Menu Close

ශ්‍රී ලංකා not Vs England – පස්වෙනි කොටස

සිල්ලර කඩයක් වුණාම පාරිභෝගිකයන්ගේ ඇසත් පිනවන්නක් විය  යුතුමය!
රසික හිතවතුනි. ඒ කාලේ සිල්ලර කඩයක දවසකදී රුපියල් දහදාහක අලෙවියක් තිබිණි නම් ලාභය සීයට කීයක් විය හැකිද?
“දවසකට සිද්දවෙන වෙළෙඳාමෙන් සීයට දහයක්වත් ලාබේ වෙන්න ඕනෙ, රංජි. නැත්තං ඉතින් සිල්ලර කඩයක් කරලා වැඩක් නැහැ!” පොඩි මාමා කිව්වේ එහෙමය. ඒ කියන්නේ දවසකට රුපියල් දහසක ලාභයකි; එවිට මාසෙකට තිස්දාහකි.
එහෙම ආදායමක් තිබුණා වුණත් අප ඒකෙන් ගෙදර වියදමට මුදල් ගත්තේ බැරිම තැනකදී විතරය.
ඉපදෙන ලාභයේ හැම සතයක්ම යෙදවුණේ සිල්ලර කඩයේ බඩු ප්‍රමාණය; වත්කම වැඩි කර ගන්නටය. එතකොට කඩේ හැඩ වැඩිවෙයි; සෙනඟ වැඩියෙන් ඇදෙන්නේ එහෙම තැන්වලටය. එවිට වෙළෙඳාමත්, ඊට සාපේක්ෂව ලාභයත් ඉහළ යයි! 
“අයියේ, අපේ කඩේටත් පළතුරු දාන්න ඕනේ! එහෙම නැතිනම් ඒක කුලියට දෙන්නයි වෙන්නේ…” සුනිල් කිව්වේ ඒ අතරවාරයේය. සුනිල්ට උවමනාවී තිබුණේ වෙනම ගමනක් පටන් ගන්නටය. සමහරවිට මල්ලිකාලගේ ගෙදරිනුත් ඒ සඳහා බලපෑම් කෙරෙන්නට ඇතිවා විය හැකිය.

ඔන්න dadaටත් ලංකාවට එන්න ඕනෙලු ඔයාලව බලන්නත් එක්කම!
“රංජි, ඩැඩාටත් ලංකාවට එන්න ඕනෙලු කියනවා. ඔයාලව බලාගන්නත් ආසයිලු!” ඒ දවස්වලම අම්මාගේ කීමෙන් අපි ඇත්තටම තක්බීර් වීමු!
“සැසිල් හරිම නීතිකාරයා…. සේරම නූලට රූලට ඕනේ. ඔය අපි වගේ නෙවෙයි. 
-තේ බොන්න නම් පීරිසි කෝප්ප ඕනේ. වතුර බොන්න විතරයි වීදුරු. ඔයාලට ඉතින් අහුවෙච්චි ඕනේ එකක් හරියනවා වුණාට එයාට එහෙම බැහැ….. මතක තියාගන්න වෙයි.” විඩෙන්-විඩේ ළමා නිවාසයට ටෙලිෆෝන් කරද්දී අම්මා කියූ දේවල් අමතක කරන්නේ කොහොමද? 
“මෙහෙදී ගෙදර හරියේ කරවල හදන්න නං ඉඩක් දෙන්නෙම නැහැ. මිරිස් තුනපහ දාලා හදන දේවල් මොනවත්ම සැසිල් කන්නෙත් නැහැ. අපේ කෑම ජාතිවලින් කන්නේ කට්ලට් විතරයි. ඒකත් යන්තමට ගම්මිරිස් ටිකක් දමලා හදනවා නං විතරයි.” 
ඩැඩා එන්නට කලින්ම එයාගේ ඇවතුම්-පැවතුම් ගැන අහගන්නට යයි උපදෙස් දුන්නේ අපේ සීයාය. 
“සුද්දෝ හරිම නීතිකාරයෝ…. ඔය ළමයටත් නංගිල-මල්ලිලාව ටිකක් ආම්බාන් කරලා පුරුදු කරවලා තියන්න වෙයි! සුද්දෝ හරි ක්ලීන්!”. ඒ අස්සේ අම්මා කීවේ තවත් එකකි.

අනෙක් දවස්වල අපි මොනවා කෑවත් කමක් නැති වුණාට ඉරිදා දවල්ට නං………..
“ඉරිදට නම් dadaට එංගලන්ත පන්නෙට ඩිනර් එක හදන්න ඕනේ!” 
එංගලන්ත ඩැඩා පෙරහරේ එන්නට කලින්ම ලාංකික කසකාරිය ආවේ එහෙමය. අම්මා එංගලන්ත පන්නේ ඩිනර් එකය කිව්වේ Roasted Chicken, රෝස්ට් කළ අර්තාපල්, තැම්බූ එළවලු ආදිය අඩංගු කෑම වේලකටය. 
“මෙහෙ කොහෙන්ද ළමයෝ රෝස් කරපු කුකුළො? කොළඹම යන්නයි වෙන්නේ රෝස් කරපු කුකුළෙක් ගෙනෙන්න.” සීයා කිව්වේය. 
දැන් නම් ඕනෑම ගම්-තුලානෙ හෝටලයක වුණත් රන්වන් පාටට කරවුණු කුකුළන් දෙතුන් දෙනෙකුවත් ඉන්නවාමය. ඒ කාලේ මඟුල් ගෙදරක හෝ ඇට්හෝම් ගෙදරක හෝ නම් නොවැරදීම එහෙම දෙතුන් දෙනෙක් හිටියෝය. 
සැවුළු සංහාරයේදී කියවුණු අපේ මානෙල් නංගිගේ මඟුල් ගෙදරදීත් රෝස්ට් කළ කුකුළො දෙතුන් දෙනෙක් මඟුල් මේසය හැඩ කළහ. උජාරුව පෙන්වමින් රෝස්ට් කුකුළන් වැජඹුණේ සලාද කොළ තට්ටුවක්, තක්කාලි පෙති කිහිපයක්, බී ළූණු රවුම් කිහිපයක් මැදට වෙලාය. ඒ අසලින්ම ගෑරුප්පුවකුත්, මොට්ට රිදී පිහියකුත් අතුරලා තිබුණේය. 
ඒත් කොයියම්ම පුතයෙකුවත් උන්ට අත තිබ්බේ නැත.  

එයා ලංකාවට එන දවසේ විතරක් ගෙදර නවත්තගෙන ඉඳලා හෝටලයකවත් ….
ගෑරුප්පුවෙන් පිහියෙන් නොව අත් දෙකෙන්ම අල්ලලා උන්ව කැබලි කරමින් වැළඳුවේ අමුත්තන් සේරටම පස්සේ බාගෙට හිස් මඟුල් මේසයට වාඩිවෙන ආවතේවකරුවන්ය.  
“අම්මේ, ඔය රාජකාරි සේරම කළත් ඩැඩාව කොහොමද අපේ ගෙදර නවත්තා ගන්නේ. ඒ මනුස්සයා අපේ වැසිකිළියට යාවිද?” 
“ඒක නං ඇත්ත. එන දවසේ විතරක් ගෙදර නවත්තගෙන පහුවදා ඉඳලා හෝටලේකවත් නවතින්න කියමු! එක ලේසියක් තියෙන්නේ ඩැඩා ටොයිලට් යන්නේ දවස් දෙක-තුනකට සැරයක් විතරයි. ඇයි, සැසිල් මොනවත් කන්නේ දවස් දෙකකට විතර සැරයක්නේ.” 
“එතකොට dada අනෙක් දවස්වල බඩගින්නේද ඉන්නේ?” 
“දවසකට කිරිකෝපි ජොග්ගු දහයක්-පහළොවක් බොනවනේ…. ඉතින් බඩගිනි දැනෙන්නෙ නැතිව ඇති.” අම්මා කිව්වේ ඇත්තකි. ඩැඩා කෝපි හදවාගන්නට පුරුදුවී හිටියේ අමුතුම විදිහකටය.

සේරම කිරලා-මැනලා වගේ නූලට-රූලට ……
මුලින්ම කිරි මග් එකක් උතුරවාගන්නට වෙයි. ඒකට නෙස්කැෆේ හැඳි දෙකකුත්, සීනි හැන්දකුත් දමා කූරූ ගාගත්තාම හරිය. සේරම කිරලා-මැනලා, නූලට-මිම්මට තියෙන්නට ඕනය. 
ඒකට අනුපානයට dada එකතු කරගන්නේ එකක් නිවෙද්දී අනෙක පත්තු කරගන්නා සිගරැට්ටුවකි. 
“අම්මා කිව්වට ඩැඩාට වුණත් සෙකන්ඩ් වෙන්නෙ කොහොමද සුනිල්….. බැරිද අපට පුංචියට පෝරණුවක් හදාගන්න? චෙඃ, ඒත් වැඩක් නැහැ. අපි දන්නවැයි කුකුළො රෝස් කරන්න.” 
“අයියෙ, බලපංකො කුකරි පොතේ! ඒකේ ඇතිනේ…..” 
සුනිලුත් මං වගේම පොත් ගුල්ලෙකුවී හිටි නිසාත්, අවුරුද්දකට වතාවක් ගුණසේන පොත්හලේ සේල් එකට මාත් එක්ක ගිය නිසාත්, මගේ පොත් එකතුව ගැන හොඳහැටි දැනගෙන උන්නේය. 
ඒ වෙලාවේම ගුණසේන සූප ශාස්ත්‍රය පොත පෙරළන්නට වීමි. 250 පිටුවේ තිබෙන්නේ මෙහෙමය!
ගුණසේන සූප ශාස්ත්‍රය පොතේ කුකුළෙකු රෝස් කරගන්න කියන්නේ ……..
‘518. කුකුළා රෝස් කිරීම
වුවමනා ද්‍රව්‍ය:- පිහාටු ආදිය ශුද්ධකොට ගත් කුකුළු නාම්බෙක්, බටර් හෝ දුන්තෙල් වුවමනා පමණට, ගම්මිරිස් කුඩු තේ හැඳි 1, අඹරාගත් කහ ස්වල්පයක්, ලුණු කුඩු වුවමනා පමණට, කරාබු නැටි 2, කුරුඳු අඟලක කැබලි 1, විනාකිරි මේස හැඳි 2.
කුකුළා ගෙ බොක්ක යනාදී සියල්ලක් ශුද්ධ කොට අඹරාගත් කුරුඳුපොතු, කරාබු නැටි, කහ, ලුණු, විනාකිරි සමඟ මුසු කොට සකස් කොට ගත් කුකුළා ගේ ඇඟ හැමතැන ම තවරා තැටියකට දමා යළිත් ඊ මතුයෙහි බටර් ගාගන්න. 
ඉන් පසු මඳ රස්නය ඇති පෝරණුවකින් පැය එකහමාරක් පමණ දුඹුරු පැහැය වනතුරු රෝස්කර දීසියකට දමා සාස් සමඟ පාවිච්චියට ගන්න.’ 
ඔය ටික උපුටාගත්තේ මෑත අතීතයේ කුකුළන්ට වධ දුන් හැටිත්, සිංහල භාෂාව වහරන ලද හැටිත් ගැන හිතවත් රසිකයනට අදහසක් ගන්නටය. 
ඒත් එක්කම ‘රෝස් කළ කුකුළාගේ’ ෆොටෝ දෙක සැසඳුවාම, ඒ කාලයේ මුද්‍රණ තාක්ෂණය ගැනත් චුට්ටන් අදහසක් ගන්නට පුළුවන් වෙන්නේය.
එදා අප උන්නේ යාල නිව් බුතව බංගලාවේ නැවතිලාය…. මේ ගොන්කම…
දැන් කුකුළන් රෝස් කරන්නේ ඉස්සර තරම් සරලව නොවේ. විච්චූරණ ගොඩක් කරලාය. ඒ නිසාම ඇහැට නම් වදිනවාය. 
අනෙක් අයට නම් කොහොමද මන්දා. මට නම් අද බොහොමයක් තැන්වලින් ගෙනෙන ‘රෝස් චිකන්’වල රසයක් නැත. (මං ඒවා ගෙනෙනවා නොවේ.) අපේ මිත්‍ර සංසදය රැස්වෙන දවසට සමහරුන් ගෙනෙන ඒවා ගැනය මා කිව්වේ. 
එදා නම් roast කිරීමට පෙර ‘මැරිනේට්’ කරන්නේ කොහොමද කියලාවත් මං දැනගෙන හිටියේ නැත. දැන් නම් හරිම ලෙහෙසිය, ඒ කාරියට එක-එක නම්වලින් ‘මැරිනේටින් පවුඩර්’ ජාති තිබෙයි. 
එහෙම කියද්දී නිමල් දිසානායකගේ අමු තකතිරුකමක් ගැනත් නොකියාම බැරිය. මේ අවුරුදු විස්සකටත් වඩා පරණ එකකි. එදා අප උන්නේ යාල ‘නිව් බුතව’ බංගලාවේය. 
“මේක බුක් කරගත්තේ හරිම අමාරුවෙන්. ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලේ නම් බුතව බංගලාව කාටවත්ම වෙන් කරන්නේ නැතිව හිටියාය කියලත් කතාවක් තිබුණා. උන්නැහේට හිතිච්ච ගමන් මෙතනට එනවලු!” එහෙම කියැවුණේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා ගැනය.
මේකාව බාබකිව් කළොත් නං නියමෙට තියෙයි බයිට් එකට!
එහි පුදුමයකුත් නැතිය. බුතව බංගලාව තිබෙන මුහුදු වෙරළ හරිම ලස්සනය. 
“ඇත්තද ප්‍රියන්ත යාල සර්කිට්ස්වලින් expensiveම එක මේකය කියන්නේ?” බංගලාව වෙන්කරගෙන තිබුණු වල් ප්‍රියන්ත කිව්වේ එහෙමය කියලාය. 
ඉතින් එදා උදෙන් වන සතුන් බලන්නට ගිය අප ආපසු ආවේ කදක් බරට මාළුත් අරගෙනය. ඒ අතරේ කිලෝ දහයක විතර මාළුවෙකුත් උන්නේය. 
“නිමල් අයියේ, මේකාව බාබකිව් කරමු. Bite එකට නියමෙට තියෙයි. ඔයාට පුළුවනි නේද ඌව මැරිනේට් කරන්න?” අපේ නඩයේ සිටින ‘මාළු expert’ කිංස්ලි සාන්ත හිතවතා ඇහුවේය. 
“සුද්ධ කරලා දෙන්න, එතකල් මං අනික් දේවල් ලැහැස්ති කරගන්නම්.”
මාළුවාට රස ගන්වන මිශ්‍රණයක් හදලා, තවරලා ශීතකරණයට දමන්නට ගියාමය, අපට තරු පෙනුණේ! එහි ඉඩ නැත. ඒ මදිවාට මාළුවා විශාලත් වැඩිය. “කමක් නැහැ නිමල් අයියේ. මැරිනේට් කරලා නිසා මොකුත් වෙන එකක් නැහැ. පොඩියට කපලා ෆ්‍රිජ් එකේ දාල තියලා අරන්  බාබකිව් කළාට ගතියකුත් නැහැනේ….”
වමේ සිට නන්ද කුමාර, නෙවිල්, සාන්ත, හරිශ්චන්ද්‍ර හා සරත්…….
ඉතින් රෑ වෙනතුරුම මාළුවා හිටියේ එළියේය; උගේ පාඩුවේය. ගිනි අඟුරු දල්වා, බාබකිව් දැල උඩට ඌව පරෙස්සමෙන් වැඩම්මුවාමය පළාතම ගඳ ගහන්නට පටන් ගත්තේ. 
වාසනාවට අප බාබකිව් උදුන සකස් කරගෙන තිබුණේ බංගලාවෙන් ටිකක් ඈතට වෙන්නටය. “ගඳ නම් එච්චර හරි නෑ වගෙයි… ඒත් ටිකක් පිච්චෙනකල් ඉඳලා බලමුකෝ.” අප අපවම රවටාගන්නට එහෙම කියාගෙන හිටියේ ඈතට වෙන්නටය. ඒත් මොන බැලිල්ලක්ද? 
විදිල්ලක් වගේ කළු තඩියෙක් ලන්දෙන් මතු වුණේය; බාබකිව් දැල ළඟට පෙරළුණේය; ගිනි-ගිනියේ රෝස් වෙමින් තිබුණු දැවැන්ත මාළුවා දලයේ පටලවා ගත්තේය; කැලයට වැදුණේය!
සිදු වුණුදේ අපටත් හරිහැටි හිතාගන්නට හැකි වුණේ තවත් තත්පර ගානක් ගියාට පස්සෙය.
දැවැන්ත ඌරාගෙ mission possible ඒ තරමටම quickය.

යාල වනෝද්‍යානයේ ඌරන්ට එදා රජ බයිට් එකක්… (foto-ශ්‍රී අබේවික්‍රම මහතා ‘ලක් දසුන්’ අඩවියට සැපයූවකිනි.) 
“තමුසෙලා දෙන්නටම හිතාගන්න බැරි වුණානෙ මෙහෙ තියන රස්නෙට මාළුවා කුණු වෙයි කියලා…..” මාළුවා ඌරාට බයිට් එක වුණාට, ඒ වතාවේ යාල ගමන පුරාම අපේ කට්ටියට බයිට් එක වුණේ සාන්තත්, මාත්ය. 
ඉතින්, සූප ශාස්ත්‍ර පොතෙන් පෝරණුව ගැන අදහසක් ආවේ නැත. 
Idea එක ආවේ කොයි අයිඩියානන්ද දිසානායකගෙන්ද කියලා මතක නැතත් අපි පෝරණුවක් හැදුවෙමු. 
ඒ ලොකු ඇලුමිනියම් මුට්ටියකට වැලි පුරවා, ඒ මැදින් (කුකුළෙකු දමන්නට තරම් ඉඩ තිබෙන) තවත් මුට්ටියක් ගිල්වලාය. ළිප උඩින්- ලොකු හැලිය තියලා ගින්දර දැම්මාම ගිනියම් වෙන්නේ වැල්ලයි! 
ගිනියම් වුණු වැල්ලෙන් අඛණ්ඩ උණුසුමක් කුකුළාට දැනුණා වෙන්නට ඇතිය. අගේට කහ-දුඹුරු පාටට කරවුණේය! 
English dinner එක හදාගන්නට, දස වධ විඳලා කුකුළා රෝස් කළේ එහෙම වුණත්, ඩැඩා හැඳි-ගෑරුප්පු-පිහි සේරම පාවිච්චියට අරගෙන භුක්ති වින්දේ හොඳටම පුංචි කෑල්ලකි. 
“ඇයි…. ඩැඩාට රස නැහැල්ලුද?”

පොඩි එව්වෝ හත් අවුරුද්දක් බඩගින්නේ හිටි සාගිනිකාරයන් වාගේ …..
කුකුළා රෝස් කරන්නට කෙරුණු යුද්දයට නොදෙවෙනි යුද්දයක් එදා අපේ ඩැඩාත් කරන්නට ඇති බව අපට තේරුණේ පසු කාලයකය; අපේ අම්මාගේ ‘මම්බෝ- ජම්බෝ’ ඉංගිරිසි වටහාගන්නටය. ඒ බාසාව ඒ දවස්වල දැනටත් වඩා excellentය! 
ඒ මදිවාට හැම පැත්තෙන්ම දික් කෙරිලා තිබුණු අප නවදෙනාගේ රබර් ඇස් 18කින් කියවුණු අවාචික පණිවුඩයත් dadaගේ බොක්කටම වදින්නට ඇතිය…… 
ඩැඩා මේසයෙන් නැඟිටලා ඉස්සරහට ගියා විතරය; ගෙදර පොඩි එව්වෝ හත් අවුරුද්දක් බඩගින්නේ හිටි එවුන් වාගේ, පිඟන් දිගු කරගෙන අපේ ලොකු නංගිව වට කරගත්තෝය. 
“අම්මේ….. මොකද කියන්නේ…. ෆ්ලෙමින්ගෝ එකෙන්වත් (හෝටලයේ නම කියන්නේ යාන්තම් මතකයකිනි.) dadaට කාමරයක් ගන්න බලමුද? එහෙම කරන එක නේද…..” මගේ කතාව ඉවර වෙන්නටත් කලින්ම, අම්මා භාෂා පරිවර්තිකාව විදිහට ආයෙත් වැඩ පටන් ගත්තාය. 
එයාට වැඩියෙන් අපූරුවට ඩැඩාම අපට කරුණු කියා දුන්නේ සිංහල වචනයක්වත් පාවිච්චි නොකරමිනි. 
“I like home….. No hotel! Home….. good!! Dont worry. I ok….. ok….!!! No trouble. I can manage.”
මහරගම කිට්ටුව තිබුණු ඒ හෝටලය………..
ඩැඩා එහෙම කියූ එකත් වාසනාවකි. ඒ හෝටලය……. මහරගමට කිට්ටුව තිබුණු ඒ හෝටලය හා නවාතැන් පොළ ගැන විතරය අප අසා තිබුණේ. නාවින්නේ නම් ‘තානායම’කුත් තිබුණේය. 
දැන් මහරගම එහෙම නොවේ. මදිය නොකියන්නට ‘නවාතැන් පොළවල්’, Spaස්, Guest Houses තිබෙයි. 
ඒ කාලේ කොයිකටත් තිබ්බේ අර ‘කොකා පෙන්වන හෝටලය’ විතරක් වගෙය. 
ඒකට කිහිප වතාවක්ම ‘පොලිසියෙන් පැන්නා’ය කියනකොටය, හරියටම තැනේ වරුණ අප දැනගත්තේ! 
ඩැඩා හරියටම තැනේ හැටියට ඇනේ ගහන්නට දැනගෙන උන්නේය. ඒ අතින් අපේ අම්මාට වඩා ගොඩක් හොඳය. ඇත්තම කිව්වොත් අපේ අම්මා නම් ඩැඩාටත් වැඩියෙන් British වෙලා හිටියා වගෙය. 
ඒ විත්තිය හොඳටම ප්‍රදර්ශනය වුණේ 1980 දීය. (ඒ දවස්වල අම්මා ලංකාවට ඇවිත් හිටියාය.)

තනිකඩ චාල්ස් කුමාරයා ඉන්දියාවට ආ වෙලාවේ පද්මිනී කොහල්පූර් නම් නිළියක් ප්‍රසිද්ධියේම……
එංගලන්ත කිරුළේ උරුමක්කාරයා ‘Prince of Charles’ ඒ කාලයේ 32 හැවිරිදි අවිවාහකයෙකි. 
මනුස්සයා ඉන්දියාවේ සංචාරයක නිරත වෙද්දී ‘පද්මිනී කොහල්පූර්’ නම් සිනමා නිළියක් චාල්ස් කුමාරයාව සිප ගත්තාය. 
“හඃ ඒ ගෑනි කොහොමද අපේ චාල්ස් කුමාරයාව kiss කරන්නේ?” අම්මා කිව්වේ සෑහෙන කේන්තියෙනි. ඒ කතාවට මටත් යකා නැංගේය. 
“අම්මේ, දැන් අම්මා සුද්දියෙක් වෙන්න හැදුවට උපන්නේ බින්තැන්නේ කියලා අමතක කරන්න එපා. ඒ ගෑනි චාල්ස් කුමාරයව කසාද බැඳගත්තත් අම්මා සන්තෝසවෙන්නයි ඕනේ….. එයත් අම්මා වගේම ආසියාවේ ගෑනියෙක්නෙ.” 
එදා මගෙත්, අම්මාගේත් ‘ශ්‍රී ලංකා Vs ඉංග්ලන්ඩ්’ දබරයකට මුල පිරුණේ එහෙමය! 
එදා නම් මාත් කතා කරන්නට ඇත්තේ පල් මෝඩයෙකු වගෙය. (අවුරුදු 40කට පස්සෙය කියලාත් ඒ මොට්ටකම අඩුවෙලා තියෙන්නේ යාන්තමිනි.)
ඒත් කෙනෙකුට තමන් උපන් රට, ජාතිය, ආගම ගැන හිතමින් තවත් කෙනෙකු හෙළා දකින්නට පුළුවන්ද? එක ජාතියක් හෝ වංශයක් හෝ රටක් හෝ අනෙකට වඩා උසස්ද? එහෙම වෙන්නේ කොහොමද? මොකෙන්ද? ඒ කාලයේ නම් මමත් හරිම උජාරුවෙන් අපේ රටේ සංස්කෘතිය- සභ්‍යත්වය- අතීත ශ්‍රී විභූතිය ගැන ආඩම්බරයෙන් හිටියෙමි.
අපේ නිර්මාණ තරම්ම කලාත්මක නිර්මාණ ලෝකයේ තවත් තැන්වලත්….. මේ ගුජරාටයේ Hira දොරටුවලින් එකකි. 
හොඳම කලා නිර්මාණ- හොඳම ගල් කැටයම්- හොඳම චිත්‍ර…… සේරම ගැන මදිය නොකියන්නම ආඩම්බර වීමි. ඒ සේරම අපේ වැඩය.
තකතීරු මගේ දැනීමේ වපසරිය වැඩිවී, ලෝකයේ තවත් එවන් ශිෂ්ටාචාර පැවතී ඇති බවත්, තවත් අසහාය නිමවුම්කරුවන්- කලා ශිල්පීන්- දාර්ශනිකයන්- විද්වතුන් ඉඳලා ඇති බවත් දැනගන්නා තරමට මගේ ‘මහන්තත්ත ජාතිකත්වය’ තුනීවී ගියේය.
මගේ ‘උච්ච මානය’ තුරන්වී ‘සදිසි මානය’ පහළ වෙන්නට ගත්තේය! ඉතින්…
%d bloggers like this: