්ස කැළයට සිග්නල් සිදාදියෙ හූරන් රැගෙන යා  යුතුය.

“මචං ඌට එන්න වෙන්නේ නැතිලු . . . !” මේ 11 වෙනිදා හවස් යාමයේය!”
-( http://thattayagekolama.blogspot.com/2019/04/131-2.html )-

15/12/2019 කියන්නේ මෑත කාලයේ බොහෝ සෙයින් කලබලකාරී දිනයක් උනේ වැඩපලේ මිත්‍රයෙකුගේ පියාගේ අවමංගල්ලය වෙනුවෙන් මස්කෙළියේ නොටිංහෑම් වත්තට යන්නට සිදු වීම හේතු කොට ගෙන! මමත් රුෂානුත් අගනුවරින් පිටත් උනේ හරියටම දහවල් 12.00 ට!

හරියටම 1.30 ට දූරකථනය නාද විය.

තෙශාන්ත! අමතමින්.

“තෙශා! කියහං මචං මම මලගෙදරක යනවා මස්කෙළියේ!”

” සෑඩ් නිව්ස් එකක් මචං! අපේ මෛත්‍රියාට අලියෙක් ගහලා! එතනමලු!  බොඩි එක අරණ් තියෙන්නේත් මාර ගේමක් දීලාලු!”


එතනින් එහාට මම මොනවා කිව්වාදැයි මම නොදනිමි. ඉන් එහාට මා ඒ පිළිබඳව කිසිදු දෙයක් ආරංචි නොකලෙමි. මන්ද ඒ කිසිදු දෙයකින් ඒ සුන්දර මිනිසා නැවත අපට දකින්නට නොහැකි වන නිසාය. මා මේවන තෙක් මාගේ පුත්‍රයාට නොකීවෙමි. ඔහු එතරම්ම මෛත්‍රීට ආදරය කල බව මා හොඳාකාරවම දන්නා නිසාය.

මහවැලියේ එක් මොහොතක වසික හා මෛත්‍රී පැදවූ කයාකය සැඩපහරට හසුවී; දියට බරවූ විසල් ගසක් යටින් ගමන් කරද්දී වසික හට සිදු වන්නට ගිය මාරන්තික අනතුරකින් ගලවා ගත්තේ මෛත්‍රීගේ වේගවත් මෙන්ම ශක්ති සම්පන්න වූ ප්‍රථිචාරය කරණ  කොට ගෙනය!


මෛත්‍රී පිළිබඳව කතා කරන සෑම අවස්ථාවකදීම වසික එය මහත්වූ ගෞරවයකින් යුතුව මතක් කරණු මා බොහෝ වර අසා ඇත!

අලින්ට විනය කටින  ගිහියන් පැවිද්දන් මෙතරම්  සිටින රටක; සැබැවිම “ගජ මිතුරන්” වූ කණ්ඩායමක මෛත්‍රීවම මරා දැමුවේ ඇයිද කියා මාහට සිතා අගන්නට නොහැක!

උඹේ මල ගෙදරට ඇවිත් උඹේ කනට ලං වෙලා කියන්නට දෙයක් ඇත.


“උඹ ඇත්තටම හොඳ මිනිහෙක්!”

කාකි හැට් තොප්පියක් ඇඳ සිටින්නේ මමය! 
මාගේ දකුණු පසින්; කොල පැහැති කැප් තොප්පියකින් සැරසී සිටින්නේ පසිඳුය.  
 මාගේ වම් පසින් සිටින; මාගේ සුජාත පුතු  වසිකය. 
වසික අත තබාගෙන සිටින්නේ අපගේ ආදරණීය මිත්‍රයා – මෛත්‍රී ගේ දෙවුර මතය.
 උපැස් යුවලකින් සැරසී මෛත්‍රීට අසල සිටින්නේ තෙශාන්තය.
 පිංතූරයේ ඉහළ කෙලවරේ සෙල්ෆිය මෙහෙයවූ මහේන්ද්‍ර !

සිය පතක් රැඳුනද කුසුමක
සිත හදා ගන්නේ කෙලෙසද

එක් පතක් වියැකෙද්දී . . . ?


ඔව් බලමු ලබන ආත්මෙදිවත් මෙවන් අකල් මරණයක් අත් නොලබන්නට!

%d bloggers like this: