Menu Close

හදුන්කූරු සහ අපේ ගම

අපි පොඩි කාලේ ඒ කිව්වේ එකදාස් නවසිය අසූූ ගනන් වල අනූූ ගනන් වල වගේ  අපේ ගමේ ගොඩක් පවුල් වල ආදායමක් වුනේ හදුන්කූරු හදන එක. හදුන්කූරු හදන්න පාවිච්චි කරන්නේ උණ ගස්. කොළ උණ, කහ උණ කියලා උණ ගස් වර්ග දෙකක් තියෙනවා. ඒවාගෙන් කොළපාට ගස් තමයි උසට ලොකුවට හැදෙන්නේ. ඒ උණ ගස් තමයි හදුන්කූරු හදන්න පාවිච්චි කලේ.
ඔය වැලෑනේ තමයි ගොඩක් වෙලාවට උණ ගස් හැදෙන්නේ. අපේ වත්ත පාමුලත් ඔයක් ගලාන යනවා. ඒ අයිනේ උණ පදුරකුත් තිබුනා.
අපේ ‌ගෙදර වත්ත පාමුල ඔය අයිනේ තියන උණ පදුරු ( වම් පස)

ඒ කාලේ උණ පදුරු කියන්නේ ඉතිං සල්ලි තමයි. උණ ගහක් කපාගෙන ඒවා අගල් 7 ට බට කපනවා කියතෙන්. ඊට පස්සේ තමයි හොදට කැපෙන තුනී පිහියකින් පතුරු පලන්නේ. පතුරක් කියන්නේ මිලිමීටර එකක් එකහමාරක් විතර ගනකම ලෑල්ලක් වගේ එකක්.
ඒ කාලේ රැවුල කපන්නේ තල මාරු කරන රේසර් වලින්. රැවුල කපන බ්ලේඩ් එකක් දෙතුන් පාරක් කැපුවම අයින් කරනවා. ඒවා ගන්නේ හදුන්කූරු පලන අච්චුව හදන්න. තලයක් කෑලි හතරකට හරි හයකට හරි කපලා කැන්ද ලීයක නූලක පරතරය වෙන්න ලගින් ලගින් කෑලි පහ හයක් හයි කරලා තමයි මේ අච්චුව හදා ගන්නේ. එක එක්කෙනාගේ දක්ෂතාවය මත කූරු 5 ක් 6 ක් සමහරු කූරු 8 ක් එක පාරකින් පැලෙන විදියට අච්චුව හදා ගන්නවා.
කූරු පලලා ඊට පස්සේ වේලලා මිටි බදින්න ඕනේ. මිටියකට කූරු දාහක් තියෙන්න තමයි මිටි බදින්නේ. හැම වෙලාවෙම දාහා දාහා ගනන් කරන්නේ නැහැ. එක සැරයක් ගනන් කරලා මිටියක් බැදගෙන ඊට පස්සේ ඒකේ අතේ මිම්මට තමයි ඉතිරි මිටි බදින්නේ.
කූරු පලන අය කරන්නේ මිටි බැඳලා විකුණන එක. තවත් කට්ටියක් ඉන්නවා, එයාලා කරන්නේ මේවට බේත් ගාන එක. හදුන්කූරු වලට කලු පාට කුඩු වර්ගයකින් හදපු බේත් තියෙනවා. ඒවා ගෙනල්ලා මේ කූරු වල ගානවා. එතකොට තමයි අපිට දකින හදුන්කූර හැදෙන්නෙ. බෙහෙත් ගාන අය දවසකට කූරු දෙතුන් දාහක් ගානවා. කූරු පලන අය නම් දවසකට කූරු දාස් මිටි විස්සක් තිහක් පලනවා.
බෙ‌හෙත් ගාපු කූරු කොම්පෙනියට දෙනවා. කොම්පෙනියෙන් තමයි සුවද දාලා පැකට් කරලා විකුණන්නේ.
ඒ කාලේ අපේ ගමෙන් බාගෙක විතර අයගේ ස්වයං රැකියාව වුනේ හඳුන්කූරු හදන එක. මමත් පොඩි කාලේ කූරු පලලා තියෙනවා.
පස්සේ කාලේ පිටරටින් හදුන්කූරු ගෙන්නන්න ගත්තට පස්සේ ගෙවල් වල හදුන්කූරු හදන එක ටික ටික නැතිවෙලා ගිහින් නැත්තටම නැති වුනා. දැන් අපේ ගමේ කවුරුවත් හදුන්කූරු හදන්නේ නැහැ. උණ ගස් වලින් වැඩක් නැහැ.
ගිය සතියේ ගෙදර ගිය වෙලාවෙ පරණ ආවුද පෙට්ටියක් දැද්දා. ඒකේ තිබිලා ඒ කාලේ පාවිච්චි කරපු කූරු පලන මැෂිමක් හම්බුනා. මේක නං අර කිව්ව කැන්ද ලීයට බ්ලේඩ් ගහල හදපු එකක් නෙවෙයි. ඊට වඩා ටිකක් ඉහල මට්ටමේ එකක්.
අපි ‌පොඩි කාලේ කූරු පලපු මැෂිමක්

පහුගිය දවසක ඇහුනා රජයෙන් හදුන්කූරු ආනයනය තහනම් කලා කියලා. ඒක අහපු මට අපේ පොඩි කාලේ මතක් වුනා. ආයෙමත් අපේ ගම්වල අම්මලා අක්කලා හදුන්කුරු පලලා, ඔතලා කීයක් හරි හොයාගන්න කාලයක් ආවොත් කොච්චර හොදද කියලා හිතුනා.

%d bloggers like this: