Menu Close

146. කළු ගඟදිගේ . . . . . . 9

කාල නදී ගං ඉවුරේ

වෙලාව දහවල් 2.00 ට පමන වන්නට ඇත.

අවට පරිසරය දැඩි උනුසුමකින් ආක්‍රමණය කරගෙනය.

අප සිව් දෙන කාත් කවුරුවත් නොමැති පාළු ගං ඉවුරක තුරු වදුලක් යට සිට තදින් සිසිල් කල බීර පානය කොට හොඳින් අහාර ගෙන තරමක වේලාවක් එහිම ඇලවී සිටියෙමු. (මෙහිදි “ඇලවී” යනු මැලියම් හා සම්බන්ධ හෝ ගංගා ආදිය සම්බන්ධ දෙයක් නොව ඇඳන් පැදුරු කොට්ට මෙට්ට  හා බැඳුනු “ඇල වීම” ය. මා මෙතරම් හොඳින් අවධාරණය කරණ්නේ මෙම ලිපි කියවන රහස්පරීක්ෂක ලේඛක ලේඛිකාවන් වඩාත් උනන්දු වන්නේ ලිපියේ අන්තර්ගතයට වඩා එහා මෙහා වී ඇති උක්ත ආඛ්‍යාතයන් පිළිබඳ වීම කරණ කොට ගෙන ය!)

ජීවිතයෙ මෙවන් දිනයක් මතකයයේ ඇත්නම් මෙසේම වන ගතවූ දිනෙක පමණය.
 කාල සටහනක් ඇති මුත් ඊට; අප අපගේ සතුට තෘප්තිය විවේකය අතික්‍රමණය කරණට ඉඩ නොදුන්නෙමු. මන්ද මේ අපගේ විනෝදාංශය වූ බැවිනි.
එහෙත් අප අතරම සිටි කිසිවෙකු අවස්ථානු කූලව නායකත්වය ගනිමින් අපගේ මූලික සැලස්ම විනාශ නොවන්නට අන් පිරිස නියාමනය කිරීමේ යෙදුනේය.


ඒවන විට තරමක හිරු දමනය වී තිබුනු ලෙසකි.

 හිරු රැස් තරමකට තිබිය යුතුය.මළාණික හිරු රැස් අපව මන්ද ගාමීන් කරණු ලබයි.  “තරුණ බව දිනයේ උදෑසන 8-9 ත් අතර හිරු රැස් මෙන්” යැයි වරෙක මාවෝ සේතුන්ග් පවසා ඇත.
එසෙරම හිරු ගිලුණු මන්දාරමේ යත්‍රා කිරීම මාහට නම් සුන්දර අත් දැකීමක් නොවේ. චන්ඩ හිරු රැස එන්නට මත්තෙන් හෝ බැසගිය දෙවන හෝරාව  පැදීමට සුදුසු වාතාවරණයක් සකසයි.
 හිරු බැස යන්නට පටන් ගත්  දෙවන හොරාව එළබ ඇති මුත් දිනය බොහෝ සෙයින් මහළුව ගිය සේයාවක් පෙන්නුම් කලේය. ඒ වැහි වළාකුළු අහස පිරීගිය වේලාවකි. ඒවා වැසිබර කළුව ගිය අළු පැහැති වලාකුළු නොව සුදු පැහැති වළාකුළුය. එනිසාම වායුගෝලයේ අර්ද්‍රතාවය ඉහල ගොස් දැඩි උනුසුමක් අපට දනවමින් විය.

එතැන් සිට අප සෙමෙන් ගඟ දිගේ පහලට එන විට ගඟේ අයිති කරුවන් අඩුවී ගිය සේයාවක් දක්නට ලැබුණි. ඒ මන්ද වැළි ගොඩ දැමීමේ සිට සියළුම මෙම පංතියේ ක්‍රියා කාර කම් කරණ්නේ බොහෝ විට උදය වරුවේ පමණක වීම නිසාය. හවස් වන විට ගං දිය සිසිල් වත්ම කෙන්ඩා පෙරලීමේ සිට විවිධ අතුරු ආබාධ නොමිලේ තමන් කරා පැමිණෙන හෙයින්ය.

ගඟෙන් බොහෝ ඉඩක්  හරස් කොට; උණ ලී හෝ වෙනත් ලී සිටුවා තැනින් තැන සකසා තිබුනු වැටි එලෙසින්ම විය.
මෙසේ තිබුනු වැටවල් අතරින් පැද යාමට නොහැකි උසකින් යුක්ත විය. එම වැටවල් අතර හෝ කෙළවරකින් තිබුණු ඉඩකින් කයාකය පදවාගෙන යාම කල යුතුව තිබුනි. සමහර ස්ථාන වල වැට නවතා තිබුනේ; නො එසේ නම් කපොල්ලක් ඉතිරිව තිබුනේ වැට සිටුවීමට නොහැකි ගල්  පිහිටා තිබුනු ස්ථානයන්හීය!
අත් අඩංගුවෙන් මිදුනු ගඟ; පන එපා කියා හැකි උපරිම වේගයෙන් පස්ස නොබලා එතැනින් දිවයන්නේ මෙම ගල් පර්වත අතරිණි. මෙනිසා කපොල්ලක් තිබුනත්; මෙම ජල ප්රවාහයට වැටෙන කයාකය නිවැරදි මාර්ගය සොයා ගනිමින් යාත්රා කරවීම තරමක් අසීරු කර්තව්‍යයකි.

බොහෝ විට මග ඇරීමෙන් මග ඇරෙණ්නේ දිය මතු පිට ඇති ගල් නොවේ. දියෙන් වැසුනු එහෙත් දිය මතු පිටට නුදුරේම ඇති ගල් ය. පර්වතයන්ය. හොඳින් ඉර එලිය නොමැති විට මෙසේ දියෙන් වැසී ගිය බාධක දකින්නට ඉඩක් නොමැත. එහෙයින් අපගේ ගමන බොහෝ සෙයින් දුෂ්කර එකක් විය.

 බොහෝ ස්ථානවල පසිඳුලා පැද ගිය අළුත් කයාකය සීරුවෙන් ගමන් කලද මමත් ඇනොත් පැද ගෙන ගිය පැරණි ෆයිබර් ග්ලාස් කයාකය සිර වුනි.

 සාපේක්ෂව අපේ කයාකය බරින් අධික වීම, ඉදිරියේ පදින ලද ඇනෝගේ බර මට සපේක්ෂව වැඩි වීම, අපේ කයාකය ට්‍රයෑකයක් එනම් තිදෙනෙකුට ගමන් කල හැකි අයුරින් නිපදවූවක් බැවින් එහි; අපගේ අමතර අමුද්‍රව්ය තොගයක් ගොඩ ගසා තිබීම යන කරුණු කරණකොට ගෙන මෙසේ සිරවීමට පසුතලය සකසමින් විය.

කයාකය සිර වූ විට හැකි හැම උත්සාහයක්ම ගත් පසු අවසානයේ කල යුතුව ඇත්තේ කයාකය මතු පිටින් පදින්නන් ඉවත් වීම නොහොත් දියට බැස; වඩා හොඳින් නිදහසේ පාවෙන කයාකය බාධකයෙන් මුදා ගැනීමය. එහෙත්  ඇනෝව දියට බැස්සවීමට මා අකමැති විය. ඔහුට පිහිණීම පිළිබඳව මනා පරිචයක් නොමැති වීම මීට ප්රධාන හේතුවය ය.
ජීවිතාරක්ෂක කබායකින් සන්නාහ සන්නද්ධ වී සිටියද අහම්බෙන් දියට වැටීමකදී  විනා එය මත පමනක් සම්පූරණ විශ්වාසය තබා නන්නාදුනනා තැනක, හැඩපහරක ඇනෝව බැස්සවීමට මා කිසිසේත්ම කැමති නොවීමි. ඔරලෝසුව වොටර් පෲෆ් වූ පමණින් මම එය බැඳගෙන නාන වැඩ කරණ්නේද නැත!

එසේම තරමක පුරුද්දකින් තොරව දියේ සිට කයාකයට ගොඩවීම කල නොහැක්කකි. සැබැවින්ම කයාකය මතට ගොඩ වීමක් නොව එය මතට පැනීමකි සිදු වන්නෙ! බරසාර ශරීරයකට හිමිකම් කියූ ඇනෝ හට එය එතරම් පහසු කට යුත්තක් නොවනු ඇත!
එසේ හෙයින් සිරවූ සෑම ස්ථානයකදීම මා දියට බැස ඇනෝ මත සිටියදීම කයාකය ගලවා ගන්නට කටයුතු කලෙමි.
මේ සියළු බාධා මෙන්ම වැහි බීරමද අපව  තරමක මන්දගාමී ස්වරූපයකට යොමු කලේය. ඒ සමගම අප සිව් දෙන අද රාත්රියේ කඳවුරු බඳින තැන සොයා ගැනීමට ඉවුරු වලට ඉව ඇල්ලීමට පටන් ගත්තෙමු.

කඳවුරු බැඳීමට සුදුසු බොහෝ ස්ථාන තිබෙන්නට ඇත; මිනිසුන් ගඟ ආක්‍රමණය කරණ්නට පෙරාතුව!

ගං ඉවුරක කඳවුරු බඳින විට ගඟට තරමක උසකින් පවතින බිමක් තෝරා ගැනීම යෙහෙකි. මන්ද හදිසි ජල ගැල්මකට මුහුණ දීම සඳහාය.
 එසේම අප හැම විටෙකම උත්සාහ කරණ්නේ ජනශූණ්‍ය පෙදෙසක්ය. ඒ අනවශ්‍ය ගැටලුවලින් මිදීම සඳහාය. 

එසේම මොනම අවස්ථාවකදීවත් කයාක ගඟේ තබන්නේද නැත. මන්ද කිසිවෙකුට එය පහසුවෙන් පැහැර ගැනීමට ඇති ඉඩ කඩ මග අරවා ලීමටය! 
මෙනිසාම උස් ඉවුරක් තෝරා ගත්තද එයට කයාක ඔසවාගෙන ගොඩවන්නට හැකි මගක්ද තිබිය යුතුය. 

මේ සියල්ලටම ගැලපෙන”ලංකෙම් රොබියුලැක්” වැනි ස්ථාන සොයා ගනීම තරමක අසීරු කට යුත්තකි. 

මෙසේ වට පිට බලමින් අප ගමන් ගන්නේ හවස හතරේ කණිසමට ගොඩ යන්නට බලාය. මන්ද ඒ වේලාවෙන් පසු ගඟ අයිති වන්නේ හෝ හපුටුවන්ටය! හෝ හපුටු ප්‍රහාරය දෙවෙනි වනවා නම් ඒ කිඹුල් ප්‍රහාරයකට පමණක්ම විය යුතුය. 

ගං ඉවුරේ කඳවුරු බැඳීමේදී මෙම හෝ හපුටුවන්ගෙන් ගැලවීම සඳහා ගිනි මැළයකින් සිදුවන සේවාව අති මහත්ය. එය මදුරුවන්ටද එකසේ ප්‍රථිඵල ගෙනදේ. 
මේ සියල්ල සඳහා පඟිරි තෙල් වැනි විවිධ ආලේපන වර්ග තිබුනද ගිනි මැළයකින් කඳවුරකට ලබෙන ප්‍රබෝධය, ප්‍රාණවත් බව, උද්යෝගය මොනම ආලේපනයකින්වත් ලඟාකරදීමට නොහැක.

මහ කැළයේ කඳවුරු බඳිද්දී මෙම ගිණි මැලයෙන් තවත් ප්‍රයෝජන රාශියක් ගත හැක. තෙත ඇඳුම් වේලා ගැනීම, ආහාරයක් පිස ගැනීම, සිගරට් සුරුට්ටු දල්වා ගැනීම, පසුවදා තේ කෝපි සාදා ගැනීම වැනි සියල්ල අභිබවා යන වන සතුන්ගෙන් ආරක්ෂා වීම ගෙන හැර දැක්විය හැක.
කඳවුරක ගිණි මැළයක් යනු රාත්‍රිය මුළුල්ලේ ඇවිළිය යුතු දෙයකි. එය මහා ගිනි ජාලාවක් නොවිය යුතුය. එසේම හඳුන්කූරු හතර පහක් වැනි මළාණික එකක්ද නොවිය යුතුය. මෙය පාලනය කල හැක්කේ තරමක් විශාල කඳන් ගිණි මැළයට එක් කිරීමෙනි.

ගිණි මැළය අවුළුවා ගන්නේ හොඳින් ඇවිලෙන ද්‍රව්‍ය මත අවුළුවාගත යුතු දේ අතුරා ගැනී මෙනි. පලමුව වහා ගිනි ඇවිලෙන සුළු දේ ගිනි තබා ගත් විට එමගින් ගිනි අවුළුවාගත යුතු ප්‍රමාණයෙන් විශාල කඳන් ඉබේම ඇවිලේ. 
මේ වහා ගිණි ගන්නා සුළු ද්‍රවය ලෙස කඩදාසි, පොල් අතු, ගස්වල වියලි පොතු හා අතු,  ප්ලාස්ටික් අපද්‍රව්‍ය, ඉවත දමන සෙරෙප්පු වැනි රබර් කැබැලි, පොල් කටු, රෙදි කැබැලි වැනි දෑ උපයෝගී කර ගත හැක.

බොහෝ කඳවුරු බඳින්නන් මුහුන දෙන විශාල ගැටළුවක් වන්නේ BBQ ලිපෙහි අඟුරු වලට ගිණි අවුළුවා ගැනිමය. කඩේ සාප්පුවෙන් ගන්නා BBQ අඟුරු මල්ලේ ඇති ස්ටාටර් එක ට වඩා මේ සඳහා  තුනී පොල් කටුවක් දෙකක්,  මහතට කඹයක් සේ අඹරා පොල්තෙලෙහි පොඟවා ගත් පහන් තිරයක් ප්‍රයෝජනවත්ය. 

උඳුන මත අතුරා ගත් අඟුරු මතම තබා ගත් පොල්කටුව තුල තැන්පත් කල තිරය අවුළුවා ගැනීමෙන් උඳුන සක්‍රීය කරගත හැක. පොල් තෙල් වෙනුවට “නැටුම් තෙල්, සිංදු තෙල්” හැරෙණ්නට වෙනත් ඕනෑම තෙලක්, ඉන්ධනයක් වැඩේට ලං කර ගත හැක!

මේ කුමන ගිණි තැබීමකට උවද හුලං අත හෙවත් සුළං හමන දිශාව නිශ්චය කරගත් යුතුවේ. මෙයට පහසු ක්‍රමදෙකක් බේඩ්න් පවල් සාමී වරයා විසින් රචිත “බාලදක්ෂ විද්‍යාවේ මූලධර්ම” නමැති ග්‍රන්තයේ ඒ. 

මෙහිදී  හුලං අත නිශ්චය කර ගැනීමට උගන් වන්නේ; සතෙකුවෙත  ඔහුගේ ඉවට හසු නොවී ලංවීමට ය.එම ක්‍රම දෙක වන්නේ සුළඟේ පාවීයන කුඩා කොල කබැල්ලක් වැනි දෙයක් පාවී යෑමට සැලසීමෙන්ය.

 අනෙක් ක්‍රමය වන්නේ තෙත් කරණ ලද දබරැඟිල්ල ඉහලට ඔසවා බැලීමය. මෙහිදී ඇඟිල්ලේ; හුලං හමන පෙදෙසට විවෘථ පෙදෙස වඩාත් සිසිලසක් දනවයි.

මෙම ඇඟිල්ල තෙත් කර ගැනීම සඳහා කටේ ඇඟිල්ල දමා ගැනීමේ සිට ඕනෑම උපක්‍රමයක් තම තමන්ට ඇති හැකි පහසු හා කැමති ආකාරයට කරගත හැක!

මේ කොයි හැටි වෙතත් ගිණි මැළය කඳවුර බිම තුල කූඩාරමට තරමක දුරකින් විය යුතුය. ඒ ගිණි පුළිඟු වලින් ආරක්ෂා වීමටය!

තවත් පැය භාගයක පමණ කාලයක් යාත්‍රා කිරීමෙන් පසු අප; අපගේ රාත්‍රී නවාතැන් පොල සොයා ගතිමු. එම ස්ථානයේ ගඟ තරමක වක්‍රව ගමන් ගත් ස්ථානයකි. වක්‍රය දකුණු දෙසට හැරී තිබුනු අතර අප තොර ගත්තේ ගඟේ දකුනු ඉවුරයි. එහා ඉවුරේ කුඩා නිවෙසක් හෝ දෙකක් තිබෙනු යාන්තමින් පෙනෙන්නට විය. 

ඉවුරට සේන්දු වී අප නැවතුනු අතර තෙශාන්ත ඉවුර මතු පිටට නැග ඉව අල්ලා බලා අපට ගොඩ බසින්නට අවසරය දුනි. අප කයාක ඉවුර අද්දරට ගෙන බැඳ දමා ඒවා මතු පිට තබා  ගැට ගසා  තිබුනු අපගෙ කූඩාරම් ප්‍රමුඛ සියළු අඩුම කුඩුම ඉවුර මතු පිටට ගෙන ආවෙමු.

එම ස්ථානය වැලි තොටුපොලක් ලෙස භාවිතාකල බවක් අසල ගොඩ ගසා තිබුනු; සල්ලඩයෙන් හලා ඉතිරි වුනු බෝල ගල් ආදිය කියා පෑවේය. ගඟේ සිට අඩි 20 ක පමන ඉහලක එම සමතලා බිම පිහිටා තිබුනේය.  

ගඟේ සිට තරමක ආනතයක් දිගේ අහලට තිබුණු පටු පාර කෙළවර වුයේ මෙම බිමෙනි. මෙම ඉඩ කඩ පලලින් අඩි 10 ක පමනද දිගින් අඩි 30 ක පමනද විය . 
අතහැර දමා තිබුනු වැලි තොටු පොලක්වූ  බැවින් පොලව සියුම් වැල්ලෙන් වැසී තිබුනි. ගඟපෙදෙස තරමක උස් පඳුරින්ද ගොඩබිම පෙදෙස බොහෝ උස්වූ ගස් වැල් වලින්ද ආවරනය වූ මෙමඉඩ කඩ තුල පෞද්ගලිකත්වය ඉහලින්ම ඉතිරී පැතිරී තිබුණි.

හෙට වනතුරු සාමදානයේ සැතපෙන!
සියළු බඩු බාහිරාදිය කඳවුරු බිමට ගෙන ගිය අප ඊළඟට සිදු කලේ දිනයේ අධිකතම වෙහෙස දනවන කාර්‍යයට උර දීමය. ඒ අනෙකක් නොව කයාක දෙක ඔසවා කඳවුරු බිමට ගෙන ඒ මය.  මමත් පසිඳුත් එම කාර්යය සිරිත් පරිදි ඉටු කල අප එවා මුනින් නවා; ඒ තුල ජලය වෙත්නම් ඉවත් වන සේ කඳවුරු බිමේ පසෙකින් තැබුවෙමු.

ඉන් පසු අප සිව් දෙන සිත්සේ ගඟේ බැස නෑවෙමු. ගඟේ දිය තරමක උනුසුමකින් යුක්තවිය. එම ස්නානය  දිනයේ සිරුර තුල වූ වෙහෙස මහන්සිය ගං දියේ දිය කර හරිණ්නට සමත් විය! සත්තකින්ම එය සැපවත් නෑමකි!

සොඳුරු කඳවුරු !

 පසිඳුත් තෙශාන්තත්  පුරුදු පරිදි දඩයමේ ගිය අතර මමත් ඇනෝත් කූඩාරම් අටවා ගිනි මැලය සඳහා අවශ්‍ය දැව කඳන් ගෙන ගොස් සකසා  තැබුවෙමු. තෙශාන්තටත් පසිඳුටත් ඉටු කර ලීමට කිසිවක් ඉතිරි නොකර සියල්ල සකස් කොට මොහොතකින් ඔවුන් දෙදෙන පමිණියේ තවත් ආගන්තුකයෙකු සමගිනි.

 එය එසේ නොවුනා නම් තමාය පුදුමේ! තෙශාන්ත ගිය තැනෙක අවසානය මෙසේමය!

රාත්‍රී කෑම සඳහා බත් මුල් හතරක්ද අලියා සෝඩා රජ මුසුවක්ද; සෝඩා නිකංම පානය කිරීමට නොහකි බැවින් ඊට අඩු වැඩියද  පසිඳුලා ගෙනවිත් තිබුනි. 
සොඩා බෝතලයේ ඉව පාරේ පැමිණි ගම් වාසියකුද අඩු පාඩුවට කැඳවාගෙන පැමිණීම මාගේ මහත්වූ “පහන් සංවේගයට” හේතුවක් විය.

‘මූ මොකාද බං . . .මොකට එක්කගෙන ආවද  !?”

“ගමේ එකෙක් මචං . . .  ඌ ඔහොම ඉඳලා ඉඳලා යයි . . . පොඩ්ඩක් හිටාං කො මැරෙණ්නෙ නැතිව!” තෙශා මගේ ඉවසීම ගැන හොඳින් දන්නා නිසාම  මම “මැරෙයි” යන බියෙන්ද මන්දා කීවේය!

යාලුවෙක් කිව්වාම නොකර බැරි නිසාම මමද “මැරෙණ්නේ නැතිව” ඉවසා ගෙන සිටියෙමි. සෝඩා බෝතලය ගෙන එන්න ඇත්තේ බඩ පිපුමකට බොන්නට යයි සිතා දෝ නො එසේනම් එළු- නරි කතාව කුමාරෝදයෙන් නැතිනම් මොන්ටිසෝරියේදී හෝ අසාඅ ඇති නිසාදෝ ගම් වාසියා “යන්නං” කියා තොලොන්චි විය! 

මට නිවැරදි රටාවට හුස්ම වැටෙන්න පටන් ගත්තේ ඉන් ඉක්බිතිවය!

අප රැඳි බිමේ බොහෝ ප්ලාස්ටික් සුන් බුන් හා පැරණි සෙරෙප්පු කබැලි නයිලෝන් කඹ ගැටයක් වැනි අඩුම කුඩුම රාශියක් විය. මෙවා සියල්ල අපගේ ගිණි මැළයට හොඳ ආරම්භයක් ලබා දුනි. 

අප ගෙනවිත් තිබුනු විශාල කඳ හා වෙනත් දැව එක් කොට තැනුණු ගිණි මැළය හොඳින් ඇවිළෙන්නට පටන් ගති. 

ඒ අසල මා රැගෙන ගිය ෆෝම් කැබැල්ල හෙවත් ට්‍රැවල් මැට් එක අතුරා අප එහි ඈඳි ගතිමු.
සෝඩා රජ මුසුව අපගේ ප්‍රාථමික එහෙත් අතිශයින් සුන්දර රාත්‍රියට අත්වැල් සපයමින්ය. 
මා බොහෝ කලකින් ලබන මෙම සංතර්පනයට හදවත එකඟ වී ඇත.
සෝ ඕ ඕ ඕ . . . . .ඩා !

අප ගීත ගායනා නොකලා මෙන් මතකය!
 එහෙත් රස බර කතාවලින් එම සන්ධ්‍යාව අනූන විය. දිනය පුරා වෙහෙස වුනු සිරුරට දින දෙකකින් ලැබිය යුතුව තිබුණු ණයක් විය. ඒ  නින්දය. පසුගිය දින රාත්‍රිය පුරා ලොරි පොඩ්ඩා පදවා තිබුණු වෙහෙසත් නින්දත් මේ කුඩා සාදයත් විසින් මඩනා ලද මා මේ වන විට අඩ නින්දේය!

නිදි මතේ මරු කියවමින් !
රත්‍රී අහර සඳහා කුමක් තිබුනාද කෑවාද නොකෑවාද මතකයක් නැත! අවසානයේ කුඩාරම තුලට  කූඩු වුනා යාන්තමින් මතකය. ජීවිතයේ තවත් අතිශය සුන්දර දිනයක් මතක මං පෙතට එක්විය! 

ජීවිතේ සුන්දරද මෙතරම් . . . !

අප බලාපොරොත්තුවන ලෙසින්ම  ජීවිතය සුන්දර ගීතයක්ම වේවා! 


ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම – කළුතරට !
%d bloggers like this: